ආර්කොට්

සිංහල විශ්වකෝෂය වෙතින්
12:25, 4 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙකල දකුණු ඉන්දියාවේ මදුරාසි රාජ්‍යයේ දිස්ත්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙකල දකුණු ඉන්දියාවේ මදුරාසි රාජ්‍යයේ දිස්ත්‍රික්ක දෙකක් හා නගරයක් මෙනමින් හැඳින්වේ. මෙයින් ප්‍රධාන දිස්ත්‍රික්කය වන උතුරු ආර්කොට් පිහිටා ඇත්තේ රට අභ්‍යන්තරයේය. එහි භූමි ප්‍රමාණය වර්ග සැතැප්ම 4,674ක් පමණ වේ. ජනගහනය (1951) 2,859,157ක් පමණය.

දකුණු ආර්කොට් දිස්ත්‍රික්කය බෙංගාල බොක්කේ පිහිටා ඇත. චුද්දලෝර් සහ පෝර්ටෝ නෝවෝ මේ දිස්ත්‍රික්කයට අයිති ප්‍රධාන වරාය දෙකය. මේ දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 4,204ක් පමණ වේ. ජනගහනය (1951) 2,776,767කි.

ආර්කොට් නගරය පිහිටා ඇත්තේ උතුරු ආර්කොට් දිස්ත්‍රික්කයෙහි ඇති පාලර් ගඟබඩ මදුරාසි නගරයට සැතපුම් 65ක් බටහිරින්ය. මෙය මදුරාසියේ සිට බෙයිපූර් දක්වා වැටී ඇති දුම්රිය මාර්ගයෙහි එක් නැවතුම්පළකි. මෙහි මුස්ලිම් දේවස්ථාන කිහිපයක් ද හිටපු නවාබ්වරයාගේ මාළිගය ද පැරණි බලකොටුවක සුන්බුන් ද දැනට දක්නට ලැබේ. දේශගුණය සාමාන්‍යයෙන් අවුරුද්ද මුළුල්ලේ ම උණුසුම්ය. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 30ටත් 50ටත් අතර වෙයි. ජනගහනය (1951) 21,124ක්ය. ගොවිතැන ප්‍රධාන රක්ෂාව වන අතර වී ප්‍රධාන වැවිල්ල වෙයි.

ආර්කොට් පැරණි ඉතිහාසයක් ඇති නගරයකි. ග්‍රීකයන් මේ නගරයට භාවිත කළේ 'ආර්කතෞ බැසිලෙයෝන්' යන නමයි. ටොලමි (දෙවන සියවස) මෙය හැඳින්වූයේ 'සොරෙයි' නමැති එඬේර ගෝත්‍රිකයන්ගේ 'සෝර මණ්ඩලම්' නමැති රටේ අගනුවර හැටියටය. මේ නගරය පිහිටා ඇති ප්‍රදේශයට 'කොරමැන්ඩල්' යන නම භාවිතයට ආයේ මේ සෝර මණ්ඩලම් යන වචනයෙන් යයි කියති. ක්‍රිස්තු ප්‍රථම ශතවර්ෂයේ සිට ශතවර්ෂ කිහිපයක් ම මේ නගරය හා ඒ අවට ප්‍රදේශය අත්පත්කොට ගෙන විසූයේ 'කුරුම්බර' නමැති ගොපලු ගෝත්‍රයකට අයත් පිරිසකි. එහෙත් දොළොස්වන සියවසේ මුලභාගයේ දී පමණ කුලෝත්තුංග චෝළ රජතුමාගේ අවජාත පුත්‍රයකු වූ අදොන්දෙයි කුමාරයා විසින් කුරුම්බරවරුන් යටත් කොට ගෙන මේ ප්‍රදේශය චෝළ රාජ්‍යයට ඈඳා ගන්නා ලදි. ඉන් පසු කලක් මේ ප්‍රදේශය ජනශුන්‍යව පැවති නමුත්, නලබොම්ම නායිදු හා තිම්ම නායිදු නමැති දෙදෙනකුන් විසින් ආර්කොට් නගරය නැවත ඉදිකරනු ලැබීය. නැතහොත් අලුත්වැඩියා කරනු ලැබීය. මේ නායිදු පරම්පරාවෙන් පැවත ආ අය ක්‍රි.ව. 1698 දක්වා මේ නගරය හා ඒ අවට ප්‍රදේශය අත්පත් කොට ගෙන සිටියහ. එහෙත් මේ වර්ෂයේ දී අවුරංග්සෙබ් මෝගල් අධිරාජයාගේ සුල්ෆකාර් ඛාන් නමැති යුද්ධ සේනාධිපතියෙක් මේ නගරය හා ඒ අවට ප්‍රදේශය (කර්ණාට ප්‍රදේශය) යටත් කොටගෙන ස්වසමය වූ ඉස්ලාම් ආගම අදහන්නවුන් එහි පදිංචි කැරැවිය. කර්ණාට ප්‍රදේශයේ ප්‍රථම මෝගල් ආණ්ඩුකාර තැන හැටියට අවුරංග්සෙබ් විසින් මොහු පත්කරන ලදි. කර්ණාට දේශයේ නවාබ්වරයාගේ ප්‍රධාන කාර්යාලය ආර්කොට් නගරයේ පිහිටුවා තිබුණේය. මේ නගරය අල්ලා ගැනීම සඳහා ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යයන් හා ප්‍රංස ජාතිකයන් අතර වරින් වර දරුණු සටන් ඇති විය. ක්‍රි.ව. 1751 දී රොබට් ක්ලයිව් (බ.) යටතේ ගිය බ්‍රිතාන්‍ය හේවායන් විසින් ආර්කොට් නගරය අල්ලා ගන්නා ලදි. 1758 දී එය ප්‍රංස ජාතිකයන් විසින් බ්‍රිතාන්‍යයන්ගෙන් උදුරා ගන්නා ලද නමුත් දෑවුරුද්දකට පසු නැවත බ්‍රිතාන්‍යයන්ට යටත් කොට ගත හැකි විය. ක්‍රි.ව. 1780 දී එය මයිසූර් රාජ්‍යයේ පාලකයා වූ හයිදර් අලි (බ.) තුමාගේ යටතට පත්විය. 1801 දී නැවතත් ආර්කොට් නගරය ඇතුළු මුළු කර්ණාට ප්‍රදේශය ම අල්ලා ගැනීමට ඉංග්‍රීසීන්ට හැකි විය. ඉන්පසු මේ නගරය හා ඒ අවට ප්‍රදේශය මදුරාසි ආණ්ඩුවට යටත්ව පැවැත්තේය. දැනට එය ඇත්තේ ඉන්දියා සමූහාණ්ඩුවට අයත්වය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආර්කොට්&oldid=6575" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි