අවශෝෂණ වර්ණාවලිය

සිංහල විශ්වකෝෂය වෙතින්
18:29, 30 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Absorption Spectrum). සුදු ආලෝක ප්‍රභවයකින් ලැබෙන ආලෝකය ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Absorption Spectrum). සුදු ආලෝක ප්‍රභවයකින් ලැබෙන ආලෝකය වර්ණාවලීක්ෂයක (spectroscope) (බ.) දික් සිදුරට නාභිගත කොට, දූරේක්ෂය තුළින් බැලූ විට දීප්තිමත් අවිච්ඡින්න වර්ණාවලියක් දක්නට ලැබේ. එහෙත් දික් සිදුරත් සුදු ආලෝක ප්‍රභවයත් අතරින් රතු වීදුරු කැබෙල්ලක් තබා දුරේක්ෂය තුළින් බැලුවොත් වර්ණාවලියේ ඉතිරිව පෙනෙන්නේ රතු පාට ප්‍රතිබිම්බයක් පමණයි. ඊට හේතුව, රතු වීදුරුව මඟින් සුදු ආලෝකයෙන් ක‍ොටසක් අවශෝෂණය වීමයි. මෙසේ ලැබෙන වර්ණාවලියට රතු වීදුරුවේ අවශෝෂණ වර්ණාවලිය යැයි කියනු ලැබේ.

වාෂ්පයක අවශෝෂණ වර්ණාවලිය වනාහි එම වාෂ්පයේ විමෝවන වර්ණාවලියෙහි (emission spectrum) (විමෝවන වර්ණාවලිය බ.) වර්ණවත් රේඛා හෝ වර්ණවත් පටි හෝ පිහිටන තැන්වලම පිහිටි අඳුරු රේඛාවලින් නැතහොත් අඳුරු පටිවලින් කැපී ගිය අවිච්ඡින්න වර්ණාවලියකි. යම් වාෂ්පයක් රත් කළ විට ඉන් ම විමෝචනය වන වර්ණවලට අයත් ආලෝකය එය අවශෝෂණයකර ගැනීම ඊට හේතුවයි. විද්‍යුත් චාපයක (electric arc) ආලෝකය වර්ණා වලීක්ෂයක දික් සිදුරට නාභිගත කොට අවිච්ඡින්න වර්ණාවලියක් ලබා ගැනීමෙන් ඉක්බිති සෝඩියම් ලවණයකින් වර්ණවත් කළ බන්සන් දැල්ලක් විද්‍යුත් චාපයටත් වණාවලියේ සිදුරටත් අතරින් තැබුවොත් සෝඩියම්වල විමෝචන වර්ණාවලියේ කහ රේඛා දෙක පිහිටන තැන්වල ම පිහිටි අඳුරු රේඛා දෙකක් දක්නට ලැබේ. මෙසේ ලැබෙන්නේ සෝඩියම්වල අවශෝෂණ වර්ණාවලියයි.

සූර්ය වර්ණාවලිය, ඇත්ත වශයෙන්, අවශෝෂණ වර්ණාවලියකි. එය අඳුරු රේඛා රාශියකින් කැපී ඇති බව 1802 දී වොලස්ටර් (Wollaster) විසින් පළමුවන වරට දක්නා ලදි. මෙම රේබා ක්‍රමානුකූල ලෙස පරීක්ෂා කොට ඒවා පිළිබඳ විස්තරයක් ෆ්රවුන්හෝෆර් (Fraunhofer) විසින් කරන ලද හෙයින් ඒවා ෆ්රවුන්හෝෆර් රේඛා (බ.) නමින් හඳුන්වනු ලැබේ. ෆ්රවුන්හෝෆර් විසින් 1814 දී මේ රේඛා 576ක් සොයා ගන්නා ලදි. සූර්ය වර්ණාවලියෙහි ඇති ෆ්රවුන්හෝෆර් රේඛා පරීක්ෂා කිරීමෙන්, සූර්යයාගේ වර්ණගෝලයෙහි ඇති මූල ද්‍රව්‍ය හැඳින ගත හැකියි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවශෝෂණ_වර්ණාවලිය&oldid=6126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි