ටාටරික් අම්ලය
(Tartaric acid). ඩයිකා-බොක්සලික් අම්ලයක් වූ ටාටරික් අම්ලය HOOC - CHOH - CHOH – COOH යන රසායනික සූත්‍රයෙන් දක්වනු ලැබේ. මෙය බොහෝ කෑම වර්ගවල අඩංගු වූ ද කාර්මික ව ප්‍රයෝජනවත් වන්නා වූ ද ශාක අම්ලවල (plant acid) වඩාත් පුළුල් ලෙස පැතුරුණු එක් අම්ලයකි. ටාටරික් අම්ලය ජලයේ දියවන සුලු පැහැති ඝනයකි. නිදහස් අම්ලය මුලින් ම අනාවරණය කරනු ලැබුවේ 1769 දී කාල් විල්හෙල්ම් ෂෙලී (Carl Wilhelm Scheele) විසිනි.
වයින් පැසවීමේ දී ලැබෙන මන්ඩි (lees) හෝ අවසාදිත හා අනිකුත් අපතේ යන ඵල රත් කර කැල්සියම් හයිඩ්රොක්සයිඩ් මගින් උදාසීන කරනු ලබයි. එවිට කැල්සියම් ටාටරේට් අවක්ෂේප වේ. එම අවක්ෂේපය සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමට සැලැස්වීමෙන් ටාටරික් අම්ලය නිදහස් වේ.
ටාටරික් අම්ලය ත්‍රිමාන සමාවයවික (stereo isomeric) ආකාර හතරකින් පවතී. එනම්:
1. දක්ෂිණභ්රමක (dextrorotatary) ටාටරික් අම්ලය: මෙම සමාවයවිකය මිදි හා වෙනත් බොහෝ පලතුරු වර්ගවල ඇත.
2. වාමභ්රමක (levorotetary) ටාටරික් අම්ලය: මෙය රසායනික ලෙස ඉහත සඳහන් අම්ලයට සර්ව සම වේ.
3. ටාටරික් අම්ලයේ රුසිමේටය (racemic): මව් ද්‍රවයෙන් හෝ කෘත්‍රිම ලෙස මෙය ලබා ගත හැකි ය.
4. මිසො (meso) ටාටරික් අම්ලය: මෙය ද කෘත්‍රිම ලෙස සෑදිය හැකි නමුත් දක්ෂිණ හෝ වාමභ්රමක සමාවයවිකවලට විභේදනය කළ නොහැකි ය.
ටාටරික් අම්ලයේ රසායනික හා ප්‍රකාශමය ගුණ පිළිබඳ ව අධ්‍යයනය කිරීමෙන් ලුවී පාස්චර් (Louis Pasteur) ත්‍රිමාණ සමාවයවිකතාව සඳහා නවීන අදහස් සහිත පදනමක් දැමුවේ ය. බොහෝ ටාටරික් අම්ල හා පොදු ටාට්රේට් ලවණ බොහොමයක් ම වර්ණ රහිත, පහසුවෙන් ජලයේ දියවන ස්ඵටිකරූපී ඝන ය. දක්ෂිණභ්රමක හා වාමභ්රමක ටාටරික් අම්ලයන්හි ද්‍රවාංක සෙ. 171 හා සෙ. 174 අතර වන අතර විශිෂ්ට ගුරුත්වය 1.7598 වේ. මීසො ටාටරික් අම්ලයේ ද්‍රවාංකය සෙ. 146 හා 148 අතර ද විශිෂ්ට ගුරුත්වය 1.666 ද වේ. දක්ෂිණ භ්‍රමක, වාමභ්රමක හා මීසො ටාටරික් අම්ලය මද්‍යසාරයේ හොඳින් ද්‍රාව්‍ය වන නමුත් රැසිමික් අම්ලය ද්‍රාව්‍ය වන්නේ මඳ වශයෙනි. රැසිමික් අම්ලයේ ද්‍රවාංකය සෙ. 2060 ද විශිෂ්ට ගුරුත්වය 1.788 ද වේ.
ටාටරික් අම්ලය කාබනීකෘත බීම වර්ගවල ඇඹුල් ගතිය (acid ulent) ඇති කිරීමට හා බුබුළු පිටවන පෙති (ettervescent tablets) වර්ග සෑදීම සඳහා ද ජෙලටින් පලතුරු හා පලතුරු ජල්ලි සෑදීම සඳහා ද කාර්මික යෙදීම් බොහොමයකට ද භාවිත කරනු ලැබේ. ලෝහ පිරිසිදු කිරීම, කපුපිළි චිත්‍ර කිරීම, වූල් ඩයි කිරීම, ඇතැම් ඡායාරූප මුද්‍රණය කිරීම හා විකාශයට පත්කිරීම (development) එවැනි යෙදුම් කිහිපයකි.
වයින් පැසීමේ දී අතුරු ඵළවලින් ලැබෙන ලවණ වර්ග අතර ටාටර් ක්‍රීම් (පොටෑසියම් හයිඩ්රජන් ටාට්රේට්) හා රෝෂෙල් ලවණ (rochelle) හෙවත් පොටෑසියම් සෝඩියම් ටාටරේට් ද වේ. ආදිකාලීන ග්‍රීක හා රෝමන්වරුන් මඳ වශයෙන් පිරිසිදු ආකාරයෙන් ටාටර් (tartar) හඳුනාගෙන තිබුණි. රෝෂෙල් ලවණය පිළියෙල කරනුයේ ආගල් (argal) නමින් හැඳින්වෙන පොටෑසියම් අම්ල ලවණ ස්ඵටික සෝඩියම් කාබනේට් සමග උදාසීනකරණය කිරීමෙන් ය. ටාටර් ක්‍රීම් ලබාගනුයේ අම්ලය හා රෝෂෙල් ලවණය නිපදවනු ලබන පෙරණයෙනි. ටාටර් එමටික් (tartar emetic) ලෙස හැඳින්වෙන ඇන්ටිමනි පොටෑසියම් ටාට්රේට් සාදනුයේ පොටෑසියම් අම්ල ලවණය හා ඇන්ටිමනි ඔක්සයිඩවලිනි.
රෝෂෙල් ලවණය දර්පණවල රිදී ආලේප කිරීමේ දී ද ස්ඵටික මගින් පාලනය වන (crystal-controlled) ඉලෙක්ට්‍රෝනික දෝලන සෑදීමේ දී ද මෘදු විරේක (cathartics) සංයෝජනය කිරීමේ දී ද භාවිත කරනු ලැබේ. ටාටර් ක්‍රීම් බේකිං පවුඩර්වල හා තද සූකිරිවල (candies) මිශ්‍ර වේ. එසේ ම පිත්තල පිරිසිදු කිරීමේ දී හා වෙනත් ලෝහවල රිදී හා රත්රන් ආලේප කිරීමේ දී ටාටර් ක්‍රීම් යොදා ගැනේ. ටාටර් එමටික් වමනය වළක්වන ඖෂධයක් (nauseant) ලෙස ද සෙම ඉවත් කරන ඖෂධයක් (expectorant) ලෙස ද ළය විරේකයක් (emetic) ලෙස ද කෘමිනාශකයක් ලෙස ද භාවිත කෙරේ. ටාටර් ක්‍රීම්වල විශිෂ්ට ගුරුත්වය 1.945ක් වන අතර එය මඳ වශයෙන් මධ්‍යසාරවල ද්‍රාව්‍ය වේ. රෝෂෙල් ලවණයෙහි ද්‍රවාංකය සෙ. 70 හා සෙ. 80 අතර පවතී. මද්‍යසාරයේ අද්‍රාව්‍ය වන එහි විශිෂ්ට ගුරුත්වය 1.79කි. ටාටර් එමටික් ද මද්‍යසාරයේ අද්‍රාව්‍ය වන අතර එහි විශිෂ්ට ගුරුත්වය 2.607කි. ද්‍රාවණයක දී ටාට්රේට් හඳුනාගැනීමේ පරීක්ෂණයක් ලෙස ඇමයිනො සිල්වර් නයිට්රේට් දැමීමෙන් එය ලෝහමය රිදී බවට පෙරළේ.
(කර්තෘ: ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වලිසිංහ)
(සංස්කරණය: 2019)