අෂ්ටමහාසිද්ධි
යෝගීන් කෙරෙහි පිහිටි අසිරිමත් ගුණ අටකට අෂ්ටමහා සිද්ධි යන නම යොදා තිබේ. අණිමා, ලඝිමා, ප්‍රාප්ති, ප්‍රාකාම්‍ය, මහිමා, ඊශිත්ව, වශිත්ව, කාමාවසායිතා යන නම්වලින් යථෝක්ත ගුණ අට හැඳින්වේ.
ශරීරය අතිශයින් සියුම් කර ගැනීමේ ශක්තිය හෙවත් කැමැති විටෙක ආත්මභාවය ඉතා සියුම් කොට මවාගත හැකි බලය අණිමා නම් වේ. ශරීරය අතිශයින් සැහැල්ලු කරගත හැකි ලඝිමා ගුණය හේතුකොටගෙන අහසෙහි හෝ ජලයෙහි හෝ ඇවිදීම, සිටීම, සැතපීම ආදී ක්‍රියා සාධනය කළ හැකි වේ. පෙනෙමින් හෝ නොපෙනෙමින් හෝ කැමැති තැනකට සිතූ ඇසිල්ලෙහි පැමිණිය හැකි බව ප්‍රාප්ති ගුණයයි. අධිෂ්ඨානාදි වශයෙන් සිතූ දේ එකෙණෙහි ම සිදු කළ හැකි බලය ප්‍රාකාම්‍ය ගුණය නම් වේ. කැමැති විටක කැමැති පරිද්දෙන් ශරීරය මහත් කොට දැක්විය හැකි බව මහිමා ගුණයයි. මුළු ලොව කවර පිරිසක් මැදට ගියත් ඒ හැම දෙනහට ඊශ්වර හෙවත් ශ්‍රෙෂ්ඨ වන බලය ඊශිත්ව ගුණයයි. සියලු ඍද්ධි විෂයෙහි වශිතාව වශිත්වගුණ නම් වේ. සෘද්ධි බලයෙන් යම්කිසි කාර්‍ය්‍යයක යෙදී සිටින අතර ම වාගේ අනික් කාර්යයක ද අවසානයට පැමිණිය හැකි බව කාමාවසායිතා ගුණය නමි.
ඓශ්වර්‍ය්‍යයාදී සවැදෑරුම් භගධර්ම ඇති හෙයින් බුදුරජාණන් වහන්සේ භගවත් නම් වෙති. භග ශබ්දයෙන් ඓශ්වර්‍ය්‍යය, ධර්මය, යශස, ශ්‍රීය, කාමය, ප්‍රයත්නය යන අර්ථ සයක් කියැවේ. තථාගතයන් වහන්සේගේ චිත්තයෙහි අතිශයින් උත්කෘෂ්ට වූ ඓශ්වර්‍ය්‍යභාවය සර්වාකාරයෙන් පරිපූර්ණ වූයේය. එබැවින් ප්‍රතිකූලාදි අරමුණෙහි අප්‍රතිකූලාදි සංඥා ඇතිව වාසය කිරීමාදිය සිද්ධවන්නාවූ අධිෂ්ඨාන ඍද්ධි ආදී වූ ලෞකික ඍධිඥානය චිත්තභාවනාවගේ වශීභාවප්‍රාප්තියෙන් සිද්ධ වන හෙයින් ස්වකීය චිත්තයෙහි ඉසුරු බව හාත්පසින් ම සම්පූර්ණ වූයේය. එමෙන් ම අණිමා, ලඝිමා ආදි වශයෙන් අෂ්ටප්‍රකාර වූ ලෞකික සම්මත ඓශ්වර්‍ය්‍ය ගුණය ද තථාගතයන් වහන්සේගේ ඍද්ධිවිධ ඥානයෙහි ඇතුළත් විය. ඓශ්වර්‍ය්‍ය නමින් හැඳින්වෙන මේ භගධර්මයෙහි අණිමා ආදි ගුණ අට (අෂ්ටමහාසිද්ධි) ඇතුළත් බව විශුද්ධිමාර්ගයේ ද සඳහන් වේ.
(සංස්කරණය: 1965)