ආන්තික සිද්ධාන්තය
(Marginal Theory). නූතන අර්ථ ශාස්ත්‍රයේ සෑම අංශයක ම “ අන්තය ” යන අදහස ඇතුළත් වන්නේය. පළමුවෙන්ම එය ඉදිරිපත් කරන ලද්දේ සම්භාව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් විසිනි. එය කලින් මූලධර්මයක් හැටියට විද්‍යාත්මකව සකස් කර නොතිබුණ ද යථෝක්ත ශාස්ත්‍රඥයන් ඉදිරිපත් කළ හීන වන ඵල න්‍යායයෙහි (බ.) එය පැහැදිලිව දැක්විණ. අන්තය යන සංකල්පයත් හීනවන ඵලන්‍යායයත් අතර ඇත්තේ ඉතා ම කිට්ටු සම්බන්ධතාවකි. එහෙයින් අන්තය යනු කුමක් දැයි නිවැරදිව අවබෝධ කර ගැනීමට හීනවන ඵල න්‍යායය පිළිබඳ කරුණු පළමුවෙන් දැනගත යුතු වේ. මෙහි දී ඒ පිණිස රිකාඩෝගේ බදු කුලී සිද්ධාන්තය සලකා බලමු. රටක ජනගහනය වැඩිවත්ම ඒ ජනයාගේ යැපීමට වුවමනා ආහාර ලබාගැනීමට වගා කළයුතු ඉඩම් ප්‍රමාණය ද ජනසංඛ්‍යාව අනුව වැඩි වී යා යුතුය. එවිට අලුතින් ගොවිපොළවල් සකස් කර ගත යුතු වන්නේය. ඒ ඉඩම් සරුසාරකම අතින් පැරණි ගොවිබිම්වලට වඩා පහත්වීම ස්වභාවයයි. මේ නිසා ඉන් ලැබෙන අස්වනු ප්‍රමාණය ද පැරණි ගොවිබිමකින් ලැබෙන අස්වනු ප්‍රමාණයට අඩු වන්නේය. එ් අඩුවීම වන්නේ මෙසේ යැයි විස්තර කොට දැක්වු න්‍යායය හීනවන ඵල න්‍යායයයි. සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් “ අන්තය ” යන සංකල්පය ඉදිරිපත් කරන්නට පෙර ද ඒ අදහස ඉදිරිපත් කළ පුද්ගලයන් සිටි බව පෙනේ. ඔවුන්ගෙන් එක් තැනැත්තෙක් ජර්මන් ජාතික ෆොන් තුනන් (1783–1850) ය. ඔහු ඉදිරිපත් කෙළේ බදු කුලී සිද්ධාන්තයයි. එහි ආන්තික ඵලදා සංකල්පය ඇතුළත් විය. ඉඩමකින් ලැබෙන අස්වැන්න ක්‍රමයෙන් අඩුවීමට හේතු වන්නේ (එක් නිෂ්පාදන සාධකයක් වන) ඉඩම් ප්‍රමාණය එලෙස ම පවතිද්දී (සෙසු නිෂ්පාදන සාධක වන) ගොවිතැන සඳහා යොදන ශ්‍රමය, උපකරණ ආදිය වැඩියෙන් යෙදවීමයි. නිෂ්පාදනයක් කිරීමට පළමු එ් සඳහා ධනයක් යෙදවිය යුතුය.ප්‍රාග්ධනය නමැති එය නිසා ම නිෂ්පාදනය සිදුවන බැවින් ප්‍රාග්ධනය නිෂ්පාදනයේ ප්‍රධාන සාධකයක් වෙයි. ප්‍රාග්ධනය සඳහා ගෙවිය යුතු පොලියක් වේ නම් එහි ප්‍රමාණය නිශ්චය වනුයේ නිෂ්පාදනයේ ආන්තික ඵලය අනුවය යනු (සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥ යන්ගේ සංඛ්‍යාවට අයත් නොවන) ෆ්‍රෙඩරික් හර්මන්ගේ මතයයි. ආයෝජනය කරන ප්‍රාග්ධන ප්‍රමාණය වැඩිවත් ම එහි ඵලය හීන වන බව එංගලන්තයේ ජේම්ස් මේට්ලන්ඩ් ද කීය. නව-සම්භාව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන්ගේ කෘතීන්හි මෙන් ම ෆොන් තුනන් ආදීන්ගේ කෘතීන්හි ද අන්තය යන සංකල්පය යොදනු ලැබුවේ ඵලදාව පිළිබඳව පමණක් වුව ද, එය සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් යෙදුවේ උපයෝගිතා හෙවත් වටිනාකම් සිද්ධාන්තය පිළිබඳවය. “ අන්තය ” යන සංකල්පය මෙසේ විශේෂ අන්දමකින් ප්‍රථම කොට යොදා ගත්තේ නව-සම්භාව්‍ය ගණය අතුරෙහි වූ හර්මන් හයින්රික් ගොසන්ය. හේ නූතන මූල්‍ය සිද්ධාන්තයේ ප්‍රාරම්භකයා සැටියට පිළිගනු ලැබේ. නව සම්භාව්‍ය ගණය ඉදිරිපත් කළ උපයෝගිතා සිද්ධාන්තය ඊළඟට සලකා බලමු. භාණ්ඩයක් පරිභෝග කරන්නාට ඒ භාණ්ඩය වටින්නේ ඔහු පරිභෝග කරන ආන්තික භාණ්ඩ ඒකකයෙන් ඔහුට ලැබෙන තෘප්තිය ( උපයෝගිතාව) අනුවයි. ඔහු ලබන තෘප්තිය 10කට සමාන නම් එහි වටිනාකම ද 10 වෙයි යනු ගොසන් නම් අර්ථ ශාස්ත්‍රඥයා ඉදිරිපත් කළ තෘප්ති න්‍යායයයි. භාණ්ඩ පරිභෝගයෙහි දී භාණ්ඩයක් පරිභෝග කරන්නා ඉන් ලබන තෘප්තිය උපරිම කරගැන්මට කැමති වේය යනු ගොසන් ඉදිරිපත් කළ තවත් න්‍යායයකි. භාණ්ඩ ප්‍රමාණයක් මිල දී ගැනීමේ දී එහි ආන්තික ඒකකයෙන් ලැබිය හැකි තෘප්තිය අනුව භාණ්ඩවල මිල සසඳා බලා ඒ භාණ්ඩ මිල දී ගතයුතුය යනු සමාන්තික උපයෝගිතා න්‍යායය නමින් ගොසන් දක්වා ඇති දෙවෙනි න්‍යායය වේ. ගොසන් මේ සිද්ධාන්තයේ ප්‍රාරම්භකයා වුව ද උපයෝගිතා සිද්ධාන්තය ක්‍රමානුකූලව සකස් කරන ලද්දේ සෙසු නව- සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් විසිනි. භාණ්ඩයක වටිනාකම එහි උපයෝගිතාව හා සමානය යන අදහස මුල දී ප්‍රහේලිකාවක් විය. පරිහරණය අතින් බලන කල්හි ජලය ඉතා අගනේ ය. එහෙත් විනිමය අතින් එහි අගය අඩුය.මැණික් පරිහරණය ඉතා අල්ප වුව ද එහි විනිමය අගය අතිවිශාලය. ප්‍රහේලිකාවට හේතුවූයේ මේ තත්වයයි. එබැවින් එය විසඳීමට ගැලීයානි නමැත්තෙක් මුලින් ම ඉදිරිපත් වුයේය. යම් භාණ්ඩයක් දුලබ නම් එහි මිල අධික වේ යයි ඔහු කීය. 1870 පමණ කාලයේ දී මෙම අදහස ඕගස්ට් වෝල්රස් විසින් තවදුරටත් විග්‍රහ කරන ලදි. වියනාවේ කාල් මෙංගර් ද එංගලන්තයේ ඩබ්ලිව්. ඇස්. ජෙවන්ස් ද උපයෝගිතා සිද්ධාන්තය පදනම් කොට ගෙන ස්වතන්ත්‍රව ම කෘතීන් පළ කළහ. මේ සිද්ධාන්තයට ගණිතමය පාරිභාෂික ශබ්ද යොදමින් ලියූ කෘතියක් 1874 දී ලෝසාන් විශ්වවිද්‍යාලයේ ලියොන් වෝල්රස් පළ කළේය.ඔහුගේ අනුගාමිකයන් වූ ඕස්ට්‍රියාවේ ෆොන් බෝම් - බවර්ක්‚ ෆ්‍රෙඩරික් ෆොන් වීසර් ‚ ලෝසාන්හි වීල්ෆ්‍රේඩෝ පරේතෝ, කොලම්බියා විශ්වවිද්‍යාලයේ ජෝන් බේට්ස් ක්ලාක් යන අය ද උපයෝගිතා සිද්ධාන්තය තවදුරටත් විස්තර කළහ. යුරෝපයේ උසස් ම අධ්‍යාපන ආයතන ගණනාවක අර්ථශාස්ත්‍රඥයන් විශාල පිරිසක් විසින් එක වරට ම ආන්තික සිද්ධාන්තය ඉදිරිපත් කිරීම කරණ කොට ගෙන එය “ ආන්තික විප්ලවය ” යනුවෙන් හැඳින්වෙන්නට විය. භාණ්ඩයක වටිනාකම නිශ්චය කිරීමේ දී මුල දී මුහුණ පෑමට සිදු වූ ප්‍රහේලිකාව ඉහත කී අර්ථ ශාස්ත්‍රඥයන් විසඳුයේ භාණ්ඩයක වටිනාකම රඳාපවත්නේ පරිභෝගකරන මුළු ප්‍රමාණය මත හෝ ඒ මුළු ප්‍රමාණය පරිභෝග නොකිරීමෙන් විය හැකි චිත්තපීඩාව මත හෝ නොව පරිභෝගයට ගැනෙන ආන්තික ඒකකයේ උපයෝගිතාව මතය කියායි.මේ අනුව භාණ්ඩ ප්‍රමාණයක ආන්තික ඒකකය පරිභෝග නොකළ විට පුද්ගලයාට ඇතිවන පාඩුවෙන් ද භාණ්ඩයෙහි වටිනාකම දැනගත හැකි වේ. ජලය හිඟ පළාතක ජලයෙහි පරිහරණ වටිනාකම මෙන් ම විනිමය වටිනාකම ද විශාල විය යුතුය. ලබාගත හැකි ආන්තික ජල ඒකක ප්‍රමාණයෙන් පුද්ගලයාගේ ඉතා ම වැදගත් වුවමනාවක් පිරිමසා ගන්නා නිසා ඒ අනුව ජලයේ අගය නිශ්චය වෙයි. කවර භාණ්ඩයක් වුව ද සුලභව ඇත්තේ නම් එහි ආන්තික උපයෝගිතාව ඉතා සුළුය (උපයෝගිතාව බ.) භාණ්ඩයක් පරිභෝග කිරීමේ දී පුද්ගලයකුගේ මනස කෙසේ ක්‍රියා කරන්නේ දැයි විග්‍රහ කර බලනු සඳහා ඕස්ට්‍රියානු අර්ථශාස්ත්‍රඥයෝ බොහෝ වෙහෙස දැරුහ. එහෙත් එය පරිසමාප්ත ලෙස හැඩ ගැසුයේ ෆිලිප් වීක්ස්‍ටීඩ් නමැති ඉංග්‍රීසි ජාතිකයාය . මොවුනට කලින් උපයෝගිතා සිද්ධාන්තය ඉදිරිපත් කළ තවත් වැදගත් තැනැත්තකු මෙහි දී අප සිහිපත් කළ යුතුය. එනම් ඇල්ෆ්‍රඩ් මාෂල් නම් ඉංග්‍රීසි ජාතිකයායි. ඔහු ආන්තික මූලධර්මය ඉදිරිපත් කෙළේ 1867 පමණේ දීය. රිකාඩෝට හා ෆොන් තූනන්ට මේ සම්බන්ධයෙන් තමාගේ ණයගැතිබව මාෂල් පිළිගත්තේය. භාණ්ඩයක් පරිභෝග කිරීමේ දී පුද්ගලයකු ලබන තෘප්තිය, එනම් භාණ්ඩයක උපයෝගිතාව. මැනගත හැක්කක් බව මාෂල් කීය.
භාණ්ඩයක් පරිභෝග කිරීමේ දී පුද්ගලයකු ලබන්නා වූ මානසික තෘප්තිය ප්‍රමාණකොට ගැනීම අස්වාභාවික බව එජ්ව’ත්, පරේතෝ, අ`විං ෆිෂර් ආදි අර්ථශාස්ත්‍රඥයෝ සිතන්නට වූහ. එවැන්නක අස්වාභාවික බව මගහරවාගනු සඳහා ඔවුන් විසින් උපේක්ෂා වක්‍රය (උපයෝගිතා සිද්ධාන්තය බ.) ඉදිරිපත් කරන ලද්දේය.
නිෂ්පාදන සිද්ධාන්තය : ආන්තික මූලධර්මය පදනම් කොට ගෙන වටිනාකම් සිද්ධාන්තයට මෙන් ම නිෂ්පාදන සිද්ධාන්තයට ද යටකී නව - සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් විසින් නව මුහුණු වරක් දෙනු ලැබීය. ඔවුන්ට කලින් විසූ සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන්ගේ විශ්වාසය වූයේ භාණ්ඩයකට වටිනාකමක් ඇති වන්නේ එය සැදීමට යෙදවුණු සාධකයන් අනුවය කියායි. සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් ඉදිරිපත් කළ අදහස ඊට බෙහෙවින් ම වෙනස් විය. නිෂ්පාදන සාධක යෙදීමෙන් නිෂ්පාදිත යම් භාණ්ඩයක වටිනාකමක් ඇතිවන්නේ එහි උපයෝගිතාවක් ඇති නම් පමණය. ශ්‍රමය එක් නිෂ්පාදන සාධකයකි. කුලීකරුවන් යොදවා පුටු මේස සාදවන විට එසේ සාදවන පුටු මේසවල උපයෝගිතාවක් නොමැති නම්, එසේ නැතහොත් සමාජයට පුටු මේස නුවුවමනා නම්, ඒ වැඩට යෙදවූ ශ්‍රමය හා උපකරණවල වටිනාකම ශුන්‍ය වී යයි. නිෂ්පාදන සාධක ඒකකයක වටිනාකම නිශ්චය වන්නේ එය යෙදීමෙන් සාදවන භාණ්ඩයේ ආන්තික උපයෝගිතාව අනුවය යන්න නව - සම්භාව්‍ය නිෂ්පාදන සිද්ධාන්තයට පදනම් වන මූල ධර්මයයි. ආන්තික ඵලදාව යන අදහස ආර්ථීක සිද්ධාන්තාවලියෙහි මූල ප්‍රතිෂ්ඨාව කොට ගත්තේ ජෝන් බේස් ක්ලාක්ය. සමාජයේ ප්‍රධාන පංක්ති වලට ලැබෙන ආදායම් නිශ්චය වනුයේ ආන්තික ඵලදාව අනුව බව ප්‍රථම වරට ඔහු ප්‍රකාශ කළේය. නව-සම්භාව්‍ය මිල සිද්ධාන්තය : භාණ්ඩ ගනුදෙනුවල දී ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම හා සැපයුම අනුව භාණ්ඩයේ මිල නිශ්චය වෙයි යනු බෝම්බවර්ක්ගේ තර්කය විය. භාණ්ඩයේ ආන්තික උපයෝගිතාව මිලට වඩා අඩු නම් විකුණුම්කරුවා භාණ්ඩය නොවිකුණයි. භාණ්ඩ උපයෝගිතාව භාණ්ඩ මිලට අඩු බව ගැනුම්කරුට සිතේ නම් භාණ්ඩය ගැන්මට වෙළඳ පොළට ඔහු නොපිවිසෙයි.භාණ්ඩයක මිල පහළ වැටුණු විට භාණ්ඩ ඉල්ලුම වැඩිවන්නේ මේ නිසායි. භාණ්ඩයේ උපයෝගිතාව මිලට අඩුව තිබුණහොත් එතෙක් වෙළඳපොළට නොපිවිසුණු ඉල්ලුම්කරුවෝ මිල පහළ ගිය විට වෙළඳපොළට පිවිසෙති. ඒ අතර වෙළඳපොළෙහි මුලදී සිටි ඉල්ලුම්කරුවෝ ද එවිට භාණ්ඩ වැඩි ප්‍රමාණයක් ගනිති. ලෝකයේ සිටින ඉල්ලුම්කරුවන් ගැන සලකන මෙකී මතයෙහි සුළු වශයෙන් වත් සත්‍යයක් ඇති බව පෙනෙතත් විකුණුම්කරුවන්ගේ ක්‍රියාකලාපය සලකා බලන විට නම් එ් කොහෙත් ම නොගැළපෙන බව පැහැදිලි වේ. විකුණුම්කරුවෝ විකිණීම පිණිස නිපදවන භාණ්ඩ තමන්ගේ සාමාන්‍ය ප්‍රයෝජනයට නොගනිත්. ඔවුන්ගේ එකම පරමාර්ථය නම් සෑහෙන ලාභයක් ඇතුව භාණ්ඩ විකුණා ගැනීමය. ව්‍යාපාරිකයා භාණ්ඩ මිල හා භාණ්ඩ නිමැවුම තීරණය කරන අන්දම විග්‍රහ කිරීමේ දී ද නව සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන් විසින් “ ආන්තික ” සංකල්පය උපයෝගි කොට ගන්නා ලදි. එ් අනුව ලාභය උපරිම කර ගැනීම සඳහා ව්‍යාපාරිකයා ආන්තික වියදම ආන්තික අයභාරයට සමකරයි. මෙහි දී ව්‍යාපාරිකයා මුළු වියදම හෝ මුළු අයභාරය ගණන් නොගනී. නව - සම්භාව්‍ය මතය අනුව භාණ්ඩයෙන් එක්තරා ප්‍රමාණයක් නිෂ්පාදනය කරන තුරු සාමාන්‍ය වියදම (average cost) ක්‍රමයෙන් අඩුවන අතර එක් විශේෂ ඉමකට පැමුණුණු විට එහි සාමාන්‍ය වියදම ඉහළ නගින්නට පටන් ගනී. ආන්තික වියදම් වක්‍රයත් ආන්තික අයභාර චක්‍රයත් කැපෙන තැන දී නිපදවන්නා විසින් නිෂ්පාදනය නවතා දැමිය යුතුයි. මීට වඩා නිෂ්පාදනය කළහොත් වියදම ලැබෙන අයභාරයට වඩා අධික වේ. ඉහත කී ඉමට පැමිණීමට පෙර නිෂ්පාදනය අවසන් කළොත් සිදු වන්නේ ලබාගත හැකි ලාභය නිකරුණේ නැතිවීමයි. එබැවින් වෙළඳපොළ පූර්ණ තරඟකාර හෝ අපූර්ණ තරඟකාර හෝ ඒකාධිකාර හෝ වුව ද ව්‍යාපාරිකයා “ ආන්තික ” න්‍යායය අනුගමනය කරන බව නව - සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන්ගේ දැඩි විශ්වාසය විය. කොටින් කියතොත් භාණ්ඩ නිෂ්පාදනයේ දී ආන්තික වියදම ආන්තික අයභාරයට සම වූ විට ව්‍යාපාරිකයා භාණ්ඩ නිෂ්පාදනය නවත්වන බව සර්‍වසාමාන්‍ය මූල ධර්මයක් වශයෙන් ඔව්හු සැලකූහ. (පූර්ණ තරඟය; අපූර්ණ තරඟය; ඒකාධිකාරය බ.) මෑතක සිට භාණ්ඩ මිල හා භාණ්ඩ නිමැවුම් නිශ්චය කිරීමේ දී ආන්තික සංකල්පය යෙදීම ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ විවේචනයට ලක්වී ඇත. ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ සුප්‍රසිද්ධ අර්ථශාස්ත්‍රඥයන් දෙදෙනකු වන ආර්. එච්. හෝල් හා සී.ජේ. හිච් නමැත්තෝ ව්‍යාපාරිකයන්ගේ හැසිරීම පරීක්ෂා කර මිල හා නිමැවුම නියම කරගැනීමේ දී ඔවුන් අනුගමනය කරන න්‍යායයන් සොයාගත්හ. ව්‍යවසායකයන් ගණනාවක්ම හමු වීමෙන් ඔවුන් දෙදෙනා කළ පර්යේෂණයේ දී ලබාගත් කරුණු 1937 දී හා 1938 දී බ්‍රිතාන්‍ය සංගමයේ ඇෆ් කොටසේ (British Association, Section F) රැස්වීම්වල දී ඉදිරිපත් කරන ලදි. ඒ තාක් පිළිගෙන තිබුණේ නව - සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයන්ගේ මතයයි. පූර්ණ තරඟකාර වෙළඳ පොළේ ද අපූර්ණ තරඟකාර වෙළඳපොළේ ද කටයුතු එකී සිද්ධාන්තය අනුව විග්‍රහ කිරීමට පුළුවන් වුවද මේ වෙළඳ පොළවල් එකක් වත් සැබෑ ලොවෙහි ඇති නොවන බැව් පර්යේෂණ වලින් පෙනුණු බව ඔව්හු කීහ. දියුණු වූ සෑම ධනවාදී රටක ම සාමාන්‍යයෙන් පවත්නේ අල්පාධිකාර වෙළඳ තත්වය හෝ අපූර්ණ තරඟය හා මිශ්‍ර අල්පාධිකාර වෙළඳ තත්වයයි. එහෙයින් සැබෑ වෙළඳ තත්වය විග්‍රහ කිරීමට ආන්තික මූලධර්මය යෙදීමට නුපුළුවන් බව හෝල් හා හිච් තදින් ම ප්‍රකාශ කළෝය; ප්‍රශ්න කළ ව්‍යවසායකයන් පුරුදු මිල සිද්ධාන්තයෙන් කියවෙන පරිදි ලාභ උපරිම කරගනු වස් ආන්තික වියදම ආන්තික අයභාරයට සම නොකරන බව ද කීහ. ව්‍යවසායකයන් සැලකිලිමත් වනුයේ දිගුකලක් මුළුල්ලෙහි ස්ථීර ලාභ ලැබීමට මිස වහා ම ලාභ ලබා ගැනීමට නොවේ. එහෙයින් ආන්තික වියදම් ඒකකය වත් ආන්තික අයභාර ඒකකය වත් ගැන ඔව්හු නො වෙහෙසුණහ. භාණ්ඩයක් නිපැදවීමට යෙදිය යුතු මුල් වියදමට (prime cost) ස්ථීර වියදම් (fixed costs) ද එකතු කොට එයට සිරිත් පරිදි ව්‍යාපාරිකයා අදහස් කරන තවත් ගණනක් ලාභය හැටියට එකතු කොට ඔව්හු භාණ්ඩ මිල සාදා ගනිති. මෙහි දී ව්‍යාපාරිකයන් ගණන්ගන්නේ මුළු වියදම (full cost) මිස ආන්තික වියදම නොවේ. ලාභ උපරිම කරගැනීම ඔවුන්ගේ පරමාර්ථය ලෙස ව්‍යාපාරිකයන් නොසැලකීම ඊට හේතුවයි. මුළු වියදම් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් ව්‍යවසායකයාට උපරිම ලාභ ලැබේ නම් එසේ වන්නේ ඉබේ මය. ව්‍යවසායකයන්ට සාධාරණ ලාභ ප්‍රමාණයක් ලැබේ නම් ඔවුන් සැහීමට පත්වන වග සොයා දැන ගෙන ඇති කාරණයකි (අල්පාධිකාරය බ.) මේ සොයා ගැනීම් නිසා මිල සිද්ධාන්තයෙහි ලා ආන්තික මූලධර්මය මේ තාක් කල් ඉසුලු වැදගත්කම සැකයට භාජන වනු ඇත. මෙසේ මිල සිද්ධාන්තයෙහි ලා ආන්තික මූලධර්මයට තැනක් නැති වී යාමෙන් ආර්ථික විද්‍යාවේ අනික් අංශවල කටයුතු විග්‍රහයේ දී ද එය සැකයට ලක්වීම අනිවාර්යය. ව්‍යාප්ති න්‍යායය: නිෂ්පාදන සිද්ධාන්තයට පමණක් නොව බෙදා හැරීමේ සිද්ධාන්තයට ද නව සම්භාව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් විසින් ආන්තික සිද්ධාන්තය පදනම් කොට ගන්නා ලද්දේය.කම්කරුවාගේ වැටුප් ප්‍රමාණය නිශ්චය වනුයේ ප්‍රධාන වශයෙන් ඔහුගේ ආන්තික ඵලදාව අනුව බව පොලිය යන අර්ථශාස්ත්‍රඥයෝ පැවසූහ. බදුකුලිය, නව - සම්භාව්‍ය සියල්ල ම මේ මූලධර්මය අනුව නිරාකරණය වන බව ඔවුන්ගේ මතය විය. නිෂ්පාදනය, ආදායම් බෙදාහැරීම, භාණ්ඩ වටිනාකම යන තුනම එකම ගණයක් බව ද එහෙයින් ඒ සියල්ල ම තනි මූලධර්මයක් යොදමින් විග්‍රහ කිරීමට හැකි බව ද ඔව්හු අදහස් කළහ. සමාජයේ ඇති විවිධ පංක්ති හා භේද ගණන් නොගෙන ආර්ථික කටයුතු සියල්ලක්ම විග්‍රහ කිරීමට ඒකාබද්ධ මූල ධර්මයක් නව-සම්භාව්‍ය අර්ථශාස්ත්‍රඥයෝ බිහි කළහ. එහෙත් එය ද දැන් විවේචනයට ලක් වී ඇත.
(සංස්කරණය: 1965)