ආනමේස්තරය

සිංහල විශ්වකෝෂය වෙතින්
15:21, 5 නොවැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ආනමේස්තරය උඩරට ගෙවල තවමත් දක්නට ලැබෙන විශේෂා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආනමේස්තරය උඩරට ගෙවල තවමත් දක්නට ලැබෙන විශේෂාංගයකි. මෙය වූකලි එක්තරා ප්‍රමාණයක ඉඩක් ඉතිරි කොට සමාන්තරව ඉදි කරන ලද කාමර පේළි දෙකක් දෙකොනින් ඒකාබද්ධ වන සේ කණු සිටුවා සාදනු ලබන මඩු විශේෂයකි. කාමර පේළි දෙක ආනමේස්තරවලින් සම්බන්ධ වීම නිසා ඒ අතරෙහි වූ ඉඩ කොටස මැද මිදුලක් බවට පත් වේ. කාමර දෙපේළියට ආනමේස්තර සම්බන්ධ කරනුයේ පිහිලි යෙදීමෙනි. පිහිලි මාර්ගයෙන් වැසිජලය මැද මිදුලට වැගිරෙයි. මෙවැනි ගෙයක දොරටු තබනු ලබන්නේ ආනමේස්තරයට ඇතුඵ විය හැකි පරිදිය. අමුත්තන් පිළිගන්නා ස්ථානය ද ආනමේස්තරය වේ.

විහාර දේවාලයන්හි ද පූජෝත්සව අවස්ථාවන්හි දී ප්‍රදීපයන් තැබීම ආදි කටයුතු සඳහා ස්ථීර වශයෙන් හෝ තාවකාලික වශයෙන් ඉදි කරනු ලබන ගොඩනැඟිල්ලක් ද ආනමේස්තර නාමයෙන් හැඳින්වේ. එය සාදනු ලබන්නේ ඇතැම් නිලපංගුකාරයන් විසිනි. ගඩලාදෙණි දේවාලයේ බඩල්පංගුවට ආනමේස්තරයක් සාදා සැරසීමට නියම වූ බවත්, ඇම්බැක්කේ කතරගම දේවාලයේ නවම්පංගුවට ආනමේස්තර ගෙයක් සුදු හුනු පිරියම් කොට පවත්වා ගෙන ඒමට නියම වූ බවත් පැරණි ලියකියවිලිවල සඳහන් වේ. ඇතැම් විට එක ස්ථානයක මෙවැනි ආනමේස්තර ගෙවල් එකකට වැඩියෙන් ඉදි කර තිබුණු බව පෙනේ.

මැද මිදුල ඇති ගෙවල් දෙකක් සම්බන්ධ කරන ආලින්දයට ද ගෙයක ඉදිරිපස හෝ පසුපස ඉස්තෝප්පුවට ද ඇතැම් විට ආනමේස්තර නාමය ව්‍යවහාර වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආනමේස්තරය&oldid=6485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි