ආමිස (ආමිෂ)
මිනිසාගේ උපභෝග-පරිභෝග පිණිස පවත්නා වස්ත්‍ර-ආහාර-ගෘහාදිය හා බෙහෙත් යන මේ දිවි පැවැත්ම සඳහා වැළඳගන්නා හෙයින් ආමිෂ යයි කියනු ලැබේ. එයම ශාසන ව්‍යවහාරයෙහි චීවර-පිණ්ඩපාත-සේනාසන-ගිලානපච්චය-භේසජ්ජ පරික්ඛාර යන නම්වලින් එයි. පර්‍ය්‍යාය නිෂ්පර්‍ය්‍යාය වශයෙන් ආමිෂය දෙවැදෑරුම් වෙයි. එහි චීවරාදි සිවුපසය නිෂ්පර්‍ය්‍යාය ආමිෂයි. යම් කිසි කාරණයකින් ලේශයකින් හෝ යම්තමකින් ආමිෂ වූයේ නොව වචනාර්ථ හෙයින් ම ආමිෂ වන හෙයිනි. මෙලොව කිසිවෙක් භවය ප්‍රාර්ථනා කොට හුදෙක් දෙව් මිනිස් සුව ලැබීමේ අදහසින් දන්සිල් ඈ පින්කම් කෙරෙයි. ඔහුට ඒ හේතුවෙන් දෙව් මිනිස් දෙගතියෙහි භෝග සම්පත් ලැබෙයි. ඒ සම්පත් නිෂ්පර්‍ය්‍යාය ආමිෂයි. එය ලැබීමට හේතු වූ පින්කම් පර්‍ය්‍යාය ආමිෂ නම් වේ. බුදුසව් වූ පැවිද්දනට සිවුපසය ලැබෙනුයේ බුදු පියාණන්ගේ දායාදයක් වශයෙනි. බුදුන් විසින් ඒ ඒ තැන්හි දී “අනුජානාමි, භික්ඛවෙ, ගහපති චීවරං ; යො ඉච්ඡති පංසුකූලිකො හොතු” යී (මහණෙනි, ගැහැවියන් දෙන සිවුරු පිළිගැනීමට අවසර දෙමි ; යමෙක් කැමැති නම් පංසුකූලික වේවයි) ආදිය වදාළ හෙයින් ප්‍රණීත වූ සිවුරු ඈ සිවුපසය ම භික්ෂූන් විසින් ලද්දේය. එහෙයින් නිෂ්පර්‍ය්‍යාය ආමිෂය වූ සිවුපසය ම බුදුන් සතු වූයේ ම වෙයි. පර්‍ය්‍යාය ආමිෂය වූ දෙව් මිනිස් සුව ලබනුයේ ද බුදුන් වදාළ දන්සිල් ඈ පිළිවෙත්හි හැසිරීමෙනි. එහෙයින් එ ද බුදුන් සතු වූයේ ම වේ. බුදුහු ධම්මදායාද සූත්‍රයෙහි දී “ධම්මදායාද මෙ, භික්ඛවෙ, භවථ, මා ආමිසදායාද” යී ආමිසය දායාද කොට නොගන්නා ලෙස භික්ෂූන්ට වදාළහ. ආමිස දායාදයන් වීම හේතු කොටගෙන බුදුසව්වන් මතු නොව තමන්වහන්සේ ද ගැරහිය යුතු බවට පැමිණෙන හෙයිනි. ආමිසපටිපත්ති වශයෙන් දෙවැදෑරුම් කොට වදාළ පූජා අතුරෙහි ද චීවරාදි සිවුපසයෙන් කරන පූජාව ආමිස පූජා නම් වෙයි. බුදුන් වදාළ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරීම පටිපත්ති පූජා නම්වේ. මෙයිනුදු ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුමැයි වදාරා ඇත.
(සංස්කරණය: 1965)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]