ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය

සිංහල විශ්වකෝෂය වෙතින්
12:59, 4 නොවැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

විවිධ කණ්ඩායම් ඇතිවීම මනුෂ්‍ය සමාජයේ ලක්ෂණයකි. පවුල්, ආගමික සංවිධාන, වෘත්තීය සංගම්, සමාජ සමිති මෙන් ම වෙනත් නොයෙක් කණ්ඩායම් හා ආයතන සමාජයේ දක්නා ලැබේ. කිසියම් සීමාබද්ධ ප්‍රදේශයක් ඇතුළත වූ සියලු කණ්ඩායම්වලින් ම සමන්විත වූත්, ඒ සියල්ලක් හා ඒවාට අයත් පුද්ගලයන් කෙරෙහි පරමාධිකාරයෙන් යුක්ත වූත් සංවිධානාත්මක කණ්ඩායම හෙවත් ජන සමූහය රාජ්‍යය යනුවෙන් හැඳින්වේ. අපේ රාජ්‍යය වැනි ඒකීය රාජ්‍යයක මෙම පරමාධිකාරය එකම ආණ්ඩුවක් සතුව තිබෙන නමුදු සන්ධීය (පෙඩරල්) රාජ්‍යයක එය සන්ධීය ආණ්ඩුව හා ප්‍රාදේශීය ආණ්ඩු අතර බෙදාගෙන තිබේ. ඒ ඒ ආණ්ඩුවලට අයත් අංශයන්හි ඒ ඒ ආණ්ඩුව සතු බලතල උත්තරීතරය.

රාජ්‍යයක් පවතින්නේ කිසියම් පොදු පරමාර්ථයන් සපුරාලීම පිණිසය. වර්තමාන රාජ්‍යයන්හි මෙම පරමාර්ථ නැතහොත් කාර්‍ය්‍ය හුදෙක් අභ්‍යන්තර සාමය ආරක්ෂා කිරීමටත් බාහිර ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වීමටත් සීමා වී නැත. විශේෂයෙන් ම වර්තමාන සමාජ සේවා (ශුභ සාධක) රාජ්‍යයක ආණ්ඩුවේ කාර්යය විවිධත්වයෙන් වැඩි වෙමින් පවතී. 1931 දී ලංකාවේ සර්වජන ඡන්දය ඇති කිරීමෙන් පසුව එවැනි කාර්‍ය්‍ය ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. මෙම කාර්යයන් ඉෂ්ට කිරීම සඳහා අවශ්‍යයෙන්ම යම් යම් ආයතන රාජ්‍යයකට තිබිය යුතුයි.

වෙනත් බොහෝ රටවල මෙන් ම ලංකාවේ ද ආණ්ඩුවේ ප්‍රධාන ආයතනයන්හි සංයුතිය හා කාර්යයන් සම්බන්ධ මූලික නීති තෝරා වෙන් කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් වූ නියමාකාර ලේඛනයක අන්තර්ගත කොට ඇත. යථාර්ථයෙන් ගත් විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය යනු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වූ නීතියයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රමයේ සැකිල්ල පමණකි. එහෙයින් එය පරමාධිපත්‍යයේ ප්‍රභවය, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යනාදි මූලික කරුණු හා සම්බන්ධ ප්‍රධාන මූලධර්මයන්ට සීමා වූවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියා කරන අන්දම පිළිබඳ පැහැදිලි වූත් සම්පූර්ණ වූත් අදහසක් ලබාගැනීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතිය පමණක් නොව, ආණ්ඩුවේ විවිධාංශ හා සම්බන්ධ සමස්ත නීතිරීති හා චාරිත්‍ර වාරිත්‍ර හෙවත් සම්ප්‍රදාය සමූහය ද ඒවා අධිකරණ ශාලා මගින් විවරණය කර ඇති ආකාරය ද පරීක්ෂා කිරීම අවශ්‍ය වෙයි. ඇත්ත වශයෙන් ම, ආණ්ඩුවේ මූලික නීතිරීති දක්වන, එනම් රට ආණ්ඩු කිරීමේ ප්‍රධාන ආයතන පාලනය කෙරෙන නීතිරීති දක්වන, ලේඛනාරූඪ ව්‍යවස්ථාවක් නොමැති බ්‍රිතාන්‍යයෙහි මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය යන්න පුළුල් අරුතකින් පාවිච්චි කළ හැකිය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන් නොව, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 'ලේඛනාරූඪ' එකක් යැයි හැඳින්වේ. මින් අදහස් වනුයේ රාජ්‍යයේ සංස්ථානය ප්‍රතිෂ්ඨා කොටගෙන ඇති මූලික සැකිල්ල හා ලංකාවේ උත්තරීතර නීතිය ගැබ් කොටගත්තක් වශයෙන් එය නියමාකාර ලේඛනයක අඩංගු කොට තිබෙන බවයි. තවද, අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 'අනම්‍ය' යයි ද හැඳින්වේ. සාමාන්‍ය නීති වෙනස් කරන අයුරින් ම වෙනස් කළ හැකි 'නම්‍ය' ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මෙන් නොව එය සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම සඳහා එහි ම සඳහන් නියමිත ක්‍රමය අනුගමනය කළ යුතු බැවිනි. මෙම ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 29 (4) වගන්තියේ දැක්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දැක්වෙන කවර වූ හෝ විධිවිධානයක් සංශෝධනය හෝ අවලංගු කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන (යෝජනා) කෙටුම් පතකට පක්ෂව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාවෙන් (නොපැමිණි අයද ඇතුළුව) තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ ඡන්දය ලැබුණු බවට සහතිකයක් කථානායකතුමාගේ අත්සන පිට කෙටුම්පතෙහි ලියා ඇත් නම් මිස එය රාජනුමතිය සඳහා ඉදිරිපත් කළයුතු නොවේ යයි යථෝක්ත වගන්තියේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අධිකරණ මණ්ඩලයේ සමාලෝචනය

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනම්‍යත්වය හා උත්තරීතරභාවය අධිකරණයට අයත් සමාලෝචන බලතල මගින් රැකේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීතිවල ව්‍යවස්ථානුකූලතාව සමාලෝචනය කිරීමේ මෙම බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිත හා අනම්‍යභාවයෙහි ගම්‍යමාන වී ඇතැයි ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් අදහස් කරනු ලැබේ. [තම්බයියා-කුලසිංහම් නඩුව, 1948, 50 නිව් ලෝ රිපෝට්ස් 25; මාබරි-මැඩිසන් නඩුව, 1803, 1 ක්‍රාංච් 137, ඇ.එ.ජ.රා.; හැරිස්-අභ්‍යන්තර ඇමති නඩුව (කළු ඡන්දදායකයන්ගේ නඩුව), 1952 (2) දකුණු අප්‍රිකාව 428, ඇපැල් අංශය.]

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසියම් කොටසකට අනුකූල නොවේ යයි කිසියම් නඩුවක දී ඔප්පු වේ නම්, අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂකයකු මෙන් ක්‍රියා කරමින් එම පනත “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී” යයි ද එහෙයින් අවලංගු යයි ද ප්‍රකාශ කරයි. ව්‍යවස්ථාදායකයේ බලය කෙරෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කොට තිබෙන සීමාවක් කෙළින් ම උල්ලංඝනය නොවන පරිදි ව්‍යවස්ථා කෙටුම්පත් කොට ඇති කල්හි ද වක්‍ර ලෙසින් එම ප්‍රතිඵලය ම ඇතිවන අවස්ථා විය හැක. එබඳු අවස්ථාවල දී ද එම ව්‍යවස්ථා අවලංගු වන්නේය. (කොඩකන් පිල්ලේ-මුදනායක 1953, 54 නිව් ලෝ රිපෝට්ස් 433; 438 පිට).

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හා පරිපාලන නීතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මූලික නීතිය වශයෙන් දක්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ද ආණ්ඩුවේ පරිපාලන අධිකාරයන්ගේ සංවිධානය, බලතල හා යුතුකම් පිළිබඳ වූත් පරිපාලන නීතිය නමින් දන්නාවූත් ආණ්ඩුවේ නීති අංශය ද යන දෙක මෙරට පැහැදිලිව ම වෙන් කොට දැක්විය හැකිය. එසේ වුව ද, ආණ්ඩුවේ අධිකාරයන්ගේ බලතල නිශ්චය කිරීමේ නීතිය පරිපාලන නීතියෙහි අන්තර්ගත වීම හේතුකොටගෙන, කාර්‍ය්‍ය පහසුව සලකා, එම නීතියේ ප්‍රධාන අංග ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ කොටසක් ලෙස සාමාන්‍යයෙන් සලකනු ලැබේ. ආණ්ඩුවේ දෙපාර්තමේන්තු, රජයේ සේවාව, පොලීසිය, පළාත් ආණ්ඩු බල මණ්ඩල, ජනසතු කර්මාන්ත හා වෙනත් මහජන සංස්ථාවන් පිළිබඳ නීත්‍යනුකූල තත්වය යථෝක්ත අංශයන්හි ඇතුළත් වේ.

මැන්ඩාමුස්, සර්ටියෝරාරි, ප්‍රොහිබිෂන් ආදි ආඥා සහ වෙනත් නීත්‍යනුකූල පිළියම් මගින් පරිපාලන අධිකාරීන්ගේ බලතල අධිකරණය මගින් පාලනය කිරීම පිළිබඳ නීතිරීති සම්බන්ධයෙන් ක්‍රියාකිරීම් පරිපාලන නීතියේ වැදගත් කොටසක කාර්‍ය්‍යයයි. ප්‍රංසය වැනි ඇතැම් රටවල නීතියේ මෙම කොටස ක්‍රියාවේ යොදවනු ලබන්නේ විශේෂ පරිපාලන අධිකරණ මණ්ඩල මගිනි. එහෙත් ලංකාව හා බ්‍රිතාන්‍යය වැනි වෙනත් රටවල එය සාමාන්‍ය අධිකරණ මණ්ඩල මගින් ම ක්‍රියාවෙහි යෙදේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ සම්ප්‍රදායයෝ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාගත නීතියත් එම නීතිය විවරණය කරමින් අධිකරණය විසින් දෙන ලද තීරණත් හැරුණු විට, නීති (නඩු) මාර්ගයෙන් ඉඳුරා වලංගු කළ නොහැකි වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි පරිදි ක්‍රියා කරවීමේ දී අවශ්‍යයෙන් ම අනුගමනය කළයුතු ලෙස සැලකෙන යම් යම් ව්‍යවහාර විධි හෙවත් සම්ප්‍රදායයන් ඇති බව යට සඳහන් විය. පාර්ලිමේන්තු ඇති ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී රටවල වගකීම් සහිත ආණ්ඩුව ප්‍රධාන වශයෙන් එබදු සම්ප්‍රදායයන් මත රැඳී පවතී.

වගකීම් සහිත ආණ්ඩුවකට අදාළ ප්‍රධාන බ්‍රිතාන්‍ය සම්ප්‍රදායයන් අතුරින් සමහරක් නියමාකාර නීති හැටියට ම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ලියැවී තිබේ. එසේ කොට ඇත්තේ සම්ප්‍රදායයන් කෙරෙහි ම පමණක් විශ්වාසය තැබීම අවදානම් බව සලකාගෙනය. නිදසුන් වශයෙන් දක්වතොත් ආණ්ඩුවේ සාමාන්‍ය විධානය හා පාලනය භාර වූ ද පාර්ලිමේන්තුවට සාමුහික වශයෙන් වගකිවයුතු වූ ද ඇමතිවරුන්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් විය යුතුය යන්න අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වැනි වගන්තියෙහි දැක්වේ. “ඇමතිවරුන් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකවරුන් විය යුතුය යන බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය ද ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (නීතියක් ලෙස) ඇතුළත් කොට තිබේ. 49 (2) වගන්තිය අනුව, පිට පිට මාස හතරක කාල පරිච්ඡේදයක් තුළ මන්ත්‍රී මණ්ඩල දෙකින් එකක හෝ සාමාජිකයකුව නොසිටින ඇමතිවරයෙක් හෝ පාර්ලිමේන්තු ලේකම්වරයෙක් වේ නම් එම කාලපරිච්ඡේදය අවසානයේ දී ඔහුට සිය ධුරය අහිමි වේ.

නීති වශයෙන් පැහැදිලි ලෙස දක්වා නැති නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගනු ලබන වෙනත් චාරිත්‍ර ද වේ. 4 (2) වගන්තියෙහි මෙසේ දැක්වේ: “මහරැජින වෙත හෝ අග්‍රාණ්ඩුකාරයා වෙත හෝ පැවරී ඇති බලතල අධිකාර හා කෘත්‍යයන් මෙම ආඥාපනතෙහිත් එවකට වලංගුව පවත්නා අන් කවර හෝ නීතියකත් අන්තර්ගත වී ඇති විධානයන්ට යටත්ව, මහරැජින එබඳු බලතල අධිකාර හා කෘත්‍යයන් එක්සත් රාජධානියෙහි ක්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුරූප සම්ප්‍රදායයන්ට හැකිතාක් අනුකූල වන පරිදි ක්‍රියාත්මක කළයුතු වේ. එසේ වුව ද අග්‍රාණ්ඩුකාරයා කළා වූ හෝ නොකරහැරියා වූ හෝ කිසිවක වැරදි නිවැරැදි බව, මෙම උපවගන්තියේ යට සඳහන් විධානය පිළිපැද නැත යන කාරණය උඩ, කිසි ම අධිකරණයක් මගින් නැතහොත් වෙනත් මඟකින් ප්‍රශ්න කළයුතු නොවේ.” කැබිනට් මණ්ඩලය විසින් සාමාන්‍යයෙන් අග්‍රාමාත්‍යවරයාගේ මාර්ගයෙන් දෙනු ලබන උවදෙස් අනුව, මහ රැජින හා අග්‍රාණ්ඩුකාරතුමා සිය නීත්‍යනුකූල බලතල පාවිච්චි කළ යුතුය යන්න අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත සඳහන් උපවගන්තියේ දැක්වේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි ඡන්ද ගණනක් ඇති පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයා අගමැතිවරයා වශයෙන් අග්‍රාණ්ඩුකාරයා විසින් පත් කළ යුතුය. සෙසු ඇමතිවරුන් අගමැතිවරයාගේ උපදෙස් පරිදි ඔහු විසින් පත් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍යතාවන්ට අනුකූලව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන සෑම යෝජනාවකට ම අග්‍රාණ්ඩුකාරයා සිය අනුමතිය දිය යුතුය.

අවශ්‍ය තන්හි, නියම වශයෙන් ම නීතියේ රෙකුලාසි ලෙස ව්‍යවස්ථාගත නොකොට මෙපරිද්දෙන් නිර්දේශ කිරීම් වශයෙන් බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය ඇතුළත් කර ගැනීම පාඩුවට කරුණකි. විදේශීය සම්ප්‍රදාය නිර්දේශ කිරීමට විරුද්ධව ජාතික හැඟීම් උඩ ඉදිරිපත් කළ හැකි තර්කය හැරුණු විට කිසියම් අවස්ථාවක දී උපයෝගී කරගත යුත්තේ කවර නීතිරීති ද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය ද මෙහි ලා සඳහන් කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කොට නොමැති වුව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවේ යෙදීමේ දී අනුගමනය කළයුතු සේ සැලකෙන අනික් සම්ප්‍රදායයෝ ද වෙත්. ඒ අනුව ප්‍රධාන කාරණයක් පිළිබඳ ඡන්ද විමසීමක දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී පරාජයට පත්වන ආණ්ඩුවක් වෙතොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකට අවසර නොලද හොත්, එම ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුය. අවසර ලත් විසුරුවා හැරීමකට පසුව පැවැත්වෙන මැතිවරණයේ දී ආණ්ඩුව පරාජයට පත්වී විරුද්ධ පක්ෂයකට හෝ විරුද්ධ පක්ෂ කණ්ඩායමකට පැහැදිලිව ම වැඩි ආසන සංඛ්‍යාවක් ලැබුණොත්, ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුය. එසේ නැතහොත් පාර්ලිමේන්තුවට මුහුණ දුන් විට එහි දී පරාජයටපත්වනු ඇත. මේ දෙකින් කවරක් සිදු වුව ද ආණ්ඩුවට දෙවැනිවරට පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලීමක් නොකළ හැකිය. තවද, සම්ප්‍රදායයේ ප්‍රතිඵලයක් වශයෙන් පාර්ලිමේන්තු කාර්යය පරිපාටියෙහි යම් යම් අයිතිවාසිකම් හා වරප්‍රසාද ලැබීමට විරුද්ධ පක්ෂයට අයිතියක් තිබේ. නිදසුන් වශයෙන්: මන්ත්‍රී මණ්ඩලයේ කටයුතු ආණ්ඩුව විසින් සුදානම් කළ යුත්තේ විරුද්ධ පක්ෂය හා සාකච්ඡා කිරීමෙනි. ඇත්ත වශයෙන්ම, විරුද්ධ පක්ෂයේ නායකයා වූ කලි සම්ප්‍රදායයේ ප්‍රතිඵලයක් වශයෙන් ම පහළ වූවෙකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වටා ඇති නීති සමුදාය වගකීම් සහිත වූ ද ප්‍රජාතන්ත්‍රවාදි වූ ද ආණ්ඩුවක මූලධර්මවලට අනුකූලව ද බාධා විරහිතව ද ක්‍රියාකාරී වන අයුරු කරුණු සලසා ලීම සම්ප්‍රදායයන්ගේ පරමාර්ථයයි. මහජනයාගේ අභිප්‍රාය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියා කරන බවට සම්ප්‍රදාය වග බලාගනී. ඒවා පිළිපදිනු ලබන්නේ, එසේ නොකිරීමෙන් අවසානයේ දී නීතිය උල්ලංඝනය කිරීම හේතු කොටගෙන ඇති විය හැකි විපාක පිළිබඳ බයක් නිසා නොවේ. මහජනමතයේ බලපෑම ද සම්ප්‍රදාය නොපිළිපැදීමෙන් හා ආණ්ඩු යන්ත්‍රය ක්‍රියාකරවීමට ඇති මහජන කැමැත්ත නොසලකා හැරීමෙන් ඡන්දදායකයන් කෙරෙන් පැනනැඟිය හැකි අප්‍රසන්න විපාක ගැන බිය ද සම්ප්‍රදාය අනුගමනය කිරීමෙහි මෙහෙයවන නියම අනුඥාවය.

බලතල වෙන් කිරීම; අධිකරණයේ ස්වාධීනතාව

ආණ්ඩුවේ බලතල හා කෘත්‍ය ඉතා පැරණි යුගයන්හි සිට ම ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යයි තුන් කොටසකට බෙදා තිබේ. සෑම රාජ්‍යයක් ම (1) රාජ්‍ය කටයුතු පිළිබඳව සලකා බලා තීරණයන්ට එළඹෙන කොටස (2) විනිශ්චයකාරවරුන් හා සම්බන්ධ කොටස (3) අධිකරණ බලයෙන් යුත් කොටස යයි කොටස් තුනකින් යුක්ත බව ඇරිස්ටෝටල් පවසයි. බලතල වෙන් කිරීම පිළිබඳ සිද්ධාන්තයක් පැහැදිලි ලෙසත් සවිස්තරවත් ප්‍රථම වරට (1748 දී) ඉදිරිපත් කරන ලද්දේ, ප්‍රංස ජාතික ශ්‍රෙෂ්ඨ නීතිවේදියකු වූ මොන්ටෙස්ක්‍යු විසිනි. දේශපාලන නිදහස තහවුරු කර ගැනීම සඳහාත් බලය අනිසි ලෙස පාවිච්චි කිරීමට ඉඩ නොතැබීම සඳහාත් ආණ්ඩුවේ ඉහත සඳහන් ත්‍රිවිධ බලතල එක ම පුද්ගලයකු අත එක්රැස්වීමට ඉඩ නොතැබීම අවශ්‍යය යන්න මොන්ටෙස්ක්‍යුගේ මතයේ සාරාංශයයි.

බලය නොනිසි ලෙස නොයොදන තැනක පමණක් නිදහස ඇති විය හැකිය යනු මොන්ටෙස්ක්‍යුගේ අදහස විය. බලය පැවරී ඇති කවරකුගේ හෝ බලතල යම් ලෙසකින් සීමා කරනු නොලැබුවහොත්, ඔහු සිය බලය නොනිසි ලෙස යෙදවීමට පෙළඹෙන බව නිතර අත්දකින්නට ලැබෙන කාරණයක් බව ද මොන්ටෙස්ක්‍යු කීය.

පරම්පරාගත වශයෙන් හෝ වේවා තමන් විසින් ම බලය පවරා ගැනීමෙන් හෝ වේවා ඡන්දයෙන් පත් කරනු ලැබීමෙන් හෝ වේවා එක් කෙනකු, ටික දෙනකු හෝ බොහෝ දෙනකු අත ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන සියලු ම බලතල එක්තැන්වීම, ප්‍රජාපීඩනය යන්නෙහි නියම අර්ථ විග්‍රහය ලෙස යුක්තිසහගතව කියහැකිය යනුවෙන් මැඩිසන් පැවසුවේ ද මේ අදහස මය.

බලතල වෙන් කිරීම පිළිබඳ මොන්ටෙස්ක්‍යුගේ සිද්ධාන්තය එවක බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔහුගේ විවරණය පදනම් කොට ඇති බව ප්‍රකට කාරණයකි. ප්‍රංසයේ 14 වැනි ලුවී රජුගේ හා 15 වැනි ලුවී රජුගේ සෛවරී ආණ්ඩු යටතේ මෙන් නොව එංගලන්තයේ පාර්ලිමේන්තුව 1688 විප්ලවය හා අයිතිවාසිකම් පනත හේතුකොටගෙන ව්‍යවස්ථා සම්පාදන කාර්‍ය්‍යය අතින් පරමාධිපත්‍යයෙහි පිහිටුවනු ලැබ සිටි බව මොන්ටෙස්ක්‍යු ප්‍රත්‍යක්ෂ කොට දුටුවේය.1701 නිරාකරණ පනතින්, රජුගේ වසඟයෙන් විනිශ්චයකරුවන් ඉවත් කරලීමෙන් අධිකරණයේ ස්වාධීනතාව පිළිබඳ මූලධර්මය ද එංගලන්තයේ ප්‍රතිෂ්ඨාපිතව පැවැත්තේය.

මැඩිසන් පෙන්නුම් කර දී ඇති ප්‍රකාර, ආණ්ඩුවේ කාර්යාංශ තුන එකිනෙකෙහි කටයුතුවලට සහභාගි නොවිය යුතු යයි හෝ එකිනෙක කෙරෙහි කිසි පාලන බලයක් නොපෑ යුතු යයි හෝ මොන්ටෙස්ක්‍යු අදහස් කළැයි සිතීම වැරදිය. මොන්ටෙස්ක්‍යු අදහස් කෙළේ යම් අවස්ථාවක, එක් අංශයක සම්පූර්ණ බලය දරන අය තවත් අංශයක ද සම්පූර්ණ බලය දරත් නම් එවැනි අවස්ථාවක නිදහස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රධාන මූලධර්ම නොපිට පෙරළෙන බවයි. ව්‍යවස්ථාදායක බලය කොන්ග්‍රෙස් සභාවට ද විධායක බලය ජනාධිපතිවරයාට ද අධිකරණ බලය ශ්‍රෙෂ්ඨාධිකරණයට ද පවරා දී තිබීම හේතුකොටගෙන බලතල වෙන්කිරීම වැඩියෙන් ම ක්‍රියාත්මක කොට ඇති එක්සත් ජනපද රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වුව ද බලතල වෙන් කිරීම සම්පූර්ණ ලෙස කෙරී ඇති බවක් කිසිසේත් කිව නොහේ.

ලංකාව ද ඇතුළු බොහෝ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල කැබිනට් ක්‍රමය මගින් ව්‍යවස්ථාදායක හා විධායක බලතල එක්තරා ප්‍රමාණයකට සම්බන්ධ කොට තිබේ. පාර්ලිමේන්තුවේ ද සාමාජිකයන් වන කැබිනට් මණ්ඩලයේ සාමාජිකවරු පාර්ලිමේන්තුවට සාමූහික වශයෙන් වගකිවයුත්තෝය. පාර්ලිමේන්තුවෙන් සම්මත වන නීති සාමාන්‍යයෙන් ඇරඹෙන්නේ කැබිනට් මණ්ඩලයෙහිය. බොහෝ රටවල පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලයෙන් සෑහෙන ප්‍රමාණයක් විධායක මණ්ඩලවලට පවරා දී ඇත්තේ ද වේ. සමාජ ව්‍යවස්ථා සම්පාදන කාර්‍යයේ විශාලත්වය නිසා මෙන් ම එහි විශේෂිත ස්වරූපය නිසා ද එම නීති සුනම්‍ය වීම අවශ්‍ය නිසා ද මෙලෙස බලය පැවරීම අවශ්‍ය වී තිබේ. මෙසේ පවරා දෙනු ලබන නීති සම්පාදන බලය පාර්ලිමේන්තුවේ පරීක්ෂාව හා පාලනය නමැති ආරක්ෂාව යටතේ පවත්නා තාක් මොන්ටෙස්ක්‍යුගේ බලතල වෙන්කිරීම් සිද්ධාන්තය අනුව වුව ද ඊට විරුද්ධව කිවහැකි වැඩි යමක් නැත. ව්‍යවස්ථා සම්පාදන බලතල පාර්ලිමේන්තු කෙරෙහි පැවරීමෙන් ඇතිවන නිදහස පිරිහී යන්නේ යථෝක්ත පාලනය නමට පමණක් පවතින විට හෝ නැත්තට ම නැති වූ විටය.

අධිකරණය නිදහස්ව ද විධායකයේ පාලනයෙන් මුක්තව ද තිබීම නිදහස ආරක්ෂා කිරීම අරභයා වඩාත් අවශ්‍ය කාරණයකැයි හැඟේ. වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙම ධර්මය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කොට ඇත්තේ මේ සම්බන්ධයෙනි. අධිකරණයේ නිදහස අවශ්‍ය වන්නේ විනිශ්චයකාරවරුන් නිර්භයව පුරවැසියාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් රැකිය යුතු නිසා පමණක් නොවේ. විනිශ්චයකාරවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂකයෝ ද වෙත්. තවද ඉහත සඳහන් කළ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයකොට පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති අවලංගු බව ප්‍රකාශ කිරීමට පවා ඔවුනට බලය ඇත.

අධිකරණයේ ස්වාධීනතාව පිළිබඳ ධර්මය ලංකාවේ අනුක්‍රමයෙන් ඇති වූ සෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ම පිළිගැනුණකි. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිශ්වයකාරවරු මනා පැවැත්මෙන් යුක්තව සිටින තාක් තම නිල දරත්. පාර්ලිමේන්තුවේ උභය මණ්ඩලීය පෙත්සමකින් මිස ඔවුන් නිලයෙන් පහ කළ නොහැක. තවද ඔවුන්ගේ වැටුප් නියම කරනු ලබන්නේ ද පාර්ලිමේන්තුව මගිනි. ඒවා ගෙවනු ලබන්නේ සංහෘත අරමුදලෙනි. නිලය දරන කාලය තුළ වැටුප් අඩුකිරීම ද නොකළහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් මිස විනිශ්චයකාරවරුන්ගේ නිදහස අඩු කිරීම හෝ නැති කිරීම සිදු කළ නොහේ. ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පවරා දී ඇති රාජ්‍යයේ නියම අධිකරණ බලතල පාවිච්චි කිරීමට හරස් වන සාමාන්‍ය නීතියක් වෙතොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී වේ; අවලංගු ද වේ (රැජින-ලියනගේ සහ වෙනත් අය, 1962, 64 නිව් ලෝ රිපෝට්ස් 313).

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දිස්ත්‍රික් නඩුකාරවරුන්ට, මහෙස්ත්‍රාත්වරුන්ට හා වෙනත් අධිකරණ නිලධාරීන්ට ද විධායකයේ පාලනයෙන් මිදී ස්වාධීනව සිටීමට ඉඩ සැලසී ඇත. ඔවුන් පත්කිරීම, මාරුකිරීම, නිලයෙන් පහකිරීම හා ඔවුන්ගේ විනය පාලනය විශේෂයෙන් පත් කරන ලද අධිකරණ සේවා කොමිෂන් සභාවකට භාර කොට තිබේ. නායක විනිශ්චයකරු සභාපති වශයෙන් කටයුතු කරන මෙම කොමිෂන් සභාව ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරයකුගෙන් ද ශ්‍රෙෂ්ඨාධිකරණයේ සිටි හෝ දැනට සිටින තවත් විනිශ්චයකාරයකුගෙන් ද සමන්විතය. සිය රාජකාරිය ඉටුකිරීම් වශයෙන් මිස අන් කවර ක්‍රමයකින් වුව ද කොමිෂන් සභාවේ හෝ එහි සිටින මොන සාමාජිකයකුගේ හෝ ඕනෑම තීරණයක් කෙරෙහි බලපෑමට තැත් කරන කවරෙක් වුව ද මහෙස්ත්‍රාත්වරයකු විසින් දඬුවම් කළ හැකි වරදක් කළා වෙයි.

අධිකරණයට පාත්‍ර වන වැදගත් ප්‍රශ්නයන් හා විධායක මණ්ඩල මගින් කරනු ලබන විධානයන් ව්‍යවස්ථා සම්පාදනානුසාරයෙන් සාමාන්‍ය අධිකරණ මණ්ඩලවල අධිකරණ සීමාවෙන් ඔබ්බෙහි තබනු ලැබූ විට, ස්වාධීන අධිකරණයක් පිළිබඳ මූලික ආණ්ඩුක්‍රමව්‍යවස්ථාමය මූලධර්මය ප්‍රායෝගික වටිනාකමින් බෙහෙවින් අඩුවෙතැයි ඇතැම් විට කල්පනා කරනු ලැබේ. විධායකයේ ආක්‍රමණයන්ට විරුද්ධව රටවැසියාගේ නිදහස රැක ගැනීම සඳහා ඇති එක ම ආරක්ෂාව අධිකරණ මණ්ඩල යයි ද සිය නීත්‍යනුකූල හිමිකම්වලට හානිකර වූ, විධායකයේ තීරණයන්ට විරුද්ධව අධිකරණ මණ්ඩලයන්හි ආධාරය පැතීම පුරවැසියාගේ මූලික අයිතිවාසිකමකැයි ද ශ්‍රේෂ්ඨ විනිශ්චයකාරවරුන් හා නීති විද්‍යාඥයන් මෙන් ම ඩොනමෝර් හා ෆ්‍රෑන්ක්ස් කාරකසභා වැනි පරිපාලක විනිශ්චය සභා පිළිබඳ ප්‍රාමාණික කාරකසභාවන් ද ප්‍රකාශ කොට තිබේ.

පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථා සම්පාදන බලය

රටේ සාමය, යථා පැවැත්ම හා යහපත් පාලනය සඳහා නීති සම්පාදනය කිරීමට ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට බලය දෙයි. රැජිනගෙන් ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සැනේට් සභාව යන උභය මණ්ඩලයෙන් ද පාර්ලිමේන්තුව සමන්විතය. වර්තමාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සාමාජිකයන් 157 දෙනකුගෙන් සමන්විතය. ඉන් 151 දෙනකුන් ඒ ඒ කොට්ඨාසවල නියෝජිතයන් වශයෙන් ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලබන අතර ඉතිරි 6 දෙනා අගමැතිගේ උපදෙස් පිට අග්‍රාණ්ඩුකාරතුමා විසින් පත්කරනු ලබත්. සැනේට් සභාව 30 දෙනකුගෙන් යුක්තය. ඉන් 15 දෙනකු මහජන නියෝජිත මණ්ඩලය විසින් සමානුපාතික නියෝජන ක්‍රමය අනුව පැවරිය හැකි තනි ඡන්දයෙන් තෝරනු ලබන අතර ඉතිරි 15 දෙනා අගමැතිගේ උපදෙස් පිට අග්‍රාණ්ඩුකාරතුමා විසින් පත් කරනු ලබත්. එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්ඩලයට මෙන් සැනේට් සභාවට ද ඇත්තේ ප්‍රධාන කොට ම පමා කිරීමේ බලයයි.

මුදල් යෝජනාවක් එක මාසයක් පමා කළ හැකිය. මුදල් යෝජනාවක් නොවන යෝජනාවක් එක ම පාර්ලිමේන්තුවේ වේවා, නොවේවා, එක ළඟ වාර දෙකක දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත වූ පසු, (අ) ඉන් මුල් වාරය අවසන් වීමට අඩු ගණනේ මාසයකට වත් පෙර උත්තර මන්ත්‍රී මණ්ඩලයට යවනු ලැබ එහි දී ද සම්මත නොවූයේ නම්, තව ද (ආ) එම වාරදෙකින් දෙවැන්නේ දී උත්තර මන්ත්‍රී මණ්ඩලයට යවනු ලැබ ඉන් මසක් හෝ එම වාරය පටන් ගැන්මේ සිට මාස හයක් හෝ යන දෙකින් වැඩි කාල ප්‍රමාණය ඇතුළත උත්තර මන්ත්‍රී මණ්ඩලය මගින් සම්මත නොවූයේ නම්, එසේ සම්මත නොවුව ද, එම යෝජනාව රාජානුමතිය උදෙසා ඉදිරිපත් කළ හැකිය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නීතිය අතින් උත්තරීතර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක්ය යන අරුතින් ගන්නා විට ලංකා පාර්ලිමේන්තුව එබඳු මණ්ඩලයක් යයි කිව නොහේ. සුප්‍රසිද්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විශාරදයකු වන ඩයිසි පෙන්වා දී ඇති පරිදි, කුමන අන්දමේ හෝ නීතියක් සම්මත කිරීමේ හෝ නිෂ්ප්‍රභ කිරීමේ බලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තිබේ. ඒ මගින් පැනවෙන නීති ඉක්මවා ක්‍රියා කිරීම හෝ ඒවා බැහැර කරලීම හෝ කිසි පුද්ගලයකුට හෝ කිසියම් සංස්ථාවකට නොකළ හැකිය. එහෙත් ලංකා පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සම්පාදන බලය පාවිච්චි කළ හැක්කේ ව්‍යවස්ථාගත සීමාවන් කීපයකට යටත්වය.

පාර්ලිමේන්තුව මගින් පනවනු ලබන මොන ම නීතියක් මගින්වත් නිදහසේ ආගම් ඇදහීම තහනම් කිරීම හෝ සීමා කිරීම ද ජාතිය හෝ ආගම හේතු කොටගෙන වෙනස්කම්වලට භාජන කිරීම ද යම්කිසි ආගමික මණ්ඩලයක ව්‍යවස්ථාමාලාව එම මණ්ඩලයේ පාලක සභාවේ කැමැත්ත පිට මිස වෙනස් කිරීම ද කළයුතු නොවේ යයි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (2) වගන්තියේ සඳහන්ය.

දෙවනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු මොන ම වගන්තියක්වත් සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම අරමුණු කොට ඉදිරිපත් කරනු ලබන කිසි ම කෙටුම්පතක් එම සභාවාරයට නොපැමිණියන් ද ඇතුළු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුළු ගණනින් 2/3ක ඡන්දය එම කෙටුම්පතට පක්ෂව ලැබුණු බවට කථානායකතුමාගේ සහතිකයක් නොමැතිව රාජානුමතිය සඳහා ඔප්පු නොකළ යුතු යයි 29 (4) වැනි වගන්තියෙහි විශේෂ කොන්දේසියෙන් දැක්වෙයි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුගත සීමාවන් හැරුණු විට පාර්ලිමේන්තුවට පවරා දිය හැකි කිසියම් බලතල ප්‍රමාණයක් ඇද්ද ඒ සමස්ත බලතල ප්‍රමාණය ඊ සතුය (හොජ්-රැජින, 1883, 9, ඇපැල්නඩුව 117; 131 පිට).

කැබිනට් මණ්ඩලය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

පාර්ලිමේන්තු විධායකයක් සහිත ලංකාව වැනි රටවල ඉතා ම වැදගත් විධායක කාර්යයන් ඉටු කරනු ලබන්නේ රාජ්‍යයේ ශ්‍රෙෂ්ඨතම විධායකය විසින් නොව කැබිනට් මණ්ඩලය විසිනි. කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන කාර්යයන් පහත සඳහන් අයුරින් ආණ්ඩු කාරක සභාවේ කාර්‍ය්‍ය සංවිධාන වාර්තාවේ (එක්සත් රාජධානිය, 1918. C.9230) සඳහන් කොට තිබේ.

(අ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්තිය අවසාන වශයෙන් නිශ්චය කිරීම,

(ආ) පාර්ලිමේන්තුව මගින් නිශ්චිත ප්‍රතිපත්තිය අනුව ජාතික විධායකයේ නිරවශේෂ පාලනය හා

(ඇ) රාජ්‍යයේ විවිධ දෙපාර්තමේන්තුවල කටයුතු නිරන්තරයෙන් ම ඒකාබද්ධ කිරීම හා නියම කර වෙන් කිරීම යනුවෙනි.

කැබිනට් ආණ්ඩුක්‍රමයේ අත්‍යාවශ්‍යක ලක්ෂණ පහත සඳහන් අයුරු යයි දක්වා තිබේ. (1) සාමූහික වගකීම; (2) කැබිනට් වෘක්‍ෂයේ මුදුන්මුල වශයෙන් අගමැතිවරයා දරන තත්වය; (3) අසාමාන්‍ය අවස්ථාවක දී මිස, එක ම පක්ෂයක වූවන්ගෙන් සමන්විත වීම හා (4) නියෝජිත මණ්ඩලයේ වැඩිදෙනාහට අවනත වීම.

(1) සාමූහික වගකීම

එක් එක් ඇමතිවරයකු තමා කැබිනට් මණ්ඩලය තුළ සිටිනා තාක් අනික් ඇමතිවරුන්ගේ සියලු දේශපාලන ක්‍රියාවන් හා සමස්තයක් වශයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතුය යන්න මෙයින් අදහස් කෙරේ. තමා එකඟ නොවන කැබිනට් තීරණයකට පක්ෂව ප්‍රසිද්ධියේ කථා කිරීමට සූදානම් නැති ඇමතිවරයකු වෙතොත් ඔහු ඉල්ලා අස්විය යුතුය. "කැබිනට් මණ්ඩලයේ සිදුවන සෑම දෙයක් සම්බන්ධයෙන් ම, ඉන් ඉල්ලා අස් නොවන සෑම සාමාජිකයෙක් ම, සම්පූර්ණයෙන් හා පැහැර නොහැරිය හැකි පරිද්දෙන් වගකිව යුතුය. එක් කරුණක දී තමා සමථයකට එකඟ වී යයි ද අනෙක් කරුණක දී තම සහචරයන් විසින් කැමති කරවා ගනු ලැබී යයි ද පසුව කීමේ අයිතියක් කිසියම් සාමාජිකයකුට නැතැ"යි සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ජාතික රාජ්‍ය තන්ත්‍රඥයකු වූ සෝල්ස්බරි සාමි ප්‍රකාශ කොට ඇත. සාමූහික වගකීම යටතේ එක් ඇමතිවරයකුගේ ප්‍රතිපත්තිය අනිකකුගේ ප්‍රතිපත්තියෙන් වෙනස් වූවක් විය නොහේ. කිසියම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇමතිවරයකු ලබන පරාජයක් වේ නම්, එය ආණ්ඩුව ලබන පරාජයක් වේ. ඇමතිවරයාගේ ප්‍රතිපත්තිය කවදත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන හෙයිනි. ඇමතිවරයකු පාර්ලිමේන්තුව තුළ දී ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටීම හෝ ඡන්දය විමසන අවස්ථාවේ දී ඕනෑකමින් ම සභාවට නොපැමිණීම පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බලන කල නුසුදුසුය යන අදහස එංගලන්තය, ලංකාව යන දෙරටේ ම අගමැතිවරුන් දරා ඇත.

(2) අගමැතිවරයාගේ අතිවිශිෂ්ටත්වය

අගමැතිවරයා විදේශ හා ආරක්ෂා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය භාරව සිටිය යුතුය යන්න ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අපේක්ෂා කෙරේ. තම අමාත්‍යාංශයට අයත් කටයුතු හැරුණු විට වෙනත් කටයුතු ද තමා භාරයේ තබා ගැනීමට අගමැතිවරයාට තීරණය කළ හැකිය. අනික් ඇමැතිවරුන් වෙත පරිපාලනය සඳහා ඒ ඒ විෂයයන් හා කාර්යයන් පවරා දෙන්නේ අගමැතිවරයාය. විවිධ අමාත්‍යාංශයන්හි වැඩ පරීක්ෂා කිරීම හා ඒකාබද්ධ කිරීම ද අමාත්‍යාංශ අතර ඇති මතභේද නිරාකරණය කිරීම ද අගමැතිවරයා සතු කාර්යයි. කැබිනට් ඇමතිවරුන්ගේ සියලු ම ක්‍රියා සම්බන්ධයෙන් අගමැතිවරයා වගකීම භාරගනියි. අග්‍ර විනිශ්චයකරු හා ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි වෙනත් විනිශ්චයකරුවන්, අධිකරණ කොමසාරිස්වරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකවරුන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකවරුන්, ඇටෝර්නි ජනරාල්, ගණකාධිකාරි, අමාත්‍යාංශයන්හි ස්ථිර ලේකම්වරුන් හා වෙනත් වැදගත් නිලධාරීන් බොහෝ දෙනකු පත් කරනු ලබන්නේ අවසාන වශයෙන් අගමැතිවරයාගේ උවදෙස් පිටය. වර්තමාන අගමැතිවරයකුට සැලකිය යුතු තරම් පෞද්ගලික බලතල පාවිච්චි කිරීමට පුළුවන්කම ඇති බව ද, ඔහු “සමයන් අතර ප්‍රථමයාට” වැඩි තත්වයක් උසුලන බව ද පෙනීයනු ඇත. එසේ වුව ද අනික් ඇමතිවරුන්ට වැඩියෙන් අගමැතිවරයාට ඇති බලයේ නියම ප්‍රමාණය රඳා පවත්නේ සිය පක්ෂයෙන් ලැබෙන ආධාරයත් අගමැතිවරයාගේ පුද්ගල විශේෂතාවත් මත ය.

(3) කැබිනට් මණ්ඩලයේ දේශපාලන සජාතීයත්වය

මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් තරමක පොදු එකඟත්වයක් කරා එළඹීමට පක්ෂය ආධාරකාරී වේ. පක්ෂ සංවිධානය ආණ්ඩුවට තරමක ස්ථාවර බවක් ලබා දෙයි. ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීම වූකලි පක්ෂයට විරුද්ධව ඡන්දය දීමයි.

(4) කැබිනට් ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා සිටින තෙක් පමණක් නිලදැරීම

ප්‍රතිපත්තිය සම්බන්ධ කාරණයක දී ආණ්ඩුව පරාජයට පත් වුවහොත්, ඉහත සඳහන් කළාක් මෙන්, එම ආණ්ඩුව තවදුරටත් බලයෙහි රැඳී සිටිය යුතු නොවේ.

නීතියේ ආධිපත්‍යය හා රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම්

යුක්තිය යන සංකල්පයෙහි ගැබ්ව ඇතැයි සැලකෙන ඇතැම් රටවැසි අයිතිවාසිකම් වෙයි. සමාන වූ ද පැහැර ගත නොහැක්කාවූ ද මෙම මිනිස් අයිතිවාසිකම් කෙරෙහි තමන් විශ්වාසය තබන බව එක්සත් ජාතීන්ගේ මණ්ඩලය 1948 දී කළ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයෙන් යළිත් සහතික ලෙස කියා සිටියේය. මූලික නීතිය වශයෙන් වලංගු වීම සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අංග සම්පූර්ණ පරිච්ඡේද බොහෝ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ඇතුළත්ය. නීතිය හමුවෙහි සැමදෙනාගේ ම සමානත්වය, ජීවිතය හා පෞද්ගලික නිදහස ආරක්ෂා වීම, කථාකිරීමේ හා සාමකාමීව එක් රැස්වීමේ ද සමිති සමාගම් පැවැත්වීමේ ද නිදහස, හෘදයසාක්ෂියට අනුව ක්‍රියා කිරීමේ හා අභිමත ආගමක් වැලඳ ගැනීමේ නිදහස යන මේවා යටකී මිනිස් අයිතිවාසිකම්වලින් සමහරකි. ලේඛනාරූඪ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික අයිතිවාසිකම් ඇතුළත් කිරීමේ පරමාර්ථය වූකලි සාධාරණත්වය පිළිබඳ මෙම මූලික මූලධර්ම දේශපාලන වාදවිවාද නිසා ඇති විය හැකි විපර්යාසයන්ගෙන් බැහැර කොට රැකගැනීම හා ඒවා රටේ පරමෝත්කෘෂ්ට නීතිය වශයෙන් තහවුරු කරලීමත් සහතික කර ගැනීමයි.

ඉන්දියාව පිළිබඳ සයිමන් කොමිෂන් වාර්තාවේ පෙන්වා දී ඇති පරිදි, යථෝක්ත අයිතිවාසිකම් වලංගුකර ලීමේ අධිෂ්ඨානයත් ඊට අවශ්‍ය උපක්‍රමත් ඇති නම් මිස ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක හුදෙක් වචන මාත්‍රයෙන් ප්‍රකාශ කර තිබීම පමණකින් එතරම් වැඩක් නොවනු ඇත. බොහෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා එම අයිතිවාසිකම් වලංගු කිරීම සඳහා නෛතික උපක්‍රම යොදා ඇත්තේ ද ඒ සඳහා ඕනෑ ම පැමිණිලිකරුවකුට ශ්‍රෙෂ්ඨාධිකරණය කරා යෑමේ අයිතිවාසිකම සහතික වශයෙන් ලබා දී ඇත්තේ ද එහෙයිනි.

කලින් ද සඳහන් කරන ලද පරිදි, ආගමික නිදහස සීමා කිරීම හෝ විවිධ ආගම්වලට හෝ ජාතිවලට අයත් ජනයාට වෙනස් වෙනස් ලෙස සැලකීම පිණිස නීති පැනවීම තහනම් කරන 29 (2) වගන්තිය හැරුණු විට, ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි, මූලික අයිතිවාසිකම් මේ මේ යයි දැක්වීමක් හෝ ඒවා රැකෙන බවට සහතික කිරීමක් නැත්තේය. එසේ වුව ද යුක්තිය පසිඳලීමේ දී නීතියේ ආධිපත්‍යය ක්‍රියාකාරීවීම හේතුකොට ගෙන රටවැසියාගේ අයිතිවාසිකම් තරමක් දුරට රැකේ.

නීතියේ ආධිපත්‍යය වූකලි මහජන කැමැත්ත හා පුද්ගලයාගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කොට ඒවා ඉදිරියට ගෙන යෑම පිණිස පාවිච්චි කළයුතු වූ ද, එමෙන් ම පුද්ගලයාට ආත්මාභිමානය සාක්ෂාත් කොට ගෙන සිය සාධාරණ අභිමතාර්ථයන් මුදුන්පත්කර ගත හැකි වන අන්දමේ සමාජ, ආර්ථික, අධ්‍යාපනික හා සංස්කෘතික තත්වයක් ඇතිකරලීමට පාවිච්චි කළයුතු වූ ද බලෝත්පාදක සංකල්පයකැයි දිල්ලි ප්‍රකාශනය (1959) හා ලාගෝස් නීතිය (1961) මගින් නීති ශාස්ත්‍රඥයන්ගේ අන්තර්ජාතික කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලදි. පුද්ගලයාගේ අයිතිවාසිකම් රැකීම ද එම අයිතිවාසිකම් අත්තනෝමතිකව පැහැර ගැනීමට යත්න දරන පාලන ක්‍රියා දෝෂදර්ශනයට ලක් කිරීම ද අපේ අධිකරණ ශාලා සම්බන්ධ සම්ප්‍රදායයෙන් බිඳකි.

සුප්‍රසිද්ධ බ්‍රෙස්ග’ඩ්ල් නඩුවේ දී (1937, 39 නිව් ලෝ රීපෝට්ස්, 193 පිට) ‍ඒබ්‍රහම්ස් විනිශ්චයකාරතුමා විසින් පෙන්වා දෙන ලද පරිදි, යටත්වැසියාගේ නිදහසට හානි පමුණුවා ඇතැයි කියනු ලබන අවස්ථාවන් ක‍ෙර‍ෙහි විනිශ්චයකරුවන් විසින් කවදත් බලවත් සැලකිල්ල යොමුකරනු ලැබේ. විධායකයේ නීති විරෝධි ක්‍රියාවලට විරුද්ධව වැසියාට ‍බොහෝ විට ඇති එක ම ආරක්ෂාව විනිශ්චයකාරවරුන් සතු අධිකරණ බලය යයි ඔහු කීය. පිළිගත් නීතිරීතිවලට අනුකූලව ප්‍රසිද්ධියේ පැවැත්ව‍ෙන නඩු විභාගයකින් පසුව සාමාන්‍ය අධිකරණ ශාලාවක් මගින් විනා කිසිවකු ශාරීරික වශයෙන් හෝ දේපළ සම්බන්ධය‍ෙන් හෝ ප‍ීඩාවට පත් නොවිය යුතුය යන මූලධර්මයෙන් ද නීතියේ ආධිපත්‍යය පිළිබඳ සංකල්පයේ ඉතා ම ප්‍රකට පක්ෂය දැක්වෙතැයි ද අත්තනෝමතික විධායක ක්‍රියාවනට අවකාශය නොදෙන, නිශ්චිත වූ, සුප්‍රකට ‍නෛතික මුලධර්ම සමුදායයක් ඇතැයි ද යන ප්‍රකාශය උගත් අග්‍රවිනිශ්චයකාරතුමා විසින් අනුමත කිරීම් ස්වරූපයෙන් උපුටා දක්වන ලදි.

අවසාන වශයෙන් විග්‍රහ කර බලන කල නීතියේ ආධිපත්‍යයේ හා මානව නිදහසේ ආරක්ෂාව අධිකරණශාලා මත රඳා පවත්නා තරමට ම මහජනයා හා ‍ඔවුන්ගේ නියෝජිතයන් මත ද රඳා පවත්නා බව පෙනී යයි. එම ආරක්ෂාව සලසාගත හැක්කේ සදා පරීක්ෂාකාරීව සිටීම‍ෙන් පමණකි.

(කර්තෘ: ජේ.ඒ.ඇල්. කුරේ)

(සංස්කරණය: 1965)