ආනන්දවර්ධන
ධ්වන්‍යාලෝක නමැති සංස්කෘත විචාර ග්‍රන්ථය රචනා කළ ආචාර්යවරයා ආනන්දවර්ධන යයි සාමාන්‍යයෙන් සලකනු ලැබේ. එහෙත් ධ්වන්‍යාලෝකයෙහි පැරණි ම කොටස වූ මූලකාරිකා ආනන්දවර්ධනයන්ට කලින් විසූ නිර්නාමික ධ්වනිකාරයකුගේ කෘතියක් යයි ද එම කාරිකාවන් පැහැදිලි කරලීම් වස් ගද්‍යමය පාඨයන්ගෙන් හා පද්‍යමය නිදසුන්වලින් යුක්තව සපයන ලද වෘත්තිය පමණක් ආනන්දවර්ධනයන්ගේ රචනාවකැයි ද ඇතැම් විවේචකයෝ පවසත්. කෙසේ වුව ද ධ්වන්‍යාලෝකයෙන් වැඩි කොටසක් රචනා කළ ආනන්දවර්ධන සංස්කෘත සාහිත්‍යවිචාරකයන් අතුරෙන් ශ්‍රෙෂ්ඨතමයා බව අවිවාදයෙන් ම පිළිගත යුතුයි. සංස්කෘත අලංකාර සාහිත්‍ය ඉතිහාසයේ ඔහුට වැදගත් තැනක් හිමි වී ඇත්තේ ඔහුගේ විවේචන ශක්තිය හා විචාර බුද්ධිය නිසාය. ධ්වනිවාදය පැහැදිලිව විස්තර කොට එහි අගය කෙබඳු දැයි අවබෝධ කර දීමෙන් ඔහු සාහිත්‍ය විචාරයට අගනා සේවයක් සැලසූ කෙනෙකි.
අවන්තිවර්මන් (ක්‍රි.ව. 855–884) නරපතිහුගේ රාජසභාව හෙබවූ ආනන්දවර්ධන තෙමේ කාශ්මීර ජාතිකයෙකි. නවවන සියවසෙහි අග කොටසේ විසූ රාජශේඛරයන් ද ඔහු ගැන සඳහන් කර ඇති හෙයින් එම සියවසේ මැද භාගයෙහි ඔහු ග්‍රන්ථ රචනයෙහි යෙදෙන්නට ඇතැයි සිතිය හැකිය. ඔහු පිළිබඳ පෞද්ගලික තොරතුරු අප්‍රකටය. තමා නෝණ නමැත්තකුගේ පුතකු බව ඔහුගේ කෘතියෙහි ම සඳහන් වේ (නොණසුතඃ ශ්‍රීමද් ආනන්දවර්ධන නාමා). ධ්වන්‍යාලෝකයට ධ්වන්‍යාලෝකලෝචන නම් සුප්‍රකට ව්‍යාඛ්‍යානය සැපයූ අභිනවගුප්ත ඔහුගේ ශිෂ්‍යයෙකි. මනෝරථ නම් කවිවරයා ආනන්දවර්ධනගේ සමකාලීනයකු වී යයි ධ්වන්‍යාලෝකයේ සඳහන් කරුණුවලින් නිගමනය කරනු ලැබේ.
අර්ජුනචරිත, විෂමබාණලීලා (ප්‍රාකෘත), හරිවිජය (ප්‍රාකෘත), මතපරීක්ෂා යන ග්‍රන්ථ ද ධර්මෝත්තමා විනිශ්චය ටීකාවට වෘත්තියක් ද යමක සහ චිත්‍රබන්ධ ඇතුළු වූ දේවීශතකය ද ආනන්දවර්ධනයන්ගේ කෘතීන් ලෙස හැඳින්වේ. (ධ්වන්‍යාලෝක බ.)
(කර්තෘ: ජේ. තිලකසිරි)
(සංස්කරණය: 1965)