ඉන්ද්‍රප්‍රස්ථ

සිංහල විශ්වකෝෂය වෙතින්
13:03, 7 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('පාලියෙන් ඉන්දපත්ත, ඉන්දපත්තන, ඉන්දපට්ඨ යයි ද ස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පාලියෙන් ඉන්දපත්ත, ඉන්දපත්තන, ඉන්දපට්ඨ යයි ද සිංහලෙන් ඉඳිපත් නුවර යයි ද හැඳින්වෙන මේ නගරය මහාභාරතයෙහි සඳහන් වන යුධිෂ්ඨිරයන් ප්‍රධාන පංචපාණ්ඩව කුමාරවරුන්ගේ රාජධානියයි. මෙය පිහිටියේ යමුනා ගඟබඩ වර්තමාන දිල්ලි නගරය අසලය. මේ නගරය ප්‍රමාණයෙන් යොදුන් හතක් වූ බවත් මෙහි සිට බරණැස් නුවර දක්වා වැටුණු මහාමාර්ගයක් ද එකල වූ බවත් ජාතකපොතෙහි සඳහන් වේ. අතීතයෙහි දඹදිව තුබූ ප්‍රධාන නගර තුන අතුරෙන් ඉන්ද්‍රප්‍රස්ථ ද එකක් ලෙස සලකන ලදි. උත්තර පංචාල හා කේතක අනික් ප්‍රධාන නගර දෙකය. භාගවත පුරාණයෙහි සඳහන් වන අයුරු ඉන්ද්‍රප්‍රස්ථ නගරයේ රජ කළ ප්‍රථම රජතුමා යුධිෂ්ඨිරය. ඊට පසු එතුමාගේ සහෝදරයා වූ අර්ජුන මෙහි රජ වූ බවත් අර්ජුනයන්ගෙන් පැවත ආ පරම්පරා තිහක් මෙහි රජ කළ බවත් එහි ම සඳහන් වේ. මෙහි රජ කළ මේ පරම්පරාවේ අන්තිම රජතුමා ක්ෂේමක නම් විය. පාලි සාහිත්‍යයෙහි එන අයුරු ඉන්දපත්ත නගරය කුරු රාජ්‍යයෙහි නගරයකි. කුරුධම්ම ජාතකයෙහි හා විධුර ජාතකයෙහි දැක්වෙන අයුරු එකල කුරුරට ඉඳිපත් නුවර රජ කළේ ධනංජය කෝරව්‍ය නම් රජ කෙනෙකි. බුද්ධවංසයෙහි සඳහන් වන හැටියට බුදුන් පරිහරණය කළ දැළිපිහිය සහ ඉදිකටුව මෙහි නිදන් කොට ඇත. ඉන්ද්‍රප්‍රස්ථ නගරය මෙකල ඉන්දර්පත් නමින් හැඳින්වේ. එහි කුඩා බලකොටුවක් ද ඇත.

(සංස්කරණය: 1970)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉන්ද්‍රප්‍රස්ථ&oldid=7810" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි