අශ්ව ලක්ෂණ

සිංහල විශ්වකෝෂය වෙතින්
12:07, 28 පෙබරවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අශ්වයන්ගේ ශරීරාවයව පිහිටි ආකාරයෙන් ශුභාශුභ දැනගැනීමට ඉවහල් වන ලක්ෂණ අශ්ව ලක්ෂණයි. ග්‍රීවය හා අක්ෂිකූට දික්වීම, තට්ටම හා හෘදය පුළුල්වීම, තලු, තොල් හා දිව තඹවන් වීම, වාලධිය, ලොම් හා සම සියුම්ව මනාව පිහිටීම, කුර, මුහුණ හා ගමන යහපත් බව, කන්, උඩුතොල හා වාලධිය කෙටිවීම, කළවා, දනහිස් හා කෙණ්ඩා වටවීම, සම වූ සුදු දත් ඇතිවීම, ශෝභන ස්වරූපයකින් යුක්තවීම, උඩු තොලේ යටිභාගය හා ගෙළ, කන්, පිට මැද, ඇස්බැම අසල, තොල්, කළවා, ඉස්සරහ ගාත්, ඇළපත, නළල යන තැන්වල ලොම් සුළි ඇතිවීම යන මේවා සර්වාංග ශුද්ධ ශුභ අශ්ව ලක්ෂණ හැටියට වෘහත්සංහිතාදි ග්‍රන්ථවල දැක්වේ. නේත්‍රයන්හි අධෝභාගය, හනුව, කම්මුල, හෘදය, බෙල්ලේ යටි පෙදෙස (උගුර), නාසය, නළල, යටිබඩ, දනහිස, මුෂ්ක, නාභිය, ගුදය, මොල්ලිය, බඩේ දකුණු පැත්ත, පාද යන ස්ථානවල ලොම් සුළි ඇතිවීම ආදිය දුෂ්ට ලක්ෂණයි. උඩුතොලේ යටභාගයෙහි එකක් ද නළලේ ලොම් අතර එකක් ද නාභිය හා බඩ අතර දෙකක් ද ඊට මඳක් ඉහළින් දෙකක් ද හිසෙහි දෙකක් ද පපුවෙහි දෙකක් ද වශයෙන් සුළි පිහිටීම විශේෂයෙන් ශුභඵල දායකය.

අශ්වයන්ගේ ශුභාශුභ ලක්ෂණ පිළිබඳ වැඩි විස්තර අශ්වශාස්ත්‍ර (නකුල), ශාලිහෝත්‍ර (භෝජ), වෘහත්සංහිතාදි ග්‍රන්ථවල ඇතුළත් ය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශ්ව_ලක්ෂණ&oldid=7517" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි