ආරක්ෂණය
ආරක්ෂණය යනුවෙන් හැඳින්වෙන්නේ රටක දේශීය ව්‍යාපාර හා කර්මාන්ත විදේශීය නිෂ්පාදිතයන්ගේ තරඟයෙන් ආරක්ෂා කරගැනීම සඳහා විදේශීය වෙළඳාම පිළිබඳව රජය අනුගමනය කරන ප්‍රතිපත්ති විශේෂයකි. විදේශීය භාණ්ඩ සම්බන්ධයෙන් ආයාත බදු සහ ආයාත සලාක ඇති කිරීම, විදේශීය මුදල් පාවිච්චිය අඩු කිරීම සඳහා නීති පැනවීම යන මේවා ආරක්ෂණ ප්‍රතිපත්තියක් ගෙන යෑමේ මාර්ගයන්ගෙන් සමහරකි. ආරක්ෂණය අනුගමනය කිරීම නිසා විදේශීය වෙළඳාම සීමා වීම අනිවාර්යයෙන් ම සිදුවන්නකි.
කර්මාන්ත අතින් දියුණු වූ රටවල නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයන් සමඟ තරඟයට මුහුණ පෑමට සිදු වූ විට විශේෂයෙන් ම ළාබාල ව්‍යාපාරවල වැඩීම අත්හිටිය හැකිය. මේ උවදුරින් දේශීය ව්‍යාපාර හා කර්මාන්ත බේරා ගැනීමට මං සැලසිම ආරක්ෂණයේ යුක්තියුක්ත බව කියාපාන හොඳ ම තර්කය ලෙස සැලකේ.
බ්‍රිතාන්‍යය සහ යුරෝපය : මධ්‍යතන යුගයෙහි දී යුරෝපා මහාද්වීපයේ නගර වැඩි ගණනක මෙන් ම බලසම්පන්න රාජාණ්ඩු පැවති එංගලන්තය, ස්වීඩනය වැනි රටවල ද සැලකිල්ල යොමු වූයේ ඒ ඒ නගරයෙහි හෝ රටෙහි භාණ්ඩ සම්භාරය වැඩි කර ගැනීම කෙරෙහිය. බඩු පිටරට යැවීම හැකි තාක් දුරට සීමා කොට පිටරටවලින් බඩු වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට සෑම රටක් ම ප්‍රයත්න දැරුවේය. නිර්යාත කෙරෙහි සීමා ඇති කිරීමත් අවස්ථාව ලැබුණු අවධිවල දී භාණ්ඩ ආයාත වැඩිකර ගැනීමට විධිවිධාන යෙදීමත් එවක රාජ්‍යයන් මගින් සිදු කෙරුණු වැදගත් කාර්යයෝ වූහ. නිර්යාත සීමා ගණනාවක් ම තිබීමත්, ආයාත තහනමක් නැතිවීමත් මධ්‍යතන යුරෝපයේ විදේශීය වෙළෙඳ කටයුතුවල කැපි පෙනුණු ලක්ෂණයකි. වෙළෙන්දන්ගේ ශ්‍රෙණි සහ වෙනත් සංවිධානයෝ විදේශීය නිපදවන්නන්ට විරුද්ධව නීතිරීති ඇති කළෝය. තම රට භාණ්ඩ මධ්‍යස්ථානයක් කර ගැනීමට ප්‍රයත්න දැරූ රටේ පාලකයෝ ආයාත වැඩි කර ගැනීමට වෙහෙස ගත්හ.
මධ්‍යතන යුගයේ අවසාන භාගය ළඟා වන විට ක්‍රමයෙන් පූර්වෝක්ත තත්වය වෙනස් වී ආරක්ෂණය කෙරේ සැලකිල්ල යොමු විය. මේ වෙනස්වීමට හේතු වූයේ මුදල් ව්‍යවහාරය බව සැලකේ. ආයාතයන් කරණකොටගෙන රටක මුදල් ඌන වන අතර නිර්යාතයන්ගෙන් මුදල් වැඩි වෙයි. එහෙයින් නිර්යාත වැඩිකර ගැනීමට - එනම් භාණ්ඩ නිෂ්පාදනය වැඩිකිරීමට - කටයුතු සැලසීම අවශ්‍යය. 13 වැනි ශතවර්ෂයේ මුල හරියේ දී යුරෝපයේ වැඩියෙන් ම දියුණුවට පත්ව තිබුණු රට වූ උතුරු ඉතාලියේ ආරක්ෂණ විධිවිධාන නොහොත් වෙළඳ සීමා ගණනක් ම තිබිණ. ඊට පසුව ආර්ථික දියුණුව ලැබූ බෙල්ජියමෙහි ද 15 වැනි ශතවර්ෂයේ මැද හරියේ දී ආර්ථික දියුණුව ලැබූ එංගලන්තයෙහි ද වෙළඳ සීමා ඇතිකරන ලදි. මධ්‍යතන යුගයේ අග හරියේ දී වැංසාං ද ගුර්ගේ (Vincent de Gournay) ටෝක්වීල් (Tocqueville) ආදි ප්‍රංස ජාතික අර්ථ ශාස්ත්‍රඥයෝ ආරක්ෂණය රජයේ පරමාර්ථය විය යුතු බව තරයේ ප්‍රකාශ කළහ. වාණිජවාදය (Mercantilism) යන නමින් හැඳින්වෙන මේ අදහස් මුළුල්ලෙහි කැපී පෙනෙන ලක්ෂණය නම් රටක මුදල් සම්භාරය රටේ නියම ධනය වශයෙන් සැලකීමයි. නිර්යාත රටක මුදල් සම්භාරය (ධනය) වැඩි කරන අතර ම ආයාත රටක මුදල් සම්භාරය (ධනය) හීන බවට පමුණුවයි. ඒ නිසා ආයාත සීමාකරමින් නිර්යාත වැඩිකර ගැනීමට අධික ආයාත තීරුබදු පැනවීම, ආයාත තහනම් ඇති කිරීම, භාණ්ඩ නිෂ්පාදනය වැඩි කරන්නන්ට තිළිණ ඇතුළු නොයෙකුත් පිහිටාධාර දීම හා අගනා ලෝහ නිර්යාත කෙරෙහි සීමා ඇති කිරීම වැනි කුමන උපායක් හෝ යෙදීම සාධාරණ බව වාණිජවාදයෙන් කියැවිණි. ආර්ථික කටයුතු තරයේ පාලනය කරමින් ව්‍යාපාරයනට ධෛර්‍ය්‍යදීම රජයේ පරමාර්ථය විය යුතු බව වාණිජවාදීහු කියා සිටියහ.
මුල දී මෙසේ බිහි වූ ආරක්ෂණ අදහස් තදින් මුල් බැස ගත්තේ විදේශීය වෙළඳාම දියුණුවට පත් උතුරු ඉතාලිය, එංගලන්තය, බෙල්ජියම වැනි රටවල වුව ද 17 වන ශතවර්ෂයේ පටන් සෙසු යුරෝපීය රටවල් ද ආරක්ෂණ ප්‍රතිපත්ති දෙසට නැඹුරුවීමට පටන් ගති. මේ වෙනස්වීම ඇති වූයේ යුරෝපයේ ජාති - රාජ්‍යයන් (nation states) ඇති වූ අවධියෙහිය. දේශපාලන ජයග්‍රහණයක් ලබාගැනීමට නම් රටක් ආර්ථික අතින් දියුණු විය යුතුය යන්න වාණිජවාදීන්ගේ අදහස විය. මේ අදහසෙහි එල්බගත් අය කර්මාන්ත ව්‍යාපාරයන්ට ආධාර දුන්හ. එවක රජවරු තම රටේ භාණ්ඩ කෙරෙහි විදේශීය තරඟය අඩු කරගෙන අමුද්‍රව්‍ය හැර වෙන ආයාත භාණ්ඩ පිටරටින් ගෙන්වීමට ඉඩ නොදෙමින් රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ඇතිකර ගත්හ.
මේ කාලයේ දී එංගලන්තය ආරක්ෂණ ප්‍රතිපත්තිය තදින් ම අනුගමනය කෙළේය. එහි, ආරක්ෂණය අනුගමනය කරනු ලැබුවේ කෘෂිකර්ම අංශය සම්බන්ධයෙනි. වර්ෂ 1689 දී රජය විසින් නිර්යාත තිළිණයක් තිරිඟු නිෂ්පාදකයන්ට දුන් විට ආරක්ෂණ ප්‍රතිපත්තිය මුදුන් පත්විය. තත්වය මෙසේ වීමට හේතුව නම් පාලන බලය ඉඩම් හිමි රදලවරුන් අත තිබීමයි. කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂණය ඇති කිරීම ඉඩම් හිමි රදලයන්ට ඉතාමත් ම හිතකර විය.
ප්‍රංසයේ ආරක්ෂණ ප්‍රතිපත්තිය තරයේ ම අනුගමනය කරන ලද්දේ නැපෝලියන් බොනපාට්ගේ පාලන කාලයෙහි දීය. රටක ආර්ථික දියුණුව වෙනත් රටක ආර්ථික වර්ධනය නැති කිරීමෙන් විනා අන් ක්‍රමයකින් ඇති කළ නොහැකි යයි නැපෝලියන් තදින් විශ්වාස කෙළේය. ප්‍රධාන සතුරු රට වූ එංගලන්තය ආර්ථික අතින් දුබල තත්වයකට පත් කිරීමෙන් යුද්ධයෙන් ජය ගෙන සිය අධිරාජ්‍යය තහවුරු කරගැනීම නැපෝලියන්ගේ පරමාර්ථය විය. එංගලන්තයට විරුද්ධව නැපෝලියන් යෙදූ වාණිජ ආරක්ෂණ ප්‍රතිපත්තිය (Continental System) මේ පරමාර්ථය ඉටුකරගැනීමේ ප්‍රධානතම මාර්ගය විය. යුරෝපීය රටවල් ආරක්ෂණ ප්‍රතිපත්තිය කෙරෙහි දැක්වූ ඇල්ම 17 වන ශතවර්ෂයේ අග හරියේ පටන් නැති වී ගියේය. අනතුරුව වර්ෂ 50ක 75ක පමණ කාලයක් තුළ යුරෝපයේ රටවල් අබාධ වෙළඳ ප්‍රතිපත්තියක් කෙරෙහි සිත් යොමු කළහ. අබාධ වෙළඳ ප්‍රතිපත්තිය මුලින් ම අනුගමනය කරනු ලැබුවේ එංගලන්තයෙහිය. ආරක්ෂණයට බෙහෙවින් විරුද්ධ වූ අබාධ වෙළඳ ප්‍රතිපත්තිය තර්කානුකූල ලෙස ඉදිරිපත් කරන ලද්දේ “ජාතීන්ගේ ධනය” (Wealth of Nations) නමින් 1776 දී පළ කරන ලද ඇඩම් ස්මිත් නමැති සුප්‍රසිද්ධ අර්ථශාස්ත්‍රඥයාගේ ග්‍රන්ථයෙහිය. වෙළඳ කටයුතු සම්බන්ධයෙන් රජයේ මැදහත් වීමෙන් ආර්ථික නිදහස නැති වන වග ඔහු තරයේ කියා සිටියේය. නොබෝ කලකින් ම මේ අදහස් බෙහෙවින් ජනප්‍රිය වන්නට විය. ඒවා කර්මාන්ත හිමියන්ගේ කටයුතුවලට ඉතා ම හිතකරවීම මීට හේතුවයි. කෘෂිකාර්මික රටක්ව පැවති එංගලන්තය පේෂ කර්මාන්තයේත් පසුව යකඩ හා ලෝහ කර්මාන්තයේත් අලුත් සොයාගැනීම් නිසා කාර්මික රටක් බවට ශීඝ්‍රයෙන් පෙරළිණ. කාර්මික කටයුතුවලට අවහිර කළ නොයෙකුත් නීතිරීති ඉවත් කර දැමීම කර්මාන්තවල දියුණුවට අවශ්‍ය විය. එපමණක් නොව කෘෂිකාර්මික කටයුතුවලට ආරක්ෂණය සලසා දුන් ධාන්‍ය නීතිවල ප්‍රතිඵලයක් වශයෙන් කම්කරු වැටුප් අධික විය. ධාන්‍ය නීති අස්කොට අබාධ වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කර්මාන්ත හිමියන්ට බෙහෙවින් ම හිතකර විය. එංගලන්තයේ කාර්මික භාණ්ඩවල ශ්‍රෙෂ්ඨත්වය නිසා වෙනත් යුරෝපීය රටවලින් ඇතිවිය හැකි තරඟයන් කෙරෙහි කිසිදු බියක් නොමැති විය. එහෙයින් එංගලන්තයේ කර්මාන්ත හිමියන්ගේ එක ම අදහස වූයේ ආරක්ෂණය තරයේ වැලඳ ගත් යුරෝපීය රටවල් ද අබාධ වෙළඳ ප්‍රතිපත්තිය කෙරෙහි පොලඹවා ගනිමින් ස්වකීය භාණ්ඩ අලෙවිය දියුණු කරගැනීමයි. 1846 දී ධාන්‍ය නීති අවලංගු කරගත් බ්‍රිතාන්‍යය 1850 වන විට විදේශීය බාධක ගණනාවක් ම නැති කරදමා 1867 වන විට අබාධ වෙළඳ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ම අනුගමනය කරන රටක් විය (අබාධ වෙළඳාම බ). වර්ෂ 1930 පරිහානි කාලය වන තුරු ම නියම විධියේ ආරක්ෂණ තීරුබද්දක් බ්‍රිතාන්‍යය විසින් ඇති කරනු ලැබුවේ නැත. සෙසු රටවල් ආරක්ෂණය අනුගමනය කරන කල්හි බ්‍රිතාන්‍යයට අබාධ වෙළඳ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට සිදුවූයේ බ්‍රිතාන්‍ය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ බ්‍රිතාන්‍ය ජනතාවට අවශ්‍ය ආහාරපාන ද පිටරටින් ගෙන්වා ගැනීමට එරට පුරුදුව සිටි හෙයිනි.
අබාධ වෙළඳ ප්‍රතිපත්තිය අනුගමනය කළ බ්‍රිතාන්‍යයට කාර්මික ශ්‍රෙෂ්ඨත්වය හිමි වූ නිසා අනිකුත් යුරෝපීය රටවල් ද 19 වැනි ශතවර්ෂයේ දී බ්‍රිතාන්‍යය අනුගමනය කරමින් එම ප්‍රතිපත්තිය පිළිගත්තේය. ලුවී නැපෝලියන්ගේ පාලන කාලයේ දී ප්‍රංසය අබාධ වෙළඳ රටක් බවට පෙරළිණි. ජර්මනියේ "සොල්වරයින්" වෙළඳ සංගමය ද විවිධ වූ ජර්මන් පෙදෙස් අතර මේ තාක් කල් පැවති තීරුබදු ඇතුළු වෙනත් වෙළඳ බාධක ගණනාවක් ම ඉවත් කොට අබාධ වෙළඳ ප්‍රතිපත්තිය කරා ගමන් කෙළේය. අනතුරුව ඩෙන්මාර්කය වැනි සුළු යුරෝපීය රටවල් ද කැනඩාව වැනි අලුත් රටවල් ද අබාධ වෙළඳ ප්‍රතිපත්තිය නොපමාව අනුගමනය කළහ.
යුරෝපයේ ආරක්ෂණ ප්‍රතිපත්තිය නැවත වරක් පණ ලැබුවේ 19 වැනි ශතවර්ෂයේ අගහරියේ දීය. මේවර මුලින් ම ආරක්ෂණ ප්‍රතිපත්තිය වැලඳ ගත්තේ ප්‍රංසයයි. ආරක්ෂණ ප්‍රතිපත්තියක් නැවත අනුගමනය කිරීමට හේතු වූ ප්‍රධාන කරුණ නම් යුරෝපයේ රටවලට ඇමෙරිකාවෙන් මිල අඩු ධාන්‍ය ගලා ඒමයි. තීරුබදු නොතිබුණු යුරෝපීය රටවලට බාධාවක් නොමැතිව ඇමෙරිකන් ධාන්‍ය ගලා ඒමෙන් ඒ රටවල අභ්‍යන්තර ධාන්‍ය වෙළඳාමට අතිශයින් පාඩු සිදු විය. පළමුව කෘෂිකර්ම අංශයත්, දෙවනුව වැඩීගෙන ආ කාර්මික අංශයත් උදෙසා ආරක්ෂණ ක්‍රමය බිස්මාර්ක් ජර්මනියෙහි ඇති කෙළේ මෙවැනි උවදුරුවලින් අභ්‍යන්තර වෙළෙඳ නිෂ්පාදන කටයුතු ආරක්ෂා කරගැනීම සඳහාය. අනතුරුව සෙසු යුරෝපීය රටවල් ද ආරක්ෂණ ප්‍රතිපත්තියේ ආධාරයෙන් ප්‍රථම කාර්මික රට වන බ්‍රිතාන්‍යයේ තරඟය මඟහරවා ගනිමින් තම රටවල කාර්මික දියුණුව ඇති කර ගැනීමට වෙහෙස දැරීය.
යුරෝපීය රටවල් අතුරෙන් බ්‍රිතාන්‍යය පමණකි, ආරක්ෂණ ප්‍රතිපත්තිය යොදා නොගත්තේ. සෙසු රටවල් ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුගමනය කළ අවධියක දී මෙසේ තීරුබදු නොමැතිව සිටීමෙන් බ්‍රිතාන්‍ය කෘෂිකාර්මික කටයුතු දුබල වී ගියේය.
ප්‍රථම ලෝක සංග්‍රාමය තෙක් බ්‍රිතාන්‍යයේ කාර්මික ශ්‍රෙෂ්ඨත්වයට අභියෝගයක් ඇති වූයේ ජර්මනියෙන් පමණි. එම සංග්‍රාමයෙන් පසුව ආරක්ෂක තීරුබද්දක උපකාරයෙන් විශාල කාර්මික දියුණුවක් ලබාගත් ජපානය අඩු මිලට රෙදි නිර්යාත කරමින් බ්‍රිතාන්‍ය රෙදි වෙළඳාමට බාධා කෙළේය. පළමු ලෝක සංග්‍රාමයෙන් පසුව බ්‍රිතාන්‍යයේ වෙළඳ තත්වය තවදුරටත් දුබල වීමට පටන් ගති. බඩු ගෙන යෑම ඊම සම්බන්ධයෙන් නැව් සේවාවන් සැපයීමේ දී ද ජපානයේ තරඟය බලසම්පන්න විය.
සෙසු යුරෝපීය රටවල් යුද්ධකාලයේ දී පනවා ගත් ආරක්ෂක තීරුබදු ක්‍රමය යුද්ධයෙන් පසුව ද පවත්වාගෙන යන ලදි. ප්‍රථම ලෝක සංග්‍රාමයෙන් පසු ඕස්ට්‍රියා-හංගේරියානු අධිරාජ්‍යය කැඩීයාමෙන් පිහිටුවනු ලැබූ කුඩා රාජ්‍යයන්හි ද ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුගමනය කරනු ලැබීය. මේ අයුරින් අබාධ වෙළඳාම යල්පැනගිය මූලධර්මයක් බවට පෙරළුණි.
මෙතෙක් ආරක්ෂණ ප්‍රතිපත්තියට පිටුපාමින් සිටි බ්‍රිතාන්‍යය ස්වකීය ජාත්‍යන්තර වෙළෙඳ තත්වය දුබල වී යාම වටහා ගනිමින් ආරක්ෂණ කටයුතු ගණනාවක් ම ආරම්භ කෙළේය. බ්‍රිතාන්‍ය කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂණ සලාක ක්‍රමයක් ඇති කිරීම ඉන් ප්‍රධාන එකකි.
මෙතෙක් කල් ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලද්දේ තීරුබද්ද මගිනි. 1929 දී හටගත් ලෝක වෙළඳ පරිහානියෙන් පසුව රටක විදේශීය වෙළෙඳාම කෙළින් ම සීමා කිරීම පුරුද්දක් විය. විදේශීය මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් තද රෙගුලාසි පැනවීම, අසීමිත ලෙස බඩු පිටරටින් ගෙන්වීමට පුද්ගලයන්ට ඉඩ නොදී තොග වශයෙන් බඩු ගෙන්වීමේ බලය රජය අතට ගැනීම වැනි ක්‍රම යෙදීම නිසා අධික තීරුබදු ක්‍රමය අනවශ්‍ය බවට පත් විය. මෙතැන් පටන් ආරක්ෂණ ක්‍රමයක් වශයෙන් තීරුබද්දේ වැදගත්කම අඩු විය.
මෙහි දී බ්‍රිතාන්‍යයක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඩොමීනියන් රටවලුත් අතර ඇති වූ අධිරාජ්‍යවරණ ක්‍රමය සඳහන් කළ යුතුය. විසිවැනි ශතවර්ෂයේ මුල් හරියේ සිට ම ඩොමීනියන් රටවල් විසින් අන්‍යෝන්‍යයන්ට ද බ්‍රිතාන්‍යයට ද වරණ පහසුකම් සලසා දෙන ලදි. 1919ත් 1921ත් අතරේ දි බ්‍රිතාන්‍ය ආණ්ඩුව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන කාර්මික භාණ්ඩ හා තරඟයට පැමිණි විදේශ භාණ්ඩ සම්බන්ධයෙන් ආයාත බදු පැනෙව්වේය. එහෙත් මේ අවධියේහි දී ම ඩොමීනියන් රටවලට එවැනි භාණ්ඩ පිළිබඳ වරණ පහසුකම් දුන්නේය.
1931 දී සහ 1932 දී ඇතැම් ආහාරපාන වර්ග සහ ලෝහ වර්ග පිළිබඳව එතෙක් පැවති තහනම බ්‍රිතාන්‍යය විසින් ඉවත් කරන ලදි. එතැන් පටන් ක්‍රමානුකූල ලෙසට වරණ ක්‍රමයක් පිළියෙල කරගැනීමට බ්‍රිතාන්‍යයට පුළුවන් විය. මෙසේ විධිමත් වරණ ක්‍රමයක් 1932 දී පැවැත් වූ ඔටාවා සම්මේලනයේ දී බ්‍රිතාන්‍යය සහ ඩොමීනියන් රටවල් විසින් ඇති කරගන්නා ලදි. අධිරාජ්‍යයට අයත් රටවල භාණ්ඩ වැඩි හරියක් බදුවලින් බ්‍රිතාන්‍යයට වැද්ද ගැනීමටත් විදේශීය රටවලින් බ්‍රිතාන්‍යයට යවන සමහර ආහාරපාන වර්ග හා ලෝහ වර්ග පිළිබඳව ආයාත බදු පැනවීමටත් මෙහි දී ඔව්හු එකඟ වූහ. කාර්යක්ෂම දේශීය නිෂ්පාදකයන්ගේ ආරක්ෂාව ගෙනදීමට විනා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා ආයාත බදු ඩොමීනියන් රටවල් විසින් අය නොකළ යුතු වග ද මෙහි දී සම්මත විය. බ්‍රිතාන්‍යයත් ඩොමීනියන් රටවලුත් අන්‍යෝන්‍යයන්ට සැලකිය යුතු තරම් වරණ පහසුකම් සලසා දුන්හ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බ්‍රිතාන්‍යයත් ඩොමීනියන් රටවලුත් ඒ රටවලට විදේශීය භාණ්ඩ පිවිසීම වැළැක්වීමට උපායයන් යොදාගත් ආරක්ෂිත වෙළඳ පොළක් බවට පෙරළිණ.
දෙවැනි ලෝක සංග්‍රාම කාලයේ දීත් ඉන් පසුවත් ඇති වූ විදේශීය මුදල් ප්‍රශ්න වැනි දුෂ්කරතාවන් නිසා වරණ පහසුකම් පවත්වා ගෙන යෑම අපහසු විය. ඉංග්‍රිසි-ඇමෙරිකානු වෙළඳ ගිවිසුම උදෙසා වරණ පහසුකම් සමහරක් බ්‍රිතාන්‍යය නැතිකර දැම්මේය.
එපමණක් නොව, ඩොමීනියන් රටවල ද කාර්මික කටයුතු දියුණු කරගැනීමට උද්යෝගයක් ඇතිවිය. එම නිසා දේශීය නිෂ්පාදිත හා තරඟයට පත් බ්‍රිතාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ද ආරක්ෂිත උපායයන් යෙදීමට මේ රටවල් පටන් ගත්හ. වරණ ක්‍රමයේ මූලික පදනම මෙසේ ක්‍රමයෙන් දුබල විය.
ඇමෙරිකාව : එංගලන්තය හා ඇමෙරිකාව අතර යුද්ධය පැවති කාලය තුළ දී භාණ්ඩ ආයාත සීමා වූයෙන් අවශ්‍ය භාණ්ඩ සැපයීමට දේශීය කර්මාන්ත සමූහයක් ම ඇති කරන ලදි. මේ අලුත් ව්‍යාපාරවලට දිරි දෙනු සඳහාත් ඒවායේ ආරක්ෂණය සඳහාත් තීරුබදු පනවන ලදි. ආරක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාරයක් ද මේ කාලයේ දී ඇති විය. උතුරු ඇමෙරිකාවේ දකුණු ප්‍රදේශවල රෙදිපිළිී නිපදවීමේ යෙදුණු ව්‍යාපාරිකයන්ට මේ තීරුබදු නුරුස්සන්නට විය. ඔවුන්ගේ බලපෑමෙන් තීරුබදු ඉහළ යෑම මෙතැනින් අවසන් විය.
ඇමෙරිකාවේ සිවිල් යුද්ධය නිසා අධික තීරුබදු ක්‍රමය ආරම්භ වී යයි කිව හැකිය. ප්‍රථම අධික තීරුබද්ද වූයේ 1861 දී ඇති කළ මොරිල් බද්දය. එය බලගතු කාර්මිකයන්ගේ වාසියට රිපබ්ලිකන් පාක්ෂිකයන් විසින් ඇති කරන ලද්දකි. සිවිල් යුද්ධයෙන් පසු දකුණු ප්‍රදේශයන්හි කෘෂිකාර්මික ඉඩම් හිමියන්ගෙන් බලය පැහැර ගත් කාර්මිකයෝ 1862–1864 අතර තීරුබදු මඟින් ආරක්ෂණය තව තවත් වැඩි කළහ. 1864 දී පනවන ලද තීරුබද්ද ඊට කලින් පනවා තිබුණු සියලු ම තීරුබදුවලට වඩා අධික විය. 1864 දී පනවන ලද තීරුබදුවල මට්ටම අවුරුදු ගණනාවක් මුළුල්ලේ ම ඇමෙරිකානු තීරුබදු ක්‍රමයේ මූලික පදනම වශයෙන් පැවතිණි.
මෙතැන් පටන් ක්‍රමයෙන් තීරුබදු වැඩි වන්නට විය. සිනිඳු ලෝම වස්ත්‍ර, කපුරෙදි, හණ, යකඩ, වානේ, වීදුරු ආදි භාණ්ඩ සම්බන්ධයෙන් ද අධික තීරුබදු පනවනු ලැබීය. දේශීය කර්මාන්තවලට අනුබල දීම් වශයෙන් තීරුබද්දක් ද ගොවි ජනයාගේ ශුභසිද්ධිය ඇති කිරීම් වශයෙන් ඇතැම් කෘෂිකාර්මික ආයාත කෙරෙහි බද්දක් ද පනවන ලදී.
තීරුබදු කොතරම් අධික වී ද යතහොත් ඒ හේතුකොටගෙන ජීවන වියදම තවත් ඉහළ නඟින්නට විය. මේ ප්‍රශ්නය නිසා ම 1890 දී අධික තීරුබදු ප්‍රතිපත්තිය අනුගමනය කළ රිපබ්ලිකන් පක්ෂය පරාජය කොට ඩිමොක්රැටික් පක්ෂයට බලය දිනා ගැනීමට පිළිවන් විය. අනතුරුව තීරුබදුවල අධිකත්වයෙන් සහනයක් ඇති කරන ලදි.
අධික ආරක්ෂණ ක්‍රමය ඩිංලි පනත (Dingley Act) මගින් නැවතත් පණ ගැන්විණි. බීට් කර්මාන්තය හා රෙදි කර්මාන්තය කෙරෙහි ද ආරක්ෂණය වඩාත් තද කරන ලදි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නැවත ජීවන වියදම ඉහළ නඟින්නට විය. ආරක්ෂණ විරෝධය නැවතත් හට ගත්තේය. රිපබ්ලිකන් ආණ්ඩුවේ පේන්-ඇල් ඩ්රිඩ් පනතින් මහජනයාගේ බලාපොරොත්තු ඉටු නොවීය. විල්සන් ජනාධිපති වීමටත් රිපබ්ලිකන් පක්ෂය පරාජය වීමටත් ප්‍රධාන හේතුව වූයේ මෙයයි. 1913 දී ජනාධිපති විල්සන් තීරුබදු රාශියක් ම ඉවත් කෙළේය. එහෙත් ආරක්ෂණය අඩු වූවා විනා සම්පූර්ණයෙන් බිඳ නොවැටිණි.
ප්‍රථම ලෝක සංග්‍රාමයෙන් පසු රිපබ්ලිකන් පක්ෂයට බලය අත්විය. කෘෂිකාර්මික භාණ්ඩ මිල පහළ වැටීම නිසාත්, සංග්‍රාම කාලය තුළ දී පැන නැඟුණු අලුත් රසායන කර්මාන්තවලට ආරක්ෂණය අවශ්‍ය වූ නිසාත් කාර්මික කටයුතු පිළිබඳ සෙසු රටවල තරඟයට මුහුණ පෑමට සිදුවූ නිසාත් හදිසි තීරුබදු ක්‍රමයක් ඉදිරිපත් කරනු ලැබීය (1921). මේ ආරක්ෂණ ක්‍රමය පෙර ක්‍රමවලටත් වඩා දැඩි විය. ඉන්දියාව : 1858 පටන් ඉන්දියාවේ පාලනය කෙළින් ම බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතට පත්විය. මහා බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාව හා ලංකාව වැනි රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද වෙළඳ ප්‍රතිපත්තිය දෙස බලන කල එය අයර්ලන්තය ඇතුළු වෙනත් යටත් විජිත පිළිබඳව අනුගමනය කළ වාණිජ ප්‍රතිපත්තිය හා සමාන බැව් පෙනේ. තම කර්මාන්තවලට අවශ්‍ය අමු ද්‍රව්‍ය යටත් විජිතවලින් සපයා ගැනීම ද කාර්මික භාණ්ඩ විකුණා ගැනීම සඳහා යටත් විජිතයන් වෙළඳ පොළවල් සැටියට සැලකීම ද බ්‍රිතාන්‍ය වෙළඳ ප්‍රතිපත්තියේ කැපී පෙනුණු ලක්ෂණ විය. ඉන්දියානු නිෂ්පාදිත භාණ්ඩ, විශේෂයෙන් ම රෙදිපිළී, බ්‍රිතාන්‍යයට ගෙන්වීම වළක්වනු සඳහා අධික තීරුබදු පැනවීම සහ බ්‍රිතාන්‍ය කාර්මික භාණ්ඩ ඉන්දියාවට පහසුවෙන් වැද්ද ගැනීමට ඉඩ සැලැසෙන පරිදි ඉතා සුළු තීරුබදු පමණක් ඇතිකිරීම බ්‍රිතාන්‍යයේ සිරිත විය. බ්‍රිතාන්‍යය ගෙන ගිය මේ ප්‍රතිපත්තියෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාවේ කාර්මික කටයුතු පිරිහෙන්නට විය.
වෙළඳ සංගමයේ බලපෑමෙන් 1858 දී ඉන්දියාව ඉවත් වුව ද ඉන්දියානු තීරුබදු කෙරෙහි බ්‍රිතාන්‍ය වෙළෙන්දන්ගේ බලපෑම දිගට ම පැවතුණි. ඔවුන්ගේ බලපෑම් අනුව බ්‍රිතාන්‍ය කාර්මික භාණ්ඩ පිළිබඳ ඉන්දියානු තීරුබදු තවදුරටත් අඩු කරන ලදි.
1859 දී බ්‍රිතාන්‍ය භාණ්ඩ පිළිබඳ තීරුබදු වෙනත් විදේශීය රටවල භාණ්ඩ පිළිබඳ තීරුබදුවල තරමට සරිලන සේ වැඩි කළ විට බ්‍රිතාන්‍ය වෙළෙන්දන් දැක්වූ දැඩි විරෝධය නිසා 1860 දී නැවතත් එම බදු අඩු කරන ලදි. එම අවධියෙහි දී ම ඉන්දියානු අමුද්‍රව්‍ය පිළිබඳ බදු සම්පූර්ණයෙන් ම අස්කරන ලදි.
ආයාත හා නිර්යාත පිළිබඳ බදු ආණ්ඩුවේ ආදායම් උපදවන මාර්ගයෝ වෙති. නිර්යාත බදු නැති කිරීම සහ ආයාත බදු අඩු කිරීම ඉන්දියානු ආණ්ඩුවේ ආදායමට තදබල පහරක් විය. ආණ්ඩුවේ ආදායම් තත්වය දුබල වීම නිසා ඉන්දියානු තීරුබදු ප්‍රශ්නය නිරාකරණය කරනු වස් කාරක සභාවක් පත් කරගනු ලැබීය. කපු, කැටිනූල් හා රෙදිපිළි පිළිබඳව පනවන ලද බදු රජයේ ආදායම් දියුණු කිරීමට විනා ඉන්දියානු කර්මාන්තවලට ආරක්ෂණය ගෙනදීමට යොදන ලද්දේ නොවීය. ඒ බදු කරණකොටගෙන ඉන්දියානු කර්මාන්ත කෙරෙහි ආරක්ෂණය සැලසෙන බව කියා පෑ ලැන්කෂයර් නිෂ්පාදකයන්ගේ බලපෑම නිසා කපු හා කැටිනූල් පිළිබඳ තීරුබදු ද කපු රෙදි පිළිබඳ තීරුබදු ද නැවත අඩු කරන ලදි. ලැන්කෂයර් ව්‍යාපාරිකයන්ගේ බලකොටුව වූ කොන්සර්වටිව් ආණ්ඩුව විසින් ඉන්දියාවේ වියන ලද රෙදිපිළී සියල්ලක් කෙරෙහි බලපාන අන්දමට දේශීය භාණ්ඩ පිළිබඳ බද්ද 1896 දී පනතක් වශයෙන් නැවත සකස් කරන ලදි. එංගලන්තයෙහි නොනිපදවන ලද ගොරෝසු කපුරෙදි නිර්යාත සම්බන්ධව ද ඉන්දියානුන්ගෙන් තීරුබද්දක් නිකරුණේ අයකරනු ලැබීය.
ලංකාව: අධිරාජ්‍යවාදී රටක ග්‍රහණයට අසු වී යටත් විජිතයන් වශයෙන් පැවති රටවල ආර්ථික ක්‍රම බොහෝ සෙයින් සමාන වේ. යටත් විජිතයක්ව සිටි සෑම රටක ම කාර්මික කටයුතු නොදියුණු තත්වයක තිබීම ඒවායේ ප්‍රධාන ලක්ෂණයකි. යටත් විජිතයන් කාර්මික අතින් නොදියුණු තත්වයක තබාගැනීම අධිරාජ්‍යවාදී රටේ ප්‍රතිපත්තියට අනුකූල විය. අධිරාජ්‍යවාදී රටේ නිපදවනු ලබන කාර්මික භාණ්ඩ යටත් විජිතයන්ට පහසුවෙන් විකුණා ගැනීම අරමුණ වූ හෙයිනි.
යටත් විජිතයන්හි ප්‍රධාන ආර්ථික ව්‍යාපාර අද වන තුරුත් පැවතෙන්නේ අමු ද්‍රව්‍ය සහ ආහාරපාන සැපයීම මුල්කොටගෙනය. යටත් විජිතයන්ව පැවති කාලයේ දී අධිරාජ්‍යවාදී රටේ කර්මාන්තවලට අවශ්‍ය අමු ද්‍රව්‍ය හා එහි ජනතාවට අවශ්‍ය ආහාරපාන සැපයීමේ කටයුතු වලයෙදීම මීට හේතුවයි. ස්වාධීනභාවය ලබන තෙක් මේ රටවල කිසිදු කාර්මික දියුණුවක් නොවී යයි කිව හැක. යටත් විජිතයන්ව පැවති කාලයේ දී ඇති වූ ආර්ථික ව්‍යූයේ මූලික අංග තවමත් ඒ රටවල පවතී. වර්ෂ 1952 දී පවත්වන ලද කාර්මික සංගණනයෙන් දැක්වුණු අන්දමට ලංකාවේ පැක්ටේරි කර්මාන්තවල ශුද්ධ නිමැවුම රු. දශ ලක්ෂ 226ක් තරම් වේ. (එය ජාතික ආදායමින් 5% ක් පමණි.) කාර්මික දියුණුව එතරම් ම පමා වූයේ ඉහත කී ඵෙතිහාසික හේතූන් නිසාය.
කාර්මික කටයුතු සුළු වශයෙන් වත් ඇති වුණේ 1940 පමණේ දීය. යුද්ධ කාලයේ දී විදේශ භාණ්ඩ ආයාත බෙහෙවින් ම සීමා කිරීමෙන් දේශීය භාණ්ඩ නිෂ්පාදනයට මග පෑදිණි. වර්ෂ 1939 දී කඩදාසි, වීදුරු බඩු, පිහන් බඩු, බෙහෙත් බඩු, තුනී ලෑලි වැනි ඇතැම් අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලා පිහිටුවන ලදි. යුද්ධය හමාර වූවායින් පසු භාණ්ඩ ආයාත සීමා කිරීම ඉවත් කරනු ලැබුවෙන් නැවත පිටරටවලින් මිල අඩු භාණ්ඩ ගලා එන්නට වන. මේ නිසා අලුතින් පිහිටුවන ලද දේශීය ව්‍යාපාරයනට විශාල අලාභ හානි ඇතිවිය. පාඩුවට වැඩ කරන කර්මාන්තශාලා වසා දමමින් කර්මාන්ත දෙකක් පමණක් ආණ්ඩුව විසින් නැවතත් සංවිධානය කරන ලදි. ඉන් පසුව ද නොයෙකුත් විධියේ කාර්මික කටයුතු ආණ්ඩුව අතට ගන්නා ලදි. එහෙත් 1951 පටන් ආණ්ඩුව කාර්මික කටයුතුවල කෙළින් ම නිරත නොවී පොදු සමායතන මඟින් කාර්මික කටයුතු මෙහෙයවීමේ ප්‍රතිපත්තිය ඇරඹුවේය.
දෙවෙනි ලෝක සංග්‍රාම කාලයේ දී පෞද්ගලික අංශයේ ද කාර්මික කටයුතු කෙරෙහි උනන්දුවක් ඇතිවිය. පාවහන්, සිගරැට්, සබන්, සිසිල් බීම, ගිනිපෙට්ටි, රෙදිපිළී හා කැවිලි වර්ග සැපයීමට කර්මාන්තශාලා පිහිටුවනු ලැබීය. මෙසේ ඇති වූ කාර්මික කටයුතු වැඩි කල් යන්නට පෙර දුබල වීමට පටන් ගත්තේය. යුද්ධය හමාර වූවායින් පසු වඩා හොඳ, මිල අඩු, විදේශීය බඩු නැවත වෙළඳපොළට පිවිසීමෙන් දේශීය භාණ්ඩ අලෙවිය කෙරෙහි අවහිර ඇති විය. මෙකී උවදුරු මඟහරවාලීමේ අදහසින් රජය මැදිහත් වී 1949 දී කාර්මික නිෂ්පාදිත පනත නීතිගත කෙළේය. මේ පනතෙහි සඳහන් වන අයුරින් ලංකාවේ නිපද වන භාණ්ඩ වර්ග සමඟ තරඟයට අසු වන ඕනෑ ම භාණ්ඩ වර්ගයක් විදේශයන්ගෙන් ගෙන්විය හැක්කේ දේශීය භාණ්ඩ වර්ගයෙන් එක්තරා නියමිත ප්‍රමාණයක් ගැනීමෙන් පසුව පමණි. ලංකාවේ දේශීය භාණ්ඩවලට ආරක්ෂණය සපයා දුන් මුල් ම පියවර ගැනුණේ කාර්මික නිෂ්පාදිත පනත ඇති කළ විටය.
මේ පනත නිසා වීදුරු බඩු කර්මාන්තය අතිශයින් ම දියුණු විය. විදේශීය වීදුරු බඩු ආයාත සීමා වී දේශීය කර්මාන්ත දියුණුවීමට මඟ සැලසුණේය. ලංකාවේ පාවහන් කර්මාන්තයට සම්පූර්ණයෙන් ම දේශීය වෙළඳපොළ අල්ලා ගැනීමට හැකි වූයේය. මේ පනත යටතෙහි වර්ෂ හයක් තුළ දී ව්‍යාපාරයකට ආරක්ෂණය ලැබෙයි. පිටරටවලින් ගෙන්වනු ලබන භාණ්ඩ හා තරඟ කිරීමට ශක්තිය ඒ කාලය තුළ දී ව්‍යාපාරයකට ලබාගත හැකි වේ යයි එහි සඳහන් වේ. ආයාත හා නිර්යාත සම්බන්ධයෙන් රජයේ පාලනයක් ලංකාවේ මුලින් ම ඇති වූයේ දෙවැනි ලෝක සංග්‍රාම කාලයේ දීය. යුද්ධෝපකරණ ගෙන යනු සඳහා නැව්වල ඉඩකඩ ඇතිකර ගැනීමටත් ඩොලර් මුදල් ඉතිරි කරගැනීමටත් යුද්ධ කාලයේ දී නිර්යාත සහ ආයාත සීමා කරනු ලැබීය. ආහාර පාලනය, මිල පාලනය, ආයාත නිර්යාත පාලනය සහ විදේශීය මුදල් පාලනය සඳහා පාලක මණ්ඩල ද පිහිටුවන ලදි.
ආයාත නිර්යාත කෙරෙහි වූ අවහිර යුද්ධයට පසු ක්‍රමයෙන් ඉවත් කරන ලදි. අසතුටුදායක ගෙවුම් ශේෂයන්, එනම් මුදල් හිඟකම්, මඟ හැරවීම සඳහා 1948 වන විට ආයාත නිර්යාත පාලනය නැවත දැඩි කිරීමට සිදු විය. මෙම වර්ෂයේ දී ම විදේශීය මුදල් පාලනය වෙන ම පාලකයකුට බාරදෙන ලදි.
1958 සිට ගෙවුම් ශේෂයෙහි සඳහන් වූ මුදල් හිගය අතිවිශාල විය. 1958 දී රුපියල් දශලක්ෂ 152.9ක ද 1959 දී රුපියල් දශලක්ෂ 208.0 ක ද 1960 දී රුපියල් දශලක්ෂ 220·5ක ද තදබල හිගයක් තිබුණේය. මෙවැනි මුදල් හිගකම් මගහරවා ගැනීමේ දී රටක් සතුව තිබෙන විදේශීය වත්කම් විකිණීමට සිදු වේ. ආයාත හා නිර්යාත ආර්ථික ජීවිතයට වැදගත් වන රටකට විදේශීය වත්කම් තිබීම අත්‍යවශ්‍යය. විදේශීය වත්කම් ඌන වීම එවැනි රටක දුර්වලත්වයට හේතුවකි. එහෙයින් වෙළෙඳ හිගකම් හැකි පමණ අඩුකරගැනීමෙන් මෙකී උවදුරෙන් වැළකීමට පුළුවන. වෙළෙඳ හිඟකම් මඟහරවා ගැනීමේ එක මඟක් නම් ආයාත හැකි පමණ දුරට සීමා කිරීමයි. 1961 ජනවාරියේ දී ආයාත බදු වැඩි කරන ලද්දේත් ආයාත සීමා කරන ලද්දේත් ගෙවීම් ශේෂයේ දුර්වල තත්වය තරමක් දුරට වත් මග හරවා ගැනීමේ අදහසිනි. මෙහි දී බලපෑ තවත් වැදගත් කරුණක් නම් දේශීය කර්මාන්ත ඇතිකිරීමේ සහ දියුණු කිරීමේ අරමුණය. පළමුවරට රජය මගින් ආයාත භාණ්ඩ ප්‍රමාණය කෙළින් ම සීමා කරනු ලැබුවේ 1960 දීය. 1961 දී ඒ සීමා කිරීම තවදුරටත් තහවුරු කරන ලදි. ආයාත භාණ්ඩ සීමා කිරීම්, ආයාත ආදේශන (ආයාත හා නිර්යාත බ.) සඳහා කටයුතු සහ ආයාත ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු භාරව ක්‍රියා කළ කොමිටි තුන එක්කොට ආයාත ප්‍රතිපත්ති සම්බන්ධ එක් කොමිටියක් පත් කරන ලදි.
ආර්ථික සැලැස්මක් ක්‍රියාවේ යෙදීමේ දී ප්‍රාග්ධන අවශ්‍යකම් පිටින් සපයා ගැනීමට විදේශීය මුදල් තොගයක් ම වුවමනාය. ආයාත ආදේශනයෙන් විදේශීය මුදල් ඉතිරි වනු පමණක් නොව දේශීය ව්‍යාපාරයන් ඇතිවීමට ද ඉඩ සැලසෙනු ඇත. විශේෂයෙන් ම 1962 දී ක්‍රමවත්ව සකස් කරන ලද ආයාත ප්‍රතිපත්තිය කෙරෙහි ඉහත කී කරුණු බලපා ඇත. ආයාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලද්දේ 1962 ඔක්තෝම්බර් මස 10 දින ඉදිරිපත් කරන ලද 44/62 අංකය දරන ආයාත පාලන නිවේදනය මඟිනි.
(සංස්කරණය: 1965)