ටාජ් උල් අලම් සෆියතුද්දීන් සියා
(Taj ul-Alam Safiatuddin Syah) (1641.02.18-1675.10.23). අචේ (බ.) දරුසලාම් සුල්තාන් රාජ්‍යයේ පළමු පාලිකාව බවට පත් එහි 14 වන අධිපතිනියයි (1641-75). උත්පත්ති නාමය පුත්‍රි ශ්‍රී අලාම් පෙර්මිසූරි ය. සුල්තාන් ඉස්කන්දර් මුදාගේ දියණිය වූ මෝ ඔහුගෙන් පසු බලයට පැමිණි ඉස්කන්දර් ථානිගේ බිරිඳයි.
ථානිගේ අකල් මරණයෙන් ඉක්බිති රාජ්‍ය උරුමය සම්බන්ධයෙන් වංශාධිපතීන් අතර ඇතිවූ නොසන්සුන්තාව සමනය කරනු ඔහුගේ මෙහෙසිය සිහසුන්ගත කිරීමට එකඟ වීමෙනි. එමගින් අචේ වංශාධිපතියන්ගේ අරමුණ වූයේ මුදාගේ පරිපාලන ප්‍රතිසංස්කරණ හේතුවෙන් යටපත් වූ තම බලාධිකාරය යළිනගා සිටුවීම උදෙසා සුල්තාන් රාජ්‍යය දුර්වල නාමමාත්‍රික ආයතනයක් බවට පත් කිරීම යැයි සමහර ඉතිහාසඥයෝ අදහස් කරති. සැබැවින් ම ඇගේ බලය අගනුවරට පමණක් සීමා වූ අතර ඉස්කන්දර් මුදා විසින් පත් කෙරුණු උරුමක්කාර ප්‍රදේශීය පාලකයන් හා ආගමික නායකයන් අත ප්‍රාදේශික බලය කේන්ද්‍රගත ව තිබිණ. ආචීර්ණකල්පික මුස්ලිම් ප්‍රතිපත්තිවලට වඩා ඉපැරණි අග්නිදිග ආසියානු සම්ප්‍රදායයට අනුව ස්ත්‍රීන්ට ද රාජ්‍යයට උරුමකම් කීමට ඇති හැකියාව මෙහි දී ඉස්මතුවූ බව තවත් සමහරකුගේ මතයයි. 1641න් පසු සිදුවූයේ ඉන් පෙර පැවතියාට වඩා මෘදු හා නම්‍යශීලී පාලනයක් රටේ ස්ථාපිතවීම යැයි ඔවුහු පවසති. ඊට හොඳම උදාහරණය වන්නේ 17 වන සියවසේ දී මාතරම් (Mataram), ටර්නාටේ (Ternate), බැන්ටෙන් (Banten) හා මකසාර් (Makassar) වැනි රාජ්‍ය යටත්වෙද්දී හෝ ඕලන්ද පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ ආධිපත්‍යයට නතුවෙද්දී සිය ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අචේ සුල්තාන් රාජ්‍යය සමත් වීමයි.
මැයගේ පාලන කාලයේ දී අචේහි බලය අසල්වැසි ප්‍රදේශයන්හි හීනවනු දැකිය හැකි ය. මැයගේ පියාගේ සමයේ පහාන්ග් ආක්‍රමණය කර මලයා අර්ධද්වීපයෙහි පැවැත්වූ බලය අහෝසි වී ගියේ ය. කෙසේ වෙතත් ටින් (බ.) නිෂ්පාදනය කරන පෙරාක් (Perak) ප්‍රදේශයේ බලය තවදුරටත් රැකගැනීමට අචේ සුල්තාන් රාජ්‍යය සමත් විය. ටින් ආකර අත්පත් කර ගැනීම කෙරෙහි ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම මහත්සේ උනන්දු විය. ඒ මත ඇති වූ ගැටුම් 1651 දී පෙරාක්හි සිටි ලන්දේසීන් ඝාතනය කිරීම දක්වා දුරදිග ගියේ ය. 1659 දී ගිවිසුමක් ඇති කර ගන්නා තෙක් ලන්දේසි නැව් අචේ වටකරගෙන සිටියේ ය. ගිවිසුම අනුව පෙරාක්හි ටින් නිෂ්පාදනයෙන් අඩක් ලන්දේසීන් සතු වූ අතර අචේ වරායන්හි වෙළෙඳ ඒකාධිකාරය ද ඔවුන් සතුවිය. සුමාත්‍රාහි (බ.) බටහිර වෙරළේ පැඩෑන්ග්හි වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද එමඟින් ලන්දේසීන්ට අවස්ථාව සැලසිණි. මේ අතර බටහිර වෙරළේ නගර, ලන්දේසීන් හා සමාගමයක් ඇති කර ගැනීමට යත්න දැරී ය. ඒ අනුව, අචේ පාලනයෙන් අසතුටට පත් නායකයින් හා ලන්දේසීන් අතර 1663 දී ගිවිසුමක් අත්සන් තැබිණි. 1664 දී 300ක හමුදා බලඇණියක් සහිත ව පැමිණි ජැකෝබ් කෝච් (Jacob Couw) නම් ලන්දේසි සෙන්පතියා වෙරළ තීරයෙන් (ඉන්ද්‍රපුර හා ටිකු) අචේ වැසියන් පළවා හැරී ය. ලන්දේසීහු බලහත්කාරය පතුරුවා නව ගිවිසුම් අත්සන් කිරීමට අචේ රාජ්‍යයට බලපෑම් කළහ. 1969 දී නැගෙනහිර වෙරළේ ඩේලි (Deli) ද ලන්දේසීන්ට නතුවිය. එහෙත් මැලේ ප්‍රදේශය බොහෝ කලක් යනතුරු අචේ රාජ්‍යයට අවනත ව පැවැතියේ ය.
මෙවැනි දේශපාලන හැලහැප්පීම් සිදුවුව ද දේශීය මෙන් ම විදේශීය ලේඛකයෝ ද ටාජ් උල්-අලම් අභිනන්දනය කළහ. බස්තානුස් සලාතින් (Bustanus Salatin) නමැති වංසකථාව, අචේ සාමකාමී හා සෞභාග්‍යමත් රාජ්‍යයක් බවට පත් කළැයි කියමින් ධර්මිෂ්ට හා ශ්‍රද්ධාවන්ත අයකු ලෙස මෙතුමිය හඳුන්වයි. ඇය ‘යහපත් පරිසරයකින් හෙබි, එහෙත් භීතිය ජනිත කරන්නාවූ’ පාලනයක් ගෙනගිය බව ලන්දේසීහු සඳහන් කරති. ඉස්ලාමීය නඩු පසිඳලීමේ ප්‍රඥාසම්පන්න සම්ප්‍රදායයන් අධිකරණයට හඳුන්වා දුන් තැනැත්තිය ලෙස ඔවුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූවා ය. ඉස්ලාමීය සාහිත්‍යය හා අධ්‍යාපනය ඔප්නැංවූ මෙතුමියගේ ආදර්ශය ඉනික්බිති බලයට පැමිණි අධිපතිනීන් තෙපළ ම අනුගියහ. රැජිණියන් හා උලාම්වරුන් අතර පැවති ඵලදායක සහයෝගීතා ව නිසා මෙම සංස්කෘතික පුනරුදය ඔප් නැංවිණ. 1668 දී අචේ මුස්ලිම්වරුන් සිය දහම පැතිරවීමේ අරමුණින් සියමට පවා ගිය බව වාර්තා වේ.
ඈට දරුවෝ නොසිටියහ. ඇගේ මරණයෙන් පසු බලයට පත් වූයේ නුරූල් අලාම් නැකියටුඩීන් ෂියා (Nurul Alam Naqiatuddin Syah) රැජිණ ය. ඔවුන් අතර ඥාති සම්බන්ධය අපැහැදිලි ය.
(කර්තෘ: රන්ජන දේවමිත්‍ර සේනාසිංහ)
(සංස්කරණය: 2019)