අවසර්පිණී

සිංහල විශ්වකෝෂය වෙතින්
18:31, 30 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙය කාල ප්‍රභේදයකි. යුගයක (බ.) අපරාර්ධය අවසර්ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය කාල ප්‍රභේදයකි. යුගයක (බ.) අපරාර්ධය අවසර්පිණී කාලයයි. පූර්වාර්ධය උත්සර්පිණී (බ.) නමින් හැඳින්වේ. අවසර්පිණී යනු ක්‍රමයෙන් පහත බැසීම හෙවත් පරිහානිය කරා යාම වේ. යම් කලෙක ප්‍රාණීන්ගේ ආයු, යශස්, විර්යාදිය වැඩේ ද එය උත්සර්පිණී කාලය යයි ද යම් කලෙක ප්‍රාණීන්ගේ ආයුෂාදිය පිරිහීමට යේ ද එය අවසර්පිණී කාලය යයි ද භටප්‍රකාශිකා නමැති ග්‍රන්ථයේ සඳහන් වේ. ක්‍රි.ව. 499 දී ආර්‍ය්‍යභටීය නමැති ග්‍රන්ථය කළ ආර්‍ය්‍යභට (ආර්‍ය්‍යභට්ට)යන් යුගයක් දෙකකට බෙදා පූර්වාර්ධ අපරාර්ධ දෙක උත්සර්පිණී අවසර්පිණී කාල වශයෙන් ද නැවත තුනකට බෙදා මැද කොටස සුෂමා කාලය යයි ද මුල අග කොටස් දෙක දුෂ්ෂමා කාල යයි ද හඳුන්වා දී තිබේ.

ජෛන ග්‍රන්ථවල ද හේමචන්ද්‍රයන්ගේ අභිධානවින්තාමණියෙහි ද මේ කාල පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුළත් වේ. ලෝකය සදාකාලික බවත් එය කිසිකලෙකත් නොමැවුවක් බවත් ජෛනයන් තුළ පවත්නා විශ්වාසයකි. ඔවුන් උත්සර්පිණී, අවසර්පිණී වශයෙන් කාලය දෙකකට බෙදා තිබේ. උත්සර්පිණියට හා අවසර්පිණියට අර සය බැගින් වේ. අර දොළසකින් යුත් මේ කාල චක්‍රය මාරුවෙන් මාරුවට සදාකල්හි ම භ්‍රමණය වෙමින් පවත්නේ යයි ඔව්හු විශ්වාස කරති. අවසර්පිණියේ අර සය සුෂමා සුෂමා (ශ්‍රෙෂ්ඨ), සුෂමා (යහපත්), සුෂමා දුෂමා (හොඳ නරක මිශ්‍ර), දුෂමා සුෂමා (නරක-හොඳ මිශ්‍ර), දුෂමා (නරක හෝ අයහපත්), දුෂමා දුෂමා (නරක-නරක හෙවත් ඉතා අයහපත්) යන නම්වලින් හැඳින්වේ. සුෂමා සුෂමා අරයේ අවසාන භාගයෙන් ආරම්භ වන අවසර්පිණී කාලය දුෂමා දුෂමා අරයේ එක් කොටසක දී කෙළවර වේ.

ඉහත දැක්වූ බෙදීම් අනුව අප දැනට ජීවත්වන්නේ අවසර්පිණියෙහි දුෂමා කාල අරයේය. මහාවීර මෝක්ෂාබ්දයෙන් අවුරුදු තුනහමාරකට පසු ආරම්හ වූ මේ කාල අරය වර්ෂ 21,000ක් පවතී. මෙහි උපන් කිසිවකුට එම ආත්මයේ දී ම මෝක්ෂය කරා යා නොහැකි බවත් කෙතරම් සිල්වත් තවුසකුට හෝ ගිහියකුට වුව ද තවත් උත්පත්තියක් නොලැබ මෝක්ෂගාමී විය නොහැකි බවත් ජෛනයන් තුළ පවත්නා විශ්වාසයකි. අවසර්පිණියේ අන්තිම කොටස වන දුෂමා දුෂමා කාල අරය ආරම්භයේ දී මනුෂ්‍යයකුගේ පරමායුෂ අවුරුදු 16ක් හෝ 20කැයි ද උස රියනකැයි ද කියති. මෙකී ආයු ප්‍රමාණය හා ශරීර ප්‍රමාණය ද ක්‍රමයෙන් අඩු වේ යයි සඳහන් වේ. එකල රෝගභය හා දුශ්චරිත ව්‍යාප්තව පවතී. මේ කාලය අවසානයේ දී චණ්ඩ මාරුත හමයි; වැසි වසී. චණ්ඩමාරුතයෙන් ගිනි හටගෙන ලෝකය විනාශ වන්නාක් මෙන් දර්ශනය වුව ද, එය සදාකාලික බැවින් එබන්දක් නොවේ යයි ජෛනයෝ කියති. අන්තිමේ දී නැවත උත්සර්පිණී කාලය ආරම්භවීමෙන් වෘක්ෂ ලතාදිය හටගැනීම හා සමෘද්ධිය ද ඇති වන බව සඳහන් වේ. මනුෂ්‍යයාගේ ආයුෂ වර්ෂ අසංඛ්‍යයේ පටන් 10 දක්වා අඩුවන කාලය අවසර්පිණී යුගයයි ද සඳහන් වේ. කෘත, ත්‍රෙතා, ද්වාපර, කලි යන යුග සතර පිළිවෙළින් ගත් කල අවසර්පිණිය වශයෙන් ද උත්සර්පිණිය වශයෙන් ද ඇතැමෙක් සලකති.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවසර්පිණී&oldid=6127" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි