ආයෝජනය
(Investment). යම්කිසි ආදායමක් හෝ ලාභයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් වෙළෙඳාමක, ව්‍යාපාරයක හෝ වෙනත් කටයුත්තක මුදල් යෙදවීම ආයෝජනය නම් වේ.
මෙසේ පුළුල් වශයෙන් ගත් කල මුදල් ණයට දීම, ගෙවල් දොරවල් ඇතුළු කල් පවතින භාණ්ඩ ගැනීම, රැකියාවන් සඳහා විශේෂයෙන් පුහුණුවීම සහ මුදල් ණයට දීම යනාදි නොයෙක් විධියේ සමපේක්ෂණ කටයුතුවල මුදල් යෙදවීම ආයෝජන කටයුතු වශයෙන් පිළිගත හැකි වේ. මුදල් ණයට දීමෙන් පොළී වශයෙන් මාසික හෝ වාර්ෂික ආදායමක් ලබාගැනීමට පුළුවන. ගෙවල් දොරවල් ඇතුළු කල් පවතින භාණ්ඩ ගැනීමෙන් පුද්ගලයකුට මුදලින් ආදායමක් නොලැබෙතත් මානසික තෘප්තියක් ලැබේ. විශේෂ පුහුණුවක් ලබාගැනීමෙන් අනාගත කාලයක දී උසස් රැකියාවක් කරමින් ආදායමක් ලබාගැනීමට කෙනකුට බලාපොරොත්තු විය හැකිය. සමපේක්ෂණ කටයුතුවල මුදල් යෙදීමෙන් සමහර අවස්ථාවල දී අතිවිශාල ලාභ ලබාගැනීමට ද පුළුවන.
මෙකී පෞද්ගලික ආයෝජන කටයුතු සියල්ලක් මඟින් රටක ආයෝජන මුළුල්ල (total investment) තර නොවන්නේය. මෙහි දී නිදසුනක් ගෙන බැලීම වටී. කෙනකු තව කෙනකුගෙන් ව්‍යාපාරික කොටසක් මිල දී ගන්නා විට ඔහු කරන්නේ ස්වකීය මුදල් ආයෝජනය කිරීමයි. එහෙත් සමාජය අතින් බලන කල්හි ඔහුගේ ක්‍රියාවෙන් කිසිසේත් සමාජයේ ආයෝජනය වැඩෙන්නේ නැත. සමාජය අතින් බැලූ කල්හි එක් පුද්ගලයකුගෙන් ව්‍යාපාරයක් හෝ ව්‍යාපාරයක කොටසක් මුදලට ගැනීම වත්කම් මාරුකිරීමක් විනා නියම ආයෝජන කටයුත්තක් නොවේ. එහෙයින් මුළු රටක ජාතික ආයෝජනය යනුවෙන් අදහස් කළ හැක්කේ එම රටේ ප්‍රාග්ධනය හෙවත් රටේ ධනය ඉපැයීමේ ශක්තිය වැඩිදියුණු කරවන කටයුතු පමණකි. මේ අනුව අලුතින් වැවිලි කර්මාන්තයක් ඇරඹීම, භාණ්ඩ නිෂ්පාදනය කිරීම, යන්ත්‍රෝපකරණ ගැනීම යනාදියෙන් රටක ප්‍රාග්ධනය සහ රටක ආදායම් උපදවන ශක්තිය වැඩිදියුණු කරවන නිසා ඒ කටයුතු හේතු කොටගෙන ජාතික ආයෝජනය තර වෙයි.
රටකට ආයෝජනය සඳහා යෙදිය හැක්කේ රටේ ඇති ඉතුරුකිරීම් මුළුල්ලයි. වර්තමාන පරිභෝජනය (current consumption) පිළිබදව වැය වන මුදල් ප්‍රමාණය මුළු ආදායමින් අඩු කළ විට ඉතුරුවන මුදල් ප්‍රමාණය රටක මුළු ඉතුරුකිරීම් ප්‍රමාණය වේ. රටක ඉතුරුකිරීම් පරිමාව කෙරෙහි බලපාන සාධක ගණනක් ඇත්තේය. සමාජය සතුව තිබෙන ස්වාභාවික සම්පත් පරිමාව, නිෂ්පාදන දියුණුව, ජනයා අතර ආදායම බෙදී තිබෙන අන්දම, ජනයාගේ අරපරෙස්සම හා උගත්කම, ආණ්ඩුවේ ස්ථාවරබව, මුදල් ඉතුරු කිරීමටත් ආදායමක් ලැබෙන අන්දමින් මුදල් ආයෝජනය කිරීමටත් ඉඩ පහසුකම් සලසන විශේෂ ආයතන තිබීම යනාදිය ඒ සාධකවලින් සමහරකි.
රටක ආයෝජන පරිමාව නිශ්චය වනුයේ ව්‍යවසායකයන් හා ආණ්ඩුව ආයෝජන කටයුතු පිළිබඳව ගන්නා තීරණ අනුවයි. ආයෝජන කටයුතු සංවිධානය කර ඇති අන්දම සහ ඒවායේ අයිතිය අනුව රටක ආයෝජන ව්‍යූහය පොදු අංශය සහ පෞද්ගලික අංශය වශයෙන් අංශ දෙකකට බෙදනු ලැබේ. මෑතක සිට ආර්ථික සංවර්ධනය ඇති කිරීමට ප්‍රයත්න දරන අර්ධ දියුණු අග්නිදිග ආසියාතික රටවලත් අලුතින් නිදහස දිනාගත් අප්‍රිකානු රටවලත් මූලික වශයෙන් ආයෝජන කටයුතු සංවිධානය කිරීමේ වගකීම බාරගෙන ඇත්තේ ඒ රටවල ආණ්ඩුය. රටේ ආර්ථික දියුණුව ඇති කිරීම සඳහා ආයෝජන කටයුතු දියුණු කිරීම නූතන රාජ්‍යයන්හි ප්‍රධාන කාර්‍ය්‍යයක් සේ පිළිගැනේ. ඉන්දියාවේ පස් අවුරුදු සැලැස්ම මඟින් රටේ ආයෝජන කටයුතු රාශියක් ම මෙහෙයවනු ලැබ ඇත. ලංකාවෙහි ද දස අවුරුදු සැලැස්මක් ඇත්තේය. මෙකී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී සමහර ආයෝජන කටයුතුවල රජය කෙළින් ම නිරත වන අවස්ථාවල් ඇත. බොහෝ සෙයින් රජය මඟින් එවැනි කටයුතු සංවිධානය කිරීම සඳහා පොදු සමායතන පිහිටුවීම සාමාන්‍ය සිරිතයි. රුසියාව, චීනය සහ වෙනත් කොමියුනිස්ට් රටවල මෙන් පෞද්ගලික අංශයේ වැදගත්කම ඉහත කී අග්නිදිග ආසියාතික සහ අප්‍රිකානු රටවල අඩු වී ගොස් නැත. දියුණු වූ ධනවාදී රටවල මෙන් ම මේ රටවල ද ආයෝජන කටයුතු විශාල ගණනාවක් ම පෞද්ගලික ව්‍යවසායකයා මඟින් සිදු කරනු ලැබේ. මේ රටවල පෞද්ගලික ව්‍යවසායකයාට ආයෝජන කටයුතුවල වඩ වඩාත් නිරත වීමට ආණ්ඩුව නොයෙකුත් රුකුල් සපයයි.
(සංස්කරණය: 1965)