ඉන්ද්‍රියාර්ථසන්නිකර්ෂ

සිංහල විශ්වකෝෂය වෙතින්
13:07, 7 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ලෞකික ප්‍රත්‍යක්ෂය ජනිත වන්නේ ඉන්ද්‍රියාර්ථ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලෞකික ප්‍රත්‍යක්ෂය ජනිත වන්නේ ඉන්ද්‍රියාර්ථසන්නිකර්ෂයෙනි. කරුණු වශයෙන් බලන කල ඉන්ද්‍රියය ප්‍රත්‍යක්ෂයට කරණය වෙයි. සන්නිකර්ෂය ව්‍යාපාරය වන්නේය. සන්නිකර්ෂය නම් සම්බන්ධයයි; අර්ථ හෙවත් අරමුණ සමඟ ඉන්ද්‍රියයාගේ ඇති වන සම්බන්ධයයි. එවැනි සම්බන්ධ සයක් වෙයි. ඒ නම් (1) සංයෝගය (2) සංයුක්තසමවායය (3) සංයුක්තසමවේතසමවායය (4) සමවායය (5) සමවේතසමවායය (6) විශේෂණවිශේෂ්‍යභාවය යනුයි. මේ සවැදෑරුම් සම්බන්ධය එක ම සන්නිකර්ෂ ශබ්දයෙන් කියැවෙයි. මෙහි (1) සංයෝගය (4) සමවායය (6) විශේෂණ විශේෂ්‍යභාවය යන තුන පමණක් මෞලික සම්බන්ධයෝ වෙති. අනිකුත් තුන සංයෝගයේ හා සමවායයේ ම එකිනෙකට ගැළපීම් වෙයි. මේ සවැදෑරුම් සම්බන්ධය ඉන්ද්‍රිය සය අනුව හෝ අර්ථ (අරමුණු) සය අනුව පෙන්වනු ලැබූවක් නොවේ. වෛශේෂිකයන් විසින් ඔවුන්ගේ පදාර්ථ එකිනෙකට සම්බන්ධව පවත්නා අයුරු දැක්වීමට කළ කල්පනයකි. ප්‍රත්‍යක්ෂයට භාජන වන්නේ ද්‍රව්‍ය, ගුණ, කර්ම හා සාමාන්‍ය යන පදාර්ථ සතර පමණකි (සමවායය ද නෛයායිකයන්ට ප්‍රත්‍යක්ෂ වෙයි). (1) ද්‍රව්‍යපදාර්ථය සමඟ චක්ෂුරින්ද්‍රියට ඇත්තේ සංයෝග සම්බන්ධයයි. චක්ෂුරින්ද්‍රිය ද්‍රව්‍යයකි. ඊට සම්බන්ධ වූ කළය ද ද්‍රව්‍යයකි. ද්‍රව්‍යය එකිනෙකට සම්බන්ධ වන්නේ සංයෝගයෙන් පමණකි. එහෙයින් ඇසට කළය සම්බන්ධ වන්නේ සංයෝග සන්නිකර්ෂයෙනි. වෙනත් වචනයකින් කියත හොත් ඇසට කළය පෙනෙන්නේ සංයෝග සන්නිකර්ෂය මගිනි. අතීන්ද්‍රිය නොවූ පෘථිවිය, ජලය, තේජස හා වායුව ද ආත්මය ද සංයෝග සන්නිකර්ෂය නිසා ප්‍රත්‍යක්ෂ වෙයි. (නව්‍ය-නෛයායිකයන්ට වායුව ප්‍රත්‍යක්ෂය; ආත්මය නෛයායිකයන්ට ප්‍රත්‍යක්ෂය, වෛශේෂිකයන්ට අප්‍රත්‍යක්ෂය.) (2) ගුණය, කර්ම හා ද්‍රව්‍යගත සාමාන්‍යයය ප්‍රත්‍යක්ෂ වන්නේ සංයුක්තසමවාය සම්බන්ධයෙනි (ශබ්ද ප්‍රත්‍යක්ෂය මීට ඇතුළත් නොවේ). යට කී කළය ගනිමු. එහි වූ රූපයත්, චලනයත් (කර්මයත්) එසේ ම කළයෙහි වූ සාමාන්‍යයත් (ඝටත්වයත්) ප්‍රත්‍යක්ෂ වන්නේ එකී සන්නිකර්ෂයෙනි. ගුණ, කර්ම හා සාමාන්‍යය ද්‍රව්‍යයන්හි පවත්නේ සමවාය සම්බන්ධයෙනි. (3) ගුණ හා කර්මගත සාමාන්‍යය ප්‍රත්‍යක්ෂ වන්නේ සංයුක්තසමවේතසමවාය සන්නිකර්ෂයෙනි. (ශබ්දගත සාමාන්‍යය මෙයට ඇතුළත් නැත). යට කී කළයට අයත් රූපයෙහි වූ රූපත්ව සාමාන්‍යය ප්‍රත්‍යක්ෂ වන්නේ එකී සම්බන්ධයෙනි. ඇස, සංයෝගයෙන් කලසාත්මක (කලය නමැති) ද්‍රව්‍යයට ද නැවත කලස මගින් සංයුක්තසමවේතයෙන් රූපයට ද රූපය මගින් සංයුක්තසමවේත සමවායයෙන් රූපත්වජාතියට ද සම්බන්ධ වේ. රූපත්වජාතිය රූපයෙහි ඇත්තේ සමවායයෙනි. (4) ශ්‍රෝත්‍ර - ඉන්ද්‍රියයට ශබ්දය දැනෙන්නේ සමවාය සන්නිකර්ෂයෙනි. ශ්‍රෝත්‍ර යනු වෛශේෂිකයන්ට අහස මැයි. ශබ්දය අහසේ ගුණයකි. (5) ශබ්දගත ශබ්දත්වජාතිය දැනෙන්නේ සමවේතසමවාය සන්නිකර්ෂයෙනි. ශබ්දය ශ්‍රෝත්‍රයෙහි සමවේත වූවකි. ශබ්දත්වය එහි සමවායයෙන් පවතී. (6) විශේෂණවිශේෂ්‍යභාව සම්බන්ධයෙන් අභාවය හා සමවායය ද ප්‍රත්‍යක්ෂ වේ (සමවායය ප්‍රත්‍යක්ෂ නෛයායිකයන්ට පමණකි). භූතලයෙහි කළයක් නැති බව පෙනේ. මෙම අභාවප්‍රත්‍යක්ෂයේ නියම ස්වරූපය නම් " මේ කළය රහිත භූතලයකි " යන්නයි. භූතලය ඇසට සම්බන්ධ වෙයි. කළය නැත (ඝටාභාවය) යන්න එයට විශේෂණභාවයෙන් සම්බන්ධ වී පවතී. ඇස්. අබයසිංහ

(සංස්කරණය: 1970)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]