ආරණ්‍යක මේධඞ්කර

සිංහල විශ්වකෝෂය වෙතින්
10:41, 4 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දිඹුලාගල වනවාසික පරම්පරායෙහි වූ බුද්ධවංශ වනර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දිඹුලාගල වනවාසික පරම්පරායෙහි වූ බුද්ධවංශ වනරතන මහාස්ථවිරපාදයන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණෝය. මුන්වහන්සේගේ ජීවනසමය පොළොන්නරු යුගයේ අවසානභාගයට හා දඹදෙණි යුගයේ මුල්භාගයට ද අයත් වෙයි. දඹදෙණි රාජධානිය ගොඩනැඟූ වත්හිමි විජයබාහු රජතුමා විසින් කරවන ලද ශාසන ශුද්ධියෙහි ද ඊට මඳ කලකට පසුව පණ්ඩිත පරාක්‍රමබාහු II රජතුමා කැරැවූ ශාසන ශුද්ධියෙහි ද මේ තෙරණුවෝ පෙනී සිටියහ. විජයබාහු ශාසන ශුද්ධියෙහි ප්‍රමුඛ වූවෝ සඞ්ඝරක්ෂිත මාහිමියෝය. එහි දී වනවාසික සඞ්ඝයාවහන්සේ අතුරෙහි ප්‍රධාන වූවෝ මේධඞ්කර ස්වාමීහුය. එවකට උන්වහන්සේ දිඹුලාගල වැඩසිටි බව ද පෙනේ. "උදුම්බරගිරි නිවාසී මේධඞ්කර මහාස්ථවිර ප්‍රමුඛ වනවාසික වූ ද" යන දඹදෙණි කතිකාවත් පාඨය මෙහි ලා සැලකිය යුතුය. පැරකුම්බා ශාසන ශුද්ධි අවස්ථාව වන විට සඞ්ඝරක්ෂිත මාහිමියන්ගේ අභාවයෙන් මුන්වහන්සේ සඞ්ඝරාජ පදවියට ද පැමිණ සිටියහ. ඒ කතිකාවතෙහි ම "ශාසනෝ පස්තම්භකාරී අර්ථානුගත වනරත්නාභිධාන බුද්ධවංශ මහාස්ථවිරපාදයාණන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය තත්කාල ශාසනානුශාසක ආරණ්‍යක මේධඞ්කරමහාස්වාමි ප්‍රමුඛ" යනාදිය ද විමසිය යුතුය. මෙයින් මේධඞ්කර තෙරණුවන් බුද්ධවංස වනරතන තෙරණුවන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා බවත් සඞ්ඝරක්ෂිත මාහිමියන්ට අනතුරුව මාහිමි පදවියට පැමිණි බවත් නිසැකයෙන් ම දතයුතුය.

'විනයාර්ථසමුච්චය' නම් වූ විනයපිටක සන්නය මේ ආරණ්‍යක මේධඞ්කර මාහිමියන් විසින් ලියන ලද්දෙකැයි සලකති. එහි නිගමන වාක්‍යයෙහි "මහාසාරත්ථදීපනී චූලසාරත්ථදීපනී පඤ්චිකාලඞ්කාරාදි වූ මහත් ග්‍රන්ථසාරයන් කළ සැරියුත් මාහිමියන්වහන්සේගේ ද මොග්ගල්ලායන ව්‍යාකරණය කළ මුගලන් මහතෙරුන්වහන්සේගේ ද සමීපයෙහි විනයපිටකය ටීකා සහිත කොට අසා" යනාදි පාඨය පැනෙන හෙයින් සැරියුත් මාහිමියන් හා මුගලන් මහතෙරුන් වෙත මේධඞ්කර මාහිමියන් විනය උගත් බව ද කියති. විනයාර්ථසමුච්චය මේ තෙරණුවන්ගේ කෘතියක් නම් ඒ කීම පිළිගත යුතුය. එවිට මේධඞ්කර මාහිමියෝ අවුරුදු සියයකට ද වඩා ජීවත් වූහ යි කියයුතු වන්නේය. පදසාධන සන්නය රචනා කළ ආනන්ද (පසුව ආනන්ද වනරතන) තෙරණුවෝ මේධඞ්කර මාහිමියන්ගේ ශිෂ්‍ය කෙනෙක් වූහ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආරණ්‍යක_මේධඞ්කර&oldid=6567" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි