ඒබ්‍රහම් බෙන් මෙයර් ඉබ්න් (අබෙන්) එස්රා

සිංහල විශ්වකෝෂය වෙතින්
10:52, 5 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1092–1167). යුදෙව් ජාතික දාර්ශනිකයකු හා ග්‍රන්ථ කර්තෘවරයකු වූ මෙතෙමේ විශේෂයෙන් ප්‍රකට වූයේ බයිබලය සම්බන්ධයෙන් ලියූ අර්ථකථා නිසාය. දර්ශනය, නක්ෂත්‍ර විද්‍යාව, ගණිත විද්‍යාව හා වාග්විද්‍යාව පිළිබඳව ග්‍රන්ථ රාශියක් හේබ්‍රෙව් බසින් රචනා කළ මොහු කවියකු වශයෙන් ද ප්‍රසිද්ධියක් ඉසිලීය.

ස්පාඤ්ඤයේ තොලේදෝ නගරයෙහි උපන් ඉබ්න් එස්රා භාෂාව පිළිබඳ විශාරදයකු පමණක් නොව එවක සිටි ශ්‍රෙෂ්ඨතම පඬිවරයෙක් ද විය. මොහු අරාබි බසින් හෙබ්‍රෙව් බසට පරිවර්තනය කළ ග්‍රන්ථ අරාබි නොදත් රටවල ස්පාඤ්ඤ-යුදෙව් සංස්කෘතිය පැතිරී යෑමට මහෝපකාරී විය. සුප්‍රකට ඉංග්‍රීසි කිවියර රොබට් බ්‍රව්නිංගේ 'රැබයි බෙන් එස්රා' නම් කාව්‍යයට මූලාදර්ශය වූයේ ද මොහුය. ඉතාලිය, එංගලන්තය ආදී රටවල සංචාරය කළ මොහු තම ජීවිතයේ වැඩි කාලයක් දේශාටනයෙහි යෙදී සිටියේය.

ඉබ්න් එස්රාගේ ග්‍රන්ථ රාශිය අතර 'දාර්ශනිකයකු හා භක්තිමතකු අතර සංවාදය' නම් ග්‍රන්ථය ද ආචාර විද්‍යාත්මක ග්‍රන්ථයක් වූ 'දුක නැති කිරීමේ උපක්‍රමය' ද විද්‍යා අධ්‍යයනය පිළිබඳ හැඳින්වීමක් වූ 'පාණ්ඩිත්‍යයේ ආරම්භය' නම් ග්‍රන්ථය ද වෙයි.

(සංස්කරණය: 1970)