ආකර කර්මාන්තය
අතිපුරාණ කාලයේ සිට ම මිනිසා ස්වභාව ධර්මයෙන් ලබන සම්පත් සිය දියුණුව සඳහා උපයෝගී කරගැනීමට වෙහෙස ගෙන ඇත. අපේ ආදි මුතුන්මිත්තන්ගේ අවධානය ප්‍රධාන වශයෙන් ම යොමු වූයේ තමන්ට සෑහෙන පමණ ආහාර සපයා ගැනීම කෙරෙහිය. මේ කටයුත්ත සඳහා අවිආවුද සාදාගැනීම අවශ්‍ය විය. මුල දී, එනම් ශිලායුගයේ දී, මේවා සාදා ගන්නා ලද්දේ ගලෙනි. පසු කලෙක, මිනිසා වඩාත් සුලබ ලෝපස් - විශේෂයෙන් ම යපස් - උණු කරගන්නා ක්‍රම සොයා ගත් විට, ඔහු එම ලෝහවලින් අවිආවුද සාදා ගත්තේය. පොළොව මතුපිට තුබූ ලෝපස් මුල දී මීට ප්‍රමාණවත් වුව ද ලෝහ ආයුධ භාවිතය පැතිරී යත්ම, ඒවා තනාගැනීමට අවශ්‍ය වූ ලෝපස් හා ඛනිජවර්ග පොළොව හාරා ලබාගැනීමට සිදුවිය. මෙසේ පෘථිවි පෘෂ්ඨයෙන් හෝ පෘථිවි ගර්භයෙන් ලෝපස් හා ඛනිජ වර්ග ලබාගැනීමේ ව්‍යාපාරය ආකර කර්මාන්තය නමින් හැඳින්වේ. වේගවත් ජලප්‍රහාරයන් මගින් මෘදු පස් බිඳ දැමීමෙන් හා ගංගා පතුල් දියළු නිධි ආදිය හෑරීමෙන් ඛනිජ නිධි පාදා ගැනීමත් ආකර කර්මාන්තයෙහි ම ඇතුළත් වේ.
ආකර කර්මාන්තය දළ වශයෙන් අවස්ථා හතරකට බෙදා දැක්විය හැකිය : (අ) පූර්වේක්ෂණය (prospecting), (ආ) අන්වේෂණය (exploration), (ඇ) සංවර්ධනය සහ (ඈ) ඛනනය යනුවෙනි. මේ එක් එක් අවස්ථාවට අයත් කර්තව්‍යයන්ගෙන් කිහිපයක් හෝ සියල්ල ම හෝ එක විට ම කළ හැකි බැවින් පූර්වෝක්ත අවස්ථා එකිනෙකින් ඉඳුරා වෙනස් කොට නොගතමනායි.
(අ) පූර්වේක්ෂණය
යම්කිසි ඛනිජනිධියක් මතු කරගැනීමෙහි ප්‍රථම අවස්ථාව හැටියට සැලකිය හැක්කේ නිධියක් ඇති ස්ථානයක් සොයා බැලීමයි. මහත් ධනසම්භාරයක් සපයා ගැනීමට බලාපොරොත්තු වන උද්‍යෝගවත් ව්‍යාපාරිකයෝ ඛනිජනිධි ඇතැයි සිතිය හැකි තැන් සෙවීම සඳහා අනතුරු ගැන නොසලකා නොදන්නා පෙදෙස් කරා වුව ද යෑමට පසුබට නොවෙති. පෙර පැවැති වෙරළවල් මෙන් ම දැනට පවත්නා වෙරළවල් ද ගංගාමාර්ග හා ඒවායේ පතුල් ද නාය ගිය ස්ථාන හා කඩා වැටුණ පස් කණ්ඩි ද මොහොරවල් (escarpments) ද භූගර්භයේ පාෂාණ තට්ටු අනාවරණය වී ඇති වෙනස් ස්ථාන ද ඛනිජනිධි සොයන්නන්ගේ පිරික්සුම් ඇසට පළමුවෙන් යොමුවන ස්ථානයෝයි. ඛනිජනිධි උදෙසා පරීක්ෂා කරන සෑම අවස්ථාවක ම සාර්ථක ප්‍රතිඵල නොලැබේ. ගවේෂණ ව්‍යාපාරයන්ගෙන් බොහොමයක් අනතුරුවලින් කෙළවර වී ඇත. සෑම රටක ම පාහේ ආකර කර්මාන්ත ඉතිහාසය ඛනිජනිධි සෙවීමෙහි නියුක්ත වූවන්ගේ අප්‍රතිහත ධෛර්‍ය්‍යය, නොපසුබට වීර්‍ය්‍යය හා ඔවුන්ට මුහුණපාන්නට සිදුවූ නොයෙක් කම්කටුලු ආදියෙන් පිරී පවත්නේය. අවුරුද්දෙන් හය මාසයකට වැඩි කාලයක් හිමෙන් වැසී පවත්නා උතුරු කැනඩාව හා ඇලස්කාව වැනි දුර්ගම ප්‍රදේශවල ද අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශවල ද මධ්‍යම අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, අග්නිදිග ආසියාව වැනි බොහෝ රටවල ද ඛනිජනිධි සෙවීමෙහි නිරත වන්නන්හට අද පවා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදුවේ. ලංකාවේ ද මුල දී ඛනිජනිධි සෙවීමෙහි යෙදුණවුන්ට මැලේරියා උණ හා වෙනත් නිවර්තනකලාපීය රෝගයන් මර්දනය කරගැනීම උදෙසා නිතර සටන් කරන්නට සිදුවූවා පමණක් නොව ගමනාගමන පහසුකම් නොමැතිවීම නිසා බොහෝ හිරිහැර විඳීමට ද සිදුවිය. විශාල පෙදෙසක් ඉක්මනින් පරීක්ෂා කළ හැකි නවීන ක්‍රම දැනට සොයාගෙන ඇති බැවින් මුල් කාලයේ දී මෙන් ඛනිජනිධි සෙවීම උදෙසා හැම ස්තරයක් හා ඉල්ලමක් ම පරීක්ෂා කිරීම අවශ්‍ය නොවේ. ගුවනින් ගෙන යනු ලබන ගුරුත්ව මානය (gravimeter), චුම්බක මානය (magnetometer), පුලිඟු මානය (scintillometer) ගයිගර් ගණකය යන උපකරණ උපයෝගී කොට ගෙන කරනු ලබන ගුවන් සමීක්ෂණ ද ගුවන් ඡායාරූප ද භූරසායනික පූර්වේක්ෂණ (geochemical prospecting) හා භූකම්පන සමාලෝචන (seismic surveys) ද මේ සඳහා යොදන නවීන ක්‍රමවලින් සමහරකි. මේ නවීන ක්‍රම විශේෂයෙන් ම යොදනු ලබන්නේ භූගර්භයෙහි තෙල් ඇති ස්ථාන සෙවීම පිණිසය.ගවේෂකයන්ගේ ප්‍රකාශනයන්ට අනුව, ඛනිජනිධි වැඩිදුරටත් පරීක්ෂා කළයුතු යයි වැටහෙන පෙදෙස් මේ මේ යයි පළමුවෙන් ලකුණු කර ගනු ලැබේ.
(ආ) අන්වේෂණය
ආකර කර්මාන්තය පිළිබඳ දෙවන අවස්ථාව වන්නේ ඛනිජ ඇතැයි අනුමාන වශයෙන් පරීක්ෂකයන් විසින් ලකුණු කරනු ලැබූ පෙදෙස්වල ඇති ඛනිජ ප්‍රමාණය, ඒවා තැන්පත් වී ඇති ආකාරය හා ඒවායේ ව්‍යාප්තිය ආදි කරුණු දැනගැනීම පිණිස අන්වේෂණය කිරීමයි. පරීක්ෂණයට භාජන වන නිධියෙහි ස්වරූපය අනුව, ඛනිජ ලබාගන්නා ක්‍රමය තීරණය කරගනු ලැබේ. නොගැඹුරු දියළු නිධිවලින් ඛනිජ හාරාගැනීම සඳහා අගල් කැපීම, වළවල් කැණීම, අවගාරයෙන් පස්හැරීම හා බන්කා නම් වූ විදුම් ක්‍රමය (Banka drilling) උපයෝගී කරගනු ලැබේ. භූමි ලක්ෂණය අනුව සුදුසු යයි වැටහෙන තන්හි දී ගොඩ දෝනා කැපීමෙන් ද දෝනා කැපීමට නුසුදුසු තන්හි දී දියමන්ති තොරපනයෙන් හෑරීමෙන් ද වඩා ගැඹුරු ස්ථානවල ව්‍යාප්ත වූ ඛනිජ ඉල්ලම් පරීක්ෂා කරනු ලැබේ. නියමිත ප්‍රදේශයක් ඇතුළත වෙඩි දමා, එයින් ඇතිවන භූකම්පන පරීක්ෂා කරබැලීමෙන් ඛනිජතෙල් පිහිටි ස්ථාන හා ඒවායේ විශාලත්වය තීරණය කරගනු ලැබේ. දියමන්ති තොරපනයෙන් විදීමෙන් භූගර්භයේ විවිධ ස්තරයන්හි පිහිටි ඛනිජ මිශ්‍රිත පස් උඩට ගෙන පරීක්ෂා කළ හැකිය. මෙපරිද්දෙන් ලබාගන්නා ද්‍රව්‍ය සියල්ල මැනවින් පරීක්ෂා කොට ඛනිජ නිධියෙහි ව්‍යාප්තිය හා ලෝපස් ප්‍රමාණය ගණන් බලා ගත් පසු සංවර්ධනය හා ඛනනය යන ඊළඟ අවස්ථාවන් කරා එළඹීම නුවණට හුරු ද නැද්දැයි නිශ්චය කරනු ලබන්නේ එක් එක් ඛනිජනිධියෙන් ලබා ගත හැකි ඛනිජ ප්‍රමාණය අනුවය.
(ඇ) සංවර්ධනය
ගල්වළවල් මෙන් නොගැඹුරට කැණීමෙන් වැඩ කරන ආකර හා පොළොව යට ගැඹුරට කැණීමෙන් හෙවත් පතල් බැසීමෙන් වැඩ කරන ආකර වශයෙන් සංවර්ධනය දෙයාකාරය.
නොගැඹුරට කැණීමෙන් වැඩ කරන ආකරයක සංවර්ධනය
මෙබඳු ආකරයක් කැණීම ඇරඹීමේ දී පළමුවෙන් භූමිය මතුපිට ඇති අනවශ්‍ය පස් ආදිය ඉවත් කර, ස්ථානය එළිපෙහෙළි කොට ලෝපස් හා නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ආකර භූමියෙන් ඉවත් කිරීම පිණිස යෝග්‍ය වූ මාර්ග හෝ පීලි පාරවල් තනා ගනු ලැබේ. අනාගත සංවර්ධනයට ගැළපෙන අයුරු විශාල ඩම්පර හා ට්‍රක් රථ ද, පිලීවල ආධාරයක් නොමැතිව එහා මෙහා යන වාහන ආදිය ද පහසුවෙන් ගමන් කර විය හැකි පරිද්දෙන් මාර්ග ඉදි කරනු ලැබේ.
ගැඹුරට කැණීමෙන් වැඩ කරන ආකරයක සංවර්ධනය
අනවශ්‍ය වියදම් වළක්වා ගෙන පහසුවෙන් ඛනිජ ලබාගැනීම සඳහා ගැඹුරු ආකරයන්හි පතු වළවල් හෑරීම, දෝනා කැපීම හා ඒවාට අවශ්‍ය යන්ත්‍රෝපකරණාදිය සැපයීම, හරස්දෝනා කැපීම, ආකර පත්ලෙන් හා මුවවිටින් අවශ්‍ය දේ ඉහළට පහළට ගැනීමට උවමනා පහසුකම් සැලසීම, ඉල්ලම් කරා ළංවීමට මං සැපැයීම, එක් වැඩපොළක් ඊට පහළින් පිහිටි වැඩපොළකට සම්බන්ධ කිරීමට උමං කැපීම, ඉල්ලමෙන් කඩා ගත් ඛනිජ ගෙනයාමට අවශ්‍ය මාර්ග තැනීම, කම්කරුවන්ගේ ගමන්මාර්ග හා පොම්ප කාමර ආදිය සෑදීම, පිරිසිදු වාතය සැපයීම යන මේ කාර්ය රාශිය කළයුතු වේ.
ආකර කර්මාන්තයේ දී කවර හැඩයකට වළවල් කැණිය යුතු ද යන්න ඉල්ලම විහිද ගිය ආකාරය උඩ රඳා පවතී. අධික බෑවුම් සහිත ඉල්ලමක ඛනිජ ලබාගැනීම පිණිස සිරස් අතට වළක් හා හරස් දෝනා ද හාරනු ලැබේ (අංක 1 රූසටහන බලනු). ඉල්ලම් බිත්තිය ඉරි තළා දුබලව පවත්නා විට, ඉල්ලමේ යටි බිත්තියෙන් (වෙඩි බිත්තියෙන්) සිරස් අතට වළ හාරා ඉල්ලම කඩාගනු ලැබේ (අංක 1 රූසටහන බලනු). ඉල්ලම වඩා ගැඹුරට විහිද ගිය විට එය කඩා ගනු ලබන්නේ අතුරු දෝනාවක් මගිනි (අංක 2 රූසටහන බලනු).
පැතැලි හැඩයට පිහිටි ඉල්ලම්වලින් ඛනිජ කඩාගන්නේ යටි බිත්තියේ පටන් කපන දෝනා හෙවත් හැඩේට බහින වළක් මගිනි (අංක 3 රූසටහන බලනු). කඳු බෑවුමක පෑදී ඇති ඉල්ලම් කඩා ගැනීමේ දී එහි භූමියේ පිහිටීම දෝනා කැපීමට යෝග්‍ය නම්, දෝනා මගින් ඉල්ලම කඩාගනු ලැබේ (අංක 4 රාසටහන බලනු). සමහර විට ආකර තුළ එකතු වන දිය බැස්වීම උදෙසා ද දෝනා හාරති. සැතපුම් ගණන් දික්වූ මේ දෝනාවලින් අවට ප්‍රදේශයෙහි ආකර කීපයක ජලය පිට කිරීමට හැකි වේ.
වළවල් හා හරස් දෝනා මගින් ඛනිජ නිධිය වෙත ළඟාවූ පසු, උඩු අතට හාරන වළවල් හා උස් මට්ටමක සිට පහත මට්ටමකට හාරන වළවල් යන මේවායේ ආධාරයෙන් ඉල්ලම කට්ටිවලට බෙදා, එයින් හාරා ගත හැකි ඛනිජ ප්‍රමාණය නිගමනය කරනු ලැබේ (අංක 5 රූසටහන බලනු).
(ඈ) ඛනනය
ඛනිජ නිධියකින් ප්‍රයෝජන ගැනීමෙහි අවසාන පියවර වන්නේ සංවර්ධන අවස්ථාවේ දී කට්ටිවලට බෙදා ගනු ලැබූ ඉල්ලම කඩාගැනීමය. ඛනිජ කඩාගැනීම සංවිධානය කළයුත්තේ යන්ත්‍ර සූත්‍රාදිය කාර්යක්ෂම ලෙස ක්‍රියා කරවමින් උසස් වර්ගවලත් පහත් වර්ගවලත් ඛනිජ කලින් නිශ්චය කරන ලද අනුපාතයකට අනුව දිගට ම ලබාගත හැකි අයුරෙනි.
ඛනිජ කඩාගැනීමේ ක්‍රමය ඉල්ලමේ පළල හා බෑවුම ද වෙඩි බිත්තිවල හා ඉල්ලම් බිත්තිවල පිහිටීම ද ඉල්ලමේ ප්‍රමාණය හා ස්වභාවය ද උඩ රඳා පවතී. ඒ සඳහා යොදනු ලබන ක්‍රම කීපයකි.
යටි අතට ඛනිජ කැඩීම
වැඩි බෑවුම් නැති පටු ඉල්ලම් හාරා ගැනීම සඳහා මේ ක්‍රමය යොදනු ලැබේ. මෙවැනි ඉල්ලම් ඉස්කෝප්පයක ආධාරයෙන් හෝ යන්ත්‍රානුසාරයෙන් හෝ යටි අතට හාරා ගනිති. 6 සහ 7 රූසටහන්වලින් ඉල්ලමක් යටි අතට කඩා ගන්නා දෙයාකාරයක් පෙන්වා ඇත.
යටි අතට කැඩීමේ දී දෝනාකාරයා ඉල්ලමට හා ඒ ළඟ වෙඩි බිත්තියට පා තබා වැඩෙහි යෙදේ. ඉල්ලම් මූණත ඔහුට පහතින්ය. එය 6 රූසටහනේ දැක්වෙන පරිදි විවෘතව තිබිය හැකිය.
උඩු අතට ඉල්ලම කඩා ගැනීම
ශීඝ්‍ර බෑවුමකින් යුත් ඛනිජ නිධි කැඩීම සඳහා යොදන මේ ක්‍රමයෙන් කඩාගනු ලබන ලෝපස් දෝනා මඟට ඇද හැළෙයි. කඩන ලද ඛනිජවලින් කොටසක් බිත්ති ආරක්ෂාවන පරිදි ගොඩ ගසා තබා ඉල්ලම් කඩාගැනීමේ ක්‍රමයක් ද වේ. මෙය ද තද බෑවුම් සහිත ඉල්ලම්වලින් උඩු අතට ඛනිජ කඩා ගැනීමේ ක්‍රමයකි.
උර මට්ටමේ ඛනිජ කැඩීම
වැඩි බෑවුමක් නොමැතිව විහිද ගිය විශාල ඛනිජ නිධි කඩාගැනීම සඳහා මේ ක්‍රමය යොදනු ලැබේ. මෙසේ කඩා ගත් ඛනිජ, සූරන උපකරණයකින් හෝ ඩක්කු ආදියකින් හෝ පහත තට්ටුවට ගෙන යනු ලැබේ. දෝනා වහල සුදුසු පරිද්දෙන් ශක්තිමත් කරනු ලැබේ.
ඛනිජ කුට්ටි වශයෙන් කඩාගැනීම
පහසුවෙන් කුඩුවන ස්වභාවය ඇති විශාල ඛනිජනිධි කඩා ගැනීම සඳහා මෙම ක්‍රමය යොදනු ලැබේ. මෙය ක්‍රියාවෙහි යෙදීමේ දී ප්‍රාරම්භක කටයුතු අධික වුව ද විදීම හා වෙඩිදැමීම කළයුත්තේ ඉතා ස්වල්ප වශයෙන් බැවින් වියදමේ වැඩි වෙනසක් නැත.
දුර්වල වූ ඉල්ලම් බිත්ති සහිත විශාල ඛනිජනිධි හාරා ගැනීම සඳහා හතරැස් දැවරාමු ආධාර කර ගන්නා ක්‍රමයක් ද වේ.
ආකරය සුරක්ෂිත කිරීම
පොළොව යට හෑරීමෙන් විවර වී ඇති සියලු තැන් මුක්කු දීමෙන් ශක්තිමත් කළ යුතුය. මේ සඳහා වැඩි වශයෙන් යොදනු ලබන්නේ දැව දඬු හා ආකරයෙන් ඉවතලන ගල්පස් ආදියයි. වානේ කණු කල් පවතින බැවින් ආධාරක වශයෙන් ඒවා දැන් දැන් වැඩියෙන් යොදති. පතුවළවල් හා ප්‍රධාන ගමන් මාර්ග ද ද්‍රව්‍ය එහා මෙහා ගෙන යන ප්‍රධාන මාර්ග ද ඇතැම් විට කොන්ක්‍රීට්වලින් නැතහොත් ගඩොළින් බැඳ ගනු ලැබේ.
ගල් අහුරා බිත්ති සෑදීම
වැඩට නොගන්නා ගල් පස් ආදිය සුලභ තන්හි ඒවායින් ආධාරක තැනීමෙන් පිට තැනකින් ගල් ඇද්දීමට යන වියදම අඩු කර ගත හැකිය. බිත්ති එසේ සාදනු ලබන්නේ අවශ්‍ය ශක්තිය ගෙනදිය හැකි තරම් විශාල ගල් පරිස්සමින් අඩුක්කොට බැඳීමෙනි.
ලීකණු ආධාරක
හිසට උඩින් සැපයෙන ආවරණයක් වශයෙන් ද වහලට දෙනු ලබන ආධාරකයක් වශයෙන් දැයි මේවා දෙපරිද්දෙකින් ප්‍රයෝජනවත් වේ. ඒ සඳහා මුක්කු පේළි සිටුවා ඒ මත ලෑලි හෝ ලී කැබලි හිරකරනු ලැබේ. මේ ලෑලි හෝ ලී කැබලි තට්ටුව උඩ ගනකමට ගල් තට්ටුවක් අහුරනු ලැබේ.
සියලු ම දෝනා ද බඩු එහාමෙහා ගෙන යෑමට හා ගමනාගමනය කිරීම සඳහා පාවිච්චි කරනු ලබන මාර්ග ද සුරක්ෂිත කළයුතුයි. බඩු එහා මෙහා ගෙන යන ප්‍රධාන මාර්ග සාමාන්‍යයෙන් කොන්ක්‍රීට්වලින් ශක්තිමත් කරති.
වැලිවලින් පිරවීම
වැලි හෝ ගල් කුඩු සුලභ ආකරයක හිස් තැන් පිරවීමට ඒ වැලි ආදිය පාවිච්චි කරනු ලැබේ. ලෝපස්, ඛනිජ ආදිය ඉවත් කරගන්නා ලද වළවල් ලණු පැදුරු ගසා කාමර වශයෙන් වෙන් කරනු ලැබේ. එසේ කිරීමේ දී නළ මගින් හෝ විශේෂයෙන් ඒ සඳහා හාරන ලද කාණු මගින් හෝ ජලය හා මිශ්‍ර කළ වැලි යථෝක්ත කාමර කරා පමුණුවති. එකල ජලය බේරී කාමර තුළ වැලි තැන්පත් වේ.
පතුවළවල් සුරක්ෂිත කිරීම
ආකර කර්මාන්තය සඳහා හාරන පතුවළවල් කොන්ක්‍රීට්වලින් බැඳීම දැනට බෙහෙවින් ව්‍යවහාර වන ක්‍රමයයි. වළ දැවවලින් සුරක්ෂිත කරන විට, ගොඩ දී ඒවා අවශ්‍ය මිනුම්වලට කපා සූදානම් කොට, වළ ඇතුළේ දී නිසි පරිදි කූඤ්ඤ ගසා සවිකරනු ලැබේ. මෙපරිද්දෙන් සවි කළ දැව මුක්කුවලටත් වළේ බිත්තිවලටත් අතර වූ පරතරයෙහි ලෑලි හිර කරති. ආකර බිත්තිවලටත් ලෑලිවලටත් අතර ඇති හිස්තැන් ද මැනවින් පුරවනු ලැබේ. අඩි 150කට පේළියක් බැගින් වන සේ ශක්තිමත් ආධාරක පේළි යෙදීමෙන් තවදුරටත් වළ සුරක්ෂිත කරති.
ආකරයේ ජලය හිස් කිරීම
ඇතුළේ ජලය හිස් කිරීම ආකර කර්මාන්තයේ දී විශේෂ සැලකිල්ලට භාජන විය යුත්තකි. යම්කිසි දෝනාවකට ඉහළින් පිහිටි මට්ටම්වලින් උනන ජලය එම දෝනාවෙන් බැස යෑමට සැලැස්සිය යුතුයි. පහසුවෙන් ජලය බැස යාම සඳහා නිසි බෑවුම් සහිතව දෝනාව කපා ඊට කාණුවක් ද කැපීම අවශ්‍යය. කවර ආකාරයක වුව ද යන්ත්‍රානුසාරයෙන් හෝ අන්කිසි අයුරකින් ජලය ඉවත් කළ යුතුය. මුල් කාලයේ දී ආකරයෙන් ජලය පිටකිරීම සඳහා වාෂ්ප බලයෙන් ක්‍රියාකරන යන්ත්‍ර ආකර මුවවිට අසල සවිකර තිබුණේය. මේ වර්ගයේ ඉතා ම පැරණි පොම්පය කෝර්නිෂ් නමින් හැඳින්වේ. කෝර්නිෂ් පොම්පයේ වේගය මඳ වුව ද අඩු වියදමකින් විශාල ජල කඳක් බැහැර කරලීමට හැකි ශක්තියක් ඊට තිබිණි. අවුරුදු පනහකට අධික කාලයක් නොකඩවා භාවිත වූ කෝර්නිෂ් වර්ගයේ පොම්ප ක්‍රි.ව. 1952 පමණ වන තෙක් ම පාවිච්චි කරන ලදි.
කෙළින් ම වතුර උරා ගෙන ආකරයෙන් පිටතට පමුණුවන පොම්ප වර්ගයක් ද වේ. මේ වර්ගයේ පොම්පවලට ජලය උරා උඩට ගත හැකි වන්නේ සීමාසහිත දුරකට පමණක් බැවින් ඒවා නිතර ම පොළෝමට්ටමින් යට සවි කළයුතුය. මේ පොම්ප සාමාන්‍යයෙන් වාෂ්ප බලයෙන් හෝ සංපීඩිත වායුබලයෙන් හෝ විදුලි බලයෙන් හෝ ක්‍රියා කරවනු ලැබේ. ලොකු ගැඹුරක සිට ජලය ඉවත් කළ යුතු ආකරයන්හි කේන්ද්‍රාපසාරී පොම්ප වර්ගයක් භාවිත වේ. පොම්ප ක්‍රියා කරවීම සඳහා වාෂ්ප බලය උපයෝගී කොට ගැනීමෙන් ආකරය තුළ ඇතිවන උෂ්ණයෙන් හා තෙතමනයෙන් කම්කරුවන්ට පීඩා ඇති වන බැවින් ඒ වෙනුවට සංපීඩිත වායු බලයෙන් හෝ විදුලි බලයෙන් හෝ ක්‍රියා කරන පොම්ප යොදන්නට දැන් පටන් ගෙන තිබේ.
ආකර ජලය ඇතැම්විට විඛාදනයට හේතු වන බැවින් එම ජලය පොම්පවලට අහිතකරය. එවැනි ජලය සහිත ආකරවල මල නොබැඳෙන වානේවලින් හෝ විඛාදනයට ඔරොත්තු දෙන වෙනත් ලෝහයකින් කළ පොම්ප යොදනු ලැබේ. ජලයෙහි අන්තර්ගත අම්ලය උදාසින කොට පොම්පවල මලබැඳීම වළක්වනු පිණිස, ඇතැම්විට පොම්පවලට හුනු මිශ්‍ර කරනු ලැබේ. ජලයෙහි රොන් බොර අධික වශයෙන් ඇති විට ඒවා තැන්පත් වීමට ටැන්කි හෝ වළවල් තැනිය යුතුය. මේ ටැන්කි, වළවල් ආදියෙහි තැන්පත්වන මඩ ආදිය ඉවත් කිරීමට සෑහෙන විධිවිධාන යෙදිය යුතු වේ.
වාතාශ්‍රය
නිතර ම මිනිසුන් ගැවසීම, පහන් දැල්වීම, ලීදඬු දිරාපත්වීම ආදිය හේතුකොට ගෙන ආකරයක වාතය නිතර අපිරිසුදු වේ. ආකරය තුළ වෙඩි පිපිරවීම නිසා බහුල වශයෙන් ඇති වන විෂ වායු ද ඉවත් කළයුතුය. මේ හැර, අඟුරු ආකර වැනි ඇතැම් ආකරයන්හි භූගර්භයේ යට තට්ටුවලින් ද විෂ සහිත ගිනිගන්නා වායු නිකුත් වීමට ඉඩ ඇත. මේවා විශේෂයෙන් ඇතිවන්නේ සල්ෆෛඩ් වැනි ගෙන්දගම් සංයෝග ආශ්‍රිත ආකරවලය. අඟුරු ආකරවල ඇති වගුරු වායුව හා ගල් අඟුරු කුඩු ද වාතය සමඟ එක්තරා ප්‍රමාණයකට මිශ්‍රවීමෙන් ඇතිවන පිපිරෙන වායු මැඩපැවැත් වීමට ද සුදුසු ප්‍රතිකර්ම යෙදිය යුතුයි. මෙබඳු අවස්ථාවල දී ආකරය තුළට සුදුසු පරිදි පිරිසිදු වාතය ලබාදීමට හා දූෂිත වාතය ඉවත් කිරීමට වායු ප්‍රවාහක යන්ත්‍ර සවිකරනු ලැබේ. අම්ල ජලය සහිත ආකරවලින් හයිඩ්‍රජන් සල්ෆෛඩ් වායුව (H2S) වැනි විෂවායු නිකුත් වේ.
කුඩා ආකර බොහොමයකට ස්වාභාවිකව ලැබෙන වාතය ප්‍රමාණවත් වුව ද ඒවායේ විශාලත්වය හා ගැඹුර වැඩිවන විට යන්ත්‍රානුසාරයෙන් පිරිසිදු වාතය සැපයිය යුතුය. ආකරයකට සාර්ථක ලෙස වාතාශ්‍රය සැලසීමට වෙන් වෙන් වශයෙන් පතුවළවල් දෙකක් හෝ වැඩි ගණනක් අවශ්‍යය. මෙයින් එකකින් හෝ කීපයකින් පිරිසිදු වාතය ආකරය තුළට යැවෙන අතර අනික් වළවල් මගින් අපිරිසිදු වාතය පිටතට යැවේ. ඇතැම් ගැඹුරු ආකරවල වාතාශ්‍රය සැලසීම සඳහා විශේෂ පතු වළවල් භාරනු ලැබේ. ආකරය ගැඹුරුවන තරමට එහි උෂ්ණත්වය ද සාමාන්‍යයෙන් වැඩි වේ. එසේ වන කල කම්කරුවන්ට වැඩි ගැහැටක් නොමැතිව වැඩෙහි යෙදිය හැකි වන පරිදි ආකරය තුළට පිරිසිදු වාතය සෑහෙන පමණ ලබාදිය යුතුය. ඉන්දියාවේ කොලාර් වැනි ඉතා ගැඹුරු ආකරවල වැඩෙහි යෙදෙන්නන්ගේ පහසුව සලකා සිසිල් කරන ලද වාතය ඔවුන් වැඩ කරන කොටසෙහි විසුරුවා හරිනු ලැබේ.
ආකර මුවවිටින් බඩු ඉහළ පහළ යැවීම සහ ඛනිජ, ගල් පස් ආදිය ආකර දෝනාවල එහා මෙහා ගෙනයාම
කඩා ගත් ඛනිජ හා නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ද ඒ ඒ තන්හි සිට පතුවළ කරා ගෙන යා යුතුය. විශාල ආකරවලින් ලබාගන්නා ඛනිජ යන්ත්‍රබලයෙන් ක්‍රියා කරන ඉස්කෝප්පවලින් ඛනිජ ගෙන යන මාර්ග කරා පමුණුවති. කුඩා ආකරවල ඒ වෙනුවට කරන්නේ ටොන් එකක් පමණ බර ඉසිලිය හැකි ඩක්කුවල ඛනිජ පටවා පිලි දිගේ ගෙනයාමයි. අතින් තල්ලු කර ගෙන යන මේ ඩක්කු ඇතැම්විට ඛනිජ ආදිය සමඟ ආකර මුවවිටට ඔසවා හිස් කර ආපසු ආකරය තුළට ගෙන යනු ලැබේ. විශාල ආකරවල ටොන් අටේ පටන් දහය දක්වා පිරවිය හැකි රථ පේළියක ඛනිජ පටවා බඩු ඔසවන ප්‍රධාන පතුවළ කරා ගෙනයති. එහි දී ඛනිජ හා අනවශ්‍ය ද්‍රව්‍ය දැමීම සඳහා වෙන් වෙන් වශයෙන් පිළියෙල කළ ස්ථානවලට ඒවා බානු ලැබේ. ගල් අඟුරු පැටවූ රථ ඇදීම සඳහා මුල් කාලයේ දී කොටළුවන් යෙදීම සිරිත විය. පසු කලෙක ඒ වෙනුවට විදුලි බලයෙන් හෝ අභ්‍යන්තර දහන ඇන්ජින් මගින් ක්‍රියා කරන රථ යොදන ලදි. අභ්‍යන්තර දහන ඇන්ජින්වලින් නිකුත්වන දුම් විෂ සහිත බැවින් ඒ දුම් ඉවත් කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර යෙදිය යුතුයි. රබර් පට්ටම් යොදා පීලිවල ආධාරයක් නොමැතිව විදුලි බලයෙන් දුවවන රථ අධික වශයෙන් ඛනිජ කඩාගන්නා ආකරවල භාවිත වේ.
කඩා ගන්නා ඛනිජ උඩට ඔසවනු ලබන්නේ ඉබේ බඩු බෑවෙන පෙට්ටි බාල්දිවලින් හෝ මැදිරි සහිත රථවලිනි. මේ සඳහා ආකර මුවවිටේ සවි කරන ලද ඇන්ජින් ක්‍රියා කරවන්නේ වාෂ්ප හෝ විදුලි බලයෙනි. බඩු එසවීම සඳහා යටතට්ටුවල සවි කළ ඇන්ජින් සංපීඩිත වායුව මගින් ක්‍රියා කරවති. කෙතරම් ගැඹුරක සිට කවර බර ප්‍රමාණයක් එසවිය හැකි ද යන්න රඳා පවත්නේ පතුවළේ එල්බ ඇති වානේ කඹයේ දිග හා ශක්තියත් රෝල් කඳේ ප්‍රමාණයත් මතය. සිරස් අතට කණින ලද ඉතා ම ගැඹුරු පතුවළ වල් අඩි 6000කට වඩා ගැඹුරු නොවේ. සාමාන්‍යයෙන් මීට වඩා ගැඹුරක සිට එක්වරකින් ඛනිජ ඔසවාලිය නොහැක. එසවුම් වැඩ සඳහා නොයෙක් විධියේ වානේ කඹ යොදනු ලැබේ. මේ කඹ තැනීම සඳහා බෙහෙවින් තද ගතිය ඇති විශේෂ වානේ වර්ගයක් පාවිච්චි කරනු ලැබේ.
ලංකාවේ ආකර කර්මාන්තය
මැණික් හා මිනිරන් ලංකාවේ ආකර කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රධාන වූ ඛනිජයෝයි. (මැණික් ගැරීම පිළිබඳ විස්තර එම ශීර්ෂය යටතෙහි ද මිනිරන් පතල් ගැන විස්තර මිනිරන් යටතේ ද පළවේ.)
(සංස්කරණය: 1965)