ජෝශප් මැලර්ඩ් විලියම් ටර්නර්
(Joseph Mallord William Turner) (1775-1851). ඉංග්‍රීසි භූ දර්ශන චිත්‍ර කලාවේ ශ්‍රේෂ්ඨතම චිත්‍ර ශිල්පියා වශයෙන් පිළිගනු ලබන මෙතෙම ඉංග්‍රීසි චිත්‍ර කලාවේ ජීවය ලෙස ද සැලකේ. දිය සායම් සිත්තම් විෂයයෙහි අග්‍රගණ්‍යයයකු වූ මොහුට ප්‍රභාවශීලී ශෛලියකින් ස්වාභාවික දර්ශන විශිෂ්ටාකාරයෙන් චිත්‍රයට නැගීමට හැකියාවක් තිබුණි. තම කෘතීන් විකිණීමෙන් රන්පවුම් ලක්ෂයක් පමණ ඉපැයීමට හැකි වූ ඔහුට, නිම කළ සිතියම් 200ක් හා චිත්‍රණය සඳහා සකස් කළ කටු සටහන් 20,000ක් පමණ ද අතිවිශාල කැටයම් සංඛ්‍යාවක් ද ලොවට දායාද කළ හැකි විය.
ලන්ඩනයේ කරනැවෑමියකුට පුත්‍ර ව මෙලොව එළියදුටු ජෝශප් මැලර්ඩ් විලියම් ටර්නර් පස් හැවිරිදි වියේ දී ම චිත්‍ර ඇඳීමට පටන් ගත්තේ ය. සිය පුතුගේ සහජ දක්ෂකම වටහා පත් ඔහුගේ පියා හැම අතින් ම ඔහුට අනුබලදුන්නේ ය. පියා විසින් ම ටර්නර්ට අකුරු උගන්වන ලදි. බ්‍රෙන්ට් පෝර්ඩ්හි නිදහස් පාසලට ටික කලක් යන්නට ද ඔහුට අවස්ථාව ලැබිණ. කුඩා කාලයේ දී නගරයේ චිත්‍ර ශිල්පීන් කිහිපදෙනෙකු යටතේ පුහුණුව ලැබූ ටර්නර්, ඒ අවධියෙහි දී ම චිත්‍ර අඳිමින් ඒ චිත්‍ර සිය පියාගේ බාබර් සාප්පුවේ වෙළෙඳාම පිණිස තැබී ය. 1789 දී ඔහු රාජකීය කලායතනයට ඇතුළත් කරන ලදි. ඊළඟ වසරෙහි දී ම එවකට පසළොස්වන වියෙහි සිටි ටර්නර් තමාගේ පළමුවන සිතියම රාජකීය කලායතනයේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙළේ ය. දස අවුරුද්දකට සීමා වූ ඔහුගේ ශිෂ්‍ය ජීවිතය තුළ මූලික වශයෙන් පුහුණු වූයේ දිය සායම් ඇඳීම ය. මේ අතරතුර සඟරාවලට චිත්‍ර සැපයීමෙන් ද පෞද්ගලික ව ශිෂ්‍යයයන්ට ඉගැන්වීමෙන් ද උපයාගත් මුදල් කටු සටහන් ඇඳ ගැනීමේ ගමන් වියදම් සඳහා යොදවන ලදි. එංගලන්තයේ සහ වේල්සයේ සියලු ප්‍රදේශවල ම පාහේ සංචාරය කළ ඔහු චිත්‍රණය සඳහා වස්තු බීජ රැස් කෙළේ ය. මුල් අවධියෙහි ඔහු විසින් අඳින ලද චිත්‍රයන්හි ජේ.ආර්. කොසේන්ස් (J.R. Cozens) වැනි සමකාලීන චිත්‍ර ශිල්පීන්ගේ ආභාසය දක්නට ලැබේ. ඇතැම් චිත්‍ර අනුකරණ සහ සැකැසීම් වූ බව පෙනේ. සඟරාවලට අඳින ලද චිත්‍රවල උත්පාදක ශක්තියක් හෝ කලාත්මක බවක් හෝ දක්නට නොලැබිණ. 1792 වනතුරු ම දිය සායම් චිත්‍ර සඳහා කැප ව සිටි ඔහුගේ පළමුවන දියසායම් සිත්තම වූ ලැම්බත් මාලිගාවේ දර්ශනයක් (A View of Lambeth) නම් කෘතිය රාජකීය කලායතනයේ දී ප්‍රදර්ශනය විය. 1793 දී ඔහුගේ පළමුවන දියසායම් චිත්‍රය දක්නට ලැබිණ.
1797න් පසුව ටර්නර්ගේ ශෛලිය විශිෂ්ටත්වයට පත් වන ලකුණු පෙනෙන්නට විය. සමකාලීන දක්ෂතම භූ දර්ශන චිත්‍ර ශිල්පීන් ද අබිබවමින් සංකල්පිත මනෝභාවයක් ප්‍රකාශ කිරීමට සමත් වූ ඔහු ස්වකීය මාධ්‍යය කොට ගත්තේ දිය සායමයි. ඔහු විසින් මුල් අවධියෙහි අඳින ලද තෙල් සායම් චිත්‍රවල රිචඩ් විල්සන්‍ගේ ප්‍රභාව දක්නට ලැබේ. 1801 දී උසස් ම චිත්‍රය වශයෙන් තේරුණේ ඔහුගේ චිත්‍රයකි. 1802 දී ඔහු රාජකීය කලායතනයේ සාමාජිකයකු ලෙස පත් කරගන්නා ලදි. අනතුරුව ඔහු ප්‍රංසය, ස්විට්සර්ලන්තය, ඉතාලිය ආදි රටවල හුදෙකලාව සංචාරය කරමින් ස්වකීය කෘතිය සඳහා කරුණු රැස් කෙළේ ය. ඒ අතර ම ඔහු තෙල් සායම් චිත්‍රණය කරන්නට ද වෑයම් කෙළේ ය. ඔහු දේශ සංචාරයෙහි දී ටීෂියන් (Titian) (බ.) සහ පුසෑං (Poussin) යන සිත්තරුන්පේ කෘතිවලින් ආස්වාදය ලැබී ය. ඊළඟ අවුරුද්දේ ඔහු විසින් විදේශීය ශීර්ෂ උපන්‍යස්ත කොට අඳින ලද සිතියම් සතක් රාජකීය කලායතනයේ ප්‍රදර්ශනයට තබන ලදි. 1804 හා 1815 දී ද ඔහු විදේශ සංචාරයක යෙදුණි. ඒ ගමන්බිමන්වලින් පසු ඔහු විසින් අඳින ලද චිත්‍ර සමහරක් ජාතියේ ගෞරවය පිණිස පවත්නේ වෙයි.
1804 දී ඔහු විසින් හාර්ලි වීදියේ (Harley St.) පෞද්ගලික චිත්‍රායතනයක් විවෘත කරන ලදි. ඔහු වරින් වර එහි දී තමාගේ චිත්‍ර ප්‍රදර්ශනය කරන අතර රාජකීය කලායතනයෙහි ප්‍රදර්ශනයට ද චිත්‍ර ඉදිරිපත් කෙළේ ය. 1808 දී ඔහුට චිත්‍ර විකිණීමෙන් රන් පවුම් 2,000ක් පමණ උපයන්නට පිළිවන් විය. 1807 දී ඔහු විසින් චිත්‍ර ගණනාවක් ම අඳින ලද්දේ තෙල් සායමෙනි. ‘තුෂර උදය’ (Frosty morning) නම් වූ 1813 දී ප්‍රදර්ශනය කරන ලද චිත්‍රයෙන් දෙසැම්බරයේ ළහිරු කැන් බිම වැටෙන අයුරු නයනාභිරමණීය චිත්‍රයකට නැංවූ ඔහු ඓතිහාසික වස්තූන් ද චිත්‍රගත කෙළේ ය.
1815න් පසුව අඳින ලද ‘දියපාර තරණය’ (Crossing the Brook) නම් චිත්‍රයෙන් දක්නට ලැබෙන්නේ අභිරූප සම්පාදනයට දැක්වූ කැමැත්ත ය. 1823 වන විට ටර්නර් විසින් අඳින ලද චිත්‍රවලින් ස්වාභාවික සෞන්දර්යයෙන් ලැබූ ආස්වාදයට වඩා සාහිත්‍යයෙන් සහ අන්‍ය චිත්‍රයන්ගෙන් ලැබූ ආභාසය ඉස්මතු ව පෙනේ. කිහිප වතාවක් ම රෝමයට ගිය ඔහු එහි දී ලැබූ ආභාසය ද ස්වකීය නිර්මාණයන්හි පිළිබිඹු කෙළේ ය. 1823-24 වර්ෂවල ටර්නර් විසින් අඳින ලද චිත්‍ර ඔහුගේ උසස් ම දිය සායම් චිත්‍ර වශයෙන් සලකනු ලැබේ. සිය දිවියේ අවසාන භාගයේ දී ස්වකීය භාවික හැඟීම් ප්‍රකාශ කිරීමට වර්ණය හා ආලෝකය උපයෝගී කරගත් ඔහු වර්ණ සංකලනය පිළිබඳව විප්ලවකාරී අත්හදාබැලීම් ද කළේ උපස්ථිතිවාදීන්ගේ (Impressionists) ආගමනය අපේක්ෂා කරමින් මෙනි. ඇතැම් විට ඔහුගේ චිත්‍ර ‘අශ්ශීල, විකට, හිතුවක්කාර’ කෘති ලෙස විචාරකයන්ගේ අවමානයට භාජනය වුව ද ඔහු එයින් වෑයම් කළේ උත්තරීතර හැඟීම් දැනවීමට ය. 1844 දී ප්‍රදර්ශනය වූ ‘වැස්ස, දුම සහ වේගය’ (Rain, steam and speed) නම් දුම්රිය මගක් අරභයා වූ චිත්‍රය, අභිනව කාර්මික යුගයේ සංඝට්ටන ටර්නර්ගේ පරිකල්පනයට ලක් වූ අයුරු ප්‍රකට කරවයි. යථාරූපී නිරූපණයෙන් ඔබ්බට ගොස් චිත්‍රයක හැඩතල හා වර්ණ මගින් කිසියම් චිත්ත ස්වභාවයක් හුවා දැක්වීම ඔහුගේ අරමුණ විය.
1830 දී සිදුවූ සිය පියාගේ මරණයෙන් පසුව තැන්පත් ජීවිතයක් ගත කළ ටර්නර් චිත්‍රකරණයෙන් පිටස්තර අනෙක් සෑම දෙයකට ම දැක්වූයේ මඳ සැලකිල්ලකි. ජීවිතයේ අවසන් සමය හුදෙකලාව ම සිටීමේ රුචියෙන් චෙල්සියේ ගත කළ ඔහු මිය ගියේ ද එහි දී ම ය. පරිසරයේ බලපෑම් ආලෝකය අනුව චිත්‍රයට නැංවීමට පුරුදු වී සිටි ඔහු ඒ අනුසාරයෙන් භාව ප්‍රකාශනයට පොහොසත් වූයේ ය. ටර්නර් නිපදවා ගත් නව ශෛලිය අනන්‍යයන් විසින් ද අනුගමනය කරනු ලැබී ය. ජීවමාන අවධියෙහි දී ම උසස් ම චිත්‍ර ශිල්පියකු ලෙස ගෞරව ලැබූ ඔහු වඩාත් කීර්තියට භාජනය වූයේ චිත්‍ර කලාවේ අමූර්ත ලක්ෂණ ඇගැයෙන මෑත කාලයේ දී ය.
‘ට්රැෆල්ගාර් යුද්ධය’ (The Battle of Trafalgar, 1822) ‘වැනීසියේ මහ ඇළ’ (Grand Canal Venice, 1835), ‘වහල් නෞකාව’ (The Slave Ship, 1846) ‘මැබ් බිසවගේ ලෙන’ (Queen Mab's Cave) ‘බෙයි බොක්ක’ (Bay of Baiae) යනාදි චිත්‍ර ඔහුගේ කෘතීන් අතර අතිශයින් ප්‍රකට ය.
(කර්තෘ: විමල් අබේසුන්දර)
(සංස්කරණය: 2019)