ආභිසමාචාරිකවත්ත
උත්කෘෂ්ට වූ ආචාරය හෙවත් උතුම් වූ හැසිරීම “අභිසමාචාර” නමි. “අභිවිසිට්ඨො උත්තමො සමාචාරො අභිසමාචාරො” (විමති විනොදනී). අභිසමාචාරය ම “ආභිසමාචාරික” නම් වෙයි. පාරාජිකා - සඞ්ඝාදි - සෙස හැර සෙසු ඛුද්දානුඛුද්දකසික්ඛා “ආභිසමාචාරිකසීල” යයි කියනු ලැබෙයි. ඒ ආභිසමාචාරික සීලයෙහි සඞ්ග්‍රහ වන වත් පිළිවෙත් “ආභිසමාචාරිකවත්ත” නම් වෙයි (ධම්පියා අටුවා ගැටපදය ජ.ස. 197 පිට බ.) “වත්තවසෙන පඤ්ඤත්තසීලස්සෙතං අධිවචනං” යනු අටුවා හෙයින් ආභිසමාචාරික වත් පිරීම් වශයෙන් උපදනා සීලයට ද “ආභිසමාචාරික” යනු නමෙකි. එහි “ආභිසමාචාරිකවත්ත” නම් : 1. චෙතියඞ්ගණවත්ත (සෑමළුවත) 2. බෝධියඞ්ගණවත්ත (බෝමළුවත) 3. උපජ්ඣායවත්ත 4. ආචරියවත්ත (ඇදුරුවත) 5. ජන්තාඝරවත්ත (ගිනිහල්ගේ වත) 6. උපොසථාගාරවත්ත (පොහොයගෙයි වත) යන මේ වත් හා තජ්ජනීයකර්මාදියට භාජන වූ මහණහු විසින් හැසිරිය යුතු දෙඅසූවක් කඳුවත් ද, වත්තක්ඛන්ධයෙහි වදාළ 1. ආගන්තුක 2. ආවාසික 3. ගමික 4. අනුමොදන 5. භත්තග්ග 6. පිණ්ඩාචරික 7. ආරඤ්ඤක 8. සෙනාසන 9. ජන්තාඝර (ගිනිහල්ගේ) 10. වච්චකුටි (වැසිකිළි) 11. උපජ්ඣාය 12. සද්ධිවිහාරික 13. ආචරිය (ඇදුරු) 14. අන්තෙවාසික (අතැවැසි) යන මේ වත් ද සමූහයයි. මේ ආභිසමාචාරික වත් පුරන මහණහට ආභිසමාචාරික සීලය ද පිරෙයි. සිල් පිරුණු කල්හි චිත්තසමාධිය උපදී. තවද යමෙක් “මම් සිල් පුරමී, ආභිසමාචාරික වත් පිරීමෙන් කවර ප්‍රයෝජන දැ”යි කියා නම්, ඕහට සිල් පිරෙන්නේය යන මේ කරුණ නම් නොවන්නේය. බුදුරදුන් විසිනුදු : “සො වත භික්ඛවෙ භික්ඛු ආභිසමාචාරිකං ධම්මං අපරිපූරෙත්වා සීලානි පරිපූරෙස්සතීනි නෙතං ඨානං විජ්ජති”යි ආභිසමාචාරික වත් නොපුරන මහණතෙම ශීලය ද නොපුරන්නේ යයි වදාරන ලද්දේ ය. මෙසේ හෙයින් සමාධියට ශීලය ද ශීලයට ආභිසමාචාරික වත ද උපකාර වන බව සැලැකිය යුතුය (සමාන්තපාසාදිකා 299 පිට බලනු.) එසේ ම — “වත්තං න පරිපූරෙන්තො න සීලං පරිපූරති අසුද්ධසීලො දුප්පඤ්ඤො නිරයං සො උපපජ්ජති” යී වත් නොපුරනුයේ සිල් නොපුරයි, පිරිසිදු සිල් නැතියේ නිරයෙහි උපදනේ යයි වදාරන ලද්දේත් මේ ආභිසමාචාරික වත සඳහා මැ යි.
(සංස්කරණය: 1965)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]