මොරතොටවත
මොරතොට ධම්මස්කන්ධ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නිර්‍මල වූ චරිතාවදානය අලළා ලියන ලද කුඩා කාව්‍යයෙකි. මොරතොට මහානායක හිමියන් කෙරෙහි පැවැති ගුණ සමුදාය වර්‍ණනා කිරීම සඳහා ම මේ කාව්‍යය රචනා කළ බව එහි 5 වැනි පද්‍යයෙන් දැක්වෙයි. මොරතොටවතෙහි කතුවරයා 'මුංකොටුවේ අබේසිංහ' නම් කිවිදා බව අවසාන පද්‍යයෙන් පැවසෙයි. රචනා කරන ලද්දේ ශ:ව: 1719 (ක්‍රි:ව: 1797) වැන්නෙහි ය. ග්‍රන්ථ ප්‍රමාණ්‍ය පද්‍ය 166කි.
තෙරුවන් පිණිපා කොට ග්‍රන්ථය ආරම්භ කළ කවියා විසින් පළමු කොට මොරතොට හිමියන්ගේ කුල පරපුර මැනවින් විස්තර කරන ලද්දේ ය. අනතුරුව පැවිදි වීම, ඉගෙනීම හා රාජගෞරව සහිත ව උපසම්පදාව ලැබීම ද උන් වහන්සේගේ චරිතයෙහි නොයෙක් විසිතුරු තැන් හා කීර්‍තති ශ්‍රී රාජසිංහ රජුගෙන් දෙගල්දොරුව ගම්බිම් සහිත ගංගාරාමය හා නොයෙක් පූජා ලැබුණු සැටි ද දැක්වෙයි. රාජාධිරාජසිංහ රජු විසින් නායක තනතුර පිරිනමා මාළිගයෙහි සිට මල්වතු විහාරයට මහ පෙරහරින් වැඩම වනු ලැබූ ආකාරය ඉතා උසස් ලෙස විස්තර කෙරෙයි.
63 වැනි පද්‍යයෙහි පටන් 100 වැන්න දක්වා විස්තර කෙරෙන්නේ මල්වතු පෝය ගෙය කරවීමෙහි පටන් උන්වහන්සේ විසින් කරන ලද නන්වැදෑරුම් කුදු මහත් පින්කම් රැසෙකි. මහානිද්දෙස පාලිය ශුද්ධ කිරීමෙන් දැක්වූ උන්වහන්සේගේ පාණ්ඩිත්‍යය ද උන්වහන්සේ වෙත ශිෂ්‍යයන් උගන්නා සැටි ද විස්තර කොට අවසානයෙහි අනුමාලේ තෙරුන් ඇතුළු අතැවැසියන් සූවිසි දෙනකුන් පිළිබඳ හැඳින්වීමක් කරන ලද්දේ ය.
මොරතොටවත රචනා කළ මුංකොටුවේ අබේසිංහ රාළ වනාහි එවක සිටි උගතුන් අතුරෙහි උසස් කෙනෙකි. ඔහුගේ රචනා විලාසයෙහි සහජ කවිත්වයක් තුබූ බව පෙනේ. ජන්දය හෝ එළිවැට සඳහා ඔහු අතින් භාෂාව කෙලෙසී නොගියේ ය. ව්‍යාකරණ රීතීන් නොබිඳ රස නොපිරිහෙන සේ වාක්‍යයන් වෘත්තඵලාට නඟා ලූ සැටි චමත්කාරජනක ය. එකල සිටි බොහෝ කවීන් ප්‍රිය කළ යමකාදී දුෂ්කර බන්ධවලින් ස්වකීය ග්‍රන්ථය පුරවාලීමට මේ කවියාට අභිමත නොවී ය. ඖචිත්‍යය නොපිරිහෙලා සිතැති කවියට නගාලීමට හෙතෙම ඉතා සමත් විය. බොහෝ කවියන් කෙරෙහි පවත්නා පරානුකරණයෙහි දුර්‍වලකම මුංකොටුවේ රාළට නොරිසි වූ දෙයෙකි. ස්වකීය කථා නායකයා උසස් ලෙස වර්‍ණනා කරන අතර ම ප්‍රතිනාසකයන්ට වදන් පහර එල්ල කිරීමට ද හෙතෙම අමතක නොකළේ ය. සඟරජ හිමියන් වෙත ශාස්ත්‍රාද්ග්‍රහණය කළ මොහු විසින් 'සඟරාජ වත' කාව්‍යය ද ලියන ලද්දේ ය.
1897 දී ඇල්බට් ද සිල්වා නමැති මහතකු විසින් මුද්‍රණය කරවන ලද 'මොරතොටවත' 1949 වැන්නෙහි උපග්‍රන්ථයකින් ද විශෙෂ සංස්කරණයකින් ද යුක්ත කොට ගුන්නෑපාන වජිරඤාණ ස්ථවිරයන් වහන්සේ විසින් ප්‍රසිද්ධ කරවන ලද්දේ ය.
(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1956)
(සංස්කරණය නොකළ)