ආර්ථික චක්‍ර

සිංහල විශ්වකෝෂය වෙතින්
14:41, 23 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සෑම ධනවාදී රටක ම පාහේ ආර්ථික කටයුතු කාලයත් සමඟ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සෑම ධනවාදී රටක ම පාහේ ආර්ථික කටයුතු කාලයත් සමඟ ම වඩ වඩා දියුණු අඩියකට නැඟවිත් තිබේ. මෙම ආර්ථීක කටයුතුවල ප්‍රමාණය මනිනු ලබන්නේ නිෂ්පාදන පරිමාවේ හෝ සේවානියුක්ති ප්‍රමාණයේ හෝ ජාතික ආදායමේ හෝ දර්ශකාංකයන්ගේ අනුසාරයෙනි. කාලාන්තරයක දී ආර්ථික ක්‍රමයක ඇති වූ දියුණුව කිසියම් කාලපරිච්ඡේදයක් තුළ යථෝක්ත දර්ශකාංකයන් ඉහළ නැඟවිත් තිබෙන ආකාරයෙන් පිළිබිඹු වේ. ආර්ථික කටයුතු පිළිබඳව අපට ලබාගත හැකිව ඇති දර්ශකාංක සියල්ලකින් ම නිසැකව පෙනී යන එක් කරුණක් නම් ආර්ථික කටයුතුවල දියුණුව හැමවිට ම අඛණ්ඩව ද බාධා විරහිතව ද සැලසෙන්නක් නොවන බවයි. එය විවිධාකාර උච්චාවචයන් බොහොමයකට පාත්‍රවන්නකි. මෙකී උච්චාවචයන් විමසා බලා ඒවා විග්‍රහ කොට දැක්වීම සම්බන්ධයෙන් අර්ථශාස්ත්‍රඥයන්ගේ සැලකිල්ල යොමු වූයේ 18 වැනි සියවසේ අපරභාගයේ දී යුරෝපයේ ඇති වූ නූතන කාර්මික සංවර්ධනයේ මූලාරම්භය තරම් ඈත කාලයක සිටය. 1820 සිට 1914 දක්වා වූ බ්‍රිතාන්‍ය සංඛ්‍යා ලේඛන ප්‍රධාන වශයෙන් පදනම් කොට ගත් යථෝක්ත අර්ථශාස්ත්‍රඥයන් විසින් බැසගන්නා ලද නිගමනයක් වූයේ නිෂ්පාදනය හා ද්‍රව්‍යමිල බොහෝ දුරට ඒකාකාර වූ නැඟීම් බැසීම් සංඛ්‍යාත තරංගාකාර රටාවකට ගමන් ගන්නා බවයි. මෙම රටාව වෙළඳ චක්‍රය නමින් හැඳින්වෙන්නට විය. ආර්ථික ක්‍රමයෙහි දක්නා මෙබඳු තරංගාකාර රටාවන්ට ආර්ථික චක්‍ර යන පොදු නාමය ව්‍යවහාර කරනු ලැබේ. ආර්ථික කටයුතුවල නැඟීම් දක්නා කාලපරිච්ඡේදය චක්‍රයේ “උද්දෝලනය” (upswing) ලෙස හැඳින්වේ. ඒ වූකලි නිෂ්පාදනයේත් සේවා නියුක්තියේත් ආදායම්වලත් මට්ටම ඉහළ නඟිමින් පවත්නා සමෘද්ධිමත් කාලපරිච්ඡේදයකි. උද්දෝලන සමයක දී මිල මට්ටම ද ඉහළ යනු පෙනේ. ආර්ථික කටයුතුවල පරිහානිකර සමය චක්‍රයේ “අවදෝලනය” (downswing) ලෙස හැඳින්වේ. උද්දෝලනයකින් පසුව ආර්ථික කටයුතුවල සාමාන්‍ය වශයෙන් ඇතිවන ශීඝ්‍ර බැස්ම චක්‍රයේ අර්බුදයක් (a crisis) ලෙස හැඳින්වෙන අතර ආර්ථික කටයුතු උපරිම තත්වයේ පවත්නා කාලපරිච්ඡේදය චක්‍රයේ " ශිඛරය " (peak) ලෙස හැඳින්වේ. ඒ කටයුතු පහත බැස පවත්නා අවධිය ද්‍රෝණිය " (trough) නමින් දනිත්. ද්‍රෝණියකින් පසුව ආර්ථික කටයුතු ඉහළ නැඟයෑම ‘‘පුනර්ජීවනය” (revival) නම් වේ. පුනර්ජීවනයකට පසුව නැවත චක්‍රයේ උදෝලනයක් දක්නට ලැබේ. එක් ශිඛරයක සිට අනෙක් ශිඛරය දක්වා වූ හෝ එක් ද්‍රෝණියක සිට අනෙක් ද්‍රෝණිය දක්වා වූ හෝ කාලපරිච්ඡේදය වෙළඳ චක්‍රය වශයෙන් ගැනේ.

මේ සටහනින් ආර්ථික චක්‍රය හා එහි විවිධ අවස්ථා නිරූපණය කෙරේ. එහි දැක්වෙන අයුරු (පූර්වෝක්ත දර්ශකාංකයන් කවරකින් හෝ මැන බැලූ කල පෙනී යන පරිදි) ආර්ථික කටයුතුවල මට්ටම එක් චක්‍රයකට වඩා අනෙක් චක්‍රයේ දී ඉහළ නැඟ යයි. අන් අයුරකින් කිවහොත් ආර්ථීක චක්‍රය සමන්විත වන්නේ ක්‍රමයෙන් නැඟී යන ආර්ථික කටයුතු වටා ඇතිවන උච්චාවචයන්ගෙනි. 1830 – 1870 දක්වා එක්සත් රාජධානියේ සංඛ්‍යාලේඛනවලට අනුව 1825, 1836, 1845, 1853 හා 1865 යන වර්ෂ චක්‍රයේ ශිඛර විය. 1832, 1842, 1849, 1858 හා 1876 යන වර්ෂ එහි ද්‍රෝණි විය. මෙසේ චක්‍රයේ කාලසීමාව ශිඛරයෙන් ශිඛරයට සාමාන්‍යයෙන් අවුරුදු 9 ක් වන අතර ද්‍රෝණියෙන් ද්‍රෝණියට සාමාන්‍යයෙන් වර්ෂ 9ක් පමණ වේ. එසේ ම සංඛ්‍යාලේඛනයන්ට අනුව වර්ෂ 7 - 10 දක්වා කාලසීමාවක් ඇති ආර්ථික චක්‍රයක් 1870–1914 අතර එක්සත් රාජධානියේ තිබුණු බව පෙනේ. එහෙත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එක්සත් රාජධානියේ ආර්ථික උච්චාවචයන් පිළිබඳ සංඛ්‍යාලේඛන එබඳු උච්චාවච රටාවක් නොපෙන්වයි. වර්ෂ 7-10 දක්වා කාලසීමාවක් ඇති චක්‍රයක් ඇතැයි යන මතය ඇමෙරිකා එක්සත් ජනපද සංඛ්‍යාලේඛනයන්ගෙන් ද සනාථ නොවේ. ඒ වෙනුවට වර්ෂ 3-4ක චක්‍රයක් නම් ඇති බවට සාක්ෂ්‍ය තිබේ. බොහෝ කොට ම තොග භාණ්ඩ සඳහා කෙරෙන ආයෝජනයන්හි වෙනස්වීම් මගින් ප්‍රකට වන මෙම චක්‍රයට “තොග චක්‍රය” යි කියනු ලැබේ. මෙම තොග චක්‍රවලට හේතුභූත වූ කරුණු පිළිබඳව ක්‍රමවත් අධ්‍යයනයක් කර නැති නමුදු ව්‍යාපාර පොළෙහි ඇති වන කැළඹිලි හා ඒවායින් බැංකු ණය කෙරෙහි ඇතිවන ප්‍රතික්‍රියා ද ප්‍රභව කොට ඒවා ඇති වේ යයි සාමාන්‍යයෙන් පිළිගැනේ. තොග සඳහා කෙරෙන ආයෝජනයන් මෙවැනි කැළඹිලිවලට අතිශයින් ම සංවේදීව පවත්නා බව පෙනී ගොස් ඇත. තොග චක්‍රය හැරුණු විට ඊට වඩා බොහෝ දීර්ඝ කාලපරිච්ඡේදයක චක්‍රයක් ඇති බවට සාක්ෂ්‍ය එක්සත් රාජධානියේත් ඇමෙරිකා එක්සත් ජනපදයේත් දක්නට ලැබේ. මෙය ශිඛරයෙන් ශිඛරයට හෝ ද්‍රෝණියෙන් ද්‍රෝණියට වර්ෂ 20 ක පමණ කාලපරිච්ඡේදයක් දක්වන්නකි. මේ උච්චාවචයන් හා ගොඩනැඟිලි කර්මාන්ත කටයුතුවල උච්චාවචයන් අතර එකිනෙකට ඉතා අනුරූප වූ කිට්ටු සම්බන්ධයක් පවත්නා බව පෙනී ගොස් තිබේ. ආයෝජන මුළුල්ලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩනැඟිලි කර්මාන්ත කටයුතු සඳහා කෙරෙන ආයෝජනයෝයි. ගොඩනැඟිලි ආයෝජනයන්හි ද අනෙක් ස්ථාවර ආයෝජනයන්හි ද සංකෝචනයක් එක්වර ඇති වූ විට අවදෝලනය හා ආර්ථික පරිහානිය ඉතා ම උග්‍රව සිදුවන බව පෙනේ. මෙසේ වන්නේ ප්‍රවාහන ආදිය පිණිස කෙරෙන ආයෝජනයන් ආදි කටයුතු රාශියක් බෙහෙවින් ම ගොඩනැඟිලි කර්මාන්තය මත රඳා පවතින හෙයිනි. මේ ගොඩනැඟිලි ආයෝජනයන්හි ද අනෙකුත් ස්ථිර ප්‍රාග්ධන ආයෝජනයන්හි ද ඇතිවන උච්චාවච බෙහෙවින් ම කාර්මික විධීන්හි ඇතිවන වෙනස්කම් හා නවීකරණ හෝ බැංකු ක්‍රමයේ හා ණය ක්‍රමයේ ඇතිවන වෙනස්කම් වැනි හේතුවක ප්‍රතිඵලයක් ය යන්න පිළිගත හැක්කක් සේ පෙනේ. ආර්ථික චක්‍රය අද සලකනු ලබන්නේ හුදු ආර්ථික සිද්ධාන්ත මගින් උපකල්පනය කරන ලද්දකට වඩා අතිශයින් සංකීර්ණ වූ ද ව්‍යාකුල වූ ද සංසිද්ධියක් ලෙසය. මෑතක් වනතුරු ම ඉතා විශේෂ අධ්‍යයනයට පාත්‍ර වූ 7-10 ආර්ථික චක්‍රය ඇත්ත වශයෙන් ම පවතින්නක් ද යන්න ගැන සැක පහළ වී ඇත. ආර්ථික චක්‍රය නමින් හැඳින්වෙන්නාවූ උච්චාවචයන්ගේ තරමක ක්‍රමානුකූල රටාවකට හැඩගැසීම අහම්බෙන් සිදුවන්නක් බැව් ඇතැම් අර්ථශාස්ත්‍රඥයන්ගේ පිළිගැනීමයි. විවිධ වර්ගවල ආයෝජනයන්ගේ උච්චාවචයන් එකතු වීමෙන් චක්‍රාකාර රටාවක් ඇතිවෙතැයි ඔවුහු සලකති. දෙවැනි ලෝක සංග්‍රාම අවධියෙන් පසුව නියම වශයෙන් ආර්ථික චක්‍රයකැයි කිව හැක්කක් ඇති නොවීම මේ මතය සනාථ කරවනසුලුය. ඒ කෙසේ වුව ද ආර්ථීක සංවර්ධනය හා ආර්ථික පිරිහීම මාරුවෙන් මාරුවට ඇතිවන බවට නම් සැකයක් නැත. මේ සංසිද්ධිය විවරණය කරලීම ආර්ථික උච්චාවච සිද්ධාන්තයකින් අපේක්ෂිත කාර්‍ය්‍යයයකි. පූර්වෝක්ත උච්චාවචයන් අන්‍යෝන්‍ය වශයෙන් අසම්බන්ධ වූ සිදුවීම් නොව උච්චාවචයන් ඇති කරලීමට තුඩු දෙන කිසියම් සාධකයක හෝ සාධක පද්ධතියක ප්‍රතිඵල යයි පූර්ව නිගමනයකට බැස ගැනීම යුක්ති යුක්ත සේ පෙනේ. මේ ඉහළ පහළ යෑම් සම්බන්ධයෙන් දක්නා සමරූපීකම් කෙතෙක් දුරට ඒවායේ මූලික ලක්ෂණ වී ඇත්දැයි කිවහොත් ඒ අනුසාරයෙන් ආර්ථික උච්චාවචයන් පිළිබඳ පොදු සිද්ධාන්තයක් ඉදිරිපත් කිරීමට හැකිවිය යුතු තරම් යයි සැලකේ. මෙම සමරූපීකම් අතුරෙන් ඉතා ම වැදගත් ඒවා පහත දැක්වේ:-

(අ) හැම ආර්ථික චක්‍රයක ම උද්දෝලනය හා ස‍මඟ මුදල් ඉල්ලුම් ප්‍රමාණයේ වැඩිවීමක් ද එහි අවදෝලනය හා සමඟ මුදල් ඉල්ලුම් ප්‍රමාණයේ බැස්මක් ද ඇති වෙයි.

(ආ) ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනයේ ඇතිවන උච්චාවච පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනයේ ඇති වන උච්චාවචයනට වඩා බෙහෙවින් විශාලය.

(ඇ) මෙකී උච්චාවච රටකට හෝ රටවල් කීපයකට පමණක් සීමා වී නැත. මේවා මුලින් ම එක්සත් රාජධානියේ හෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතිවන්නා සේ පෙනී යන අතර පසුව අඩුවැඩි වශයෙන් සෙසු ධනවාදී රටවලට ද පැතිරේ.

19 සියවසේ ප්‍රාරම්භ සමයේ සිට අර්ථශාස්ත්‍රඥයෝ වෙළඳ චක්‍රය විවරණය කිරීම් වස් නොයෙක් මත ඉදිරිපත් කොට ඇත්තාහ. වෙළඳ චක්‍ර සිද්ධාන්ත පිළිබඳ ප්‍රමාණ ග්‍රන්ථයක් වන “සමෘද්ධිය හා පරිහානිය” (Prosperity and Depression) නමැති කෘතියෙහි මහාචාර්‍ය්‍ය ගොට්ෆ්‍රිඩ් හාබලර් යථෝක්ත විවිධාකාර මත සිව් පරිද්දකින් වර්ග කොට ඇත :—

(අ) හුදු මුදල් සිද්ධාන්ත: මුදල් උද්ධමන හා අවධමන චක්‍රයන්ට හේතුභූත වන්නා වූ මුදල් සැපයීම පිළිබදව මාරුවෙන් මාරුවට ඇතිවන ප්‍රසාරණ හා සංකෝචන පමණක් ම චක්‍රයට කරුණු වේය යනු මේ සිද්ධාන්තයන්ගෙන් කියැවේ.

(ආ) අධි - ආයෝජන සිද්ධාන්ත : පාරිභෝගික ඉල්ලුම් හා සාපේක්ෂකව සැලකෙන කල ප්‍රාග්ධන භාණ්ඩ කෙරෙහි වූ ආයෝජන බෙහෙවින් අධික වීම චක්‍රයට හේතුවන බව මෙම සිද්ධාන්තයන්ගෙන් කියැවේ. අධි - ආයෝජනය බැංකුවල මුදල් ප්‍රතිපත්තිය නිසා හෝ මුදල් ප්‍රතිපත්ති හා සම්බන්ධ නොවූ විවිධ කරුණු නිසා හෝ ඇති විය හැකිය.

(ඇ) ඌන - පරිභෝජන සිද්ධාන්ත : මේව ආර්ථික චක්‍රය පිළිබඳ සිද්ධාන්තයනට වඩා එම චක්‍රයේ කොටස් වන ආර්ථික අර්බුද පිළිබඳ සිද්ධාන්තයෝයි. මාක්ස් විසින් ආර්ථික අර්බුදයන් පිළිබඳව කරන ලද විග්‍රහය මේ වර්ගයට අයත් යයි සමහර ලේඛකයෝ කල්පනා කරත්.

(ඈ) මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත: මේ අතුරෙන් මහාචාර්ය ඒ. සී. පිගූගේ මතය ඉතා ප්‍රකටය. ලැවිංටන්, ටව්සිග් හා කේන්ස් යන අර්ථශාස්ත්‍රඥයෝ ව්‍යාපාරිකයන්ගේ සර්වශුභ හා සර්වාශුභ දැකීම් වැනි මනෝවිද්‍යාත්මක සාධකවල එක්තරා වැදගත්කමක් මෙහි ලා දක්වති.

මෙම සිද්ධාන්තයන්ගෙන් එකකුදු සංඛ්‍යාලේඛන මාධ්‍යයෙන් ස්ඵුට කොට නැති බැව් කිවයුතුය. උච්චාවච චක්‍ර සිද්ධාන්තයකින් අපේක්ෂිත කාර්යය වනුයේ පහත සඳහන් සංසිද්ධීන් විවරණය කොට දැක්වීමය :-

(අ) උද්දෝලනයේ දී නිෂ්පාදනය, සේවා නියුක්තිය හා මූර්ත ආදායම යන මේවා සමුච්චිත ව නැඟීයාම,

(ආ) අර්බුදය හා අවදෝලනය,

(ඇ) ආර්ථික කටයුතු වල පුනර්ජීවනය හා ඊට අනතුරුව ඇති වන උද්දෝලනය යන මේවායි.

සංඛ්‍යා ලේඛනයන්ගෙන් ප්‍රතිෂ්ඨිත වී ඇති, ආයෝජනයන්ගේ උච්චාවච ආර්ථික උච්චාවචයන්ගේ මුඛ්‍ය ලක්ෂණයය යන කරුණ පදනම් කොටගෙන ආර්ථික චක්‍ර පිළිබඳ වර්තමාන සිද්ධාන්ත ආරම්භ වේ. උද්දෝලනයේ දී ආයෝජනය වැඩි වේ. ආයෝජන ප්‍රමාණයේ සංකෝචනයක් ඇතිවීම අර්බුදයේ ලක්ෂණයයි. ආයෝජනයේ පරිහානිය අවදෝලනයේ විශේෂ ලක්ෂණය වන අතර පුනර්ජීවනය ආයෝජනයෙහි වර්ධනය ලක්ෂණ කොට ඇත.

මේ සංසිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති නවතම විවරණ කෙරෙහි බෙහෙවින් බලපා ඇත්තේ “සේවානියුක්තිය, පොළී හා මුදල් පිළිබඳ පොදු සිද්ධාන්තය” (General Theory of Employment, Interest and Money) නමැති කෘතිය මගින් කේන්ස් ඉදිරිපත් කළ නිමැවුම හා සේවානියුක්තිය පිළිබඳ මතාන්තරයයි. මේ කෘතියට පදනම්ව ඇති ප්‍රධාන අදහස නම් නිමැවුමේත් සේවානියුක්තියේත් මට්ටම ආයෝජන මට්ටම අනුව නිශ්චය වන්නක්ය යනුයි. මෙයින් නිමැවුම් මට්ටමේ උච්චාවච ආයෝජන පරිමාවේ උච්චාවච අනුසාරයෙන් තේරුම් කළ යුතු යයි නිගමනය වේ. ආර්ථික චක්‍රය පිළිබද නූතන සිද්ධාන්ත අතුරෙන් ඇන්. කැල්ඩෝර්, ආර්. ඇෆ්. හැරඩ්. පී. ඒ. සැමුවල්සන් හා ජේ. ආර්. හික්ස් යන අයගේ අදහස් වඩාත් ප්‍රකට වී ඇත. නිමැවුම් පරිමාවේත් ආයෝජන පරිමාවේත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතැයි යන උපකල්පිතය මේ සියලු සිද්ධාන්තයනට පොදුවේ පවතින්නකි. ආයෝජනයෙහි වෙනස්වීම් නිමැවුම් මට්ටමේ වෙනස්වීම් හා සම්බන්ධ කොට දක්වන ත්වරණ මූලධර්මය හෙවත් විශාලන න්‍යාය (Acceleration Principle) කැල්ඩෝර් හැර අනෙක් ලේඛකයෝ මෙහි ලා සහාය කොට ගනිති.

මෙසේ කාල පරිච්ඡේද දෙකක් අතර නිමැවුම y0 සිට y1දක්වා වෙනස් වේ නම්, ආයෝජනය a (y1-y0) ප්‍රමාණයෙන් වෙනස් වේ යයි උපකල්පනය කරනු ලැබේ. මෙහි a යන්නෙන් ආයෝජන සංගුණකය — එනම් ආයෝජනය (I) හා ආදායමේ වෙනස් වීම (∆y) අතර වූ අනුපාතය (I÷∆y) දැක්වේ. නිමැවුමේ වෙනසක් හේතුකොටගෙන ඇතිවන ආයෝජනය උත්තේජිත ආයෝජනය යනුවෙන් ව්‍යවහාර වේ.

ආදායමේ වෙනස්වීමක් ආයෝජනයේ වෙනස් වීමකට තුඩුදෙන්නේ යම් සේ ද එසේ ම ආයෝජනයේ වෙනස්වීමක් ආදායමේ වෙනස්වීමකට තුඩුදෙයි. මෙසේ හටගන්නා ආදායම් වෙනස්වීම මුලින් ඇති වූ ආයෝජන වෙනස්වීමේ ගුණිතයක් වේ. මෙය ගුණකය (Multiplier) පිළිබඳ කේන්සියානු (Keynesian) සිද්ධාන්තයයි.

කිසියම් කාලපරිච්ඡේදයක ආදායම ආයෝජන වැය (I) සහ පරිභෝජන වැය (C) යන දෙකොටසින් සමන්විත වේ. ඕනෑම ආර්ථික ක්‍රමයක කෙරෙන ආයෝජන ප්‍රමාණයෙන් එක්තරා කොටසක් නිමැවුම් මට්ටමේ වෙනස්කම්වලට අසම්බන්ධව පවතී. නවීකරණ, යුද්ධ කටයුතු, රජයේ වැඩ සඳහා ආණ්ඩුවෙන් කෙරෙන ආයෝජන යන මේවා මෙකී ආයෝජන කොටසට අයත් වේ. මේ වර්ගයේ ආයෝජන ස්වතන්ත්‍ර ආයෝජන යනුවෙන් හැඳින්වේ. නිමැවුම වැඩිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආයෝජනය වැඩිවීමත් ආදායම වැඩිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පරිභෝජනය වැඩිවීමත් සිදු වනුයේ කාලපමාවක් ඇතිවය. මේ කාලපමාව විචල්‍යය. මෙහි ලා උපකල්පනය කටහැක්කේ වර්තමාන කාලපරිච්ඡේදයේ දී කෙරෙන ආයෝජනය ඊට කලින් ආ කාලපරිච්ඡෙදයේ දී ඇතිවූ නිමැවුම් ප්‍රමාණයේ වර්ධනය මත රඳා පවතින්නක් බවත් වර්තමානයේ පරිභෝජන ප්‍රමාණය ඊට කලින් ආ කාලපරිච්ඡේදයේ ආදායම අනුව නිශ්චය වන්නක් බවත්ය.

මේ අනුව පළමුවන කාලපරිච්ඡේදයේ ආදායම පහත දැක්වෙන සූත්‍රය මගින් ඉදිරිපත් කළ හැක :- yt = (yt-1 – yt-2) + ∞ßy t-1 + A මේ සූත්‍රයෙහි t යන්නෙන් වර්තමාන කාලපරිච්ඡේදය ද t-1 හා t-2 යන්නෙන් ඊට කලින් ඒ හා ආසන්නව ම ආ කාලපරිච්ඡේද දෙක ද දැක්වේ. (t +1, t + 2, t +3 ……. යනාදියෙන් ඉදිරි කාලපරිච්ඡේද දැක්වෙනු ඇත.) ß යන්නෙන් පරිභෝජනය කරනු ලබන ආදායම් ප්‍රමාණය හෙවත් පරිභෝජන නැමියාව (propensity to consume) දැක්වේ. A යන්නෙන් ස්වතන්ත්‍ර ආයෝජන - එනම් නිමැවුමේ වෙනස්වීම් හා ඉඳුරා සම්බන්ධ නොවන ආයෝජන - දැක්වේ. මෙසේ A, a, ß, Yt-1 හා Yt-2 යන මේවායේ අගයන් දන්නා විට ඉදිරි වර්ෂයන්හි ජාතික ආදායම් මට්ටම ගණන් බලාගත හැක. යම් කාලපරිච්ඡේදයක් ඇතුළත ජාතික ආදායම් මට්ටමේ වෙනස්වීම් a හා ß යන මේවාට දෙනු ලබන අගයන් මත රඳා පවතී. එක්තරා පරාසයක් ඇතුළත වූ අගයන් මේවාට දුන් විට ජාතික ආදායම පහත ඇති රූප සටහනින් දැක්වෙන පරිදි චක්‍රාකාරව උච්චාවච වේ.

මෙකී සංගුණකයන්ට වෙනත් අගයන් නියම කළහොත් ජාතික ආදායම ජ්‍යාමිතික ශීඝ්‍රතාවකින් සීමාරහිතව වෙනස් වනු ඇත.

a සහ ß යන සංගුණකයන්ට නියම වශයෙන් ලැබෙන අගයන් ආදායම්වල දරුණු ප්‍රසාරණයක් හෝ සංකෝචනයක් ඇති කරවනසුලු වෙතැයි මහාචාර්ය හික්ස් කල්පනා කරයි. එහෙත් ආදායම සීමා රහිතව ප්‍රසාරණය වීමේ ප්‍රවණතාව ශ්‍රම හා ද්‍රව්‍ය හිඟකම නිසා බොහෝදුරට වැළැක්වෙන බව ඔහු පෙන්වා දෙයි. පූර්ණ සේවානියුක්තිය ඇති වූ විට ජාතික ආදායමේ වැඩීම ජනගහනයේ හා නිෂ්පාදන ශක්තියේ වැඩීම් වේගය මගින් සීමා වන්නේය. ආයෝජනය පාලනය වන්නේ ආදායමේ වර්ධන වේගය මගින් බැවින් යථෝක්ත වේගය හීන වූ විට ගුණකයේ බලපෑම නිසා ආයෝජනය නිරපේක්ෂව පිරිහී ගොස් ආදායම්වල ද සංකෝචනයක් ඇති කෙරේ. ආදායම් ආදිය තවදුරටත් පිරිහීයෑමට මෙය කරුණු වෙයි. මේ වූකලි ආර්ථික චක්‍රයේ අවදෝලන අවස්ථාවයි.

ආර්ථික චක්‍රයේ අවදෝලනයේ දී ත්වරණ සිද්ධාන්තය ක්‍රියා කරන ආකාරය උද්දෝලනයක දී එය ක්‍රියා කරන ආකාරයට සමාන නොවේ. ප්‍රාග්ධන නිරායෝජන වේගය ප්‍රාග්ධන ක්ෂය වීමේ වේගයට වඩා කිසිසේත් වැඩි නොවිය හැකි හෙයිනි. දළ ආයෝජනය කිසිවිටක ශූන්‍යයට වඩා අඩුවිය නොහැක. පරිභෝජන ඉල්ලුම් පරිමාව සපුරාලීමට ප්‍රාග්ධන සම්භාරයට නොහැකි අවස්ථාවක් එළඹේ. එවිට ආයෝජන කටයුතුවල පුනර්ජීවනයක් ඇතිවීමට පටන් ගනී. ගුණක හා ත්වරණ විපාකයන්හි අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියාව හේතුකොට ගෙන පූර්ණ සේවානියුක්තිය කරා පැමිණෙන තුරු ම ආදායම්වල සමුච්චිත ප්‍රසාරණයක් හට ගැනීමෙන් චක්‍රයේ උද්දෝලනය ඇරඹේ.

වෙළඳ චක්‍රය පිළිබඳ මහාචාර්ය හික්ස්ගේ සිද්ධාන්තය මෙසේ සැකෙවින් ඉදිරිපත් කරන ලද්දේ එය චක්‍රාකාර උච්චාවචයන් පිළිබදව මෑතක ඇතිවුණු විග්‍රහයන් නිරූපණය කරන්නක් බැවිනි. උද්දෝලනයකට පසුව ආර්ථික කටයුතුවල ඇතිවන පහළ බැස්මත් ද්‍රෝණියකට පසුව ඒවායේ ඇතිවන පුනර්ජීවනයත් මෙහි දී විවරණය කළයුතු ප්‍රධාන සංසිද්ධීන් දෙකය. පූර්ණ සේවා නියුක්තියෙන් ජාතික ආදායමේ වැඩීම සීමා කෙරෙන අතර ම උත්පාතයක මුදුන් අවස්ථාවේ දී නිෂ්පාදන සාධක සැපයුමේ අනම්‍යතාවන් හෝ ප්‍රාග්ධන ඵලහීනත්වය කරණකොටගෙන අපේක්ෂිත ලාභ ප්‍රමාණයේ ඇතිවන පිරිහීමක් හෝ ආයෝජන කටයුතු කෙරෙහි බල පෑ හැකිය. එසේ ම දළ ආයෝජනය ශූන්‍යය වීමට පෙර පවා පරිහානියකින් පසු නැවත ආයෝජන කටයුතුවල පුනර්ජීවනයක් ඇති වේ. එසේ වනුයේ ආර්ථික ක්‍රමය දීර්ඝකාලීන වර්ධනයට දක්වන ප්‍රවණතාව නිසාත් ප්‍රාග්ධන උපකරණ ඉක්මනින් යල්පැන යන නිසාත්ය.

යට දැක්වුණු අන්දමේ සිද්ධාන්ත ගුණකයේ හා ත්වරණ විපාකයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වය පදනම් කොට ඇත. එහෙත් උත්තේජිත ආයෝජන සිද්ධාන්තයක් වශයෙන් ත්වරණ මූලධර්මය ඉඳුරා ම පිළිගත හැක්කක් ද යන්න මහත් සැකයට භාජනව පවත්නා කරුණකි. අර්ථශාස්ත්‍රඥයන් කීපදෙනෙකුන් ම එහි අඩුපාඩුකම් පෙන්වා දී තිබේ. a යන්නෙහි අගය ආර්ථික චක්‍රය මුළුල්ලෙහි අවශ්‍යයෙන් ම නියතයක්ව නොපවතින බවත් අතීත නිමැවුම් වැඩිවීම්වලට වඩා අපේක්ෂිත ලාභ ආයෝජනයන්ට තුඩු දෙන බවත් ඇතැමුන් නඟන තර්කයකි. “වෙළඳ චක්‍රයක ආකෘතියක්” (A Model of the Trade Cycle) යන ලිපියෙහි ත්වරණ මූලධර්මය දැඩි විවේචනයට ලක් කරන කැල්ඩෝර් යථෝක්ත මූලධර්මය ප්‍රතික්ෂේප කරන අතර ආයෝජනය නිමැවුම් ප්‍රමාණයට සමානුපාතිකව මිස නිමැවුම් ප්‍රමාණයේ වෙනස්වීම්වලට සමානුපාතිකව ඇති නොවන්නක් බැව් උපකල්පනය කොට ඇත. සංඛ්‍යාලේඛන සාක්ෂිවලින් ත්වරණ මූලධර්මයට එතරම් පිටුවහලක් නොලැබේ.

වෙළඳ චක්‍රය මුලින් ආරම්භ වන්නේ අත්‍යන්තයෙන් කාර්මික වූත් සංවර්ධිත වුත් බටහිර යුරෝපය හෝ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලය. එහෙත් ජාත්‍යන්තර බඩු හුවමාරුවත් ජාත්‍යන්තර ප්‍රාග්ධන සංචලනයත් හේතුකොට ගෙන පූර්වෝක්ත චක්‍රය සෙසු රටවල් කරා ද පැතිරී යයි. කාර්මික රටවල ආදායම් ප්‍රසාරණ හා සංකෝචන ලංකාව වැනි රටක නිර්යාත පරිමාව හා නිර්යාත මිල වෙනස්වීමට තුඩු දෙන බැවින් ජාතික ආදායම පිළිබඳ චක්‍රීය උච්චාවචයන් ලංකාව වැනි ඌනසංවර්ධිත කෘෂිකාර්මික රටක ද ඇති වේ.

(කර්තෘ: එච්.ඒ. ද ඇස්. ගුණසේකර)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආර්ථික_චක්‍ර&oldid=6665" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි