අෂාන්ති-1

සිංහල විශ්වකෝෂය වෙතින්
15:02, 27 පෙබරවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඝානා රාජ්‍යයෙහි පිහිටි වර්ග සැතැපුම් 24,379ක් වි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඝානා රාජ්‍යයෙහි පිහිටි වර්ග සැතැපුම් 24,379ක් විශාල පළාතකි. වෝල්ටා ගඟට බටහිරින් ඝානා මධ්‍ය ප්‍රදේශයෙහි පැතිර සිටිනා මේ පළාත සාමාන්‍යයෙන් මුහුදු මට්ටමින් අඩි 1,000ක් පමණ උස්ය. අඩි 1,500–2,500 දක්වා උස් ප්‍රපාතාකාර කඳු පෙළක් අෂාන්ති පළාතෙහි වයඹ දිග සිට ගිනිකොන දිගට වැටී තිබේ. ක්වාහූ නම් වූ මෙම කඳුපෙළට නිරිත දිගින් වූ පෙදෙස සානු සහිත හෙල් බිමකි. ඝන වනාන්තර වලින් වැසී තිබේ. පළාතේ ඊශාන දිග තැනි තලාවෙන් විශාල කොටසක් තණ බිම්වලින් වැසී ඇත්තේය. මෙහි ගංගා ගලායන්නේ වැසි කාලයේ දී පමණකි. අෂාන්ති උෂ්ණ පළාතකි. ජනවාරි - පෙබරවාරි මාසයන්හි සහරා කාන්තාරයෙන් වියළි දූලි සහිත සුළඟක් හමයි. වැසි ලැබෙන්නේ ජූනි හා සැප්තැම්බර් අතර කාලයේ දී නිරිත දිගින් හමා එන සුළඟිනි. අඩි 800ක් පමණ උස් වූ ඉවුරක් ද සැතපුම් පහක පමණ විෂ්කම්භයක් ද ඇති බොසුමිටිවී නම් විස්මයජනක විල පළාතේ දකුණෙහි පිහිටා තිබේ.

තැනිතලාවල ගවයන් ඇති කිරීම හා ඉරිඟු කෙසෙල්, අලවර්ග ආදිය වගාකිරීම අෂාන්ති වාසීන්ගේ ජීවනෝපාය මාර්ග වෙයි. රන්, දියමන්ති හා මැංගනීස් ආකර කීපයක් ද අෂාන්ති පළාතෙහි තිබේ. ඝානා රාජ්‍යයෙන් පිටරට යවන ඉහත සඳහන් ඛනිජ වර්ග ද, දව, රබර් හා හම් ද ඇතුළත් වේ.

ජනගහනය (1960) 11,08,548 කි. අගනුවර කුමාසි (1,90,323) ය. කින්ටම්පෝ, බෙක්වායි, සුන්යානි හා ඔවාසි වැදගත් නගරය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අෂාන්ති-1&oldid=7497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි