ආවේණිය

සිංහල විශ්වකෝෂය වෙතින්
12:53, 31 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ආවේණිය (Heredity). සිය වංශයටත් විශේෂයටත් ආවේණික වූ ල...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආවේණිය (Heredity). සිය වංශයටත් විශේෂයටත් ආවේණික වූ ලක්ෂණ බොහොමයක් අතින් හැම සතෙක් ම උගේ ජනකයන්ට (මව්පිය දෙදෙනාට) සමාන වේ. ශාකයන් සම්බන්ධයෙන් ද මෙය ම කිව හැකියි. ඊට හේතුව නම් හැම ශාක හෝ සත්ව ජනකයකුම සිය ලක්ෂණ තම ජනිතයන්ට (දූ දරුවන්ට) සම්ප්‍රේෂණය කිරීමය. මව්පිය පරම්පරාවේ විද්‍යමාන වන ලක්ෂණ ද ඊළඟට පහළ වන පරම්පරාවේ විද්‍යමාන වන ලක්ෂණ ද අතර සම්බන්ධතාවක් ආවේණිය යන්නෙන් හැඟවේ. ළදරුවකු දෙස බලා මේ ළදරුවා ඔහුගේ මව වැනි ද පියා වැනි දැයි ඥාතිමිත්‍රාදීන් විමසන්නට පුරුදු වී සිටීමෙන් සාමාන්‍ය ජනයා අතර පවා ආවේණිය කෙරෙහි කාලාන්තරයක් මුළුල්ලේ පැවත එන විශ්වාසය පිළිබිඹු වේ. ජීවියකුගේ රූපය හා ස්වභාවය පාලනය කරන සාධකයන් (1) ආවේණික සාධක යැ (2) පරිසර සාධක යැයි සාමාන්‍යයෙන් දෙවර්ගයකට බෙදිය හැකිය. ජනකයන් හා ජනිතයන්ද අතර ඇති සමානකම් ආවේණිය කරණකොට ගෙන හෝ පරිසරය කරණකොටගෙන හෝ විය හැකිය. බාහිර පරිසරයෙන් නොව, ප්‍රජනනයේ දී ජනකයන්ගෙන් ලැබෙන ඇතැම් නිර්ණායක මූලධාතූන්ගෙන් විශේෂිත ලෙස පාලනය කරනු ලබන ලක්ෂණ සමග ආවේණිය සම්බන්ධ වේ. ආවේණිය පිළිබඳ සාමාන්‍ය කරුණු පුරාතනයෙහි සිටම දැන ගෙන තිබුණි. සතුන් හීලෑ කර බෝකිරීමද ශාකයන් වගා කිරීම ද ආරම්භ කළ කාලයේ පටන් ම එක් පරම්පරාවකින් අනික් පරම්පරාවට ලක්ෂණයන්ගේ ආවේණික සම්ප්‍රේෂණය පිළිබඳ සාමාන්‍ය කරුණු මිනිසා දැන සිටියේය. වී වපුරා ඔහු බලාපොරොත්තු වූයේ වී අස්වැන්නක් ලබා ගැනීමටය. තක්කාලි ඇටයක් පැළකොට එයින් ඇතිවන ශාකයෙන් ඔහු ලබා ගැනීමට බලාපොරොත්තු වූයේ වම්බටු නොව තක්කාලිය. කිසියම් පවුලක අය අතර ද ප්‍රවේණියේ ප්‍රතිඵල වශයෙන් යම් යම් සමානකම් දකින්නට ඇත. ආවේණිය පිළිබඳව නොයෙක් මත කලින් කල ඉදිරිපත් කරන ලදි. ඇතැම් මතයන්ට අනුව ජනිතයාගේ ආවේණික කාරකයන් ලබා දීමට ජනක ජනනී දෙදෙනාම සම සමව උපකාරී වෙත්. වෙනත් මත අනුව පුරුෂ හෝ වේවා ස්ත්‍රී හෝ වේවා එක් ජනකයෙක් පමණක් මුළුමනින්ම හෝ ප්‍රධානකොට ම හෝ ජනිතයාට ආවේණික කාරකයන් ලබා දෙයි. මේ දෙවැන්න වැරදි මතයකි. එහෙත් සතුන් අතර වංශාභිජනන කටයුතු බොහොමයකට ද නොයෙක් රටවල නීති ක්‍රමවලට ද පදනම වී ඇත්තේ මේ වැරදි මතයයි. අවුරුදු දහස් ගණනකට පෙර බැබිලෝනියාවේ හා ඇසිරියාවේ විසූ මිනිස්සු වර්තමාන අශ්වයන්ට හා ගවයන්ට නොදෙවෙනි අශ්වයන් සහ ගවයන් බෝ කළහ. ක්‍රිස්තු පූර්ව 4000 පමණ කාලයේ දී මිසර ජාතිකයෝ නොයෙක් ධාන්‍ය වර්ග වගා කළහ. ශතවර්ෂ පනහකට පමණ පූර්වයෙහි දී චීන්නු වීවගා කළහ. ඇතැම් වී ප්‍රභේද අනික් ඒවාට වඩා හොඳ යයි ඔවුන්ගේ පුරාතන ලේඛනයන්හි වාර්තා කොට තිබේ. ආවේණිය පිළිබඳ තරමක වුව ද අවබෝධයක් නොතිබෙන් නට මේ පුරාතන ජනයාට මේ දෑ නොකළ හැකි යයි අපට සිතාගත හැක. ආවේණිය පිළිබඳ සාමාන්‍ය කරුණු පුරාතනයන් වටහා ගෙන සිටිය ද ඒ කරුණුවල යථාතත්වය විද්‍යාත්මක ලෙස අවබෝධ කර ගැනීමට නියම ප්‍රයත්නයක් විසි වන ශතවර්ෂය උදාවන තුරු ම නොදරන ලදි. ජනක ජනනී දෙදෙනාගේ ලක්ෂණයන් විවිධ රටාවන්ට අනුව සම්මිශ්‍රණය වී එක් පරම්පරාවකින් අනික් පරම්පරාවට ගෙන යනු ලබන ආකාරය පැහැදිලි කරලීමට යත්න දැරීමට කලින් ලක්ෂණයන්ගේ සම්මිශ්‍රණ කාර්යාවලිය පාලනය කරන නියමයන් ග්‍රෙගෝර් මෙන්ඩල් (බ.) නමැති ඕස්ට්‍රියානු කතෝලික පූජකයාගේ පරීක්ෂණවලින් පැහැදිලි කොට තිබුණි. මෙන්ඩල්ගේ පරීක්ෂණවල ප්‍රතිඵල පිළිබඳ ලිපියක් 1866 දී ඔහු පළ කැරැවීය . පීසුම් සටිවුම් (Pisum sativum) නමැති මෑ පැළෑටියේ නොයෙක් ප්‍රභේදයන් දෙමුහුම් කොට ජනකයන්ගේ ලක්ෂණ දෙමුහුම් ජනිතයන් අතර බෙදී යන ආකාරය ඔහු පරීක්ෂා කළේය. ආවේණිය පිළිබඳ නියමයන් ඉතා පැහැදිලි ලෙස මෙන්ඩල් ප්‍රකාශ කළ නමුත් සමකාලික විද්‍යාඥයන්ගේ අවධානය ඔහුගේ ලිපිය කෙරෙහි යොමු නොවීය. ජර්මනියේ කොරෙන්ස් (Correns) ද ඕලන්දයේ ඩ ව්රීස් (de Vries ) ද ඕස්ට්‍රෙලියාවේ ෂෙර්මාක් (Tschermak) දැයි යන විද්‍යාඥයන් තිදෙනා වෙන වෙනම මෙන්ඩල්ගේ කෘතීන් 1900 දී සොයා ගත්හ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥයකු වූ විලියම් බේට්සන් මහතා මෙන්ඩල්ගේ කෘතීන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය. ප්‍රවේණි විද්‍යාව ( Genetics) පදනම් කොට ඇති වූ මූල ධර්මයන් ස්ථිර කර ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ බේට්සන් විසින් කරන ලද පර්යෙෂණය . මෙන්ඩල්ගේ පරීක්ෂණ : පරීක්ෂණ සඳහා පූර්වෝක්ත මෑ පැළෑටිය මෙන්ඩල් විසින් තෝරා ගන්නා ලද්දේ එය වර්ධනය කිරීම හා දෙමුහුම් කිරීම පහසුවෙන් කළ හැකි වූත් හොඳට කැපී පෙනෙන ලක්ෂණ ඇති වූත් වාර්ෂික පැළෑටියක් බැවිනි. මේ මෑ පැළෑටියේ උස් ප්‍රභේදයක් කුරු ප්‍රභේදයක් සමඟ ද දම්පාට මල් සහිත ප්‍රභේදයක් සුදුපාට මල් සහිත ප්‍රභේදයක් සමඟ ද සිනිඳු මතුපිටකින් යුත් බීජ ඇති ප්‍රභේදයක් රැළි වැටුණු මතුපිටකින් යුත් බීජ ඇති ප්‍රභේදයක් සමඟ දැයි යනාදි වශයෙන් මෙන්ඩල් මේ පැළෑටි දෙමුහුම් කරන ලදි. පළමු වැනි ශ්‍රෙණියේ එක් පරීක්ෂණයක දී මේ මෑ පැළෑටියේ උස් ප්‍රභේදයක් කුරු ප්‍රභේදයක් සමඟ ඔහු දෙමුහුම් කළේය. මේ දෙමුහුම් කිරීමෙන් ඔහුට දැන ගන්නට ලැබුණේ පළමු දරු (first filial-F1) පරම්පරාව වන දෙමුහුම් ජනිතයන් (දුහිතෘ ශාක) සියල්ල ම උස් ජනකයා හා සමාන වූ උස් ශාක බවය. කුරු බව පළමු දරු පරම්පරාවේ නැති වී ගිය සැටියක් පෙනිණ. මේ පරම්පරාවේ උස් ශාක ඔහු ස්වසංසේවනය කළ විට ඔහුට දැන ගන්නට ලැබුණේ දෙවැනි දරු (F2 ) පරම්පරාවේ ශාකයන්ගෙන් සමහරක් උස් බවත් සමහරක් කුරු බවත්ය.පරිස්සමින් සටහන් තබා මේ පරම්පරාවේ ශාකයන් වර්ග කළ විට ඒවායින් 3/4 ක් පමණ උස් බවත් 1/4 ක් පමණ කුරු බවත් ඔහුට වැටහුණි. දෙවැනි දරු පරම්පරාවේ ශාක ස්වසංසේචනය කිරීමෙන් ලැබුණු බීජ පැළ කොට මෙන්ඩල් තුන්වැනි දරු (F3) පරම්පරාව පරීක්ෂා කළේය. දෙවැනි දරු පරම්පරාවේ කුරු ශාකවලින් ලැබුණු බීජවලින් ඇතිවුණු තුන් වැනි දරු පරම්පරාවේ ශාක සියල්ලම කුරු ඒවා විය. දෙවැනි දරු පරම්පරාවේ උස් ශාක1/3 කින් ලැබුණු බීජ වලින් ඇතිවුණු තුන්වැනි දරු පරම්පරාවේ ශාක පරිශුද්ධ (pure ) උස් ශාක විය. දෙවැනි දරු පරම්පරාවේ අනික් උස් ශාක 3/4 උස් බව හෝ කුරු බව හෝ අතින් පරිශුද්ධ නොවූ ඒවා විය. මේවා පළමු වැනි දරු පරම්පරාවේ උස් දෙමුහුම් ශාක වැනි විය.ඒවාසේම මේවා ද ස්වාසංසේචනය කළ විට උස් හා කුරු වූ දුහිතෘ ශාක 3 : 1 අනුපාතයට ලැබිණ. ඉහත විස්තර කරන්නට යෙදුණ දෙමුහුම වැනි ඒකාංග- දෙමුහුම් (monohybrids) කිහිපයක් මෙන්ඩල් විසින් පරීක්ෂා කරන ලදි. අසමාන ලක්ෂණ යුගලයක චර්යාව ඔහු එක් එක් දෙමුහුමෙහි පරීක්ෂා කොට බැලීය. උස්බව කුරුබව යටපත් කොට ප්‍රමුඛව සිටියාක් මෙන් අසමාන ලක්ෂණ යුගලයක එක් ලක්ෂණයක් අනික් ලක්ෂණය යටපත් කොට ප්‍රමුඛ වන බව ඔහුට දැනගන්නට ලැබිණි. මේ මෑ පැළෑටියේ උස් බව ප්‍රමුඛ ලක්ෂණයක් (dominant character) වශයෙන් ද කුරුබව නිලීන ලක්ෂණයක් (recessive character)වශයෙන් ද මෙන්ඩල් හැඳින්විය. නිලීන ලක්ෂණය පළමු වැනි දරු පරම්පරාවේ ගුප්තව රැඳී පැවැත්තේය. ඒකාංග දෙමුහුම් පිළිබඳ පරීක්ෂණවල ප්‍රතිඵල පරීක්ෂා කොට මෙන්ඩල් මෙසේ නිගමනය කළේය:— (1) ජීවියා වූකලි ආවේණික වශයෙන් වෙන් වෙන්ව සම්ප්‍රේෂණය වීමට සමත් ඒකක ලක්ෂණයන්ගේ විචිත්‍ර රටාවකි. (2) සබඳකම් ඇති ඒකක ලක්ෂණ දෙකක් ම විකසනය වීමේ විභවතාවන් (potentialities) එක ම ජීවියකු තුළ තිබෙන විට මේවායින් එක් ඒකක ලක්ෂණයක් අනික් ඒකක ලක්ෂණය සම්පූර්ණයෙන්ම මුවහ කොට ගෙන පවතින්නට පුළුවන. මේ මූලධර්මය ප්‍රමුඛතාව නමින් හැඳින්වේ. මුවහ වී ඇති ලක්ෂණයට නිලීන ලක්ෂණය යයි කියනු ලැබේ. ( 3 ) මුලින් පැවති සංයෝජනයන් ගැන අපේක්ෂාවක් නොමැතිව ප්‍රජනනයේ දී ඒකක ලක්ෂණ වියුක්ත වී සිටිය හැකිය. ඒකාංග - දෙමුහුම්වල ප්‍රවේණිය සිදුවන ආකාරය විස්තර කිරීමේ දී මෙන්ඩල් සිතාගෙන තුබුණු භෞතික මූලධාතු සාමාන්‍යයෙන් සංකේත වශයෙන් දක්වනු ලැබේ. ප්‍රමුඛ ලක්ෂණයට ලොකු (capital) අකුරක් ද ඊට සම්බන්ධ වූ නිලීන ලක්ෂණයට කුඩා (simple) අකුරක්ද භාවිත කරනු ලැබේ. උස් බවට T අකුර ද කුරු බවට t අකුර ද වශයෙනි. මේ ලක්ෂණ යුගලය ප්‍රවේණිගත වන ආකාරය රූප සටහනෙන් පැහැදිලි කෙරේ. දෙවැනි දරු පරම්පරාවේ සංයුතියෙන් යුත් ශාක සියල්ල ම උස් ශාක විය. උස් බව කුරු බවට ප්‍රමුඛ වන බැවින් Tt සංයුතියෙන් යුත් ශාකත් උස් ශාක විය. tt සංයුතියෙන් යුත් ශාක කුරු ශාක විය. තුන්වැනි දරු පරම්පරාවේ දී දෙවැනි දරු පරම්පරාවේ TT ශාකවලින් උස් ශාක ද tt ශාකවලින් කුරු ශාක ද ඇති වුණි. Tt ශාක පළමු දරු පරම්පරාවේ ශාක මෙන් 3:1 අනුපාතය අනුව අභිජනනය විය. TT හා tt යන සංයුතිවලින් යුත් ශාකවල එක්තරා ලක්ෂණයක් පාලනය කරන එක සමාන නිර්ණායකයන් ඇති බැවින් TT හා tt ශාක සමයෝගී (homozygous) යයි කියනු ලැබේ. Tt ශාක විෂමයෝගී (heterozygous) යයි කියනු ලැබේ. ජීවියකුගේ සියලු දෘශ්‍ය ලක්ෂණයන්ගේ සංයෝජනය ඒ ජීවියාගේ රූපානුදර්ශය (phenotype) නමින් හැඳින්වේ. ජීවියකුගේ සංයුක්ත ආවේණික ස්වභාවය ඒ ජීවියාගේ ප්‍රවේණිදර්ශය (genotype) වේ. හුවමාරු විය හැකි නිර්ණායකයන්ට ඇලීල (allelomorphs) යයි කියනු ලැබේ. ඇලීල වූකලි එක ම ලක්ෂණයක් පාලනය කරන විකල්ප නිර්ණායක යුගලයකි. ස්වභාවයෙන් මේවා හුවමාරු වන සුලුයි. එක් එක් නිර්ණායක වර්ගයෙන් ඇලීල දෙකක් බැගින් යුක්තාණුවක (zygote) ඇත. එක් ජනකයකුගෙන් එකක් ද අනික් ජනකයාගෙන් අනික ද වශයෙනි.

1900 දී මෙන්ඩල්ගේ කෘතීන් සොයා ගැනීමෙන් පසු ආවේණිය පිළිබඳ යන්ත්‍රණය පැහැදිලි කරලීමට බොහෝ පර්යේෂණ කරන ලදි. ජීවීන්ගේ සෛල තුළ වූ න්‍යෂ්ටියේ අඩංගු වර්ණදේහවල (chromosomes) (බ.) ආවේණික විභවතාවන් පිහිටා තිබෙන බව ද මේ වර්ණදේහ තුළ වූ ස්ථානීගත ප්‍රවේණ්‍යණු (genes) විශේෂිත ඒකක ලක්ෂණයන් ප්‍රකාශ කරන නිර්ණායකයන් බව ද නූතන විද්‍යාව පිළිගෙන තිබේ. ලාක්ෂණික වූ වර්ණදේහ කාණ්ඩයක් සෑම ජීවියකුට ම ඇත. වර්ණදේහ තුළ ප්‍රවේණ්‍යණු ස්ථානීගතව තිබීමත් වර්ණදේහවල නියත චර්යාවක් ඇතිවීමත් ජීවියකුගේ නොයෙක් සෛලවලටත් ජන්මාණු (gametes) මගින් යුක්තාණුවට හා ඊළඟ පරම්පරාවේ සෛලවලටත් ක්‍රමානුකූල ලෙස ප්‍රවේණ්‍යණු බෙදාහැරීමට උපකාරී වේ. ජන්මාණු සෑදීමේ දී ද සංසේචනයේ දී ද වර්ණදේහවල චර්යාව මෑ පැළෑටි යොදමින් මෙන්ඩල් කළ පරීක්ෂණයන්හි දී දුටු ලක්ෂණයන්ගේ සම්ප්‍රේෂණය හා හාත්පසින් ම ගැළපේ . ප්‍රවේණ්‍යණු නමින් හැඳින්වෙන මේ ඉතා කුඩා ඒකකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකින් ආවේණිය පාලනය වන බව දැන් පිළිගත් කරුණකි. විද්‍යාඥානය වැඩිවත් ම ප්‍රවේණ්‍යණුව පිළිබඳ සංකල්පය ද වෙනස් වී තිබේ. ප්‍රෝටීනයක් හා බද්ධ වූ ඉතා සංකීර්ණ රසායන ද්‍රව්‍යයකින් සෑදී ඇතැයි සිතිය හැකි වූ වියුක්ත ඒකක වශයෙන් ප්‍රවේණ්‍යණු දැන් හැඳින්විය හැකිය. මේ රසායන ද්‍රව්‍යය නම් ඩිඔක්සිරිබෝස්නියුක්ලෙයික් අම්ල (ඩී.ඇන්.ඒ.) [(deoxyribosenucleic acid) (DNA)] වේ. ආවේණික විශිෂ්ටතාව මේ ද්‍රව්‍යයෙහි නියුක්ලෙයික් අම්ල කොටසෙහි පිහිටා තිබෙන බවට තරමක් සාක්ෂ්‍ය ඇතත් එය එසේ ම යයි කිසිසේත් සහතික කොට කිව නොහැක. අණ්වීක්ෂයක ආධාරයෙන් වර්ණදේහ පරීක්ෂා කළහොත් තනි තනි ප්‍රවේණාණු දක්නට නොලැබේ. එබැවින් ඒවා එක් විධියකින් කල්පිත වස්තූන් ලෙස සැලකිය හැකිය. එහෙත් මෙන්ඩල්ගේ පරීක්ෂණවලින් ආරම්භ වුණු දීර්ඝ පරීක්ෂණාවලියකින් ලබාගත් ප්‍රතිඵල රාශියකින් ප්‍රවේණ්‍යනුවල පැවැත්ම නිශ්චය කොට තිබේ.

නොයෙක් ශාකයන් හා සත්ත්වයන් පිළිබඳ පරීක්ෂණ පවත්වමින් බොහෝ ජීව විද්‍යාඥයෝ මෙන්ඩල්ගේ කල්පිතය පරීක්ෂා කොට බලන්නට වන්හ. එහි ප්‍රතිඵල වශයෙන් මෙන්ඩල්ගේ වියුක්ති නියමයට (Law of Segregation) සාමාන්‍යයෙන් රුකුලක් ලැබිණි. එහෙත් වැඩි කලක් ගතවන්නට පෙර මෙන්ඩල්ගේ ක්‍රමය තරමක් වෙනස් කළ යුතු බව විද්‍යාඥයන්ට වැටහිණි. මෙන්ඩල්ගේ පරීක්ෂණවලට ගන්නා ලද මෑ පැළෑටිවල දක්නට ලැබුණු උස් බව හා කුරු බව පිළිබඳ සම්පූර්ණ ප්‍රමුඛත්වය හා නිලීනත්වය සෑම ශාකවල ම නොදක්නා බව මෙන්ඩල්ගේ කාලයෙන් පසු වෙනත් විද්‍යාඥයන්ට දැන ගන්නට ලැබිණ. මිරාබිලිස් ජලාපා (හෙන්ද්‍රික්කා) ශාකය වැනි දීප්තිමත් වර්ණයෙන් යුත් මල් සහිත ශාක දෙමුහුම් කිරීමෙන් ජනකයන්ගේ විරුද්ධ ලක්ෂණ වලට අතරමැදිව වාගේ ඇති තත්වයක වූ ලක්ෂණ දෙමුහුම් පරම්පරාවේ පිහිටනු දැක්ක හැකිය. ටී. එච්. මෝගන්, එච්. ජේ. මුලර්, බ්‍රිජස් ආදි විද්‍යාඥයන්ගේ පර්යේෂණයන් කරණකොටගෙන ආවේණිය සම්බන්ධයෙන් වර්ණදේහයන්ගේ චර්යාව පිළිබඳ අවබෝධය පුළුල් වී ඇත. ඇතැම් විට ලක්ෂණ දෙකක් එකට බැඳී ඇත්තාක් මෙන් එක්ව ආවේණික වීමට නැඹුරුව පවත්නා බව දැන ගන්නට ලැබ්ණි .මේ තත්වයට ප්‍රතිබද්ධය (linkage) යයි කියනු ලැබේ. වර්ණ දේහ හා ප්‍රවෙිණ්‍යණු අතර පවතින සබඳකමින් ප්‍රතිබද්ධයේ පදනම තේරුම්ගත හැකිය. එක් එක් වර්ණ දේහයක නිශ්චිත ප්‍රවෙිණ්‍යණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක ම වර්ණදේහයේ පිහිටා තිබෙන බව දැන ගෙන තිබේ . එක් වරකට පරීක්ෂණය‍ට භාජන වන ප්‍රවෙිණ්‍යණු දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක ම වර්ණදේහයේ පිහිටා තිබේ නම් ඒවා ප්‍රතිබද්ධ වේ. ප්‍රතිබද්ධය සිදු වන විට විවිධ ප්‍රවෙිණ්‍යණු යුගවල ප්‍රවෙිණ්‍යණු අතර ස්වාධීන ව්රචනයක් (assortment) ඇති නොවේ . ලක්ෂණයන්ගේ ප්‍රතිබද්ධය නමැති සංසිද්ධිය මෙන්ඩල් කිසිවිටෙක නිරීක්ෂණය නොකෙළේය. ලිංගිකතාව මෙන්ඩල්ගේ වියුක්ති නියමයට අනුකූල වන ආවේණික ලක්ෂණයක් බව දැන ගෙන තිබේ. මිනිස් වර්ගයාගේ ලිංගභේදය සලකා බලන විට ස්ත්‍රියකගේ ලිංගය නිර්ණය කරන ප්‍රවේණ්‍යණු සමයෝගී බව ද එක එකක් X නමින් හැඳින්වෙන වර්ණදේහ යුගලයක ඒවා පිහිටා තිබෙන බව ද අපි දනිමු. ප්‍රජනනයේ දී වියුක්තවීම කරණකොටගෙන ස්ත්‍රියකගේ එක් එක් අණ්ඩයකට (ovum) (බ.) X වර්ණදේහයක් බැගින් ලැබේ. පුරුෂයකුගේ ලිංගය නිර්ණය කරන ප්‍රවේණ්‍යණු විෂමයෝගි වේ. ස්ත්‍රියගේ X වර්ණ දේහයෙහි ඇත්තා වූ ලිංග නිර්ණායක ප්‍රවේණ්‍යණුම දරන එක් වර්ණදේහයක් ඔහුට ඇත. ඔහුට X නමින් හැඳින්වෙන තව වර්ණදේහයක් ද ඇත. එහි තිබෙන ප්‍රවේණ්‍යණු අතින් Y වර්ණදේහය X වර්ණදේහයට අසමානය. ප්‍රජනනයේ දී පුරුෂයා විසින් නිපදවනු ලබන ශුක්‍රාණුවලින් එක් අඬක වූ එක් එක් ශුක්‍රාණුවක X වර්ණදේහයක් බැගින් ද අනික් අඩෙහි එක් එක් ශුක්‍රාණුවක Y වර්ණදේහයක් බැගින්ද සිටී. අණ්ඩයක් X ශුක්‍රාණුවක් මගින් සංසේචනය වීමෙන් XX පුද්ගලයෙක් හෙවත් ස්ත්‍රියක් ලැබේ. Y ශුක්‍රාණුවකින් සංසේචනය වන අණ්ඩයකින් XYපුද්ගලයෙක් හෙවත් පුරුෂයෙක් ලැබේ. ඇතැම් සතුන්ගේ හා ශාකයන්ගේ ස්ත්‍රී (ජායාංගී) ජීවියා XY වේ. පුරුෂ (පුමංගී) ජීවියා XX වේ. මිනිස් වර්ගයාගේ ලිංගිකතාව ආවේණික වන ආකාරය රූප සටහනින් දැක්වේ. වර්ණදේහ සංයුතිය අතින් ස්ත්‍රී පුරුෂ ලිංගයන් අතර ඇති මේ වෙනස්කම කරණ කොටගෙන ලිංග නිර්ණායක ප්‍රවේණ්‍යණු හැර ලිංග වර්ණදේහවල තිබෙන වෙනත් ප්‍රවේණ්‍යණු මගින් පාලනය වන ලක්ෂණයන් සම්ප්‍රේෂණය වීමේ දී ඒවා ලිංග- ප්‍රතිබද්ධ වේ. ඇතැම් මිනිසුන් කෙරෙහි දක්නා වර්ණාන්ධභාවය (colour blindness) ද හෙමොපිලියාව (රක්තකාමතාව ) නමැති රුධිර රෝගය ද ලිංග - ප්‍රතිබද්ධ ප්‍රවෙිණිය (Sex-linked inheritance ) දක්වයි.(ආජන්මජ රෝග බ. )

ප්‍රතිබද්ධ සම්බන්ධතා ඇතැම් විට කඩ වන බව ද දැන ගෙන තිබේ. ඌනන විභාජනයේ (meiosis) උපාගම (synapsis) අවස්ථාවේ දී වර්ණදේහ යුගල වශයෙන් යෙදෙන විට මෙය සිදු වේ. මේ අවස්ථාවේ දී වර්ණදේහ පළු යම් යම් ස්ථානවලින් බිඳී ගොස් කලින් තිබුණු වර්ණදේහවලට සමාන වර්ණදේහ සෑදේ. එහෙත් මේවා අලුත් ප්‍රවේණ්‍යණු සංයෝජන වලින් සමන්විතය. මේ සංසිද්ධිය උත්තරණය (crossing over) නමින් හැඳින්වේ.

මෙන්ඩලීය ප්‍රවේණියේ මඳ වෙනස් වීම් ඇති වන වෙනත් අවස්ථා ද දැන ගෙන තිබේ. ඇතැම් අවස්ථාවන්හි තනි ඒකක ලක්ෂණයක් ඇතිකරලීම සඳහා ප්‍රවේණ්‍යණු එකකට වැඩි ගණනක් අවශ්‍ය විය හැකිය. ඇතැම් ප්‍රවේණ්‍යණු සම්පූර්ණයෙන් ම විකසනය නිෂේධ කරයි. එසේ නැතහොත් යම් පිළිවෙළකින් ඒවායේ විකසනය වෙනස් කළ විට ජීවියාගේ මරණය සිදු වේ. මේවා මාරක (lethal) ප්‍රවේණ්‍යණු නමින් හැඳින්වේ. වර්ණදේහ වළලු ගැසීමෙන් ද හාවීමෙන් ද පැළීයාමෙන් ද වර්ණ දේහයක් තුළ ඇති ප්‍රවේණ්‍යණු ද්විගුණ විය හැකිය. ඇතැම්විට ප්‍රවේණ්‍යණුවක අභ්‍යන්තර සංවිධානයෙහි විපර්යාසයක් ඇති වේ. එවැනි විපර්යාසයකට විකෘතිය (mutation ) යයි කියනු ලැබේ. විකෘතිය ආකස්මික හේතුවක් නිසා ඇති වන්නකැයි විශ්වාස කරනු ලැබේ. විකෘත ප්‍රවේණ්‍යණුව ද ඊට මුල් වූ ප්‍රවේණ්‍යණුව බලපෑ විකසන කාර්යාවලීන් කෙරෙහිම බලපායි. එහෙත් එසේ කරන්නේ අන් පරිද්දෙකිනි. එබැවින් ජීවියාගේ ලක්ෂණය අතින් විපර්යාසයක් ඇති වේ. විකෘති කරණ කොට ඇතිවන ඵල විවිධය , බොහෝය. මේවායින් සමහරක් ජීවියා තුළ බලවත් විපර්යාස ඇති කරන අතර අන් සමහරක් බලපාන්නේ ඉතා ස්වල්ප වශයෙනි. මේ විපර්යාස ජීවියාට හිතකර හෝ අහිතකර හෝ විය හැකිය. සාමාන්‍යයෙන් විකෘති ඇති වන්නේ ඉතා කලාතුරකිනි. විකෘතියක් සේ පෙනුණු විපර්යාසයක් පළමුවෙන් පරීක්ෂාවට භාජන කරන ලද්දේ 1880 දී ඩ ව්රිස් විසිනි. වල් පැළෑටියක් ලෙස යුරෝපයේ එකල වැඩුණු ඊනොතෙරා ලමාර්කියා නා (0enotheralamarkiana) ශාකයෙහි පුෂ්පවල හදිසි විපර්යාසයක් ඇතිවන බව ඩ ව්රිස්ට දක්නට ලැබිණි. එක් එක් ශාකයකට හෝ සත්ව විශේෂයකට ලාක්ෂණික වූ වර්ණදේහ සංඛ්‍යාවක් ඇත. ලාක්ෂණික වූ මේ වර්ණ දේහ සංඛ්‍යාව ඇතැම් විට වෙනස් වන බව දැනගෙන තිබේ. මේ වෙනස් වීම් දෙවර්ගයකි. සමස්තයක් වශයෙන් ඒක ගුණ (haploid) වර්ණදේහ කාණ්ඩයෙහි ඇති වන වෙනස් වීම් පළමු වර්ගයෙහි ඇතුළත් වේ. මේ සංසිද්ධිය බහුගුණතාව (polyploidy) (බ) නමින් හැඳින් වේ. සම්පූර්ණ වර්ණදේහ කාණ්ඩයක ඇති වන වෙනස් වීම් දෙවැනි වර්ගයෙහි ඇතුළත් වේ. මේ සංසිද්ධිය විෂමගුණතාව (aneuploidy ) නමින් හැඳින්වේ. විෂමගුණතාව ඇති වනවිට වර්ණදේහ සංඛ්‍යාව එකකින් හෝ ඊට වැඩි ගණනකින් හෝ අඩු වැඩි වේ. තක්කාලි පැළයක් කප්පාදු කළහොත් ඒ කැපූ තැන්වලින් පසුව වර්ධනය වන ප්‍රරෝහයන්ගෙන් පංගුවක් වඩා ස්ථුල වේ. ඒවායේ ලොකු මල් හටගනී. එහෙත් ගෙඩි කුඩාය; ඇට අඩුය. කැපුම් මගින් හෝ බීජ මගින් හෝ ප්‍රචාරණය කළ හැකි මේ ප්‍රරෝහවල සාමාන්‍ය වර්ණදේහ සංඛ්‍යාව වන 24 වෙනුවට වර්ණදේහ 48ක් තිබේ. එබැවින් ඒවා ඒකගුණ වර්ණදේහ කාණ්ඩ සතරකින් යුත් චතුර්ගුණකයෝයි (tetraploids). මෙපරිද්දෙන් ඒකගුණ වර්ණදේහ සංඛ්‍යාවල බහුගුණිතයෝ දක්නට ලැබෙත්. මෙම සංසිද්ධිය බහුගුණතාවට නිදසුනකි. ඇතැම් ජීවීන් ගැන සලකා බලන කල සෛල ප්ලාස්මයක් ආවේණිය පිළිබඳව වැදගත් කාර්යයක් ඉටු කරන බව පෙනේ. සෛලප්ලාස්මීය ප්‍රවේණිය (cytoplasmic inheritance) ඇති තන්හි ජනිතයන්ගේ ලක්ෂණ නිර්ණය කිරීම අතින් පියාට වඩා මව් වැදගත් වේ. මීට හේතුව නම් සංසේචනයෙන් පසු අලුතෙන් සෑදුණු යුක්තාණුවට මවගෙන් සෛල ප්ලාස්මය වැඩියෙන් ලැබීමයි. සෛලප්ලාස්මීය ප්‍රවේණියට නිදසුනක් මිරාබිලිස් ජලාපා ශාකයෙහි දක්නට ලැබේ. වෛවර්ණ (variegated) ශාකවල සුදු කොටස්වල හටගන්නා ඇටවලින් සුදු ශාක මිස අන් කිසිවක් නොලැබේ. සංසේචනය පිණිස කවර ශාකයකින් පරාග ලැබුණත් මේ ඇටවලින් සෑම විට සුදු ශාක ම ලැබේ. එහෙත් ගෑනු සතාගේ සෛලවල සෛලප්ලාස්මය මඟින් පැවැත්වෙන ඇතැම් මාතෘක බලපෑම් ප්‍රවේණ්‍යණු මගින් පාලනය කරනු ලැබේ. ගොළුබෙල්ලන්ගේ පිට කටුව දඟර ගැසී තිබෙන ආකාරය මීට හොඳ නිදසුනකි. ඇතැම් ගොළුබෙලි විශේෂවල පිටකටුව සෑම විට ම දකුණු අතට දඟර ගැසී තිබේ. වෙනත් විශේෂවල එය වම් අතට දඟර ගැසී ඇත. එහෙත් පිටකටුව දඟර ගැසෙන දිසාව ගොළුබෙල්ලාගේම ප්‍රවේණ්‍යණු මගින් නිර්ණය කරනු නොලැබේ. එය නිර්ණය කරනු ලබන්නේ උගේ මවුගේ ප්‍රවේණ්‍යණු මගිනි. මිනිසා සම්බන්ධයෙන් ප්‍රවේණිය ක්‍රියාත්මක වන අයුරු ද අධ්‍යයනයට විෂය වී තිබේ. යම් යම් පවුල්වල ඉතිහාසය අවුස්සා බැලීමෙන් මිනිස් ලක්ෂණ බොහොමයක් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වී ගොස් ඇති අයුරු සොයා ගෙන තිබේ. සාමාන්‍ය ගණනට වඩා ඇඟිලි වැඩිවීම ඇඟිලි පුරුක්වල ඇට හාවීම හා ඇඟිලි කෙටිවීම වැනි සරල ව්‍යුහ දෝෂවල චර්යාවෙහි මනුෂ්‍ය ආවේණිය ඔප්පු කරන පැහැදිලි සාක්ෂ්‍ය දක්නට ලැබේ. මේ දෝෂ මෙන්ඩලීය ඒකක ලක්ෂණයන් වශයෙන් එක් පරම්පරාවකින් තව පරම්පරාවකට සම්ප්‍රේෂණය කරනු ලැබේ. මේවා සාමාන්‍ය ව්‍යුහයන්ගේ ඇලීල වේ. ඇස්වල දෝෂ , අසාත්මිකතාව (allergy) (බ.) ආදිය හෙමොපිලියාව වැනි කායකර්ම ලක්ෂණයන් මන්දබුද්ධිය, ඇතැම් උමතු තත්ව,,අපස්මාරය (බ.) ආදිය වැනි ලක්ෂණයන් ද ආවේණික ලක්ෂණයන් වශයෙන් එක් පරම්පරාවකින් තව පරම්පරාවකට සම්ප්‍රේෂණය වන බව දැනගෙන තිබේ (ආජන්මජ රෝග බ.). ආවේණිය පිළිබඳ අධ්‍යයනය මෙන්ඩල්ගේ සරල පරීක්ෂණවලින් ආරම්භ වී වැඩි දියුණු වී ගිය අන්දම මෙසේ වටහාගත හැකිය. එහි කොතෙක් වෙනස් වීම් සිදු වුව ද මෙන්ඩලීය මතයේ අවශ්‍ය ලක්ෂණය - එනම් ආවේණික ඒකකයන්ගේ වියුක්තිය හා ප්‍රතිසංයෝජනය - නොවෙනස්ව ශේෂ වී තිබේ. ආවේණිය පිළිබඳ අධ්‍යයනයෙන් ලබා ගත් දැනීම ප්‍රායෝගික ලෙස යෙදීමෙන් ආර්ථික වශයෙන් වැදගත් වූ වඩා හොඳ අලුත් ශාකයන් හා සතුන් බෝ කිරීමට මඟ සැලසුණි. මනුෂ්‍ය ප්‍රවේණියට පිළිබඳ දැනීම ප්‍රායෝගික ලෙස යෙදීමටත් දැන් ඇතැම් රටවල ප්‍රයත්න දරනු ලැබේ. ටී. ඩී. ලයිසෙන්කෝ (බ.) ප්‍රමුඛ කොට ඇති වූ සෝවියට් ජීවවිද්‍යාඥ පරපුර ආවේණිය පිළිබඳ ඉහත දැක්වුණු මතය නොපිළිගත්තේය. ආවේණිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ලයිසෙන්කෝහා ඔහුගේ අනුගාමිකයන් පදනම් කොට ගත්තේ. රුසියානු උද්‍යානවිද්‍යාඥයකු වූ අයි. වී. මීචූරින් ගේ (බ.) කෘතීය. ලයිසෙන්කෝගේ විරුද්ධත්වය ප්‍රධාන වශයෙන් යොමු වූයේ ප්‍රවේණ්‍යණුව ආවේණික ලක්ෂණයන් ආවේණික ලක්ෂණයන් පාලනය කරන්නා වූ ද පරිසරය හේතුවෙන් විශේෂිත ලෙස වෙනස් නොවන්නාවූ ද ස්වතන්ත්‍ර ඒකකයන් වශයෙන් ගත් සංකල්පය කෙරෙහිය. ලයිසෙන්කෝ කියන පරිදි ප්‍රවේණ්‍යණුව “ විඥානවාදි”, “ ආධ්‍යාත්මික” සංකල්පයකි. ප්‍රවේණ්‍යණුව වෙනුවට ලයිසෙන්කෝගේ පිළිගැනීම වූයේ ආවේණිය මුළු ජීවියා තුළම යම්කිසි අන්දමකින් පැතිර පවත්නා බවත් එය පරිසරය නිසා ඇති වන බලපෑම්වලට අවනත වන බවත්ය. මෙන්ඩලීය වාදය අනුව ජිවියෙකුගේ ආවේණිය කැමති මඟක් කරා හිතාමතා හැරවිය නොහැකි බවත් මේ වාදය අනුව ජීවියාට ප්‍රයෝජන ගත හැක්කේ ආකස්මිකව සිදුවන විකෘතීන්ගෙන් පමණක් බවත් ලයිසෙන්කෝ පෙන්වා දුන්නේය. ලයිසෙන්කෝ කියන පරිදි ක්‍රම තුනක් මගින් ආවේණිය වෙනස් කළ හැකිය : (1) පරිසරයේ බලපෑම් මගින්, (2) බද්ධ කිරීමෙන් හා (3) ලිංගික දෙමුහුම් කිරීමෙන් (විශේෂයෙන් ම ඈත සබඳකම්ඇති ජීවීන්) යන තුන් පරිද්දෙනි. 1948 දී සෝවියට් විද්‍යාඥයන්ගෙන් වැඩි කොටස පමණක් නොව සෝවියට් රජය ද කොමියුනිස්ට් පක්ෂය ද විසින් කොමියුනිස්ට් දර්ශනයට ගැළපෙන ලයිසෙන්කෝගේ මේ මත අනුමත කරන ලදි. එහෙත් වෙනත් රටවල ජීවවිද්‍යාඥයෝ ලයිසෙන්කෝගේ මත ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූහ. 1952න් පසු ලයිසෙන්න්කෝගේ ප්‍රභූත්වය පිරිහෙන්නට පටන් ගත්තේය. 1956 දී ඔහුගේ ප්‍රධාන නිලයෙන් ඔහු අස් කරන ලදි. ඉක්බිති ආවේණිය පිළිබඳ මෙන්ඩලීය වාදය සෝවියට් රුසියාවේ එක්වරම නොපිළිගැනුණ ද වැඩි වැඩියෙන් සැලකිල්ලට භාජන වන්නට විය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආවේණිය&oldid=6785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි