ටාජ් මහල්

සිංහල විශ්වකෝෂය වෙතින්
14:16, 13 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(තාජ් මහල්) (Taj Mahal). මෝගල් අධිරාජ ෂා ජහාන් (1628-1658) විස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(තාජ් මහල්) (Taj Mahal). මෝගල් අධිරාජ ෂා ජහාන් (1628-1658) විසින් සිය අග මෙහෙසිය අර්ජුමන් ඛානු බෙගම් (මුම්ටාස් මහල් - රජමැදුරේ සාඩම්බරය) සමරනු වස් තනන ලද දැකුම්කලු සමාධිය ‍මෙනමින් හැඳින්වේ. 1631 බුර්හාන්පූර් නගරයේ දී දරු ප්‍රසූතියක දී මිය ගිය මුම්ටාස් මහල් පුරා දශක දෙකක කාලයක් ෂා ජහාන් අධිරාජයාගේ සෙවණැල්ල මෙන් ජීවත් වූවා ය. අග්‍රා නගරයට නුදුරින් දකුණු යමුනා නදී තීරයෙහි පිහිටි ටාජ් මහලය මෝගල් ගෘහනිර්මාණ ශිල්පයේ මුදුන් මල්කඩ ලෙසත් ෂා ජහාන් විසින් නිර්මාණය කරන ලද ගොඩනැඟිලි අතර අසහාය කෘතිය ලෙසත් පැරණි ලෝකයේ අවසාන ආශ්චර්යය ලෙසත් සලකනු ලැබේ. 1983 දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද මෙය ජූලි 7 දා ලෝක පුදුමයක් ලෙස නම් කෙරිණ. මෙම යුගයේ මෝගල් ගෘහනිර්මාණ ශිල්පයේ විද්‍යමාන මූලික ප්‍රවණතා වූ ඉන්දු සහ පාරසීය බලපෑම්වලින් දිල්ලිය හා අග්‍රා දක්වා කැපී පෙනෙන්නේ පාරසීය ශෛලියයි. ටාජ් මහලය මෙම සම්ප්‍රදායයේ ප්‍රාචීන දිග සීමාන්තයේ ප්‍රකාශිත අවසාන කෘතිය ලෙස ගිණිය හැකි ය. එය ෂා ජහාන් සමයේ විකසිත වූ නව වාස්තු විද්‍යාත්මක මෙන් ම ඉන්දීය අංලයන්ගේ ද මිශ්‍රණයකි. මෙම සම්භාව්‍ය රාජකීය සම්ප්‍රදායේ ප්‍රමුඛ අංගය වූයේ ශ්වේත වර්ණයයි. බෙහෙවින් ස්වාභාවිකත්වයට නැඹුරු වූත් ලියකමින් ද සිය දහස් ගණන් අමිල මාණික්‍යයෙන් ද රන්මුවා මල්කමින් ද කිරිගරුඬ නිර්මාණය වඩාත් අලංකාර වී ඇත. ටාජ් සමාධිය කිරිගරුඬ ගඬිින් නිමා කර තිබේ. මෙය යම් සම්ප්‍රදායයක් තුළ බිහි වූ කේවල නිර්මාණයක් ලෙස සැලකිය නොහැක. අග්‍රා සහ දිල්ලි නගරයන්හි මෙම සම්භාව්‍ය ශෛලියට අයත් ශ්‍රේෂ්ඨ කෘති විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ඒවා අතුරින් ජහාන්ගිර්, නුර්ජහාන් සහ ඉ තිමාද්-උල් දවුලා වෙනුවෙන් තනන ලද සමාධීන් ටාජ් සමාධිය සතු සම්ප්‍රදායයට අයත් බව පිළිගැනේ. ටාජ් සමාධිය එහි විකාශනයක් ලෙස ද සලකනු ලැබේ. තව ද මෙම ගොඩනැගිල්ල ෂා ජහාන් අධිරාජයා විසින් තනවන ලද එක ම ගොඩනැගිල්ල ද නොවේ. අග්‍රා, දිල්ලි සහ ලාහෝර් නගරයන්හි කිරිගරුඬින් ගොඩනැඟිලි රාශියක් කරවූ ෂා ජහාන්ගේ කෘති අතර අග්‍රාහි මුතු පල්ලිය නම් සමාධිය (ටොනි මස්ජිද්) ආශ්චර්යජනකවූත් අතිශයින් දර්ශනීයවූත් නිර්මාණයකි. සමහරු එය ටාජ් සමාධියට ද වඩා ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස සලකති.

අධිරාජයන් සහ අගමෙහෙසින් වෙනුවෙන් මෙබඳු සොහොන් ඉදිකිරීම මෝගල් සම්ප්‍රදාය වූ බවට සැකයක් නැත. එබැවින් මුම්ටාස් මහල් වෙනුවෙන් සමාධියක් ඉදිවීම අනිවාර්ය කටයුත්තකි. එහෙත් මෙතෙක් නොවූ විරූ මනෝඥ ලාලිත්‍යයෙන් ද කෝමලත්වයෙන් ද සහ නිර්මලභාවයෙන් ද යුත් සිහිවටනයක් ගොඩනැගීම අධිරාජයා සිය මෙහෙසිය කෙරෙහි දැක්වූ අසීමිත ආදරයත් ඇගේ වියෝවින් ඔහු මහත් කම්පාවට පත් වූ බවත් තහවුරු කරයි. ඉන්දියාව, පර්සියාව සහ මධ්‍යම ආසියාව යන පෙදෙස්වලින් පැමිණි වාස්තු විද්‍යාඥයින් මඩුල්ලක් විසින් එහි සැලසුම් සකස් කරන ලද නමුත් අවසාන සැලසුම කරන ලද්දේ තුර්කි හෝ පර්සියානු ජාතිකයකු වූ උස්නාද් අහ්මද් ලහඋරි ඉසා විසිනි. මේ කාර්යය සඳහා අවශ්‍ය නිර්මාණ ශිල්පීන් (Master builders), මේසන්වරුන්, කැටයම්කරුවන් සහ සුලේඛන ශිල්පීන් (Calligraphers) මෙන් ම බොහෝ ගොඩනැගිලි ද්‍රව්‍ය ද ඉන්දියාවේ හා ආසියාවේ නොයෙක් ප්‍රදේශවලින් ගෙනා බව පෙනේ. 1631 ආරම්භ වූ ප්‍රධාන ගොඩනැගිල්ල වූ සමාධිය තැනීමට පමණක් කම්කරුවන් 20,000කට දිනපතා දොළොස් වසක් (1643 දක්වා) වැඩ කිරීමට සිදු විය. අන්‍ය ගොඩනැගිලිවලින් ද යුක්ත සමස්ත ටාජ් මහල් සංකීර්ණය නිම කිරීමට තවත් වසර 10ක් ගත විය. ඒ සඳහා රන්පවුම් 4,500,000ක් වැය වූ බව කියැවේ. මුළුමනින් ම ගත් කල ටාජ්මහල් ගොඩනැගිලි සංකීර්ණය අයම් විතරින් මි. 193 සහ 102ක් වූ භූමිභාගයක් පුරා පැතිරී සිටී. එය මූලික කොටස් තුනකින් සමන්විත ය. මෙහි පළමුවැන්න මධ්‍ය අංගනයයි. උතුරු හා දකුණු දිශාවන්ගෙන් එය හා දිවෙන ප්‍රමාණයෙන් කුඩා ආයත චතුරස්‍රාකාර අංගන ද්වයකි. වැලිගලින් නිම වූ වාහල්කඩ දකුණු දිශාවෙහි පිහිටා තිබේ. එය හා තදනුබද්ධ ව තැනුණු සේවකාගාරය සංකීර්ණයෙහි උතුරු කෙළවරේ නියම සමාධිය නැගී සිටී. එහි නැගෙනහිර සහ බටහිර දෙසින් සමාන්තර ව දිවෙන ඔවුනොවුන් එකඟතාවෙන් එක් වූ ගොඩනැඟිලි දෙපෙළකි. මෙම ගොඩනැගිලි වටා නැගී සිටින රතු වැලිගලින් නිම වූ ප්‍රාකාරය තැනින් තැන වූ අටල් කුලුනින් යුක්තය.

මෝගල් වාස්තු විද්‍යාවට අනුව මුල් සැලැස්ම ඒ ආකාරයෙන් ම අනුගමනය කළ යුතු ව තිබුණි. ගොඩනැගිල්ලට කොටස් එකතු කිරීම එම සම්ප්‍රදායට විරුද්ධ විය. මෙහි උතුරුදිග කෙළවරේ පිහිටි ගොඩනැගිලි වාස්තු විද්‍යාත්මක ව විශේෂ ස්ථානයක් හිමි කර ගනී. ඒ අතර මුලින් සඳහන් කළ දෙව්මැදුරත් ජාවාබ් ගොඩනැගිලිත් වේ. නියම සමාධියක මී. 7ක් පමණ උස කිරිගරුඬ පදනමක් මත පිහිටි සමාධිය සතර වටින් මී. 3ක් පමණ වූ ආරුක්කුවලින් සමන්විත ප්‍රාසාද මුඛ සතරෙකි. එක් එක් ප්‍රාසාද මුඛයක් මත සැදි බුබ්බුලාකාර ශිඛර ද්වයකි. යථොක්ත ආරුක්කු මතුයෙහි පිහිටි කුඩා ප්‍රාකාර සහ එක් එක් කෙළවර පිහිටි ශිඛර සමාධියේ අහසෙහි පාවෙන්නා සේ වූ රිද්මයානුකූල පෙනුමක් ලබා දෙයි. සමාධිය පිහිටි පදනම සිව් කොණින් නැගී සිටින ත්‍රිතල ‘මිනරත්’ ශිඛර එහි දැකුම්කලු බව මතුකර පෙන්නීමට රුකුලක් වේ. සමාධියේ අභ්‍යන්තරය සැලසුම් කොට ඇත්තේ මැද පිහිටි අටැස් ගර්භයක් කේන්ද්‍රය ලෙස පිහිටුවීමෙනි. අගනා ලියකමින් අලංකාර කොට ඇති මෙම ගර්භය තුළ බෙගම් මහේෂිකාවගේ සහ ෂා ජහාන් අධිරාජයාගේ සොහොන් ගැබ් ඉදිකොට තිබේ. මතුපිටට පෙනෙන ලෙස ඉදි වූ එම සොහොන් දෙක ව්‍යාජ ඒවා බවත් දේහ තැන්පත් සැබෑ සොහොන් ගැබ් වඩා ගැඹුරු තලයක පිහිටා ඇති බවත් කියැවේ. ටාජ් මහලය නිමවා නොබෝ කලකින් ෂා ජහාන් අධිරාජයා බලයෙන් පහකොට ඔහුගේ පුත් ඖරන්සෙබ් අධිරාජයා හැටියට පත් විය. ඔහු සිය පියා අග්‍රා බළකොටුවෙහි සිරකොට තැබුවේ ය. අවසානයේ ෂා ජහාන් මිය ගිය පසු දේහය බිසවගේ දේහය පසෙකින් ටාජ් මහලය තුළ ම මිහිදන් කැරුණි.

සමාධියේ ඡායාව අබියස කිරිගරුඬින් නිමවන ලද පොකුණ මත වැටෙන සේ එය සැලසුම් කොට ඇත්තේ ය. එයින් මුළුමහත් ගොඩනැගිල්ලට අපමණ චමත්කාරයක් එක්වෙයි. එසේ ම මුළු සංකීර්ණය තුළ බිහි වී මනරම් උද්‍යාන පෙත් සහ එහි සිටුවා ඇති වෘක්ෂ පවා මනා සැලැස්මක් අනුගමනය කොට තිබේ. සම්පූර්ණ කිරිගරුඬින් නිමවන ලද ටාජ් සමාධියේ අලංකාරය සඳහා වර්ණවත් ගල් සහ මැණික් යොදා තිබේ.

බ්‍රිතාන්‍යය ඉන්දියාව පාලනය කළ අවධියෙහි ටාජ් මහලය යම් යම් තර්ජනයන්ට භාජන වූ බව පෙනේ. 1857 සිදු වූ බ්‍රිතාන්‍ය විරෝධී කැරලි සමයෙන් පසු ඇතැම් බ්‍රිතාන්‍ය හේවායින් විසින් ටාජ් මහලයේ ඔබ්බවා තිබූ මැණික් ගල් ද ඇතැම් අගනා සැරසිලි කොටස් ද ගලවා ගෙන ගිය බව පෙනේ. එහෙත් මේ නිර්මාණයේ සංස්කෘතික අගය වටහා ගෙන සිටි පාලකයන් විසින් එම විනාශයන් නවතා දමා ගොඩනැගිලි පිළිසකර කිරීමට පියවර පන්නා ලදි. 19 වන සියවස අප එවකට ප්‍රතිරාජ (Viceroy) පදවිය දැරූ කර්සන් සාමිවරයා විසින් විශේෂ ව්‍යාපෘතියක් මගින් ටාජ් මහලය පුනරුත්ථාපනය කොට එහි උද්‍යානය ද යථා තත්ත්වයට පත් කරන ලදි.

වර්තමානයේ ටාජ් මහලයට පරිසර දූෂණයෙන් හානි සිදුවන බව විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන ලදු ව ඉන්දීය රජය මෙය අවට ව.කිමී. 10,360ක ප්‍රදේශය වායුදූෂණ වියුක්ත ප්‍රදේශයක් බවට පත් කොට ඇත. ලෝකයේ වැඩිපුර ම සංචාරක පිරිසක් පැමිණෙන තැන් අතරට අයත් වන ටාජ් මහලය වෙත වසරකට මිලියන 2ත් 4ත් අතර ජනකායක් ඇදී එති.

(කර්තෘ: ආර්.එච්.එම්. පියසේන)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටාජ්_මහල්&oldid=6615" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි