ටස්මේනියාව

සිංහල විශ්වකෝෂය වෙතින්
10:26, 2 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Tasmania). ඕස්ට්‍රේලියා (ඕස්ට්‍රේලියාව බ.) මහාද්වී...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Tasmania). ඕස්ට්‍රේලියා (ඕස්ට්‍රේලියාව බ.) මහාද්වීපයට දකුණින් පිහිටි ඕස්ට්‍රේලියානු පාලනතන්ත්‍රයට අයත් ප්‍රාන්තයක් ලෙස පිළිගැනෙන දූපත් සමූහයකි. ටස්මේනියාව නමින් ම හැඳින්වෙන එහි ප්‍රධාන දූපත ඕස්ට්‍රේලියා මහාද්වීපයට කිමී. 240ක් දුරින් බාස් සමුද්‍ර සන්ධියෙන් වෙන් වී පිහිටා ඇත. ලෝකයේ 26 වන විශාලතම දූපත ලෙස මෙය සැලකේ. ප්‍රධාන දූපත වටා පිහිටි පරිවාර දූපත් 334කින් සමන්විත මෙය, ස්වභාව සෞන්දර්යයෙන් අනූන පරිසරයකින් යුක්ත ය. ටස්මේනියාවේ භූමියෙන් 45%ක් පමණ වනරක්ෂිතවලින් වැසී පවතී. 2012 වසරේ පැවැත්වූ 6 වන සංගණනයට අනුව මෙහි ජනගහනය 512,100කි. ඉන් අඩක් පමණ වාසය කරන්නේ අගනුවර වන හොබාට් (Hobart) නගරයේ ය. ටස්මේනියාවේ විශාලත්වය ව.කිමී.68,401ක් වන අතර ජනඝනත්වය ව.කිමී. පුද්ගලයින් 7.24කි.

ටස්මේනියාව ප්‍රථමයෙන් අනාවරණය කළ යුරෝපීයයා නෙදර්ලන්ත දේශාටක අබෙල් ටස්මන් (Abel Tasman) ය. ඒ 1642 වසරේ නොවැම්බර් 24 වන දිනයි. ‘ඕලන්ද නැගෙනහිර ඉන්දියාවේ’ (Dutch East Indies) ආණ්ඩුකාර ඇන්තනී වන් ඩීමන් (Anthony Van Diemen) මෙම දූපතට පය තැබීමෙන් පසු එය ‘ඇන්තනී වන් ඩීමන්ස් ලෑන්ඩ්’ (Anthony Van Diemen's Land) ලෙස ද එය කෙටිකර ‘වන් ඩීමන්ස් ලෑන්ඩ්’ ලෙස ද හඳුන්වන ලදි. එහෙත් 1856 ජනවාරි 01 දායින් පසු දිවයින පිළිබඳ ව මුලින් ම වාර්තා සැපයූ යුරෝපීය දේශ ගවේෂකයාට උපහාරයක් වශයෙන් ‘ටස්මේනියා’ ලෙස එහි නිල නාමය වෙනස් කෙරුණි.

ටස්මේනියා දිවයින ජනාවාස වී තිබුණේ ටස්මේනියන් ඇබොරොජිනියන්වරුන්ගෙනි. මොවුන් වසර 35,000කට පෙරත් මෙහි විසූ බවට සාක්ෂි පවතී. එකල මෙම දූපත ඕස්ට්‍රේලියා ප්‍රධාන භූමියට සම්බන්ධ ව තිබී ඇත. මුහුදේ ජල මට්ටම ඉහළ යෑමෙන් දූපත ප්‍රධාන භූ ස්කන්ධයෙන් වෙන්වී ඇත්තේ මීට වසර දසදහසකට පමණ පෙර බව භූ විද්‍යාත්මක වාර්තා සාක්ෂි දරයි. යුරෝපීයයන් මෙහි පැමිණෙන විට ප්‍රධාන ජන කණ්ඩායම් 9කට අයත් ඇබොරොජිනියන්වරුන් 5,000-10,000ක් අතර ප්‍රමාණයක් මෙහි වාසය කර ඇති බව ගණන් බලා ඇත.

ටස්මේනියාවට පැමිණි මුල් ම යුරෝපීය පදිංචිකරුවන් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෝ 1800 දී රිස්ඩන් බොක්ක ආශ්‍රිත ව පදිංචි වූහ. මාස දෙකක කාලයක දී එම පිරිස සියයක් පමණ දක්වා වර්ධනය වී ඇත. 1804 දී කපිතාන් ඩේවිඩ් කොලින්ස් විසින්, කිමී. 5ක් පමණ දකුණු දිගට වන්නට සුලිවන්ස් බොක්ක ආශ්‍රිත වෛකල්පික ස්ථානයක ජනයා පදිංචි කරවීම අරඹන ලදි. මෙම වාසස්ථානය පසුව හොබාට් නගරය ලෙස සංවර්ධනය විය. එයට හොබාට් යන නාමය තබන ලද්දේ එවක බ්‍රිතාන්‍ය යටත් විජිත මහලේකම්වරයාගේ නම අනුව යමිනි. ඉන්පසු, පැරණි වාසස්ථානය වූ රිස්ඩන් අතහැර දැමුණි. මුල් කාලයේ ටස්මේනියාවේ පදිංචි කළ පුද්ගලයන් බහුතරයක් එංගලන්ත උසාවිවලින් වරදකරුවන් වූ සිරකරුවන් හා ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීහු වූහ. ඔවුහු මේ දිවයිනේ කෘෂිකාර්මික කටයුතු සහ බරපතළ වැඩ සඳහා යොදා ගැනුණහ. 1803 සිට 1853 දක්වා වසර 50ක් තුළ 75,000ක් පමණ සිරකරුවන් සහ චූදිතයන් ප්‍රමාණයක් ගොඩබස්සවා ඇත.

1825 දෙසැම්බර් 03 වන දින ටස්මේනියාව හෙවත් එවක ‘වන් ඩීමන්ස් ලෑන්ඩ්’ ලෙස හැඳින්වුණු මෙම දිවයින වෙන ම කොලනියක් ලෙස ප්‍රකාශ කෙරිණි. 1856 දී වෙන ම නීති සම්පාදන සහ ව්‍යවස්ථාදායක මණ්ඩල පත් කරන ලදි. එතැන් පටන් 1901 ඕස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත පහ සමඟ ඒකාබද්ධ වන තෙක් ටස්මේනියාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට අයත් වෙනම ප්‍රදේශයක් ලෙස පාලනය කෙරිණ.

වර්තමානයේ ටස්මේනියාව ඕස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාපිත ප්‍රාන්ත රාජ්‍යයකි. වත්මනෙහි මෙහි ආණ්ඩුකාර ධුරය හොබවනුයේ පීටර් අන්ඩර්වුඩ් (Peter Underwood) වන අතර ප්‍රධාන අමාත්‍ය ධුරය කම්කරු පක්ෂයේ (ALP) ලාරා ගිඩින්ස් (Lara Giddings) විසින් දරනු ලබයි. ඇය ටස්මේනියාවේ ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරිය ලෙස පත්වූයේ 2011 දී ය. මෙහි ප්‍රාන්ත සභාව සාමාජිකයින් 25 දෙනකුගෙන් සමන්විත ය. වර්තමානයේ පාලක කම්කරු පක්ෂයේ සාමාජිකයන් 10ක් ද ලිබරල් පක්ෂයේ සාමාජිකයන් 10ක් ද හරිත පක්ෂයේ සාමාජිකයන් 5ක් ද ආදි වශයෙන් එම සභාවෙහි ආසන බෙදී ඇත. ටස්මේනියාවේ නිල වෙබ් අඩවිය www.tas.gov.au (2013) වේ.

(කර්තෘ: ආර්.පී.අයි.එල්. පියරත්න)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටස්මේනියාව&oldid=6536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි