අලුත්නුවර-2

සිංහල විශ්වකෝෂය වෙතින්
11:24, 16 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සබරගමු පළාතේ මැද කෝරළයට අයිති ගමකි. කොළඹ සිට බ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සබරගමු පළාතේ මැද කෝරළයට අයිති ගමකි. කොළඹ සිට බදුල්ල දක්වා වැටී ඇති මහා මාර්ගයේ 89 වැනි සැතැපුම් කණුව අසල මෙය පිහිටා තිබේ. මේ ගමට සැතැපුම් 7ක් පමණ බටහිරින් බලංගොඩ නගරය පිහිටා ඇත. 1818 දී උඩරට වැසියන් විසින් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට විරුද්ධව අරඹන ලද 'කැරැල්ල' මැඩ පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍යයන් තාවකාලිකව මෙහි යුද කඳවුරක් පිහිටුවා තිබුණි.

උග්ගල් අලුත්නුවර නම් ගම පිහිටියේ මේ අසල ය. දැඩිමුණ්ඩ දෙවියන් දෙවුන්දර සිට මේ පෙදෙසට වැඩ උක්හේනක් දැක ගල්වෙන්නට වරම් දී ඒ පෙදෙස උග්ගල් අලුත්නුවර නමින් ප්‍රසිද්ධ කරවූ බව දේව කන්නලව්වක සඳහන් වේ. මෙහි මහ සමන් දේවාලය නමින් දන්නා ඉතා පැරැණි හින්දු දේවාලයක් ද උග්ගල් අලුත්නුවර රජ මහා විහාරය නමින් ප්‍රසිද්ධ කුඩා විහාරයක්ද කුඩා කතරගම් දේවාලය නම් තවත් දෙවොලක් ද ඇත. ශක වර්ෂ 1304 (ක්‍රි.ව. 1382) දී පමණ සූර්යය මහනුවර (මැදගම) සූර්යය (මහ) රජු විසින් මේ දේවාලය ආරම්භ කරන ලද බවත් ඉන් දෙසිය වසකට පමණ පසු මැදගම් නුවර රජ වූ යාපා (මහ) රජු විසින් වැඩි දියුණු කරන ලද බවත් පැරැණි ලේකම්මිටියක සඳහන් වේ. සූර්යය, යාපා යන රජවරු කවරහු දැයි හඳුනාගැනීම උගහට ය. අලුත්නුවර එකල මේ දේවාලයේ මහා නින්දගම ය. පල්ලෙකන්ද කුඩා නින්දගම ය. නළුවෙල, බටේපොළ සහ උග්ගල් කල්තොට පිදවිලි ගම් ය. දේවාලයේ පැරැණි දේ අතුරෙන් දැනට ඉතිරිව ඇත්තේ කැටයම් සහිත මහ උළුවස්ස, සඳකඩපහණ හා දේවාභරණ ස්වල්පයකුත් පමණි. මේ දේවාලයෙන් දම්වැල් පහක් පමණ උතුරෙහි පත්තිනි දේවාලය හා සිංහාසන මණ්ඩපයත් වෙයි.

යටකී අලුත්නුවරට සැතැපුම් 3ක් පමණ ඈතින් කොළඹ-බදුල්ල පාරේ 86 වැනි සැතැපුම් කණුව අසල ද අලුත්නුවර නමින් තවත් ගමක් වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලුත්නුවර-2&oldid=5987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි