ආලෝකය

සිංහල විශ්වකෝෂය වෙතින්
13:51, 4 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ආලෝකය යනු ඇසට දෘෂ්ටි සංවේදනය ලබාදෙන භෞතික කාර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආලෝකය යනු ඇසට දෘෂ්ටි සංවේදනය ලබාදෙන භෞතික කාරකය යැයි දළ වශයෙන් හැඳින්විය හැකිය. විද්‍යාවෙහි ලා එම පදයෙන් ගැනෙනුයේ මිනිස් ඇසින් දැකගත හැකි විද්‍යුත්-චුම්බක විකිරණ සංඛ්‍යාතවල පරාසයයි. දෘශ්‍ය ආලෝක සංඛ්‍යාත පරාසය තත්පරයට චක්‍ර 7.10(14) (ජම්බූල වර්ණය) සිට තත්පරයට චක්‍ර 4.10(14) (රතු වර්ණය) දක්වා වේ. ආලෝකය යන පදය ඕනෑම විද්‍යුත්-චුම්බක විකිරණයක් එහි ඇතුළත් වන පරිදි බොහෝවිට පුළුල් අරුතකින් ව්‍යවහාර කරනු ලැබේ. මෙසේ පාරජම්බූල (ultra-violet) විකිරණයට (පාරජම්බූල විකිරණ බ.) ද අධෝරක්ත (infra-red) විකිරණයට (අධෝරක්ත විකිරණ බ.) ද X-කිරණවලට (X-කිරණ බ.) ද ආලෝකය යයි කියත්.

ආලෝකය උපදින්නේ කෙසේද, විමෝචනය වූවායින් පසු එය ක්‍රියා කරන්නේ කෙසේද යනු මෙහි ලා පැනනඟින ප්‍රධාන ප්‍රශ්න දෙකකි. මින් පළමුවැන්නට පිළිතුර විකිරණවාදය (Theory of Radiation) (බ.) හා වර්ණාවලීක්ෂණය (Spectroscopy) (බ.) යටතේ ද දෙවැන්නට පිළිතුර භෞතික ප්‍රකාශ විද්‍යාව (Physical Optics) (බ.) යටතේ එයි. ආලෝකය හදාරන ශිෂ්‍යයා ඒ පිළිබඳ පහත සඳහන් කරුණු දැන සිටී; (1) ආලෝකයේ ප්‍රචාරණය සඳහා පදාර්ථ අනවශ්‍යය; (2) දර්පණයක් වැනි සිනිඳු මතුපිටකින් ආලෝකය පරාවර්තනය වේ; (‍3) වාතය හා ජලය වැනි අසමාන ඝනත්වවලින් යුත් පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් වෙන් කරන මතුපිටකින් ආලෝකය වර්තනය වේ; (4) ආලෝකය සමකාලික ලෙස පරාවර්තනය හා වර්තනය විය හැකිය; (5) සාමාන්‍යයෙන් ආලෝකයේ ප්‍රචාරණය සරලරේඛීය වේ; (6) සුවිනිශ්චිත වූ ප්‍රවේගයකින් ආලෝකය අවකාශයේ ප්‍රචාරණය වේ; මේ ප්‍රවේගය තත්පරයට සෙමී. 2.998×10(10) හෙවත් සැතපුම් 186,000ක් පමණ වේ; (7) ජලය වැනි මාධ්‍යයක ආලෝකයේ ප්‍රවේගය වාතය මැදින් ආලෝකය ප්‍රචාරණය වන ප්‍රවේගයට වඩා අඩුය; (8) ආලෝක කදම්බයක් මගින් ශක්තිය ගෙන යනු ලැබේ යන මේවායි.

ආලෝකය පිළිබඳව නොයෙක් වාද ඉදිරිපත් කොට ඇත. මේ වාද සියල්ල අතුරෙන් ආලෝකයේ ප්‍රචාරණය හා ස්වභාවය වටහා ගැනීමට උපයෝගී කරගත හැකි මත දෙකක් වෙන් වෙන් වශයෙන් බිහිවී ඇත. ඉන් එකක් (තරංගවාදය) අනුව දීප්ත වස්තුවක් වූ කලි ඊතරයේ කැළැඹීමක් ඇති කරන ප්‍රභවයකි. මේ කැළැඹීම තරංග වශයෙන් අවකාශයේ සෑම තැන ම ප්‍රචාරණය වේ. ඇස් මත තරංග වැටෙන විට ඒවායින් දෘෂ්ටි ඉන්ද්‍රියයන් උත්තේජනය කෙරේ. මේ තරංග‚ ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරමින් ඒවා නිපදවන වස්තුවෙන් ඒවා අවශෝෂණය කරන වස්තුව කරා ශක්තිය ගෙන යයි. අනික් මතය (විමෝචනවාදය හෙවත් ලවකවාදය) අනුව ආලෝකය වූකලි දීප්ත ප්‍රභවයෙන් ප්‍රක්ෂේප කරනු ලබන්නා වූ ද ශීඝ්‍ර ලෙස චලනය වන්නා වූ ද අදෘශ්‍යමාන වූද අතිසූක්ෂ්ම අංශුවල වේගවත් ගමනයි. මේ අතිසූක්ෂ්ම අංශුවල ප්‍රමාණය ආලෝකයේ වර්ණය අනුව වෙනස් වේ. ස්වකීය චාලක ශක්තිය (kinetic energy) දරා ගෙන මේ සූක්ෂ්ම අංශු ආලෝකයේ ප්‍රවේගයෙන් අවකාශය මැදින් ගමන් කරයි.

මැක්ස්වෙල්ගේ ආලෝකය පිළිබඳ විද්‍යුත් චුම්බක තරංගවාදය ඉදිරිපත් වූවායින් පසු අනික් තරංග වාද සියල්ල ම බැහැර කරන ලදි. මැක්ස් ප්ලාන්ක්ගේ ක්වොන්ටම්වාදය (බ.) පහළ වීමෙන් පසු එතෙක් යල්පැනගිය කල්පිතයක් මෙන් සලකන ලද ලවකවාදයට අයින්ස්ටයින් නව පණක් ගෙන දුන්නේය. සූක්ෂ්ම අංශු හෙවත් ආලෝක ක්වොන්ටම් පැකෙට්ටු (ෆෝටෝන) වශයෙන් ආලෝකය ප්‍රචාරණය වේ යන අදහස ඔහු ඉදිරිපත් කළේය. ආලෝකයේ ස්වභාවය පහදා දීමෙහි ලා විද්‍යුත්චුම්බකවාදය හා ක්වොන්ටම්වාදය යන වාද දෙක එකිනෙකට ඌනපූරක වේ යයි විද්‍යාඥයෝ දැන් සලකත්. ආලෝකයේ අන්‍යෝන්‍ය ක්‍රියාවන් හා සම්බන්ධ වන සංසිද්ධීන්ගෙන් බොහොමයක් තරංගවාදය අනුව සෑහෙන තරමකට තේරුම් කළ හැකිය. එහෙත් ශක්ති හුවමාරුව අතින් ආලෝකයේ ඵල (නි. ප්‍රකාශ විද්‍යුතය) ගැන සලකා බලන විට ක්වොන්ටම්වාදය උපයෝගී කොටගත යුතුය. මෙසේ ආලෝකයේ උභය ස්වරූපයක් ඇති සැටියක් පෙනේය යනු නූතන විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. ඒ නයින් කිසිවිටෙක තරංග ස්වරූපයෙනුත් කිසිවිටෙක ෆෝටෝන ස්වරූපයෙනුත් ආලෝකය වටහා ගත යුතු වෙයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආලෝකය&oldid=6578" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි