ෆ්‍රෑන්ක් විලියම් ටවුසිග්

සිංහල විශ්වකෝෂය වෙතින්
16:12, 20 නොවැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Frank William Taussig). (1859.12.28-1940.11.11). ඇමෙරිකානු ජාතික ආර්ථික විද...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Frank William Taussig). (1859.12.28-1940.11.11). ඇමෙරිකානු ජාතික ආර්ථික විද්‍යාඥයෙකි. ශාන්ත ලුවීහි දී උපත ලද මොහු ප්‍රදේශීය පාසල්වල මූලික අධ්‍යාපනය ලබා පසු ව ශාන්ත ලුවීහි පිහිටි වොෂින්ටන් විශ්වවිද්‍යාලයට ඇතුළු විය. හාවඩ් විශ්වවිද්‍යාලයෙන් 1879 දී උපාධි ලැබී ය. පසුව හෙතෙම, බර්ලින් විශ්වවිද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබී ය.

1882 දී ටවුසිග් හාවඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපදේශකවරයකු වශයෙන් පත් කරන ලදි. 1892 දී එම විශ්වවිද්‍යාලයේ ම ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් පත් කරනු ලැබිණි. 1896 සිට 1937 දක්වා ‘ආර්ථික විද්‍යා චතුර්මාසිකයේ’ (Quarterly Journal of Economics) සංස්කාරක වශයෙන් කටයුතු කළ ටවුසිග් 1904-05 කාලයේ ඇමෙරිකානු ආර්ථික විද්‍යා සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළේ ය. 1917-19 කාලසීමාව තුළ දී එක්සත් ජනපද තීරුබදු කොමිසමේ සභාපති වශයෙන් ක්‍රියා කළ ටවුසිග් 1919 පැරිස් සාම සම්මේලනයේ දී ඇමෙරිකානු නියෝජිතයා ලෙස සහභාගි විය. 1919-20 කාලයෙහි පැවැත්වුණු කර්මාන්ත සම්මේලනයේ සාමාජිකයකු වශයෙන් ද 1919-26 කාලයෙහි සීනි සීමාකාර මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ද සේවය කළේ ය. ඔහුගේ නායකත්වය යටතේ හාවඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික හා වාණිජ විද්‍යා පීඨය එක්සත් ජනපදයේ මෙන් ම ලෝකයේ කීර්තිමත් පීඨයක් බවට පත්විය. ෆ්‍රෑන්ක් විලියම් ටවුසිග් ග්‍රන්ථ කිහිපයක් පළ කොට ඇත. ආර්ථික විද්‍යා මූලධර්ම (Principles of Economics, 1911), වැටුප් හා ප්‍රාග්ධනය (Wages and Capital, 1896), එක්සත් ජනපදයේ තීරුබදු ඉතිහාසය (Tax History of United States, 1923), තීරුබදු ප්‍රශ්නය පිළිබඳ සමහර පැති (Some Aspects of the Tariff Question, 1915), නවෝත්පාදකයන් සහ මුදල් උපයන්නන් (Inventors and Money Makers, 1915), නිදහස් වෙළෙඳාම හා තීරුබදු (Free Trade and Tariff, 1920), ජාත්‍යන්තර වෙළෙඳාම (International Trade, 1927).

මේ හැර ටවුසිග් විසින් ශාස්ත්‍රීය ලිපි ගණනාවක් ද පළ කොට ඇත. 1940 කේම්බ්‍රිජ්හි දී ටවුසිග් මිය ගියේ ය.

(කර්තෘ: තිස්ස ඊරියගම)

(සංස්කරණය: 1965)