ටවර්හෝල් නාට්‍ය

සිංහල විශ්වකෝෂය වෙතින්
16:00, 20 නොවැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Tower Hall Drama). ක්‍රි.ව. 1911-1950 දක්වා කාලවකවානුව දළ වශයෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Tower Hall Drama). ක්‍රි.ව. 1911-1950 දක්වා කාලවකවානුව දළ වශයෙන් සිංහල නාට්‍ය ඉතිහාසයේ ටවර්හෝල් නාට්‍ය අවධිය ලෙස සැලකේ. වර්ෂ 1905 මාර්තු මස 'සූරසේන සහ චන්‍ද්‍ර' නාට්‍යය රඟ දක්වමින් විවෘත කෙරුණු මරදානේ පැවිලියන් රඟහල ටවර්හෝල් නාට්‍ය කලාව උද්භවය වීමට තැබූ මූලික පදනම ලෙස සැලකිය හැකි ය. පැවිලියන් නාට්‍ය අවධියේ අවසානයත්, ටවර්හෝල් නාට්‍ය යුගයේ ආරම්භයත් ඒකාබද්ධ කළ නාට්‍යකරුවා ලෙස සැලකෙන්නේ ආර්. ජෝන් පෙරේරා (1884-1914) ය.

බටහිර සංස්කෘතිකාංග අවිචාරවත් ලෙස අනුකරණය කරමින් දේශීය සංස්කෘතිකාංග බැහැර කළ තරුණ පරපුර සුමඟට ගැනීමේ උදාර පරමාර්ථය පෙරදැරි කරගෙන ජෝන් පෙරේරා විසින් 'සිංහල භාෂාලංකාර නාට්‍ය සභාව' (1903-1915) ආරම්භ කරන ලදි. සිංහල නෘත්‍ය සංගමයේ නිර්මාතෘ 'බර්තොලමිවුස්'ගේ, නාට්‍ය සභාවට සම්බන්ධ වී සිටි බොහෝ කලාකරුවන් 'සිංහල භාෂාලංකාර නාට්‍ය සංගමය'ට සම්බන්ධ වීම සමාරම්භයේ දී ජෝන් පෙරේරා ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ය. ජෝන් පෙරේරා නාට්‍ය තිස් තුනක් (33) පමණ රචනා කළේ ය. ඒ අතර, මාතලන්, නල දමයන්ති, සඳ කිඳුරු, ධර්මිෂ්ට රජ, රංග වල්ලි, රෝමියෝ ජුලියට්, ස්වර්ණතිලකා, සිරිසඟබෝ, මනමේ, හරිස්චන්‍ද්‍ර, ඇහැලේපොල, උදුම්බරා හා සෙලෙස්තිනා ප්‍රේක්ෂක රුචිකත්වය දිනා ගැනීමට තුඩු දුන් නිර්මාණ ලෙස සැලකිය හැකි ය.

ජෝන් පෙරේරා මෙන් ම ටවර්හෝල් නාට්‍ය පෝෂණය කිරීමට සිය නොමසුරු සහයෝගය දැක්වූ ප්‍රබල නාට්‍යකරුවෙකු ලෙස බී.ජේ. පෙරේරා දැක්විය හැකි ය. ඔහු විසින් රඟ දක්වනු ලැබූ නාට්‍ය අතර 'රෝමියෝ ජුලියට්', 'ස්වර්ණතිලකා', 'අලිබබා සහ හොරු හතළිහ', 'ඇලඩින් සහ පුදුම පහන' සමකාලීන ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය විය. ඔහු රඟ දැක්වූ රෝමියෝ ජුලියට් නාට්‍යයෙහි, වේදිකාවෙහි විවිධ අවස්ථා රූපණය කිරීම සඳහා භාවිත කළ දර්ශන පසුතල හෙවත් චිත්‍ර වස්ත්‍ර 24ක් ඇතුළත් ය. එසේ ම ප්‍රේක්ෂකයන් පිනවීම සඳහා සිංදු 58ක් යොදා ගෙන ඇත. එහි රෝමියෝගේ මුවට නන්වන ලද එක් ගීයක් මෙබඳු ය.

“යන්නෙමි මම-පින්සාර සුන්දා ජුලියට් ශ්‍රියා-ජුලියට් ශ්‍රියා-ජුලියට් ශ්‍රියා-සොයා මම් ජුලියට් ශ්‍රියා-යන්නෙන් මම්//

කේසා නිල් වලා ලෙසින්-දිලේ සෑම කලා-දිලෙයි සෑම කලා

ලෝ අම්බරේ-පෑ පූර්ණ චන්ද්‍රයා වැනී-චන්ද්‍රයා වැනී-චන්ද්‍රයා වැනී-ජුලියට් අත් උණොත් රුති.”

ඔහු සංවාද බස ග්‍රන්ථාගත බස් වහරට සමීපවන අයුරින් භාවිත කළ බැව් පෙනේ.

'ටවර්හෝල් රඟහල' විවෘත කරනු ලැබූයේ එකල ජාතික අරගලය මෙහෙයවමින් පුරෝගාමි මෙහෙවරක යෙදී සිටි අනගාරික ධර්මපාලතුමා විසිනි. ඒ 1911 දෙසැම්බර් 07 දින ය. එසේ ම ටවර්හෝල් රඟහල සිංහල නාට්‍ය ඉතිහාසයේ ප්‍රදීපස්ථම්භයක් ලෙස ද සැලකේ. එදින රඟ දක්වනු ලැබ ඇත්තේ සිංහල ජාතියේ ආදිතම මුතුන්මිත්තා ලෙස සැලකෙන පණ්ඩුකාභය රාජ්‍ය පාලන අවධියේ මෙරට පැවති ශ්‍රී විභූතිය හා කීර්තිය ඉස්මතු කරලීමට තුඩු දෙන නීතිඥ චාල්ස් ඩයස්ගේ 'පණ්ඩුකාභය' නාට්‍යයයි. මෙබඳු අභිමානවත් නාට්‍යයක් එදින රඟ දැක්වීම මගින් සිංහල ජාතික ස්වාධිපත්‍යය හා අනන්‍යතාව යටත්විජිත පාලකයන්ට දැනෙන්නට සැලැස්වීම අර්ථවත්යැයි ටවර්හෝල් නාට්‍ය සභාවේ අධිපති බී.ජේ. පෙරේරා කල්පනා කළේ ය.

ටවර් රඟහල ඇරඹීමත් සමඟ ම අගනුවර මෙන් ම පිට පළාත්වල ද රංග ශාලා විවෘත වන්නට විය. ඒ අනුව කොළඹ නගරයෙහි මරදානේ නිව්ඔලිම්පියා, එල්ෆින්ස්ටන්, නැෂනල් (පසුව ගාමිණි ශාලාව), පිටකොටුවේ ඇම්පයර්, වැල්ලවත්තේ ප්ලාසා, මසංගස්වීදියේ කොලිෂියම්, ආමර්වීදියේ කැපිටල්, කොච්චිකඩේ ජිංතුපිටි, සේද වත්තේ මිනර්වා ආදි රංග ශාලා ද, පානදුර, කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුරය, මීගමුව, ත්‍රිකුණාමලය, මහනුවර, මාතලේ, බදුල්ල, රත්නපුරය, හැටන් යන ප්‍රධාන නගරවල ද ප්‍රේක්ෂක රුචිකත්වයට තුඩු දෙන නාට්‍ය රඟ දැක්වීම සඳහා නාට්‍ය ශාලා බිහිවන්නට විය. එපමණක් නොව ඇතැම් ප්‍රධාන පාසල්වල ද, එනම් කොළඔ ආනන්ද, ගාල්ලේ මහින්ද, මහනුවර ධර්මරාජ ආදියෙහි නාට්‍ය රඟ දැක්වීම සඳහා ශාලා විවෘත වන්නට විය.

නාට්‍ය ශාලා විවෘත වීමට සමාන්තර ව නාට්‍ය සංවිධාන රැසක් ද ගොඩනැගෙන්නට වූයේ ය. ටවර්හෝල්හි බී.ජේ. පෙරේරාගේ අධිකාරීත්වයෙන් 'කොළඹ සිංහල නාට්‍ය සභාව' ද ජෝන් ද සිල්වාගේ නායකත්වයෙන් ග්‍රෑන්ඩ්පාස්හි 'විජය රංග සභාව' ද, ජේ. පීටර් සිල්වාගේ ප්‍රමුඛත්වයෙන් 'විපුලජන රංග සභාව' ද, යූ.පී.පී. අබේසේකරගේ 'සරස්වතී' නාට්‍ය සභාව ද ආදි වශයෙන් වෘත්තීය නළු කණ්ඩායම් කිහිපයක් ම බිහි වූයේ ය. මෙම නාට්‍ය සංවිධානවලට නළුවන් මෙන් ම, සෙසු ශිල්පීහු ද ඇතුළත් වූහ. ඇතැම් විට මේ නළුවන්ට හා ශිල්පීන්ට ඉඳුම් හිටුම්, කෑම්බීම් හා ගමන් වියදම් යනාදියෙහි සියලු වියදම් දරනු ලැබූයේ නාට්‍ය සංවිධාන විසිනි. එසේ ම ඔවුන්ට මාසික වැටුපක් ද ගෙවනු ලැබී ය.

ටවර්හෝල් නාට්‍ය පෝෂණය කිරීමට සුවිශේෂ මෙහෙයක් සිදු කරන ලද තවත් නාට්‍යකරුවෙකු ලෙස මැන්දිස් පෙරේරා දැක්විය හැකි ය. ඔහු විසින් ජාතක කතා හා ඓතිහාසික කතා පුවත් පාදක කරගෙන නාට්‍ය තිහක් පමණ රචනා කරන ලදි. මෙකල ඉන්දියාවේ බොම්බායේ ප්‍රකට නාට්‍ය සංගීතඥයෙකු වූ මහාචාර්ය 'හවාබ් ඛාන් ආෂි' පඩිවරයා ලංකාවට පැමිණ 1921-1925 අතර කාලයෙහි ටවර්හෝල්හි 'ආර්ය සිංහල නාට්‍ය සභාවේ' ප්‍රධාන සංගීතාචාර්යවරයා ලෙස සේවය කිරීම ටවර්හෝල් නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර වඩාත් ප්‍රචලිත වීමට තුඩු දුන් එක් සුවිශේෂ කරුණක් විය. චන්ද්‍රිකා, සුභද්‍රා, ලලිතා, මහාභාරත ආදි නාට්‍යවල සංගීතය සැපයූයේ ඔහු විසිනි. එහි දී ප්‍රථමවරට කවාලි රාගතාල භාවිත කළ බැව් සඳහන් වේ.

ටවර්හෝල් නාට්‍ය යන්නෙන් අදහස් කෙරුණේ හුදෙක් ටවර් රඟහලේ රඟ දැක්වූ නාට්‍ය පමණක් නොවේ. මෙකල සෙසු නාට්‍ය ශාලාවල රඟ දැක්වූ නීතිඥ ජෝන් ද සිල්වා හා නීතීඥ චාල්ස් ඩයස් යන නාට්‍යකරුවන්ගේ නාට්‍ය ද පොදුවේ ටවර්හෝල් නාට්‍ය යන අපදානයෙන් හඳුන්වනු ලැබී ය. මෙහි රඟ දැක්වූ සිවම්මා ධනපාල, විදුර නාටකය, පද්මාවතී, ධර්මාශෝක, සුවිනීත භාර්යා, පෙරකදෝරු බෑණා, වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය නාට්‍ය ලෙස දැක්විය හැකි ය.

සිනමාව හඳුන්වාදීමත් සමඟ ම, ටවර්හෝල් රඟහල චිත්‍රපටි ප්‍රදර්ශනය සඳහා යොදා ගැනීම, ටවර්හෝල් නාට්‍ය ප්‍රබෝධයට කනකොකා හැඬීමක් සේ සැලකිය හැකි ය. නූර්ති නාට්‍ය මෙන් ම, ටවර්හෝල් නාට්‍ය ලෙස හඳුන්වන ලද නාට්‍යය ද, ක්‍රමයෙන් ප්‍රේක්ෂක අවධානයෙන් ගිලිහෙන්නට වූයේ ය. ඒ අනුව ඇතැම්හු සැබැවින් ම ටවර්හෝල් නාට්‍ය අවධිය ලෙස සැලකිය හැකිවන්නේ 1911-1933 අතර දශක දෙකක පමණ කාලය යැයි පවසති.

මෙකල ටවර්හෝල් සම්ප්‍රදාය රැක ගැනීමට එයට යම්බඳු ජීව වායුවක් සැපයීමට විමසිලිමත් වූ අනෙක් නාට්‍යකරුවා වන්නේ සිරිසේන විමලවීර ය. ඔහු විසින් ද උදාර ජාතික අරමුණු පෙරදැරි කර ගෙන 'සුරඟන', 'ලංකා යක්ෂණී', 'සිංහල කොඩිය', 'රොඩී කෙල්ල', 'අම්මා', 'සිංහල වීරයා', 'සීදේවි', 'පිටිසර කෙල්ල' ආදි නාට්‍ය රඟ දක්වන ලදි. එහි දී විහිළුතහළු හා ප්‍රේම ජවනිකා තැන නොතැන නොවිමසා යොදා ගැනීම හේතු කොටගෙන ප්‍රබුද්ධ රසිකයෝ ක්‍රමයෙන් නාට්‍ය කලාවෙන් ඈත්වන්නට වූහ. කෙසේ වුව ද ඔහු ද පසු කාලයේ දී සිනමාවට සම්බන්ධ වූයේ ය.

ටවර්හෝල් සම්ප්‍රදාය නියෝජනය කරන අනෙක් නාට්‍යකරුවා වන්නේ බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න ය. ඔහුගේ නාට්‍ය ජයමාන්න නාට්‍ය ලෙස ද ප්‍රකට වූයේ ය. නාඩගම් හා නූර්ති රංග සම්ප්‍රදායන්ගෙන් සම්පූර්ණයෙන් ම ඈත් වී බටහිර ප්‍රචලිත ස්වාභාවික රංග ශෛලිය (Naturalistic Drama) අනුගමනය කරමින් ජයමාන්න රඟ දැක් වූ නාට්‍යවලට ප්‍රේම ජවනිකා, විහිළුතහළු, විනෝද සවාරි ආදි අංගෝපාංග ඇතුළත් විය. මෙම නාට්‍ය මගින් සමකාලීන අත්දැකීම් විවරණය කිරීමට උත්සාහ ගැනීම අගය කළ යුතු ය. සමකාලීන ව්‍යවහාර බස, දෙපිට කැපෙන සංවාදවලින් යුක්ත ව භාවිත කිරීමට පෙලඹීම නාට්‍ය කලාවේ ප්‍රගතියට වඩා පිරිහීමට තුඩු දුන්නේ ය. කිසියම් එක් සම්ප්‍රදායක් ඔහුගේ නාට්‍යවලින් ප්‍රකට නොවී ය. ස්වාභාවික රංග ශෛලිගත ලක්ෂණ මෙන් ම ගී, සිංදු ඇතුළු ශෛලිගත රංග ලක්ෂණ ද ඒවායින් දක්නට ලැබුණි. මෙම රංග ශෛලීන් දෙකේ මිශ්‍රණය ඔහුගේ නාට්‍යවල ප්‍රගමනයට තුඩු නොදුන්නේ ය. ඔහුගේ නාට්‍ය අතර කඩවුණු පොරොන්දුව, පෙරළෙන ඉරණම, සැඟවුණු පිළිතුර, වැරදුණු කුරුමානම, අවතාරය හා කපටි ආරක්ෂකයා බඳු නාට්‍ය වඩාත් ජනප්‍රිය වූයේ ය. කෙසේ වුව ද ජයමාන්න නාට්‍ය ක්‍ෂණික ජනප්‍රියත්වය ලද ආකාරයට ම ඉක්මනින් ම ප්‍රේක්‍ෂක අවධානයෙන් ගිලිහී යන්නට වූයේ ය. සමස්තයක් වශයෙන් ගත් විට ටවර්හෝල් නාට්‍යවලින් ද සාරවත් නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැගුණේ නැත. එහෙත් විශ්වවිද්‍යාල නාට්‍ය උදා වී සිංහල නාට්‍ය කලාවේ පුනර්ජීවනයක් ඇතිවන තෙක් එහි පණ නල රැකගැනීමට ටවර්හෝල් හා ජයමාන්න නාට්‍යවලින් යම්බඳු මෙහෙයක් සිදුවුණු බව පිළිගත යුතු ව ඇත.

ආශ්‍රේය ග්‍රන්ථ

රත්නායක, ඇල්.ඩී.ඒ. (1972) ටවර්හෝල් නාටක ඉතිහාසය

දිසානායක, විමල් (1974) ජෝන් ද සිල්වා හා සිංහල නාට්‍යය

අබේපාල, රෝලන්ඩ් (1987) ශ්‍රී ලංකාවේ නාට්‍ය හා රංග කලාව

(කර්තෘ: කුලතිලක කුමාරසිංහ)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටවර්හෝල්_නාට්‍ය&oldid=6512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි