ආසනඝරය

සිංහල විශ්වකෝෂය වෙතින්
13:09, 31 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බෝධිඝර, ආසනඝර, චේතියඝර යනු ආදිතම බෞද්ධ ගෘහනිර්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බෝධිඝර, ආසනඝර, චේතියඝර යනු ආදිතම බෞද්ධ ගෘහනිර්මාණ අංග තුනකි. චේතියඝර හා බෝධිඝර දඹදිව තිබුණු බවට තව ම සාක්ෂි ලැබී නැත. දැන‍ට නෂ්ටාවශේෂ වශයෙන් වත් ආසනඝර දක්න‍ට ලැබ‍ෙන්නේ සිංහලද්වීපයෙහි පමණකි . අ‍ටුවාකථා මාර්ගය‍ෙන් ආසනඝර පිළිබඳව යම් යම් තොරතුරු දැනගත හැක. සමන්තපාසදිකා විනය අටුවාවේ “ චෙතියඝරං බෝධිඝරං ආසනඝරං ” යි එකතැනක ද “බොධිරුක්ඛ බොධිඝර ආසනඝර ”යී තවත් තැනක ද සඳහන් වේ . ආසනඝර නම් ගෘහ විශේෂයක් පිළිබඳව පපඤ්චසුදනී නම් මැඳුම්සඟි අටුවාවේ උපරිපණ්ණාසයේ බහුධාතුක සුත්‍ර වර්ණනාව‍ෙහි ම‍ෙසේ කියවේ : “ යා පන බොධිසාඛා බොධිඝරං බාධෙති තං ගෙහරකඛනත්ථං ඡින්දිතුං න ලබ්හති ........ ආසනඝර‍ෙ පි එස‍ෙව නය‍ො . යස්මිං පන ආසනඝර‍ෙ ධාතු නිහිතා හොති තස්සරක්ඛනත්ථාය බොධිසාඛාං ඡින්දිතුං වටිටති .” තවත් අ‍ටුවාවන්හි ද ලැබෙන මෙම පාඨයේ අර්ථය නම් “ යම් බෝධිශාඛාවක් බෝධිගෘහයට බාධා කෙරේ ද ඒ ගෘහය ආරක්ෂ‍ා කිරීම සඳහා බෝධිශාඛාව සිඳිනු නොවටී . ආසනඝරය පිළිබඳව ද නීතිය මෙසේය. එහෙත් යම් ආසනඝරයක ධාතු නිදන් කර තිබේ ද එම ගෘහය රකිනා පිණිස බෝධිශාඛාව කැපීම වටී ”යනුයි ‍. අ‍ටුවා පාඨයෙන් , ආසනඝරයෙහි ධාතු නිදන්කරන සිරිත එකල තිබුණු බව ද ආසනඝර බෝධි මාලකයන් හි සාදන ලද බව ද වැ‍ටහේ . බෝධින්වහන්සේලා ළඟ ආසන නොහ‍ොත් පර්යංක තැබිමේ සිරිත අනුරාධපුරයේ ඇති වු බව ද ඒ ආසන බෝධිඝරයෙහි පිහිටුවු බව ද දීපවංශයෙන් හා මහාවශයෙන් පෙනේ . ක්‍රිස්තු වර්ෂ 253 -266 අතර රජ කළ , මහාවංශයේ ගෝඨාභය නමින් හඳුන්වන , මේඝවරණ්ණ අභය රජු ශ්‍රී මහා බෝධීන්වහන්සේ සමීපයේ ශීලාමය පර්යංකයක් පිහිටුවු බව , “ අභයො .......මෙඝවණ්ණෝ ...........

  කාරෙයි සීල‍ාපල්ලංකං මහාබ‍ොධිඝරුත්තම‍ෙ ”

(මේඝවණ්ණඅභය රජ උතුම් වු මහාබෝධීඝරය‍ෙහි ශීලාමය පර්යංකයක් කැරැවී ) යන දීපවංශ පාඨයෙන් කියැවේ . මෙම පුවත එන තැන බුදුපිළිම හා සමඟ ආසනයක් ද තිබුණේ යයි මහාවංශයේ සඳහන් වේ . “තිස්ස‍ො සිලාපටිමා ච තීසු ද්වාරෙසු කාරයී ඨපාපෙසි ච පල්ලංකං දක්ඛිණම්භි සිලාපටිමා යං ” (බෝධ්‍යඞ්ගණය‍ෙහි තුන්ද‍ොර‍ෙහි ශීලාමය ප්‍රතිමාතුනක් කැරැව්.දකුණු (ද‍ොර‍ෙහි ) ගලින් කළ පර්යංකයක් ද තැබ්බවීය .) දීපවංශයේ මේ පිළිම තුන ගැන කිසිවක් නොකීම සැලකිය යුතුයි .එසේ ම මහාවංශයේ මෙන් න‍ොව දීපවංශයේ ශීලා පර්යංකයකය බෝධීඝරය‍ ඇතුළේ ම තිබු බව කියැවේ . මහාවංශයේ බෝධීඝරය‍ සඳහන් නොවිමෙන් එම පාඨය ලියන කල්හි එම ගෘහයේ ස්වභාව වෙනස් වි තිබුණා දැ යි සැකයකුත් උපදී . තව දුරටත් වංසකථා දෙකක් කීම් සම්බන්ධ කිරීමෙන් දැනගත හැකි කරුණක් නම් බුදුපිළිම සාදන්ට පටන්ගත් මුල් අවධියේ දී ඒ ප්‍රතිමා බෝධීඝරවල හා චේතියඝරවල ම තැබුවා මිස අමුතුව‍ෙන් පිළිමගෙවල් නොතැනු බවය. එසේ ම ආසන ද බෝගෙවල් ඇතුළේ ම තබන ලද බව ප‍ෙනේ . මෙයින් පට්මාඝරය සහ ආසනඝරය යන දෙකට ම වඩා බෝධීඝරය පැරැණි බවත් කිව හැකිය. යම් සේ පිළිම ල‍ොකු කර සාදන්නට පටන්ගත් විට ව‍ෙන ම පිළිමගෙවල් සෑදීම පටන්ගනු ලැබී ද එමෙන් ම ආසන ලොකුවට සාදන්ට පටන්ගත් විට අසුන් ගෙවල් ද සෑදීම පුරුදු වු බවක් පෙනේ . මුල දී ආසන බෝගස් ළඟ සෑදුවා වීය යුතුයි . ආසනපුජා: ආසනපුජා නමින් පවත්වන ලද පුජා විශේෂයක් ගැන ද අටුවාකථාවනහි වේ. දික්සඟියේආටානාටිය සූත්‍ර වර්ණනාවේ -

“ විහාරං නෙත්වා ද චෙතියංගණෙ නිපජ්ජාපෙත්වා ආසනපූජං කාරෙත්වා ” යන්නක් හා “ ආසනපුජාය පත්ති ” යන්නක් ද එයි. මෙයින් කවර අන්දමේ අසුනක් අදහස් කළා දැයි දැනගන්ට පුළුවන්කමක් නැත. එහෙත් විසුද්ධිමාර්ගයේ සෙසකසිණ නිද්දේසයේ පීතකසිණය වර්ණනා කරන තැන සිතුල්පව්වේ කළ ආසනපූජාවක් පිළිබඳ කථාවකින් එහි කියන ආසනය තරමක් විශාල වූවක් යයි හැඟවෙයි.  “ ඒ ඇවැත්හු . සිතුල්පවුවෙහි පතැඟිමලින් කරන ලද අසුන්පුද බලනුවහට දැකුම් හා සමඟ ම අසුන් පමණ නිමිත් උපනි ” යනු පාලිපාඨයේ පුරාණ සන්නයයි.

ආසනඝරය පැවති කාලය : ආසනපුජාව සිංහල බෞද්ධයන් අතරේ උසස් තත්වයට පැමිණ තිබුණු බව එ් සඳහා ම කරන ලද ගොඩනැඟිලි විශේෂය‍ෙන් පෙනෙන නමුත් ආසන සම්බන්ධ වු බුද්ධවන්දනාව ක්‍රිස්තු වර්ෂයෙන් දහවන ශත වර්ෂයට පෙර අභාවයට ගිය බව ටීකා කර්තෘන්වහන්සේලාට “ ආසනඝරය ” යන්න හරි හැටි අවබෝධ නොවීමෙන් ම පෙනී යයි. විනයඅටුවාවට චෝළිය බුද්ධප්පිය ආචාරීන්වහන්සේ කළ විමතිවිනොදනී නම් ටීකාවේ “ ආසනඝරන්ති පටිමාඝරං ” යයි “ අසුන්ගෙය නම් පිළිමගෙය ” යයි තෝරා තිබේ. ළඟ දී ආසනඝර යයි හැඳිනගෙන ඇති ගෘහවිශේෂය සම්බන්ධව ද අටවන ශතවර්ෂයට මෑත යයි කියහැකි නිදසුනක් සම්බ වී නැත. ආසනශාලා: වංසකථාවල ද අටුවාපොත්හි නොයෙක් තැන ද සඳහන් වන ආසනසාලා නම් භික්ෂූන් වහන්සේලාගේ ගිමන්හැරීම , පිණ්ඩපාතය ගැනීම යනාදි සැපපහසුව සඳහා කරන ලද ශාලා විශේෂයකි. එය ආසනඝරයෙන් වෙන්කොට හැඳිනගත යුතුයි. වටදාගෙය පිළිබඳව සිංහල රටේ අමුතු ගෘහ නිර්මාණ අංග ප්‍රභව වී ඇත. ආසනඝරය ද විශේෂ නිර්මාණ ක්‍රම අවශ්‍ය වන ගොඩනැඟිලි විශේෂයකි. වෘත්තාකාරයට කරන ලද අසුන්ගෙවල් ද චතුරශ්‍රාකාරයට කරන ලද අසුන්ගෙවල් ද යන දෙවිධියක ආසනඝර දැනට සොයාගෙන තිබේ. මේ දෙකොටසින් වෘත්තාකාර අසුන්ගෙවල්වල වහල වටදාගෙවල වහල මෙන් කවාකාරයෙන් නිම වී මුදුන කැණිමඬලකින් අවසන් වූවා විය යුතුයි. ගොඩනැඟිල්ලේ ගල්කණු පේළි අනුව එය එක් මහලකින් හෝ දෙමහලකින් හෝ ඊට වැඩි ගණනකින් යුක්ත වෙයි. චතුරශ්‍ර අසුන්ගෙයි වහල බුදුගෙවල් ආදී අනිකුත් එවැනි ගෙවල්වල වහලවලට සමවිය යුතුයි. සැතපෙන බුදුපිළිම උදෙසා කළ ගෙවලට මෙන් ඇතැම් චතුරශ්‍ර අසුන්ගෙවලට දිග පැත්තෙන් ඇතුළු වන්ට සලසා තිබෙන්නට ඇත. එහෙත් සමහර චතුරශ්‍ර අසුන්ගෙවලට සාමාන්‍ය ගෙවලට හෝ දේවාලවලට මෙන් කොට පැත්තෙන් ඇතුළුවන්ට දොරක් තනා තිබුණ බව පෙනේ. අසුන්වලට සුදුසු වන්නේ චතුරශ්‍ර ගෙවල්ය. එහෙත් වටදාගෙය අනුගමනය කොට වෘත්තාකාර ගෙවල් සෑදුවා විය හැකිය. පසුව, යට දැක්වූ ලෙස පිළිමගේ අනුව ආසනය සඳහාගේ සාදන්නට ඇත. මේ ආකාරයෙන් නිගමනය කරගත හැක්කේ වටදාගෙය හා බෝධිඝරය එක් අවස්ථාවක ද පිළිමගේ හා අසුන් ඉන් පසුව ද ප්‍රභව වූ බවයි. ලංකාවේ දැනට සොයාගෙන ඇති ආසනඝර සමහරක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. කටුවන්නාව : කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුව බද කටුවන්න කෝරළේ කුඩා කටුවන්නාව පන්සල් භූමියේ විශේෂ නිර්මාණයකින් යුක්තව කරන ලද ගෙයක ගල්කණු ශේෂව තිබේ. එහි අඟල් 14 ක් පමණ ගනකම ඇති, දැනට පොළොවෙන් අඩි අටක් උස්ව පිහිටි, අඩි 9 කුත් අඟල් 9 ක් උස අටැස් ගල්කණු 20 ක් වෘත්තාකාරයෙන් හිටුවා ඇත. ගොඩනැඟිල්ලේ විෂ්කම්භය අඩි 40 කි. වෘත්තය මධ්‍යයේ පැත්ත අඩි එකහමාරක් වූ සමචතුරශ්‍ර ගල්කණු හතරකින් පැත්ත අඩි දහයමාරක් වූ සමසතරැස් බිමක් ලකුණු වෙයි. බටහිර අතින් වූ ගල්කණු දෙක හා ගෙය වටේ ගල්කණුත් අතරේ අඩි 12 කුත් අඟල් 8 ක් දිග හා අඩි 5 ක් පමණ පළලැති ගල් පෝරුවක් ද මැද චතුරශ්‍රයේ බටහිර අංගයේ අඩි අටහමාරක් දිග හා අඩි තුනහමාරක් පමණ පළලැති ගල්පුවරුවක් ද උතුරේ සිට දකුණට දිග අත එන සේ තබාතිබේ. අසුන්ගෙය පිහිටියේ උස්භූමියක කළ දාගැබකට නැගෙනහිරින්ය. පුළුකුණාව : මඩකලපු දිසාවේ මන්මුණේ පත්තුවේ පැරැණි ගුහාලිපි ආදිය ඇති පුළුකුණා කන්ද පාමුල මිටියාවතේ ඇති පැරැණි ගොඩනැඟිලි අත්තිවාරම් අතර ආසනයක් සහිත අසුන්ගෙයක අත්තිවාරමක් ඇත. මෙහි අඩි 14 කුත් අඟල් 8ක් දික් වූ , අඩි 5 කුත් අඟල් 5 ක් පළල , අඩි දෙකක් ඝන වූ , මුදුන ඔපකළ අසුනක් සඳහා පිළියෙල කළා වූ ගල්පෝරුවක් අඩි දෙකක් පමණ උස් වූ නොකැපු ගල්කණු උඩ තබා තිබේ. ගල්ලෑල්ලේ බොරදම දක්වා වැසෙන සේ ගඩොලින් බිත්ති බැඳ තිබෙන්නට ඇත. ආසනය උදෙසා කළ ගෙය වෘත්තාකාරවූ බව ලීකණු හිටවීම සදහා පොළොවේ පිහිටෙව්වාවූ ගලින් කළ කණුපාදම්වලින් පෙනේ. අසුන් ගෙය කණු 24 ක් පිට නංවා තිබෙන්නට ඇත. කණු පාදම් 23 ක් සම්බ වී තිබේ. එක කණුවක අඩුව දැනෙයි. ගෙට හතර පැත්තෙන් ම ඇතුළුවන්ට පුළුවන් වී තිබෙන්නට ඇත. ප්‍රධාන දොරටුව නැගෙනහිරින් පිහිටියේයයි සිතන්නට ඉඩ තිබෙන්නේ අසුන්ගෙය කර ඇති බිම් මට්ටමට පහත් වූ බිමක අණ්ඩාකාරයට තැනූ ගොඩනැඟිල්ලක් පිහිටි බවට සාක්ෂි වන අසුන්ගෙයි කණුපාදම්වලට සමාන වූ ගලින් කළ කණුපාදම් තිබීම නිසයි. මෙය අසූන්ගෙය පිණිස තැනූ මණ්ඩපය විය හැකිය. අසුන්ගෙය සමීපයේ උතුරට කුඩා දාගැබක් ඇත. ඒ ළඟ ඡත්‍ර ලකුණින් යුක්ත වූ සිරිපතුලක් කැපු ගලකි. අසුන්ගෙයට හා මණ්ඩපයට දකුණේ පොකුණු දෙකක් වේ. හම්මිල්ලවැටිය : අනුරාධපුර දිසාවේ හුරුළුපළාත බද බටහිර කුංචුට්ටු කෝරළේ උස්ගොඩැල්ලක පිහිටි වෘත්තාකාරව තිබුණේ යයි සිතිය හැකි අසුන් ගෙයක පිහිටි ආසනයක් ද දිගින් අඩි 14 අඟල් 10ක් හා පළලින් අඩි 6 කුත් අඟල් 9 ක් වේ. ගල මුදුනත ලක්ෂණට මැදලාය. එහි අඩි එකහමාරක් පමණ වූ ලීස්තරය නොයෙක් අන්දමේ බොරදමින් යුක්තය. එකපෙළට පොළොවේ සිට අඩි 8 ක් උස් වූ කණු හතකින් යුක්ත වූ පේළි 7 කින් කරන ලද ගෙයක් තුළ අඩි දෙකක් පමණ උස් වූ ගල්කණු මත්තේ ආසනය පිහිටුවා ඇත. අසුන ළඟ බිම අඩි 5 කුත් අඟල් 10 ක් දිග හා අඩි 2 කුත් අඟල් 10 ක් පළල. බොරදම් සහිත ලීස්තර ඇති ගල් පෝරුවක් ද අඩි 3 කුත් අඟල් 9 ක් දිග අඩි 2 කුත් අඟල් 10 ක් පළල , චාම් ලීස්තර සහිත ගල්ලෑල්ලක් ද තිබේ. අසුන්ගල පිහිටි ගොඩැල්ලට උතුරෙන් පිහිටි ගොඩැල්ලට නැඟීමට පඩි ඇති නිසා ද එහි දාගැබක ලකුණු නොපෙනෙන නිසා ද එය මිහිඳුරහතන්වහන්සේ වැඩි සමයෙහි අනුරාධපුරයෙහි පිහිටි මුවලින්දමාලකය ආදිය සදිසි වූ මාලකයක් දැයි යන්නත් විමසා බැලිය යුතුයි. උත්තිමඩුව: හුරුළුපළාතේම උලගල්ල කෝරළේ උත්තිමඩුව නම් ගමේ ද අසුන්ගෙයක අවශේෂ ඇත. එහි පිහිටි අසුන දිගින් අඩි 11 කුත් අඟල් 8 කි. පළල අඩි පහකි. ගල්පෝරුවේ වැඩි ම ඝනකම අඩියකුත් අඟල් 2 කි. පසු බිත්තිය අතට වූ බටහිර අද්දර හැරෙන්නට ගපෝරුවේ අනික් තුන්පැත්තම බොරදමින් යුක්තය. අසුන අඩි දෙකක් උස ගල්කණු මත පිහිටුවා ඇත. බිත්ති කලින් ගඩොලින් බැඳ තිබෙන්නට ඇත. නැගෙනහිරට මුහුණ ලා සෑදු අඩි 22 ක් දිග හා අඩි 15 ක් පළල ඇති චතුරශ්‍ර ගෙයක බටහිර අංශයේ උතුරේ සිට දකුණට අසුන තබා තිබේ. එසේ කොට ඇත්තේ බුදුගෙවල හිටිපිළිම හෝ වැඩ ඉන්නා පිළිම තබන අන්දමටයි. ආසනයට පිටිපසින් ගඩොලින් බඳින ලද චතුරශ්‍ර වේදිකාවකි. එහි පොළොවට ගඩොල් අල්ලා තිබේ. දාගැබ් අංගණ හා ආසන : දාගැබ් වටේ ම පිහිටුවා තිබෙන ආසනවලට කලක පටන් මලසුන් ( මල් අසුන්) යයි කියනු ලැබේ. ඒවා මල් පූජාව පිණිස ප්‍රයෝජනයට ගනු ලැබේ. එහෙත් දාගැබ් වටේම සිරිපතුල් හා පසුව බුදුපිළිමත් තබන ලදුවා සේ ආසන ද පිහිටෙව්වේ ඒවා උඩ මල් තැබීම පිණිස නොව ඒ අසුන්වලට වන්දමානන කිරීමටය. ඉහත දැක්වූ ආටානාටිය සුත්‍ර පාඨයෙන් “ විහාරයට ගෙන්නවා සෑ අඟණේ හෙළවා අසුන්පුද කරවා ” යන්නක් කීමෙන් පුද පිණිස දාගැබ්මළුවල ආසන තබා තිබුණු බව ඔප්පු වෙයි. ගෙයක් නැතුව විශාල ගල්ආසන රුවන්වැලිසෑ මළුව පටන්කොට නොයෙක් තැන දක්නට ඇත. යම්සේ දාගැබ් මළුවල පිහිටි බුදුපිළිමවලට ආවරණය පිණිස බුදුගෙවල් සාදන ලද්දේ ද එසේ ම සෑමළුවල පිහිටි අසුන්වලට ආවරණය පිණිස ද ගෙවල් ඉදි කරන ලදි. මෙබඳු අසුන්ගෙවල් සේරුවිල චෛත්‍යරාජයාගේ සතර පැත්තේ තිබී ඇත. එම චෛත්‍යය පිළිබඳ අභිනව ප්‍රතිසංස්කරණ වල දී එහි ගල් ආසනවලට ද අලුත් ක්‍රමයේ ආවරණ සාදා තිබේ. දැන් මේවාට මලසුන් ගෙවල් යයි කියතත් ඒවා සාදා ඇත්තේ පැරැණි අසුන් ගෙවල්වල අත්තිවාරම් උඩය. සේරුවිල ගල් ආසන දිග අඩි 11 සිට පළල අඩි 6 දක්වා විශාලය. ඝනකම අඟල් 9 දක්වාය. මේ ආසන මත්තේ වටේට අඟල් 4 ක පමණ තීරුවක් බේරා මැද පාත් කොට ඇත. රුවන්වැලි සෑයේ ද එබඳු ගල් ආසන තුනක් බටහිර වාහල්කඩ සමීපයේ ඇත. බුදුපිළිමය දියුණුවුණායින් පසුව ද ආසනපූජාව කරගෙන ගොස් තිබේ. ඇතැම් තැන බෞද්ධ භික්ෂූන්වහන්සේ බුදු පිළිමය නොපිළිගෙන ආසන හෝ සිරිපතුල් හෝ වැඳීම ම කරගෙන ගියහයි සිතන්ට ඉඩ තිබේ. නැගෙනහිර පළාතේ රාජගල මෙබඳු තැනක් විය හැකිය. කල්යෑමේ දී පිළිමය අසුන පරදවා තිබේ. මෙසේ අසුන්ගෙවල් නැති වී ගියේය , නැතහොත් බුදුගෙවලට පෙරළිණ. “ අසුන්ගෙය නම් පිළිම ගෙය ” යයි ටීකාකාරයන් විසින් අර්ථ කියන ලද්දේ ඒ නිසා විය යුතුයි. චාල්ස් ගොඩකුඹුරේ

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආසනඝරය&oldid=6797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි