අවකාශ තරණය

සිංහල විශ්වකෝෂය වෙතින්
16:16, 19 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අවකාශය තරණය කොට චන්ද්‍රයා හා ග්‍රහයන් කරා යා හ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අවකාශය තරණය කොට චන්ද්‍රයා හා ග්‍රහයන් කරා යා හැකි විය යුතුය යනු අතිපුරාණ කාලයේ සිට මිනිස් සිතෙහි බලපැවැත්වුණු අදහසකි. පෘථිවියෙහි ජීවත්වන මිනිසාගේ සිතීම අනුව අවකාශය පෘථිවි වායුගෝලයේ ඉහළ ම සීමාවේ සිට අනන්තය (infinity) දක්වා පැතිරී යයි. වායුගෝලයේ ඉහළින් ම තිබෙන්නේ ස්තරගෝලය (stratosphere) යි. ස්තරගෝලය ක්‍රමයෙන් නැති වී යන ස්ථානයේ සිට අවකාශය පටන් ගනියි. මෑතක් වනතුරු පෘථිවි තලයට හා එහි වායුගෝලයේ පහත් ප්‍රදේශයට පමණක් මිනිසාගේ කාර්යය සීමා විය. ඔහු නිෂ්පාදනය කොට ඇති රොකට්ටු නිසා දැන් ඔහුගේ විෂය ක්ෂේත්‍රය වඩා පුළුල් වී තිබේ. මේ රොකට්ටුවල ආධාරයෙන් දැන් ඔහුට අවකාශයට පිවිස එය තරණය කළ හැකිය. අවකාශ තරණය වූ කලි ස්වභාව ධර්මයෙන් විහිත සීමාවන් කඩා බිඳ දමා වඩා උසස් අභිප්‍රායයන් හා ඉලක්ක කරා ඉදිරියට යෑමට මිනිසා තුළ පැවති සීනය සැබෑවීමකි.

මේ ලෝකයේ මිනිසුන් වෙනත් ලෝක කරා යෑම ද වෙනත් ලෝකවල මිනිසුන් මේ ලෝකය කරා පැමිණිම ද අලළා ගෙතුණු ඉපැරණි ප්‍රබන්ධ කිහිපයකි. මීට ශතවර්ෂ 18කට පමණ පෙර විසූ ලූෂන් නම් ග්‍රීක ලේඛකයා විසින් ක්‍රි.ව. 160 දී ලියන ලද 'සත්‍ය ඉතිහාසය' ('Vera Historia') නමැති ග්‍රන්ථයෙහි චන්ද්‍රයා කරා ගිය ගමනක් පිළිබඳ කථාවක් සඳහන් වෙයි. ඩීඩලස් හා අයිකරස් පිළිබඳ ග්‍රීක පුරාකථාව කවුරුත් පාහේ අසා ඇත. මේ පිය පුත් දෙදෙනා ඉටිවලින් තනාගත් පියාපත් බැඳගෙන ක්‍රීට් නගරයේ බන්ධනාගාරයකින් ගැළවී අහසේ පියාඹන්නට පටන් ගත්හ. මුහුදට ඉහළින් පියාඹන කල අයිකරස් සූර්යයාට කොපමණ ළං වූයේ ද කිවහොත් සූර්ය රශ්මිය නිසා ඔහුගේ පියාපත්වල ඉටි උණු වී ඔහු මුහුදට වැටුණේය. රාමායණය නම් භාරතදේශීය මහාකාව්‍යයෙහි රාවණ අහසින් ගිය ගමන් ගැන සඳහන් වේ. කල් යත් යත් ස්වභාව ධර්මය පිළිබඳව මිනිසාගේ දැනීම දියුණුවත් ම මේ පුරාණ ප්‍රබන්ධ වෙනුවට විද්‍යාත්මක කල්පිත ඉදිරිපත් කරන ලදි. නොයෙක් ග්‍රහයන් කරා ගමන් කිරීම පිළිබඳව විද්‍යාව ආශ්‍රිත ප්‍රබන්ධ කථා කිහිපයක් පසුව ප්‍රකාශයට පැමිණියේය. ජූල් ව’න් නම් ප්‍රංස ලේඛකයා අවකාශය තරණය කොට චන්ද්‍රයා කරා යෑම ගැන නවකථාවක් ලිව්වේය. ඉංග්‍රීසි ජාතික එච්.ජී. වෙල්ස් ද රුසියානු ජාතික ඒ. ටොල්ස්ටෝයි හා කොන්ස්ටන්ටින් සියොල්කොව්ස්කි (Tsiolkovsky) ද අවකාශය තරණය කිරීම ගැන නවකථා කිහිපයක් පළ කළහ.

20 වැනි ශතවර්ෂය උදා වන තුරු අවකාශ තරණය මිනිස් සිතෙහි හටගත් චින්තාමාත්‍රයක් හා නොසන්සිඳුණු මනදොළක් පමණක් විය. 16 වැනි හා 17 වැනි ශතවර්ෂවල ලොව පහළ වුණු ගැලිලියෝ (බ.), කොපර්නිකස් (බ.), කෙප්ලර් (බ.), ටයිකො බ්‍රා (බ.), නිව්ටන් (බ.) වැනි අති ශ්‍රෙෂ්ඨ විද්‍යාඥයන් කිහිප දෙනකුන්ගේ කෘතිවලින් මිනිසාට සූර්යග්‍රහ මණ්ඩලය හා විශ්වය පිළිබඳව මනා අවබෝධයක් ලැබුණි. එහෙත් අහස් කුස විනිවිද අවකාශයට එළඹීමට මඟ පෑදුණේ රොකට්ටු භාවිතයට පැමිණීමෙන් පසුවය.

ප්‍රථම වරට රොකට්ටු භාවිතයට පැමිණියේ කවර වකවානුවක දැයි නිශ්චය වශයෙන් ම කිව නොහැකි නමුදු, එය සිදුවන්නට ඇත්තේ වෙඩි බෙහෙත් සොයා ගැනීමෙන් පසුව යයි සිතිය හැකිය (රොකට් බ.). ක්‍රි.ව. 1232 දී මොංගෝලියානුන් චීනයේ හෝනාන් පළාතේ අගනුවර වූ තායි-පෙන්-පු නුවර වැටලූ අවස්ථාවේ දී චීනුන් “අහස් ගිනි සැර” නම් අවියක් භාවිත කළ බවත් මේ සැර යම්කිසි පිළිවෙළක රොකට්ටු බවත් කියති. තවද පුරාණ කාලයේ දී චිනුන් පූජෝත්සවයන්හි දී අහසට රොකට්ටු යැවූ බව වාර්තා වී ඇත. මධ්‍යතන යුගයේ පටන් යුරෝපයේ ප්‍රංස, ඉතාලි, ජර්මන් ආදි ජාතීන් යුද්ධවල දී රොකට්ටු පාවිච්චි කළ බව පෙනේ. නූතන යුගයේ රොකට්ටු සෑදීමේ ප්‍රථම ආයතනය 1680 දී රුසියාවේ පිහිටුවන ලදැයි කියත්. ජර්මනියේත් ප්‍රංසයේත් රොකට්ටු ශිල්පය දියුණු වී ගියේය. ජර්මනියේ රොකට්ටු ශිල්පය දියුණු කිරීම සඳහා හර්මාන් ඔබර්ත් ඉතා උනන්දුවෙන් ක්‍රියා කළේය. අවකාශ තරණය සඳහා රොකට්ටු උපයෝගී කොට ගත හැකි බවට කරුණු සියොල්කොව්ස්කි විසින් ඉදිරිපත් කරන ලදි. 1926 මාර්තු 16 වැනිදා එක්සත් ජනපදයේ රොබට් එච්. ගොඩාඩ් ද්‍රව-ඉන්ධන රොකට්ටුවක් අහසට යැවීය. 1929 ජූලි 17 වැනිදා උෂ්ණත්වමානයක්, පීඩන මානයක්, කුඩා කැමරාවක් ආදි උපකරණ අඩංගු රොකට්ටුවක් ඔහු විසින් අහස්ගත කරන ලදි. පළමු වැනි සෝවියට් ද්‍රව-ඉන්ධන රොකට්ටුව අහසට යවන ලද්දේ 1933 දීය. 1957 ජුලි 1 වන දා සිට 1958 දෙසැම්බර් 1 වන දා තෙක් නොයෙක් ජාතීහු පෘථිවිය හා ඒ අවට පිහිටි වායුගෝලයත් අවකාශයත් පිළිබඳ කරුණු දැන ගැනීමට ලෝක ව්‍යාප්ත පර්යේෂණ රාශියක යෙදුණහ. වායුගෝලය විනිවිද අවකාශයට රොකට්ටු යැවීම මේ පර්යේෂණයන්ගේ එක් වැදගත් අංශයක් විය. අවකාශ තරණයට මුල් පියවර වූයේ මේ රොකට්ටු මගින් කරන ලද පර්යේෂණයි. පෘථිවියේ ආකර්ෂණ බලය මැඩ පැවැත්විය හැකි ඉතා වේගවත් රොකට්ටු මෑතක දී නිපදවා ගෙන තිබේ.

අවකාශ තරණය සාර්ථක කර ගැනීම පිණිස ප්‍රමුඛව ක්‍රියා කරන්නේ සෝවියට් රුසියාව හා එක්සත් ජනපදයයි. මිනිසකු අවකාශයට යැවීම සඳහා මේ දෙරට ම අවකාශයට විද්‍යා උපකරණ අඩංගු චන්ද්‍රිකා යැවීමෙන් පරිසර ගත නොයෙක් තත්වයන් ගවේෂණය කරන්නට වන. 1957 ඔක්තෝබර් 4 වන දා රුසියාව රා. 184ක් බර ස්පුට්නික් I නමැති පළමුවන චන්ද්‍රිකාව අවකාශයට යැවීය. ඉක්බිති නොවැම්බර් 3 වන දා රා. 1,118ක් බර දෙවන රුසියානු චන්ද්‍රිකාව ලයිකා නම් බැල්ල රැගෙන අවකාශයට නැංගේය. මේ බැල්ල යවන ලද්දේ අවකාශය තරණය කිරීමේ දී බරරහිත වීම හා විකිරණය ජීවියකු කෙරෙහි බලපාන අයුරු පරීක්ෂා කිරීම සඳහාය. අවකාශය තරණය කිරීමේ දී සත්වයකුගේ නාඩි වැටීම, රුධිර පීඩනය හා හෘත් ස්පන්දනය වෙනස් වන ආකාරය හා ප්‍රමාණය මේ ගමනේ දී සොයා ගන්නා ලද්දේය. ලයිකා පසුව මිය ගියාය. එහෙත් ඇයගේ ගමන නිසා ඉතා වැදගත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලැබුණේය. 1958 ජනවාරි 31 වන දා එක්සත් ජනපදයේ එක්ස් ප්ලෝරර් I නමැති පළමුවන චන්ද්‍රිකාව අවකාශයට නැංගේය. මීට පසුව රුසියාවත් එක්සත් ජනපදයත් නොයෙක් විද්‍යා උපකරණ අඩංගු චන්ද්‍රිකා කිහිපයක් අවකාශයට යැවීය. අනතුරුව සෝවියට් රුසියාව ද එක්සත් ජනපදය ද චන්ද්‍රයාගෙන් මොබ අවකාශය හා චන්ද්‍රයාත් ගවේෂණය කිරීමට ප්‍රයත්න දැරීය. 1958 ජනවාරි 2 වනදා රා. 3,238ක් බර සෝවියට් රොකට්ටුවක් අවකාශයට ගොස් චන්ද්‍රයාට සැතපුම් 3,000ක් පමණ ඈතින් එය පසු කොට ගොස් සූර්යයා වටා ග්‍රහයකු මෙන් කක්ෂගත විය. 1958 ඔක්තෝබර් 11 වන දා එක්සත් ජනපදය පළමුවන පයනියර් නම් අවකාශ ගවේෂකය ගුවන් ගත කළේය. එය පැය 22ක දී පෘථිවියේ සිට සැ. 71,300ක් ඉහළට නැඟි නමුත් අපේක්ෂා කරන ලද පරිදි චන්ද්‍රාවකාශයට නොපිවිස ආපසු පොළොවට පාත්විය. 1958 දෙසැම්බර් 6 වන දා ඇමෙරිකාවේ දෙවන පයනියර් ගවේෂකය ද 1959 මාර්තු 3 වන දා තුන්වන හා සිව්වන පයනියර් ගවේෂක ද විකිරණ තීරුව පිළිබඳ වැදගත් තොරතුරු ලබා දුන්නේය. 1959 සැප්තැම්බර් මාසයේ රුසියානු අවකාශයානයක් හඳ කරා ගියේය. රාත්තල් 3,416ක් බර සෝවියට් පරීක්ෂණ කුටීරයක් ද හඳ වටා ගමන් කොට හඳේ අවර පැත්ත ඡායාරූපගත කළේය. හඳ පමණක් නොව සිකුරු හා අහහරු යන ග්‍රහයෝ ද රුසියාව හා එක්සත් ජනපදය විසින් කරන ලද ගවේෂණයන්ට භාජන වී ඇත්තාහ. 1962 අගෝස්තු 27 වන දා එක්සත් ජනපදය විසින් මැරිනර් II නම් අහස්යානය සිකුරු ග්‍රහයා වෙත යවන ලදි. මැරිනර් II සැතපුම් කෝටි 3.6ක් පමණ ගමන් කොට සිකුරු ග්‍රහයාට සැ. 10,000ක් පමණ ළඟින් ගියේය. මේ ගමනේ දී සිකුරු ග්‍රහයා පිළිබඳ නොයෙක් වැදගත් කරුණු එම අහස්යානයේ තිබුණු විවිධ විද්‍යාත්මක උපකරණ මගින් දැන ගෙන තිබේ. අවකාශය තරණය කිරීම සඳහා මිනිසාට මේ කරුණු ඉතා ප්‍රයෝජනවත් වේ. මිනිසකු අවකාශයට යැවීමට පෙර මීයන්, බල්ලන් හා චිම්පන්සියන් වැනි සතුන් අවකාශයට යවා නොයෙක් පරීක්ෂණ පවත්වන ලදි. 1961 මුල දී එක්සත් ජනපදය විසින් හැම් නම් චිම්පන්සියා අවකාශයට යවන ලදි. ඌ මිනිත්තු 18ක් පමණ අවකාශය තරණය කොට ආපසු සුවසේ පොළොවට පාත් විය. අවකාශය තරණය කළ පළමුවන මිනිසා නම් සෝවියට් ජාතික යූරි ගගාරින්ය. 1961 අප්‍රේල් මස 12 වන දා රොකට්ටුවක් මගින් කිලෝ ග්රෑම් 4,725ක් බර 'වොස්ටොක්' නම් අහස් යානයෙන් අවකාශයට යවන ලදුව ඔහු විනාඩි 89.1ක දී පෘථිවිය වටා වරක් තරණය කොට රුසියාවේ කලින් නියම කොට තිබුණු ස්ථානයකට සුව සේ පාත්විය. මේ නිර්භීත සෝවියට් ජාතිකයාගේ ඓතිහාසික තරණයෙන් අවකාශ තරණ යුගය ආරම්භ විය. එම අවුරුද්දේ ම අගෝස්තු මස 7 වැනිදා තවත් සෝවියට් ජාතිකයකු වන හර්මන් ටිටොප් පැය 25ක් ඇතුළත දී 17 වරක් පෘථිවිය වටා යාත්‍රා කරමින් සැ. 434,960ක් ගොස් සුවසේ පොළොවට ළඟා විය. මේ අතරතුර එක්සත් ජනපදය ද අවකාශයට මිනිසුන් යවා අවකාශ තරණය අරඹන ලදි. 1961 මැයි 5 වන දා ඇලන් ෂෙපඩ් මිනිත්තු 15ක් පමණ අවකාශයෙහි ගමන් කොට අත්ලන්තික් සාගරයට පාත් විය. එම අවුරුද්දේ ම ජූලි 21 වන දා ග්‍රිසම් ද අවකාශතරණයෙහි යෙදිණි. පොළොව වටා පළමු වරට යාත්‍රා කළ එක්සත් ජනපදයේ අවකාශ නියමුවා නම් ජෝන් එච්. ග්ලෙන්ය. 1962 පෙබරවාරි 20 වනදා 'ප්‍රෙන්ඩ්ෂිප් VII' නම් අවකාශ යානයෙන් පොළොව වටා තුන්වරක් යාත්‍රා කරමින් සැ. 80,000ක් පමණ ගෙවා ඔහු සුවසේ අත්ලන්තික් සාගරයට පාත්වුණේය. ඔහුගේ ගමනට පැ. 4 වි. 55 ත. 22ක් ගත විය.

අත්ලන්තික් සාගරයට පාත්වුණු ඔහුගේ අවකාශයානය ඔහුත් සමඟ නැවකට උස්සා ගන්නා ලදි. 1962 මැයි 24 වන දා ඇමෙරිකානු ජාතික ස්කොට් කාපෙන්ටර් පෘථිවිය වටා තුන්වරක් යාත්‍රා කළේය. 1962 අගෝස්තු මාසයේ දී රුසියානුවරු දෙදෙනෙක් අපූර්ව අවකාශ තරණයක යෙදුණාහ. පළමුකොට ඇන්ඩ්රියන් නිකොලයෝප් නම් අවකාශ නියමුවා අවකාශයට යවන ලදි. ඔහු පෘථිවිය වටා යාත්‍රා කරමින් දවසක් පමණ ගතකළාට පසු පවෙල් පොපොවිච් නම් අවකාශ නියමුවා ද අවකාශයට යවන ලදි. නිකොලයෙප් යාත්‍රා කළ කක්ෂය ඔස්සේ ඔහු පිටිපසින් පොපොවිච් පෘථිවිය වටා යාත්‍රා කළේය. පෘථිවිය වටා 64 වරක් යාත්‍රා කරමින් අවකාශයේ දවස් 3 පැ. 22 වි. 25ක් ගත කළාට පසු නිකොලයෙප් සුවසේ පොළොවට පාත්විය. ඊට පසු පොපොවිච් ද සුවසේ පොළොවට පාත් වුණේය. අවකාශයෙහි යාත්‍රා කරන අවස්ථාවෙහි දී මේ දෙදෙනා සම්භාෂණයෙහි ද යෙදෙමින් පෘථිවියට ද පණිවිඩ එවූහ. මීට පසුව එක්සත් ජනපදයේ වෝල්ටර් ෂිරා 1962 ඔක්තෝබර් 3 වන දා පැ. 9 වි. 13 ඇතුළත දී පෘථිවිය වටා 6 වරක්යාත්‍රා කරමින් සැ. 160,000ක් පමණ ගෙවා සුවසේ ශාන්තිකර සාගරයට පාත්විය. 1963 මැයි 15 වන දා ගෝඩන් කූපර්නමැති ඇමෙරිකානු නියමුවා ද පැ. 34 වි. 19 ත. 28ක් ඇතුළත දී පෘථිවිය වටා 22 වරක් යාත්‍රා කළේය. මේ තරණය අවසාන වීමට පැය පහක් පමණකලින් අවකාශයානයේ ස්වයංක්‍රිය පාලන පද්ධතිය ක්‍රියා විරහිත වූ බව කූපර්ට වැටහුණි. එහෙත් ධෛර්යය සම්පන්න ලෙස අවකාශයානය තම පාලනය යටතේ තබා ගත් ඔහු ශාන්තිකර සාගරයේ කලින් නියම කොට තිබුණ ප්‍රදේශයට සුව සේ පාත් විය. කූපර්ගේ මේ ක්‍රියාව ඉතා දක්ෂ ක්‍රියාවක් ලෙස විද්‍යාඥයෝ සලකති. තව ද අවකාශ යානයක් අවකාශයේදීඕනෑ අන්දමකට මිනිසකුට පාලනය කළ හැකි බවත් එයින් වැටහේ. 1963 ජුනි 14 වැනි දින රුසියාවේ වැලෙරි බිකොව්ස්කි ලෝකය වටා වාර 82 ක් අවකාශ යානයකින් යාත්‍රා කිරීමෙන් අද්විතීය වාර්තාවක් පිහිටු විය. ඉන් දෙදිනකට පසු වැලෙන්ටීනා තෙරෙෂ්කෝවා නම් තරුණ රුසියන් කාන්තාව අවකාශගතව ලොව වටා 49 වරක් යාත්‍රා කිරීමෙන් ස්ත්‍රී වර්ගයාට විශේෂ ගෞරවයක් අත්පත් කර දුන්නාය.

හැකි පමණ ඉක්මනින් මිනිසකු චන්ද්‍රයාට යැවීම සඳහා රුසියාව හා එක්සත් ජනපදය අතර බලවත් තරඟයක් පවතී.

අවකාශ තරණය ලෝක දේශපාලන නායකත්වය සම්බන්ධයෙන්ද බලපාන ඉතා වැදගත් කරුණක් බවට පත් වී ඇත. සෝවියට් කඳවුර මෙන්ම බටහිර කඳවුර ද අවකාශ තරණය පිළිබඳ පර්යේෂණ සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කරමින් විද්‍යාඥයන්ගේ ශ්‍රමය හා කාලය ද යොදවා බලවත් ඕනෑකමකින් ක්‍රියා කරනුයේ මේ නිසාය.

අවකාශ තරණය පිළිබඳ පර්යේෂණ වල යෙදී සිටින්නන් සිය ව්‍යාපාර වලට පක්ෂව ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර ඇත. එනම් අවකාශ තරණයෙන් මිනිසාට අතිවිශාල විද්‍යාත්මක අවබෝ - ධයක් ලබාගත හැකි බවත් ස්වභාව ධර්මයා විසින් මිනිසාට නියම කොට ඇති සේ සැලකෙන මායිම් කඩා බිඳ දමා වඩා උසස් අභිප්‍රායයන් හා ඉලක්ක කරා මිනිසාට යා හැකි බවත්ය. එහෙත් උසස්විද්‍යාඥයන් ඇතුළු උගතුන් කිහිප දෙනකු අවකාශ තරණය නොයෙක් ආකාරයෙන් අනතුරු සහිත විය හැකි යයි බිය පළ කර ඇත.

“අවකාශ තරණයේ ශීඝ්‍ර දියුණුව න්‍යෂ්ටික ආයුධයන්ගේත් රසායනික හා ජෛව විද්‍යාත්මක නාශක ක්‍රමයන්ගේත් විකසනය සමඟ අත්වැල් බැඳ ගත් කල මානව ශිෂ්ටාචාරය සදහට ම වැළලීයාම අනිවාර්ය සේ මට පෙනේ” යයි සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයකු වන ජර්මන් ජාතික මැක්ස් බෝන් පවසයි.

රුසියාව හා එක්සත් ජනපදය පළමුවෙන් චන්ද්‍රිකා අහස්ගත කළ මොහොතේ දී ඉමහත් උනන්දුවක්දුක්වූවාවූ ද එබඳු අහස්ගතකිරීම් මගින් අවකාශය පිළිබඳ පර්යේෂණ සඳහා ඉතා වැදගත් නක්ෂත්‍ර හා භෞතික කරුණු අනාවරණය වනු ඇතැයි විශ්වාස කරන්නාවූ ද මැන්චෙස්ටර්හි ජොල් බෑන්ක් ආකාශවස්තු පරීක්ෂණාගාරයෙහි ප්‍රධාන තැන්පත් බ'නාඩ් ලවල්, අවකාශය පිළිබඳ පර්යේෂණ යුද්ධඅංශයන් යටතේ කරගෙන යාම බලවත් උවදුරකැයි භීතියට හා සන්ත්‍රාසයට පත්වී සිටී.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවකාශ_තරණය&oldid=6081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි