ටාටියන්

සිංහල විශ්වකෝෂය වෙතින්
16:04, 18 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Tatian). (ග්‍රීක - ටාටියනොස්). ක්‍රි.ව. දෙවැනි සියවසේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Tatian). (ග්‍රීක - ටාටියනොස්). ක්‍රි.ව. දෙවැනි සියවසේ දී ඇසිරියාවේ උපන් කිතුනු ලේඛකයකු හා දේවධර්මවාදියෙකි. ක්‍රි.ව. 120 දී උපත ලැබූ හෙතෙම ක්‍රි.ව. 185 දී මිය ගියේ ය. ඔහු වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ යේසුස් වහන්සේගේ ජීවිත කතාව හා ඉගැන්වීම් ඇතුළත් සුබ අසුන් හෙවත් ශුභාරංචි සතර වෙනුවට ඒ සතරෙහි ම අන්තර්ගත කරුණු ඇතුළත් කොට තනි කෘතියක් සම්පාදනය කිරීම සම්බන්ධයෙනි. එය හැඳින්වෙන්නේ ඩියාතෙස්සරොන් (Diatessaron) යන නමිනි. එහි තේරුම සතර ඇසුරෙන් හෝ කෙරෙන් යනුයි. මෙම ග්‍රන්ථය සිරියානු මාධ්‍යය භාවිත වූ කිතුනු දේවස්ථානවල ක්‍රි.ව. 3 වැනි හා 4 වැනි සියවස්වල ඉතා ම ප්‍රාමාණික ක්‍රිස්තු චරිතය ලෙස පරිශීලනය කරනු ලැබී ය.

ටාටියන් උපත ලැබූයේ රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර සීමාවටත් පාර්තියාවටත් මැදිව, උතුරු යුප්‍රටීස් හා ටයිග්‍රීස් නදීන් අතර පිහිටි ඇසිරියාවේ අදියාබිනි ප්‍රදේශයේ ය. මිථ්‍යාවේදය, ඉතිහාසය, කාව්‍යශාස්ත්‍රය හා කාලක්‍රමවේදය ද අධ්‍යයනය කළ හෙතෙම එකල එම දේශයන්හි ව්‍යාප්ත ව පැවති බහුදේවවාදය පිළිකුල් කෙළේ ය. පළමු ව අන්තියෝකයට ද ඉන් පසු රෝමයට ද ගිය හෙතෙම එහි දී හීබ්‍රෑ භාෂාවෙන් ලියැවුණු පැරණි ගිවිසුම කියැවීමෙන් පසු, කිතුනු දහමේ පාරිශුද්ධභාවයෙන් හා කිතුනු ශුද්ධ ලියැවිලිවල උත්තුංග මෙන් ම සරල භාවයෙන් ද ආකර්ෂණය වී ක්‍රි.ව. 150 දී පමණ කිතුනු දහම වැළඳගත්තේ ය. රෝමයේ දී හෙතෙම තමන් ඇදහූ විශ්වාසයන් නිසා ස්වකීය ජීවිතය පරිත්‍යාග කළ රෝම ධර්මාචාර්යවරයකු වූ ජස්ටින්ගේ ඇසුරට වැටිණි. ජස්ටින් වූ කලී දෙවැනි සියවසේ ජීවත් වූ, ලෝකය බිහි වූයේ වාග්ධාතුවෙනැයි යන න්‍යාය ඇදහූ ප්‍රමුඛ පෙළේ දේවධර්මවාදියෙකි. ග්‍රීක දාර්ශනික ක්‍රිසෙන්ස් සමඟ වාදයක පැටලුණු ජස්ටින්ට විරුද්ධ ව රජයට පැමිණිලි කිරීම නිසා, එවකට (163-167) නගරයෙහි පාලකයා වූ ජූනියස් රුස්ටිකුස් විසින් නඩු අසන ලදුව ජස්ටින් ඔහුගේ අනුගාමිකයන් සදෙනෙකු ද සමඟ ගෙල කපා ජීවිතක්ෂයට පත් කරන ලදි. ජස්ටින් ජීවත් ව සිටිය දී ඔහු ඉතා උසස් තන්හිලා සැලකූ ටාටියන් ජස්ටින් විසින් රෝමයේ පවත්වාගෙන යනු ලැබූ ආගමික ආයතනයට බැඳුණේ ය. ආක්‍රමණශීලී ස්වභාවයෙන් යුක්ත ධර්මාචාර්යවරයකු වූ ටාටියන් කිතුනු දහම බහුදේව වන්දනාවට මතු නොව රෝම නීතියට හා රාජ්‍ය පාලනයට එරෙහි ව යොදාගත හැකි ප්‍රබල අවියක් සේ දුටුවේ ය.

ජස්ටින්ගේ අනුගාමිකයකු ව සිටිය දී ටාටියන් උග්‍ර මතධාරියෙකු වූයේ ය. ජස්ටින්ගේ මරණින් පසු හේ ක්‍රමක්‍රමයෙන් දැඩි තවුස් දිවියක් කෙරෙහි නැඹුරු වන්නට විය. තවුස් දම් පිරීම කෙරෙහි ඔහු දැරූ අදහස් හා විඥානවාදී වැලෙන්ටිනියස්ගේ අනුගාමිකයකු වීමේ හේතුවෙන් හෙතෙම කිතුනු සභාවෙන් පලවා හරින ලදි. එහෙයින් ඔහු ක්‍රි.ව. 172 දී රෝමය හැර ගොස් ටික කලක් ග්‍රීසියේ හෝ ඇලෙක්සැන්ඩ්‍රියාවේ වාසය කරමින්, ශු.පාවුල්තුමාගේ සහකරුවකු වූ ක්ලෙමන්ට්ගේ ගුරුවරයා බවට ද පත්විය. ඉන්පසු හෙතෙම සිරියාවට ආපසු ගොස් උග්‍ර තවුස්දම් පිළිවෙත හා දැඩි දුක ඉසිලීමේ ආත්ම සංයමය මුල් කොටගත් ‘ස්ටොයික්’ දර්ශනයේ යම් යම් අංග ද රැගත් එන්ක්‍රාටයිට් (Encratite) නම් නිකායක් පිහිට වූ බව හෝ ඇසුරු කළ බව පැවසේ. එව්සබියස් නම් ඉතිහාසකරු පවසන්නේ ඔහු එම නිකායේ ආරම්භකයා බව ය. හෙතෙම මාංස භක්ෂණයෙන් වැළකී භෞතික භාණ්ඩ පරිහරණය අත්හළේ ය. ශුද්ධ වූ සහභාගිකමේ මෙහෙයේ දී ඔහු වයින් වෙනුවට ජලය භාවිත කළ බව ද කියනු ලැබේ. මේ හේතුවෙන් හේ වෙනත් කිතුනු නායකයන්ගේ උදහසට ලක්විය. පසු ව හේ මෙසපොතේමියාවට ගොස් එහි කිතුනු ආයතනයක් ආරම්භ කළ බව එපිෆානියුස් පවසයි. එම ආයතනයේ බලපෑම සිරියාවේ අන්තියෝකය දක්වා ද සිලිසියාව හා පිසිදියාව දක්වා ද විහිදුණු බව පැවසේ. මේ කාලයේ ඔහු යුප්‍රටීස් නදිය අසබඩ රාජ්‍යයන්හි ධර්මදූතයා ලෙස ක්‍රියා කළ බව කියනු ලැබේ.

ටාටියන් ග්‍රීකයන්ගේ සාහිත්‍යාගත හා සදාචාරාත්මක හරයන් ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන්ගේ බුද්ධි ප්‍රභාව ද අවඥාවට ලක් කළේ ය. ඔහු යුදෙව්-ක්‍රෛස්තව ඒකදේවවාදයේ ඡායාමාත්‍ර සංකලනයක් ඇදහූ අතර, පුද්පලබද්ධ ආත්මය අවසානයේ දී විශ්වීය ආත්මය වෙත යළි එක්වන බව ඇදහීය. මෙය භාරතීය උපනිෂද් දර්ශනයට බෙහෙවින් සමාන බවක් පෙන්නුම් කරයි. එහෙත් ඔහු කිතුනු දහමට අනුව, මිථ්‍යාදෘෂ්ටිකයෙකැයි පැවසීම උගහට ය. ඔහු උග්‍ර විඥානවාදියෙකැයි පැවසීමට ද සෑහෙන තරම් කරුණු නැත. හේ යේසුස් වහන්සේගේ මෙලොවට අවතීර්ණ වීමත්, උන්වහන්සේගේ දුඃඛප්‍රාප්තියත්, නැවත උත්ථානයත් විශ්වාස කෙළේ ය. ඉරේනියස් ආදීන් විසින් ඔහු ගර්හාවට ලක් කරන ලද්දේ ඔහු ස්වාධීන කිතුනු ආචාර්යවරයකු වීම නිසා ය. එය හණමිටි මත දැරූ කිතුනු සභාවේ පැවැත්මට තර්ජනයක් වූ නිසා ය.

ටාටියන්ගේ කෘති

ටාටියන් කෘති රාශියක් රචනා කළ නමුදු දැනට ශේෂ වී ඇත්තේ ඉන් දෙකක් පමණි. ඒ ඔරාෂියෝ අද් ග්‍රෛකෝස් (Oratio ad Graecos) හා ඩියාතෙස්සරොන් (Diatessaron) යන කෘති දෙක ය.

ඔරාෂියෝ අද් ග්‍රෛකෝස් (Oratio ad Graecos)

මෙහි ග්‍රන්ථ නාමයේ තේරුම ‘ග්‍රීකයන් ඇමතීම’ යනුයි. මෙම කෘතිය මඟින් හෙතෙම ග්‍රීකයන්ගේ බහුදේවවාදයත් ප්‍රතිමා වන්දනාවත් දැඩි විවේචනයට ලක් කරයි. පරිච්ඡේද 42කින් සමන්විත මෙහි පරිච්ඡේද 1 සිට 31 දක්වා වූ ප්‍රථම කොටසින් කිතුනු දහම හඳුන්වා දෙමින් එය ග්‍රීක දර්ශනයට වඩා උත්කෘෂ්ට දහමක් බව පෙන්වා දෙයි. දෙවැනි කොටසින් කිතුනු සභාවේ අතිශය පෞරාණිකභාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරේ. මෙම කෘතිය ග්‍රීක ශිෂ්ටාචාරය හෙළා දකින අතර ග්‍රීක දර්ශනය හා ග්‍රීක චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි කතුවරයාට තුබූ දැඩි පිළිකුළ ප්‍රදර්ශනය කරයි.

ඩියාතෙස්සරොන් (Diatessaron)

යේසුස් වහන්සේගේ ජීවන චරිතය හා ඉගැන්වීම් පිළිබඳ රචනා වී ඇති ශූභාරංචි සතරේ අන්තර්ගත කරුණු සියල්ල අළලා සකස් කරන ලද තනි වෘත්තාන්තයයි. ‘ඩියාතෙස්සරොන්’ යන්නෙහි තේරුම ‘සතර ඇසුරින්’ (dia: වෙතින්, කෙරෙන් tessares: සතර) යනුයි. මතෙව්, මාර්ක්, ලූක් හා යොහාන් යන ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයින් සතර දෙනා විසින් උන්වහන්සේගේ මරණින් පසු උන්වහන්සේගේ ජීවිතය හා ඉගැන්වීම් අළලා වෙන් වෙන් වෘත්තාන්ත සතරක් රචනා කරන ලදි. ඒවා සිංහලෙන් ශූභාරංචි, සුබදෙස්, සුබසුන් ආදි නම්වලින් හැඳින්වේ. මෙම වෘත්තාන්ත සතර ඒවායේ කතුවරුන්ගේ නමින් බයිබලයේ දෙවැනි කොටස වන නව ගිවිසුමේ මුල් කෘති සතර ලෙස ඇතුළත් ව ඇත. මෙම කෘතිවල අන්තර්ගත කරුණු හා සිදුවීම් අතර පරස්පර විරෝධතාවන් නැත ද ඇතැම් කරුණු කිසියම් ශූභාරංචියකින් හැලී ඇති අතර, ඒ ඒ සිද්ධීන් පිළිබඳ විස්තරාත්මකභාවය අතින් ද වෙනස්කම් දක්නට ඇත. ටාටියන් හට අවශ්‍ය වූයේ සුබසුන් සතරේ ම එන කිසි කරුණක් හෝ සිදුවීමක් බැහැර නොකොට පරිපූර්ණ වෘත්තාන්තයක් ගෙතීමයි. මෙහි දී ඔහුට සියලු සිද්ධි ගොනු කිරීමේ දී ස්වාධීන වූ කාලානුරූපී පිළිවෙළක් අනුගමනය කිරීමට සිදුවිය. එම පිළිවෙළ තර්කානුකූල ලෙස සකස් කිරීමට ඔහු සමත් වී ඇත.

ඩියාතෙස්සරොනය සම්පාදනය වූයේ ක්‍රි.ව. 170 හා 180 අතර කාලය තුළ ය. එය රචනා කිරීමේ දී ඔහු විසින් අනුගමනය කරන ලද ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගත හැකිවනු පිණිස එයින් කෙටි උද්ධෘතයක් මෙහි ලා ගෙන හැර දක්වමු. පහත දැක්වෙන්නේ එම කෘතියේ 22 කොටසේ මුල් ඡේදයෙන් පේළි කිහිපයකි.

1යේසුස් වහන්සේ එක්තරා ගමකට පැමිණි කල ලාදුරු රෝගියෙක් උන්වහන්සේ වෙතට පැමිණ මෙසේ පැවසී ය: “ඔබතුමා කැමති නම් මා පවිත්‍ර කළ හැකි ය.” 2යේසුස් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පා උපදවා අත දිගු කොට ඔහු ස්පර්ශ කොට “මම තොප පවිත්‍ර කරමි”යි පැවසූ සේක. 3සැනෙකින් ලාදුරු රෝගය ඔහු වෙතින් පහව ගොස් හේ පවිත්‍ර වීය.4 උන්වහන්සේ “මේ බව කිසිවකුටත් නොකියන ලෙසට වගබලා ගනුව” ඔහුට තරයේ අවවාද කළ සේක.5 “තොප පූජකයන් වෙත ගොස් ඔවුන් ඉදිරියේ පෙනී සිට මෝසෙස් අණ කළ පරිදි, තොප පවිත්‍ර වීම සම්බන්ධයෙන් පූජාවක් පවත්ව”යි පැවසූ සේක.6 එහෙත් ඔහු පිටව ගොස් එම පුවත පතුරුවමින් සිද්ධිය ප්‍රසිද්ධියට පත් කෙළේ ය. මේ හේතුවෙන් යේසුස් වහන්සේට කිසි නගරයකට ප්‍රසිද්ධියේ ඇතුළු වන්නට නොහැකි වී පාලු ස්ථානයක කාලය ගෙවන්නට සිදුවිය.7 බොහෝ ජනතාව උන් වහන්සේගේ වදන් අසන්නටත්, ලෙඩ රෝග සුව කරවා ගැනීමටත් සෑම දෙසින් ම උන්වහන්සේ වෙත ඇදී එන්නට පටන්ගත්හ.’

මේ කොටස රචනා කිරීම සඳහා ඔහු උපයෝගී කොට ගත් ශූභාරංචි පාඨ පහත දැක්වේ.

1. ශු.ලූක්, 5.12 තව ද උන්වහන්සේ එක් නුවරක සිටිය දී ඇඟ පුරා කුෂ්ටයක් තිබුණු මිනිසෙක් එහි විය. ඔහු යේසුස්වහන්සේ අබිමුවෙහි වැඳවැටී, ‘ස්වාමීනී, ඔබ කැමති සේක් නම් මා පවිත්‍ර කරන්නට ඔබට හැකිය’යි කියමින් උන්වහන්සේට කන්නලවු කළේ ය.

2. ශු.මාර්ක්, 1.41 උන්වහන්සේ මහානුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා “මම කැමැත්තෙමි. පවිත්‍ර වන්නැ”යි කී සේක.

3. ශු.මාර්ක්, 1.42 එකෙනෙහි ම කුෂ්ටය පහවී ඔහු පවිත්‍ර කරනු ලැබී ය.

4. ශු.මාර්ක්, 1.43 උන්වහන්සේ “කිසිවකුට කිසිවක් නොකියන ලෙස බලා ගන්නැ”යි තදින් අණ දී,

5. ශු.මාර්ක්, 1.44 “යන්න, පවිත්‍ර වීමේ සහතිකයක් ලෙස පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න. මෝසෙස්ගේ නියමය පරිදි පූජා ඔප්පු කරන්න” කියා ඔහු වහා පිටත් කර යැවූ සේක.

6. ශු.මාර්ක්, 1.45 එහෙත් ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කිය කියා දස දෙස පතුරුවා හැරියේ ය. එහෙයින් කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට නොහැකි වූයෙන්, යේසුස් වහන්සේ පාළු පෙදෙස්වල නැවතුණු සේක.

7. ශු.ලූක්, 5.15 එහෙත් උන්වහන්සේ ගැන ප්‍රවෘත්තිය වඩ වඩා පතළ විය. බොහෝ සමූහයෝ උන්වහන්සේට සවන් දෙන පිණිස ද, සියලු රෝග සුව කරවා ගන්නා පිණිස ද රැස් වූහ.

ක්‍රි.ව. 3 හා 4 වැනි සියවස්වල සිරියාවේ භාවිත වූ එක ම සුබසඳෙස් කෘතිය වූයේ මෙම ඩියාතෙස්සරෝනයයි. මුල් කෘතියට ඇත්තේ ග්‍රීක නමක් වුව ද එය රචනා වූයේ සිරියානු බසින් විය හැකි ය. පසුව එය අරාබි හා අර්මේනියානු භාෂාවලටත්, ඉන්පසු ලතින්, මධ්‍යකාලීන ලන්දේසි, පැරණි ප්‍රංස, ජර්මන්, ඉතාලි හා පර්සියානු භාෂාවලට ද පරිවර්තනය කරන ලදි. 5 වැනි සියවසේ දී එය භාවිත කළ සිරියානු සභාවල ඒ වෙනුවට මුල් සුබසඳෙස් සතර භාවිතයට ගන්නා ලදි. එදෙස්සාහි බිෂොප් වූ රබ්බුලා (411-435) සියලු ම පූජකවරුන් සතු ව වෙන් වෙන් ශූභාරංචි සතරේ පිටපතක් තිබිය යුතු බවට නියමයක් කරන ලද අතර, කුරොස්හි බිෂොප් වූ තියොඩොරේටස් (423-457) විසින් ඩියාතෙස්සරෝනයේ පිටපත් 200කට අධික සංඛ්‍යාවක් සිය දියෝකීඩියට අයත් දේවස්ථානවලින් ඉවත් කර ගන්නා ලදි.

(කර්තෘ: වෝල්ටර් මාරසිංහ)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටාටියන්&oldid=6628" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි