මැතිව් ආනෝල්ඩ්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:15, 3 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1822–88). ඉංග්‍රීසි ජාතික කවියකු, විචාරකයකු හා අධ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1822–88). ඉංග්‍රීසි ජාතික කවියකු, විචාරකයකු හා අධ්‍යාපන විශාරදයකු වූ මොහු 1822 දී ලේල්හැම්හි (Laleham) දී උපන්නේය. මේරි පෙන්රෝස් හා තෝමස් ආනෝල්ඩ් (බ.) යන දෙදෙන මව්පියෝ වූහ. රග්බි නමින් හැඳින්වෙන සුප්‍රසිද්ධ පාසැලේ ප්‍රධානාචාර්ය වූ ස්වකීය පියා යටතේ මූලික අධ්‍යාපනය ලත් මැතිව් 1841 දී ශිෂ්‍යත්වයක් ද ලැබ ඔක්ස්‍ෆඩ් විශ්වවිද්‍යාලය අනුබද්ධ බේලියල් විද්‍යාලයට බැඳී උසස් අධ්‍යාපනය ලැබීය. කුඩා අවධියෙහි පටන් ම වාගේ පද්‍ය රචනයෙහි කුශලතාවක් දැක්වූ ආනෝල්ඩ් 1849 සිට 1855 දක්වා කාලයේ දී ඔහුගේ සුප්‍රසිද්ධ පද්‍ය ග්‍රන්ථ කීපයක් ම ලියා පළ කරවිය. ඔහුගේ සරල කාව්‍ය ශෛලිය සමහරුන්ගේ දෝෂදර්ශනයට ලක් වූ නමුත් වැඩිකල් යන්ට මත්තෙන් ඔහු වික්ටෝරියානු යුගයේ විසූ ඉතාමත් වැදගත් කිවියා හැටියට පිළිගැනිණි. 1857 දී ඔහු ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ කාව්‍ය පිළිබඳ මහාචාර්ය ධුරයට පත්විය. මැතිව් ආනෝල්ඩ් වර්තමාන යුගයේ විසූ උසස්ම විචාරකයන් අතුරින් කෙනෙකි. ජීවිතයට සාහිත්‍යයෙහි ඇති වැදගත්කම මෙන් ම ඒ දෙක අතර සම්බන්ධය ද ආනෝල්ඩ් මැනැවින් වටහා ගෙන සාහිත්‍ය විචාරයෙහි යෙදිණි. ආනෝල්ඩ් අධ්‍යාපනය පිළිබඳ විශාරදයෙක් ද විය. ආණ්ඩුවේ අධ්‍යාපන කොමසාරිස් ධුරය දැරූ ඔහු යුරෝපා මහාද්වීපයේ රටවල අධ්‍යාපන ක්‍රම හදාරා එංගලන්තයට සුදුසු ක්‍රමයක් ද යෝජනා කළ නමුත් එය ක්‍රියාත්මක නොවීය. එසේ වුව ද ඔහුගේ ගවේෂණ හා වාර්තා ඒවායේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහජන මතයක් ඇති කිරීමෙහි සමත් විය. සමාජ හා දේශපාලන ශුභ සිද්ධිය පිළිබඳ ආනෝල්ඩ්ගේ අදහස් “ සංස්කෘතිය හා අරාජකතාව ” (Culture and Anarchy) නමැති ග්‍රන්ථයෙහි පළ විය. ඔහුගේ මෙම ග්‍රන්ථය තියුණු විචාරයට ලක් වූ නමුත් එය දහනවවැනි ශත වර්ෂයේ බිහි වූ සම්භාව්‍ය දේශපාලන දර්ශන ග්‍රන්ථයක් ලෙස සලකනු ලැබේ. ආගමික නිකාය භේදය නිසා ද එංගලන්තයේ ඒකාබද්ධතාවට හානි සිදුවී ඇතැයි කල්පනා කළ ආනෝල්ඩ් ආගමික සාමය ඇතිකිරීම මෙන් ම ආගම වර්තමාන ජීවිතයට නුවුවමනාය යන බුද්ධිවාදී මතය බිඳලීම ද පරමාර්ථ කොටගෙන “ ශුද්ධ වූ පාවුලු හා ප්‍රොතැස්තන්ත ආගම (St. Paul and Protestantism), “ සාහිත්‍යය හා චිරාගත දෘෂ්ටිය ” (Literature and Dogma), “ දෙවියන් වහන්සේ හා බයිබලය ” (God and the Bible), “ ක්‍රිස්තියානි සභාව හා ආගම පිළිබඳ අවසාන රචනා ” (Last Essays on Church and Religion) යන පොත් ලිවීය. ස්පිනෝසා හා ඇස්. ටී. කෝල්රිජ් යන චින්තකයන් දෙදෙනා මෙන් ම ආනෝල්ඩ් බයිබලය සැලකූයේ සනාතන සත්‍යයන් කාව්‍ය ස්වරූපයෙන් ප්‍රකාශ කළ ග්‍රන්ථයක් ලෙසය. බයිබලය විද්‍යාත්මක සත්‍යයන්ට විරුද්ධය යන තර්කය ඔහු බිඳ හෙළන්ට තැත් කළේ එය ඉහත සඳහන් ආකාරයේ ග්‍රන්ථයක් බව පෙන්වීමෙනි.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මැතිව්_ආනෝල්ඩ්&oldid=6287" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි