ටවුංජී
(Taunggyi). මියන්මාර (බුරුම)යේ මධ්‍යම නැගෙනහිර ෂාන් ප්‍රාන්තයේ (Shan State) නගරයක් වන මෙය එම ප්‍රාන්තයේ විශාලතම නගරය ද අගනුවර ද වේ. බුරුම භාෂාවට අනුව 'ටවුංජි' යන්නෙහි අරුත 'විශාල කන්ද යන්නයි. තසි-කෙන් ටුන් (Thazi-Keng Tung) මාර්ගයෙහි පිහිටි මෙම නගරය මු.ම. සිට මී.1,436ක පමණ උසකින් පිහිටා තිබේ. ස්වෙන්යන් (Shwenyaung) සහ ඉන්නේ විලට (Inle Lake) උතුරින් ටවුංජි පිහිටා ඇත. 1894 දී ගොඩනගන ලද මෙම නගරය උ.අ.20 47’ හා නැ.දේ.97 02’ට අයත් ය.
බ්‍රිතාන්‍ය පාලන සමයෙහි මෙම නගරය දකුණු ශාන් ප්‍රාන්තයේ අගනගරය වශයෙන් පැවතිණ. ටවුංජිවල වර්තමාන දියුණුව ආරම්භ වූයේ 1894 දී ය. එය සිදුවූයේ බ්‍රිතාන්‍ය පාලන කාර්යාල ඉන්ලේ විලෙහි නැගෙනහිර තීරයේ සිට ටවුංජිහි ඉහළ ම මුහුදු මට්ටම් ප්‍රදේශය වෙත ගෙනයෑම හේතුවෙනි. එය සිදු කෙරුණේ භූගෝලීය හා සනීපාරක්ෂක සාධක හේතුවෙනි. ටවුංජි වූකලි භූගෝල විද්‍යාත්මක ව යෝන්වේ (Yawnghwe) ප්‍රාන්තයට අයත් වුව ද බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සෝබ්වාගේ (Sawbwa) පරිපාලනයෙන් එය නිදහස් කර ගැනීමෙන් පසු හඳුනාගත් පළාතක් (notified area) ලෙස නම් කෙරිණ. 1906 දී එහි නිවාස දහසක් පමණ පැවතිණි. 1900 දී ශාන් ප්‍රාන්තයේ ඇති වූ සිවිල් යුද්ධ හේතුවෙන් ටවුංජි නගරය ප්‍රධාන ආරක්ෂක බළකොටුවක් බවට පත්විය. තව ද ටවුංජි නගරය ශාන් ප්‍රාන්තයේ සැපයුම් මෙන් ම විවිධ ජනවර්ගවලට ආහාර සපයන මධ්‍යස්ථානයක් ද විය.
නගරයේ ඇති පහසුකම් වනුයේ ආරෝප්යශාලා, උසස් කාර්මික විද්‍යාලය, ගුරු පුහුණු ආයතනය, කැන්කම්බව්සා පෞද්ගලික විද්‍යාලය, ටවුංජි විද්‍යාලය, මණ්ඩලේ නගරයේ ඇති කලා හා විද්‍යා විශ්වවිද්‍යාලයට අනුබද්ධ ටවුංජි විද්‍යාලය ආදියයි. දඩයම් සඳහා වෙන් කරන ලද ප්‍රදේශයක් මීට සමීපයෙහි ඇත. ටවුංජි නගරයේ බහුතර ජනයා බෞද්ධයන් වන අතර ක්‍රිස්තියානි සහ ඉස්ලාම් බැතිමත්හු ද වෙසෙති. මෙහි ජනගහනය 2014 දී 205,000ක් පමණ විය.
(කර්තෘ: උස්ගොඩ ධම්මගරු හිමි)
(සංස්කරණය: 1965)