ටාක්විනියස්

සිංහල විශ්වකෝෂය වෙතින්
16:10, 9 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ටාක්වින්) (Tarquinius/Tarquin). ඓතිහාසික රෝම වාර්තාවල දැක්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ටාක්වින්) (Tarquinius/Tarquin). ඓතිහාසික රෝම වාර්තාවල දැක්වෙන අන්දමට ක්‍රි.පූ. 509 දී රෝම සමූහාණ්ඩුව පිහිටුවීමට පෙර රෝමය පාලනය කළ එට්රස්කන් (Etruscan) පවුලක් මෙනමින් හැඳින්වේ. සමූහාණ්ඩුව පිහිටුවීමට පෙර රජ කළ රජුන් හත්දෙනාගෙන් දෙදෙනෙක් මෙම පවුලට අයත් වූහ.

1. ලුසියස් ටාක්විනියස් ප්‍රිසිකස් (Lucius Tarquinius Prisicus)

මොහු එරිත්‍රියාවේ ටාක්විනිහි වාසයට පැමිණි ග්‍රීක ජාතිකයකු වූ කොරින්ත්හි ඩිමාරටස්ගේ (Demaratus) පුත්‍රයකු වශයෙන් සැලකේ. ලුකුමෝ (Lucumo) නම් වූ ඔහු අනාගත වක්තෘවරියක වූ සිය බිරිඳගේ උපදෙස් පරිදි රෝමයේ පදිංචියට පැමිණියේ ය. අනතුරුව හේ ලුසියස් ටාක්විනියස් වශයෙන් සිය නාමය ද වෙනස් කර ගත්තේ ය. පසු කාලයේ දී හෙතෙම ඇන්කස් මාර්සියස් (Ancus Marcius) රජුගේ පුත්‍රයන්ගේ ආරක්ෂකයා ලෙස පත්කර ගන්නා ලදි. රජුගේ මරණින් පසු ටාක්විනියස් රජකම පැහැර ගත්තේ ය. පසු කාලයෙහි ඇන්කස් රජුගේ පුත්‍රයන් විසින් ඔහු මරා දමන ලදි.

ටාක්විනියස් නව සාමාජිකයන් 100ක් එක්කිරීමෙන් සෙනෙට් සභාව විශාල කළ බවත් නයිට්වරුන්ගේ සංඛ්‍යාව දෙගුණ කළ බවත් ඓතිහාසික වාර්තාවල දැක්වේ. ඔහු විසින් ගොඩනැගිලි රාශියක් තනවන ලදි. නගරය වටා ප්‍රාකාරයක් තැනවීම ආරම්භ කළ මෙතෙමේ අගනුවර ජුපිටර් ඔප්ටිමස් මැක්සිමස් (Jupiter Optimus Maximus) දෙවියන් සඳහා දෙවොලක් තැනවී ය. සැබයින්වරුන්ට විරුද්ධ ව සටන් මෙහෙයවා ජය ලැබූ ඔහු ලේෂියම් (Latium) ප්‍රදේශය ද යටත් කර ගත්තේ ය. ඔහුගේ පාලන කාලයේ දී රෝමයේ ආගම, දේශපාලනය හා කලාවන් කෙරෙහි එට්රස්කානු බලපෑම මහත් සේ දක්නට ලැබිණ.

2. ලුසියස් ටාක්විනියස් සුපර්බස් (Lucius Tarquinius Superbus)

මොහු එම පෙළපතේ සත්වන හා අවසාන රජ ය. පුරාවෘත්තවල එන ආකාරයට මොහු ටාක්විනියස් ප්‍රිසිකස් රජුගේ පුත්‍රයා හෝ මුනුබුරා ය. එවකට රජකම දැරූ රජු මරා රාජ්‍යය ලබා ගත් හේ ඉතා දරුණු ඒකාධිපති පාලනයක් ගෙන ගියේ ය. එහි ප්‍රතිඵලය වූයේ රටේ කැරැල්ලක් ඇති වීමයි. රජු පිටුවහල් කරන ලදි. නැවත රජවීමට ඔහු ගත් උත්සාහය අසාර්ථක විය. පිටුවහල් කර සිටිය දී ම ඔහු මිය ගියේ ය.

ඇතැම් ඉතිහාසඥයන් දක්වන ආකාරයට ටාක්විනියස් රජවරුන් කල්පිත පුද්ගලයන් පමණකි. එහෙත් ඉතිහාසඥයන් වැඩි දෙනකුගේ මතය වන්නේ ඔවුන් ඓතිහාසික වශයෙන් වැදගත් පුද්ගලයන් බවයි. මේ රජවරුන් අසල්වැසි රටවල් සමග කළ සටන් හා අධිරාජ්‍යය පරිහානියට පත්වීම ආදි කරුණු වෙනත් සාක්ෂ්‍ය මගින් ද ඔප්පු වුවත් ඔවුන්ගේ චරිතකථා පසුකාලීන ගත්කරුවන් විසින් ගොතන ලද මිථ්‍යා ප්‍රබන්ධ ලෙස ඇතැම්හු සලකති.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටාක්විනියස්&oldid=6612" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි