නිත්‍ය ජාත්‍යන්තර යුක්ති අධිකරණය
(Permanent Court of International Justice). දෙවන ලෝක යුද්ධයට පසුව නිත්‍ය ජාත්‍යන්තර යුක්ති අධිකරණය එක්සත් ජාතීන්ගේ වර්තමාන ප්‍රධාන අධිකරණ ආයතනය වන අන්තර්ජාතික යුක්ති අධිකරණය (International Court of Justice) බවට පත්විය. දීර්ඝ කාලයක සිට ජාතික සහ අන්තර්ජාතික සංවිධාන, ප්‍රවීන රාජ්‍යතාන්ත්‍රිකයෝ සහ සෙසු ප්‍රදේශීය සංවිධාන ජාතීන් අතර ඇතිවන ගැටුම් සාමකාමීව විසඳා ගත හැකි මාර්ග සෙවීමේ නිරත වූහ. පරීක්ෂණ කොමිෂන් සභා, සමථකරණය හා බේරුම්කරණය එලෙස භාවිත කළ ක්‍රමෝපායයෝ වූහ.
කාලාන්තරයක් මුළුල්ලේම බේරුම්කරණය අධිකරණමය විසඳුම් ක්‍රමයක් (judicial settlement) ලෙස රාජ්‍යයන් විසින් භාවිත කෙරුණි. එකල පැවති මතභේද (disputes) සහ අනාගතයේ මතුවිය හැකි ගැටුම් බේරුම්කරණය මඟින් නිරාකරණය කිරීමට හැකි වන අයුරින් විධිවිධාන අඩංගු වූ බොහෝ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සම්මුතීන් (treaties) හා ගිවිසුම් විටින් විට බිහි විය. ක්‍රි.ව. 1899 සහ 1907 දී පැවැත්වූ සාමය පිළිබඳ පළමුවන සහ දෙවන හේග් සම්මන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ අන්තර්ජාතික මතභේද සාමකාමීව විසඳීම පිළිබඳ සම්මුති (conventions for the pacific settlement of international disputes) බේරුම්කරණය ගැටුම් නිරාකරණය කර ගැනීමේ ක්‍රමයක් ලෙස හඳුන්වා දුන් බහුපාර්ශ්වික සම්මුතීන් අතර ප්‍රමුඛස්ථානය ගනී.
ගැටුම් සාමකාමීව විසඳීමේ ක්‍රියාවලියේ සන්ධිස්ථාන ලෙස බොහෝ ජාත්‍යන්තර බේරුම්කරන ක්‍රියා පද්ධතීන් ස්ථාපනය වීම සහ එමඟින් ජාත්‍යන්තර නීති විද්‍යාවට වැදගත් මෙහෙයක් ඉටුවී තිබුණ ද ස්ථිර ලෙස ප්‍රතිස්ථාපනය වූ යුක්ති අධිකරණයකින් වෙන් වූ සචල පර්ෂද (ad hoc tribunals) මත විශ්වාසය තැබීම මඟින් සෑහීමට පත්විය නොහැකි බව පෙනෙන්නට විය. බේරුම්කරණය මඟින් අපක්ෂපාතීව මතභේද නිරාකරණය කර ගැනීමට රාජ්‍යයන් අකමැති නොවූවත්, බේරුම්කරුවන් (arbitrators) අපක්ෂපාතී නොවන බවට ජාතීන් අතර පැවති අවබෝධය එවැනි ගැටුම් බේරුම්කරණය වෙත යොමු කිරීමට එරෙහි වූ ප්‍රධාන බාධකය එය බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් එලියු රූට් (Elihu Root) දෙවන හේග් සම්මන්ත්‍රණයට සහභාගී වූ ස්වකීය දූත මණ්ඩල උපදෙස් මාලාවේ සඳහන් කෙළේය. අධිකරණමය වගකීම පිළිබඳ වැටහීමක් ඇති, ස්වකීය කාලය පූර්ණ ලෙස අන්තර්ජාතික ගැටලු විසඳීමට යෙදවිය හැකි වේතන හිමි අධිකරණ නිලධාරීන් සහිත ස්ථිර බේරුම්කරණ අධිකරණයක් (Permanent Court of Arbitration) පිහිටුවීමට උත්සාහ ගන්නා ලෙස හේ ස්වකීය නියෝජිතයන්ට උපදෙස් දුන්නේය. 1899 සම්මුතිය සංශෝධනය කළ ද එය රූට්ගේ යෝජනාවලට ඉඳුරාම වෙනස් විය. එම සංශෝධන මඟින් පූර්ණකාලීන විනිසුරන් පත්කිරීම සඳහා විධිවිධාන ඇති නොකළ අතර යම් විශේෂිත ගැටුමක් විසඳීම සඳහා බේරුම්කරුවන් තෝරාගත හැකි වන පරිදි විනිසුරු මඬුල්ලක් පමණක් ස්ථාපනය කෙළේය.
එහෙත් 1970 දී පැවැත්වූ සම්මන්ත්‍රණය මගින් ස්ථිර සේවා කාලයක් සඳහා නිශ්චිත වේතනයක් මත ක්‍රියා කරන විනිසුරන්ගෙන් සැදුම්ලත් බේරුම්කරණමය යුක්ති අධිකරණයක් ස්ථාපනය කිරීම සඳහා කෙටුම්පත් සකස් කළේය. නමුත් එම කෙටුම්පත් සම්මුතිය රාජ්‍යයන් පිළිනොගත් අතර එකී බේරුම්කරණ අධිකරණයද ස්ථාපනය නොකරන ලදි. එහෙත් මෙම කෙටුම්පත් සම්මුතිය පසුකාලීන වර්ධනයන් සඳහා මහෝපකාරී විය.
පටුන
නිත්‍ය ජාත්‍යන්තර යුක්ති අධිකරණය පිහිටුවීම
ජාත්‍යන්තර යුක්ති අධිකරණය පිහිටුවීමේ ඓතිහාසික ක්‍රියාවලියේ දෙවන පියවර 1920 දී පිහිටුවන ලද ජාතීන්ගේ මණ්ඩලය (League of Nations) විසින් ගනු ලැබිණි. එනම් ජාතීන්ගේ මණ්ඩල ව්‍යවස්ථාවේ 14 වන වගන්තියට අනුව නිත්‍ය ජාත්‍යන්තර යුක්ති අධිකරණය ස්ථාපනය කිරීම සඳහා පියවර ගනු ලැබීය. එකී 14 වන වගන්තිය ප්‍රකාර, "ජාතීන්ගේ මණ්ඩලය විසින් නිත්‍ය ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීම සඳහා සැලසුම් සකස් කිරීම සහ එය පිළිගැනීම සඳහා සාමාජික රාජ්‍යයන් වෙත ඉදිරිපත් කළ යුතුය. ජාත්‍යන්තර ස්වරූපයේ ඕනෑම ගැටුමක් අදාළ පාර්ශවයන් විසින් ඉදිරිපත් කළ විට එය විසඳීමට හා තීරණය කිරීමට අධිකරණ බලය (jurisdiction) තිබිය යුතුය. ජාතීන්ගේ මණ්ඩලය හෝ වෙනත් සභාවක් විසින් ඉදිරිපත් කරන ලද ඕනෑම මතභේදයක් සම්බන්ධයෙන් උපදේශාත්මක මත ඉදිරිපත් කිරීමට අධිකරණයට හැකි විය යුතුය".
සාමාජිකයන්ට පිළිගත හැකි සැලසුමක් සකස් කිරීම සඳහා විනිශ්චයකරුවන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළේය. එම වසරේ ජූනි සහ ජූලි මාසවල හේග් නුවර පැවති රැස්වීම්වලට සහභාගී වීමෙන් පසුව කමිටුව විසින් කෙටුම්පතක් සකස් කළ අතර එම කෙටුම්පත සංශෝධන කිහිපයක් සහිතව 1920 දෙසැම්බර් මස 13 වන දින ජාතීන්ගේ මණ්ඩලය විසින් අනුමත කරන ලදි. 1921 සැප්තැම්බර් මාසයේ දී ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජික රාජ්‍යයන්ට ඉදිරිපත් කරන ලදුව බහුතර සාමාජික රාජ්‍යයන් එකී කෙටුම්පතට අනුමැතිය දීමත් සමඟම මෙය නිත්‍ය ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ව්‍යවස්ථාව බවට පත්විය.
විනිශ්චයකරුවන්ගේ සුදුසුකම්, තේරීමේ ක්‍රමය, ධුර කාලය, අධිකරණ පාත්‍රතාව (court jurisdiction) හා කාර්ය පටිපාටික ක්‍රමය පිළිබඳව මෙම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සලසා තිබුණි. විනිසුරන් 11 දෙනකු සහ නියෝජ්‍ය විනිසුරන් 4 දෙනකුගෙන් සමන්විත පළමු අධිකරණය 1921 සැප්තැම්බර් මස 14 සහ 16 යන දිනවල දී තෝරා ගන්නා ලදි. 1936 දී ව්‍යවස්ථාවට ඇති කරන ලද සංශෝධන අනුව, නියෝජ්‍ය විනිසුරන් සඳහා වූ විධිවිධානය ඉවත් කළ අතර විනිසුරන් 15 දෙනකුගෙන් සමන්විත අධිකරණයක් පිහිටුවන ලදි.
නිත්‍ය යුක්ති අධිකරණයේ පළමු රැස්වීම නෙදර්ලන්තයේ හේග් නුවර දී 1922 ජනවාරි මස 30 වන දින පැවැත්වීය. දෙවන ලෝක යුද්ධය හේතුවෙන් එහි ක්‍රියාකාරිත්වයට බාධා පැමිණෙන තුරුම නිත්‍ය යුක්ති අධිකරණය ස්වකීය ස්ථිර රැස්වීම් පැවැත්වීය. අධිකරණයේ අවසාන රැස්වීම, එනම් පරිපාලනය පිළිබඳ රැස්වීමක් වූ මෙය 1945 ඔක්තෝබර් මස දී පැවැත්විණි.
නිත්‍ය ජාත්‍යන්තර යුක්ති අධිකරණය බලපැවැත් වූ කාලය තුළ දී තීරණ 31ක් සහ උපදේශාත්මක මත (Advisory opinion) 27ක් ප්‍රකාශ කර තිබුණි. ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකයන්ට සහ සම්මුතියේ සඳහන් වෙනත් රාජ්‍යයන්ට අධිකරණ කටයුතු විවෘත විය. අධිකරණ පාත්‍රතාව පිළිගැනීම අනිවාර්ය නොවූ අතර ස්වකීය මතභේද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හෝ නොකිරීමට නිදහස එකී රාජ්‍යයන් සතු විය. ව්‍යවස්ථාවේ 36 වන වගන්තිය ප්‍රකාර, සාමාජික රාජ්‍යයන් මුල් පිටපත (protocol) අත්සන් කරන විට හෝ අනුමත කරන විට එනයින්ම අධිකරණයේ පාත්‍රතාව යම් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් නැතහොත් යම් සුවිශේෂිත කරුණක් සම්බන්ධයෙන් හෝ අනිවාර්ය ලෙස පිළිගන්නා බවට ප්‍රකාශ කිරීමේ වරප්‍රසාදය ලබා දී තිබුණි. එකී ප්‍රකාශයන් (declaration) කොන්දේසි රහිතව හෝ රාජ්‍ය කිහිපයක එක් කාලයකට පමණක් පවත්නා අන්‍යෝන්‍යතාව යන කොන්දේසිය මත හෝ සකස් කිරීමට හැකියාව තිබුණි. අධිකරණය පවත්නා කාලය තුළ දී රාජ්‍යයන් 53 වන ව්‍යවස්ථාවේ 36 වන වගන්තිය පිළිගෙන අත්සන් කළ අතර එමඟින් අධිකරණයේ සාත්‍රතාව අනිවාර්ය ලෙස පිළිගෙන තිබේ. මෙම රාජ්‍යයන් 53 නම් ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රියාව, බර්බඩෝස්, බෙල්ජියම, බොට්ස්වානා, කම්බෝජියාව, කැනඩාව, කොලොම්බියාව, කොස්ටාරිකා, සයිප්‍රස්, ඩෙන්මාර්කය, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, එල්සැල්වදෝරය, පින්ලන්තය, ගැම්බියාව, ගිනිබිසව්, හයිටි, හොන්ඩුරාස්, ඉන්දියාව, ජපානය, කෙන්යාව, ලයිබීරියාව, ලක්සම්බර්ගය, මලාවි, මෝල්ටා, මුරුසි දිවයින, මෙක්සිකෝව, නාවුරු, නෙදර්ලන්තය, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, පාකිස්ථානය, පැනමා, ෆිලිපීනය, පෝලන්තය, පෘතුගාලය, සෙනගල්, සෝමාලියාව, ස්පාඤ්ඤය, සුඩානය, සූරිනාම්, ස්වාසිලන්තය, ස්වීඩන්, ස්විට්සර්ලන්තය, ටෝගෝ, උගන්ඩා, එක්සත් රාජධානිය හා උතුරු අයර්ලන්තය, උරුගුවේ සහ සයිරේස් යන රාජ්‍යයන් වේ.
නිත්‍ය අධිකරණයේ ව්‍යවස්ථාවට එක්සත් ජනපදය පාර්ශවයක් නොවූ අතර එකී ව්‍යවස්ථාව පිළිගැනීම සඳහා ඉදිරිපත් කරන ලද සෙනෙට් යෝජනාව 1935 ජනවාරි 29 වන දින නියමිත තුනෙන් දෙකේ ඡන්ද ප්‍රමාණය නොලැබීම නිසා අසාර්ථක විය. එහෙත් අධිකරණය පැවති කාලය මුළුල්ලේ ම එක්සත් ජනපද විනිසුරුවරයකු එහි කටයුතුවලට සහභාගි විය.
අන්තර්ජාතික යුක්ති අධිකරණය පිහිටුවීම
දෙවන ලෝක යුද්ධයෙන් පසුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (League of Nations) ආරම්භයත් සමගම ජාතීන්ගේ සංවිධානය සහ නිත්‍ය ජාත්‍යන්තර යුක්ති අධිකරණය ද විසුරුවා හරින ලදි. එහෙත් නව ජාත්‍යන්තර යුක්ති අධිකරණය (International Court of Justice) පිහිටුවන තුරු නිත්‍ය ජාත්‍යන්තර යුක්ති අධිකරණය විසුරුවා නොහරින ලදි. මෙම අවස්ථාව වන විට එක්සත් ජනපදය ඇතුළු සෑම රාජ්‍යයක්ම අවබෝධ කරගෙන තිබූ කරුණක් වූයේ සාමය ස්ථාපනය කරන්නා වූ ඕනෑම සංවිධානයකට අන්තර්ජාතික යුක්ති අධිකරණයක් අත්‍යවශ්‍ය ආයතනයක් වන බවයි. මේ නිසා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 92 වන වගන්තිය මෙසේ විධිවිධාන සලසා තිබේ. "අන්තර්ජාතික යුක්ති අධිකරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අධිකරණමය ආයතනය විය යුතුය. මෙකී ප්‍රඥප්තියට අනුබද්ධිත නිත්‍ය ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ව්‍යවස්ථාව මත මෙකී අන්තර්ජාතික යුක්ති අධිකරණය පදනම් විය යුතු අතරම එය මෙම ප්‍රඥප්තියේ අනුල්ලංඝනීය කොටසක් ද වේ". 93 වන වගන්තියට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජිකයෝ එක යුක්ති අධිකරණ ව්‍යවස්ථාවට ද සාමාජිකයෝ වන අතර සාමාජිකයකු නොවන රාජ්‍යයකට ආරක්ෂක මණ්ඩලයේ (Security Council) අනුමැතිය මත, මහා සභාවේ (General Assembly) තීරණය මත සාමාජිකත්වය ලබාගත හැකිය. මෙම අධිකරණයේ විනිසුරුවන් 15 දෙනෙකු සිටිය යුතු අතර ඔවුන්ගෙන් දෙදෙනකු එකම රාජ්‍යයක ජාතිකයන් දෙදෙනකු නොවිය යුතු අතර මොවුන් තෝරා පත්කර ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාව හා ආරක්ෂක මණ්ඩලය විසින් කරනු ලබයි. මෙම විනිශ්චයකරුවෝ වර්ෂ නවයක ධුර කාලයක් සඳහා තෝරාගන්නා අතර නැවත තෝරාගැනීමට ද සුදුස්සෝ වෙති.
අන්තර්ජාතික යුක්ති අධිකරණයේ මූලස්ථානය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබෙන නමුත් අවශ්‍ය යැයි හැඟී යන වෙනත් ඕනෑම ස්ථානයක දී එහි සැසිවාර පැවැත්වීමට හැකිය. පළමු සැසි වාරය 1946 අප්‍රේල් හා මැයි මාසවල දී හේග් නුවර දී පවත්වන ලදි.
අන්තර්ජාතික යුක්ති අධිකරණය අඛණ්ඩ නෛතික ආයතනයක් වන අතර එහි ව්‍යවස්ථාපිත විවිධානවලට අනුව යුක්ති අධිකරණයේ නිවාඩු කාලයක් හැර සෙසු සෑම කල්හිම ස්ථිර සැසිවාර ලෙස ක්‍රියාත්මක වේ. මෙය ස්වාධීන ආයතනයක් වන අතර සභාපති, උපසභාපති, ලේඛකාධිකාරී හා අනෙකුත් පරිපාලන නිලධාරීන් තෝරාපත් කර ගැනීම ද කරනු ලබයි. අධිකරණයේ සභාපති හා ලේඛකාධිකාරී හේග් නුවර වාසය කිරීම ද අත්‍යවශ්‍ය වේ.
විනිශ්චයකාරවරු
යුක්ති අධිකරණය සඳහා තෝරාගනු ලබන විනිසුරුවන් හට සුවිශේෂ සුදුසුකම් තිබිය යුතු අතර තෝරා පත්කර ගැනීමෙන් පසු ඔවුහු ස්වකීය රාජ්‍යයන් නියෝජනය කිරීම ද අහෝසි කළ යුතුය. ඔවුහු සමස්ත අන්තර්ජාතික ප්‍රජාව නියෝජනය කරති. තෝරාගත යුතු විනිසුරුවන් පිළිබඳව නාම යෝජනා ඉදිරිපත් කිරීම ද ඔවුන් අයත් වන රාජ්‍යයන්හි ආණ්ඩු විසින් නොව එම රාජ්‍යයන්හි ජාතික කණ්ඩායම් (national groups) විසින් කරනු ලබයි. මෙහි පරමාර්ථය වන්නේ නාම යෝජනා සම්බන්ධයෙන් හැකිතාක් දුරට දේශපාලන බලපෑම් ඉවත් කිරීමයි.
යුක්ති අධිකරණයේ ව්‍යවස්ථාවේ ප්‍රකාශිත පරිදි, විනිශ්චයකරුවන් තෝරා පත් කර ගැනීමේදී මහා සභාව සහ ආරක්ෂක මණ්ඩලය ස්වාධීනව සහ එකිනෙකින් වෙන්ව ක්‍රියා කරන අතර පත්කර ගත යුතු විනිසුරුවන් සෑම දෙනාගේම සුවිශේෂිත සුදුසුකම් පිළිබඳව පමණක් නොව ලෝකයේ සෑම ප්‍රධාන නීති පද්ධතියක්ම සහ මානව ශිෂ්ඨාචාරයක්ම නියෝජනය වන පරිදි එකී විනිසුරුවන් තෝරාපත් කර ගැනීමද අත්‍යවශ්‍ය වේ. මහා සභාවේ සහ ආරක්ෂක මණ්ඩලයේ බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා පුද්ගලයා අන්තර්ජාතික යුක්ති අධිකරණයේ විනිසුරුවරයකු ලෙස තේරී පත්වූ ලෙස සලකයි. විනිශ්චයකාරයන් හට ස්වකීය නිලයට සුදුසු වන පරිදි ප්‍රමාණික වේතනයක් ලැබෙන අතර ඔවුහු නිලයට නොගැලපෙන අයුරින් සිදුවිය හැකි සියලු ක්‍රියාවලින් වැළකී සිටිය යුතුය. මෙහි පරමාර්ථය වන්නේ යම් විනිසුරුවරයකු ඉදිරියට පමුණුවන ලද ආරවුලක් සම්බන්ධයෙන් පූර්ව නිශ්චිත මතයක් ඇතිවීම වැළැක්වීමත්, පරිපූර්ණවූත් අපක්ෂපාතීවූත් තීරණයකට එළඹීම සඳහා ඉඩ සැලසීමත්ය. සෑම විනිසුරුවරයෙකුම ස්වකීය නිලයේ වැඩබාර ගැනීමට ප්‍රථම නිලයේ කාර්යයන් අපක්ෂපාතී ලෙසත් හෘද සාක්ෂියට අනුකූල ලෙසත් ඉටු කරන බවට විවෘත අධිකරණයේ ප්‍රතිඥාවක් දිය යුතුය. මෙම කාර්යයන් නියමාකාරයෙන් ඉටු කිරීම පහසු කිරීම උදෙසා යුක්ති අධිකරණයේ සෑම විනිශ්චකාරයකුටම අධිකරණ කටයුතුවල නියැලී සිටින විට දී තානාපති වරප්‍රසාද හා විනිර්මුක්තීන් ලබා දී තිබේ. යුක්ති අධිකරණයේ ඝණ පූර්ණය සඳහා විනිශ්චයකරුවන් නව දෙනකු සිටිය යුතු වුවත් ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි, ප්‍රකාශිතව වෙනත් දෙයක් සඳහන් වන විට දී හැර අන් සෑම අවස්ථාවක දී ම පූර්ණාධිකරණය විසින් ම අදාල නඩුහබ විමර්ශනය කළ යුතුය. අවස්ථාවෝචිත පරිදි එක් විනිසුරුවරයකු හෝ දෙදෙනකු යම් ගැටුමක් විමර්ශනය කිරීම සඳහා නොපැමිණිය හැකි වුවත් එවිට සිටිය යුතු අවම විනිශ්චයකරුවන් සංඛ්‍යාව 11 දෙනකුට වඩා අඩු නොවිය යුතුය. මරණය හෝ වෙනත් කරුණක් නිසා ඇතිවන පුරප්පාදු සඳහා ඉහත සඳහන් කළ අයුරින්ම සුදුස්සන් තෝරා පත් කර ගත යුතුය. ධුර කාලය අවසන් නොවූ විනිසුරුවරයකුගේ ඇවෑමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා තෝරා පත්කරගත් සාමාජිකයකු එම ධුරයේ ඉතිරි කාලය නිමවන තෙක් ධුරය දැරිය යුතුය.
යුක්ති අධිකරණයේ ශක්‍යතාව
ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ කාර්යභාරය වන්නේ රාජ්‍යයන් දෙකක් අතර ගැටුම් පිළිබඳ නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීම වන හෙයින් යුක්ති අධිකරණය ඉදිරියට පමුණුවන නීති කෘත්‍යයන්හි පාර්ශවයන් විය හැක්කේ රාජ්‍යයන්ට පමණි. යුක්ති අධිකරණ ව්‍යවස්ථාවට පාර්ශවයක් නොවන රාජ්‍යයන්ට ද, ආරක්ෂක මණ්ඩලය විසින් පනවනු ලැබ ඇති කොන්දේසිවලට අනුකූලව, මෙම අධිකරණය ඉදිරියට පමුණුවන නීති කෘත්‍යයක පාර්ශ්වකරුවකු වීමට හැකිය.
යුක්ති අධිකරණ ව්‍යවස්ථාවේ ප්‍රකාශිත විවිධාන පරිදි, ජාතීන් අතර ඇතිවන ගැටුම් අන්තර්ජාතික නීතියට අනුකූලව විසඳීම අධිකරණයේ මූලික යුතුකම වේ. මෙවැනි ගැටුම් පිළිබඳව තීරණ ගැනීමේ දී අධිකරණය විසින් පහත සඳහන් මූලිකාංග අදාල කරගත යුතුය.
1. විවාදිත පාර්ශ්වයන් විසින් පිළිගෙන තිබෙන අන්තර්ජාතික සම්මුතීන්
2. නීතියක් ලෙස සාමාන්‍ය වශයෙන් භාවිත කළ බවට සාක්ෂි ඇති අන්තර්ජාතික සිරිත්
3. ශිෂ්ඨ සම්පන්න ජාතීන් විසින් පිළිගෙන ඇති නෛතික මූලධර්ම
4. අධිකරණ තීරණය සහ විවිධ ජාතීන්ට අයත් ඉතා උසස් සුදුසුකම් ඇති විශේෂඥයන්ගේ ඉගැන්වීම්
තවද පාර්ශ්වයන්ගේ එකඟතාව මත ex aequo et lcono හෙවත් සාධාරණ නිගමන (fair-solution) යන පදනම මත ද යුක්ති අධිකරණයට එකී ගැටුම් තීරණය කළ හැකිය.
කාර්ය පටිපාටිය
ප්‍රංශ සහ ඉංග්‍රීසි යුක්ති අධිකරණයේ නිල භාෂාවන් වන අතර පාර්ශවයන්ට ඉන් ඕනෑම භාෂාවක් භාවිත කළ හැකිය. එක් භාෂාවකින් ඉදිරිපත් කරනු ලබන ලිඛිත ආයාචන සහ වාචික විවාදයන් අන් භාෂාවට ද පරිවර්තනය කරනු ලබයි. පාර්ශ්වයන් විසින් එළඹෙන ලද විශේෂිත ගිවිසුම් ප්‍රකාර දැනුම් දීමකින් හෝ එක් පාර්ශවීය ලෙස ලේඛකාධිකාරී වෙත ඉදිරිපත් කරනු ලබන ලිඛිත අයදුම් පත්‍රයක් මගින් යුක්ති අධිකරණය ඉදිරියට ස්වකීය නඩුහබය ඉදිරිපත් කළ හැකිය.
අධිකරණ කෘත්‍යයන් දෙයාකාරයකින් සිදුවේ. එනම් වාචික හා ලිඛිත යනුවෙනි. යුක්ති අධිකරණය තීරණය කළ පසු කෝෆු ඇල (එක්සත් රාජධානිය එ. ඇල්බේනියාව - Corfu channel – United Kingdom v Albania – 1949) යන නඩු තීරණයේ දී මෙම දෙයාකාර වූ නීති කෘත්‍යයන් භාවිත කළේය. යුක්ති අධිකරණයට සාක්ෂිකරුවන් විභාග කිරීමට සහ විශේෂඥ මත හා වාර්තා ලබා ගැනීම සුදුසු යැයි හැඟී යන විට දී විමර්ශන කොමිෂන් සභා පත්කිරීමට ද හැකිය.
යුක්ති අධිකරණයේ අන්‍යෝන්‍ය මත විමසීම් රහස්‍ය ලෙස සිදුවන නමුත් බහුතර චන්දයෙන් අනුමැතිය ලත් තීන්දු ප්‍රකාශයට පත් කිරීම විවෘත උසාවියේ දී සිදු කරයි. එක සමාන ඡන්ද ප්‍රමාණයක් ලැබුණු විට දී සභාපති විනිසුරුවරයාට තීරක ඡන්දය භාවිත කළ හැකිය. සවුත් වෙස්ට් ඇෆ්‍රිකා (South-West Africa) නඩුවේ දී ඡන්දය 7-7ක් ලෙස ලැබුණු විට දී සභාපති විනිසුරුවරයා සිය තීරක ඡන්දය භාවිත කළේය. යුක්ති අධිකරණයේ තීරණය අවසානාත්මක වන අතර එයට විරුද්ධව අභියාචනා කළ නොහැකි ය.
යුක්ති අධිකරණයේ තීරණ බලාත්මක කිරීම
කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පවත්වනු ලැබූ අන්තර්ජාතික සංවිධාන පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණයේ දී යුක්ති අධිකරණ ව්‍යවස්ථාව සාකච්ඡාවට භාජනය කළ විට දී, එහි තීරණ බලාත්මක කිරීම පිළිබඳ ගැටළුව සම්මන්ත්‍රණයට සහභාගී වූ සෑම නියෝජිතයකුම පෙන්වා දුන්හ. මෙම ගැටලුවට ප්‍රතිකර්මයක් ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 94 වන වගන්තියට ඇතුළත් කර ඇති වාක්‍යාංශයක් උපයෝගී කර තිබේ. එනම් "එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෑම සාමාජික රාජ්‍යයක්ම පාර්ශ්වයන් වන විට දී යුක්ති අධිකරණයේ තීරණ අනුගමනය කිරීමට බැඳී සිටී" යන පිළිගැනීමයි. මෙයට අමතරව වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධාන මගින් ද ඒ හා සමාන ප්‍රතිකර්මයක් හඳුන්වාදීම තුළින් යුක්ති අධිකරණයේ තීරණ බලාත්මක කිරීමේ හැකියාව ලබා දී ඇත.
උපදේශාත්මක මත ප්‍රකාශ කිරීම
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් බලය දානය කළ ආයතනයක් හෝ සංවිධානයක් යම් නෛතික ගැටලුවක් පිළිබඳව උපදේශාත්මක මත ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ විට දී යුක්ති අධිකරණ ව්‍යවස්ථාවේ 65 වන වගන්තිය ප්‍රකාර එවැනි කරුණක් පිළිබඳ ව උපදේශාත්මක මත ප්‍රකාශ කිරීමට හැකිය.
සාමාජිකත්වය
යුක්ති අධිකරණ ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය ප්‍රකාර අධිකරණයේ සාමාජිකයන් අවුරුදු නවයක කාලයක් සඳහා තෝරාගනු ලබන අතර නැවත තෝරා ගැනීමට ද හැකිය. තව ද සෑම අවුරුදු නවයක් අවසානයේ දී ම පූර්ණ වශයෙන් නව සාමාජික පිරිසක් තෝරා පත් කර ගැනීම වළක්වනු පිණිසත් වඩාත් පළපුරුදු සාමාජිකයන් විනිසුරු මඬුල්ලේ නිරන්තරයෙන් ම රැඳී සිටීම තහවුරු කරනු පිණිසත් එසේ තෝරාගනු ලබන සාමාජිකයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් සෑම අවුරුදු තුනකට වරක් ම තෝරාගනු ලබයි.
යුක්ති අධිකරණයේ වර්තමාන සංයුතිය
ප්‍රමුඛත්ව අනුපිළිවෙල....................රාජ්‍යය......................ධුරකාලය නිමාවන දිනය
සභාපති: සර් රොබර්ට් ජෙනින්ස්...........එක්සත් රාජධානිය..............1994 පෙබරවාරි 05
(Sir Robert Jennings)
උපසභාපති: එස්. ඕඩා..................ජපානය......................1994 පෙබරවාරි 05
(S. Oda)
විනිසුරු: එම්. ලාච්ස්...................පෝලන්තය....................1994 පෙබරවාරි 05
(M. Lachs)
ආර්. අගෝ..........................ඉතාලිය.......................1997 පෙබරවාරි 05
(R. Ago)
එස්.එම්. ස්වෙබෙල්....................එක්සත් ජනපදය.................1997 පෙබරවාරි 05
(S.M. Schwebel)
එම්. බෙඩ්ජේයු........................ඇල්ජීරියාව.....................1997 පෙබරවාරි 05
(M. Bedjaoui)
නි. ෂෙන්ගුසු..........................චීනය.........................1994 පෙබරවාරි 05
(Ni Zhengyu)
ජේ. එවන්සන්..........................නෝර්වේ......................1994 පෙබරවාරි 05
(J. Evensen)
එන්.කේ.ට්‍රාසෝම්........................රුසියානු සමූහාණ්ඩුව..............1997 පෙබරවාරි 05
(N.K. Tarassov)
ජී.ගුලිඇම්..............................ප්‍රංශය.........................2000 පෙබරවාරි 05
(G. Guillaume)
එම්. සහබුදීන්...........................ගයනාව........................1997 පෙබරවාරි 05
(M. Shahabuddeen)
ඒ. ඇගියුලර් මොම්සාලි....................වෙනිසියුලාව.....................2000 පෙබරවාරි 05
(A. Aguilar Momdsley)
සී.ජී. වීරමන්ත්‍රි..........................ශ්‍රී ලංකාව.......................2000 පෙබරවාරි 05
(C.G. Weeramantry)
ආර්.රන්ජීව.............................මැඩගස්කරය......................2000 පෙබරවාරි 05
(R. Ranjeva)
බී.ඒ. ඇජිබෝලා.........................නයිජීරියාව.......................1994 පෙබරවාරි 05
(B.A. Ajibola)
ආශ්‍රිත ග්‍රන්ථාවලිය
1. Shabtai Rosenne, The Law and Practice of the International Court, 2- vol. (1965)
2. Edvayd Hambro, the Case Law of the International Court (1952)
3. C. Wilfred Jeuks, The Prospects of the International Adjudication (1964)
4. Sir Hersch Lauterpacht, The Developments of International Law by the International Court (1958)
5. Yearbooks of International Court of Justice from 1948/49 to 1991/92.
6. Charter of the United Nations and Statute of the International Court of Justice
7. Report of the International Court of Justice (1 August 1990 – 31 July 1991, General Assembly, Official Records, Forty Sixth Session, Supplement No.4 (A/46/4)
(සංස්කරණය නොකළ)
(කර්තෘ: ආර්. ගුණරත්න)