අසිග්ගාහක

සිංහල විශ්වකෝෂය වෙතින්
11:37, 22 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('භාරතීය හා සිංහල රජවරුන්ගේ අංගාරක්ෂක පිරිසෙහි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

භාරතීය හා සිංහල රජවරුන්ගේ අංගාරක්ෂක පිරිසෙහි නායකයාට අසිග්ගාහක යන නම පුරාණ කාලයෙහි යෙදුණේ යැයි සිතිය හැකිය. මිළින්දපඤ්හයෙහි අසිග්ගාහක ඇමැතියා හඳුන්වා ඇත්තේ ඛග්ගගාහක යනුවෙනි. සිංහල මිලින්ද ප්‍රශ්නයෙහි එය "රාජ ඛඞ්ගය උසුලනුවාණෝ"යි දැක්වේ. ඇමැති මඩුල්ලේ සදෙනාගෙන් එකකු අසිග්ගාහක ඇමැති බව මිළින්දපඤ්හයෙන් පෙනේ. සිංහල සාහිත්‍යයෙහි අසිගානා, සිගානා යන මේ නම්වලින් දැක්වෙන්නේත් අංගාරක්ෂක පිරිසේ නායකයා විය යුතුය. අසිග්ගාහක යනු රජුගේ මඟුල් කඩුව භාරව සිටින ඇමැතියායයි ඇතැමෙක් කියති.

අසිග්ගාහක තනතුර මහාජනක, දූත යන ජාතක කථාවන්හි ද සඳහන් වෙයි. පාජින සුද්ධ රජ්ජුරුවන් මේ නිමන්නාවූ රන්තලියෙන් බත්පිඩක් උකාගෙන කන්නට සැරසුණු එක් පුරුෂයකුගේ හිස කපා දමන්නට රජුගේ අසිග්ගාහකයා තමා අත තුබූ කඩුව කොපුවෙන් බැහැරට ඇද්ද බව දූත ජාතකයෙහි දැක්වෙයි. මොග්ගලිපුත්ත තිස්ස තෙරුන්වහන්සේ නැවක නැඟී පළමුවෙන් ම පැළලුප් නුවරට පැමිණි අවස්ථාවේ දී තෙරුන්වහන්සේ නැවෙන් බැසීමට පහසුවීම සඳහා රජුගේ අත අල්ලා ගත් කෙණෙහි ම එහි සිටි අසිග්ගාහකයා තෙරුන්වහන්සේගේ හිස සිඳීමට තම අත්හි වූ කඩුව කොපුවෙන් එළියට ඇද්ද බවක් සමන්තපාසාදිකාවෙහි සඳහන් වේ. මෙබඳු සිද්ධිවලින් හෙළිවන්නේ අසිග්ගාහකයා රජුගේ අංගාරක්ෂක අමාත්‍යයා වූ බවත් රජු යන එන තැන යෙමින් ඔහු රැකවල් කළ බවත්ය. කෞටිල්‍යාචාරීන්ගේ අර්ථශාස්ත්‍රයෙහි අසිග්ගාහක නම් වූ කිසිවකු ගැන සඳහන් කොට නැතත් ආයුධ ගත් පුරුෂයන් විසින් රජුට ආරක්ෂාව සැලසිය යුතු බව සඳහන් වන බැවින් ක්‍රිස්තුවර්ෂයට ද පෙර සිට අංගාරක්ෂක තනතුරක් ඉන්දියාවේ පැවති බව පෙනේ.

අසිග්ගාහක තනතුර අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට ම ලංකාවේ පවතින්නට ඇතැයි සිතිය හැකි නමුත් ඒ ගැන සමකාලීන සෙල්ලිපියක හෝ සාහිත්‍ය කෘතියක සඳහන් වී ඇති බවක් නොපෙනේ. දෙවනපෑතිස් රජ සිටු කුලයෙහි ප්‍රධාන තැනැත්තන්ට රාත්‍රියෙහි කඩුපත අතින් අල්ලා ගෙන මහාබෝධීන්වහන්සේ රක්නා සඳහා කඩු පසඟනා (අසිග්ගාහක?) තනතුරු දුන්නේ යයි සිංහල බෝධිවංසයෙහි සඳහන් වෙයි. මේ රජු විසින් බෝධිරාජයාට සියලු රාජගෞරව දක්වන ලද බව එහි කියැවෙයි. ඡත්තගාහකයන් හා අසිග්ගාහකයන් එකල රජුගේ සේවයට කැපවී සිටි බැවින් බෝධීන්වහන්සේ වෙනුවෙන් ද ඒ සියලු ම නිලධාරීන් පත්කරන ලද බව සිතිය හැකිය. අසිග්ගාහකයන් ගැන මහාවංසයෙහි සඳහන් නොවෙතත් පස්වන සියවසෙන් පසු ලංකාවේ රජ කළ රජවරුන් කිහිප දෙනකුගේ ම අසිග්ගාහකයන් ගැන චූළවංසයෙහි සඳහන්ව ඇත. රජුට ආරක්ෂාව සැලසීම අසිග්ගාහක තනතුරේ ප්‍රධාන කාර්යය වූ බැවින්, මේ නිලය සිරිතක් වශයෙන් පවරන ලද්දේ රජුගේ කිට්ටු ඥාතියකුටය. පළමුවන මුගලන් (496–513) රජුගේ අසිග්ගාහකයා වූයේ ඔහුගේ සොහොයුරියගේ ස්වාමියා වූ සිලාකාල (බ.) කුමාරයායි. දෙවන අග්බෝ (601-611) රජු යටතේ අසිග්ගාහක තනතුර දැරූයේ ඔහුගේ මෙහෙසියගේ ඥාතියෙකි. තුන්වන මුගලන් (611-617) රජුගේ අසිග්ගාහකයා සේනාපතියකුගේ පුතෙකි. සේනාපති තනතුර ද එකල පැවරුණේ රජ පවුලට සම්බන්ධකම් ඇත්තකුට වූ බැවින් ද මේ අසිග්ගාහකයා පසු කලෙක සිලාමේඝවණ්ණ (බ.) යන නමින් රජකමට පත් වූ බැවින් ද ඔහු රජ පවුලට කිට්ටු සම්බන්ධකමක් ඇතිව සිටි අයෙකැයි සිතිය හැකිය. අසිග්ගාහක තනතුර දැරුවන් රජු හා කුලුපගකමින් සිටි හෙයින් බලලෝභී අසිග්ගාහකයන් රජු මරා තමන් රජකම අත්පත් කරගත් අවස්ථා ද ඇත. යට දැක්වුණු තුන්වන මුගලන් රජුගේ අසිග්ගාහකයා ඒ රජු මරා සිලාමේඝවණ්ණ නමින් රජකමට පත් වූ බව චූළවංසයෙහි සඳහන් වෙයි.

පොළොන්නරු යුගයේ දී ද අසිග්ගාහක තනතුර පැවති බවට සාක්ෂ්‍ය ඇත. පරාක්‍රමබාහු කුමාරයා සිය මයිලණුවන් වූ කීර්ති ශ්‍රී මේඝ රජුගේ සේනාපතියකු මරා දමා බුදුගමට පලාගිය කල එහි වැසියන් කුමාරයා අල්ලා ගැනීමට තැත් කරද්දී කුමාරයාගේ ආරක්ෂාව පිණිස සිටියේ ඔහුගේ ඡත්තගාහකයාත් අසිග්ගාහකයාත් පමණක් බව චූළවංසයෙහි සඳහන් වීමෙන් මේ බව ඔප්පු වේ. සිගානා සුදසුන් මහලේනා කෙනකුන් (අසිග්ගාහකයකු?) ගැන හංස සන්දේශයෙහි සඳහන් වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසිග්ගාහක&oldid=6422" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි