ඇඩ්රිනලීන්
(එපිනෙප්‍රීන්) [Adrenaline (Epineprine)]. මෙය වූකලි අධිවෘක්ක ග්‍රන්ථියෙහි මජ්ජනයේ තිබෙන ප්‍රධාන හෝර්මෝනයයි (හෝර්මෝන බ.) ස්ඵටිකරූපී ආකාරයෙන් පළමුවෙන් ලබාගත් හෝර්මෝනය මෙය වේ. එය දුර්වල ලෙස භාස්මික වූ ස්ඵටිකරූපී සංයෝගයකි. එහි රසායන සූත්‍රය (OH)2 C6H3 CH(OH) CH2 NHCH3ය. අවක්ෂේපණ තත්වයන්ට අනුව ඇඩ්රිනලීන් ස්ඵටිකවල හැඩය වෙනස් වේ. ඒවා තහඩු හෝ ප්‍රිස්ම හෝ සූචි හෝ විය හැකිය. ඇඩ්රිනලීන් වනාහි ගඳක් නැති තිත්ත රසැති නිර්වර්ණ ද්‍රව්‍යයකි. වාතස්පර්ශය ලත් විට එය ක්‍රමයෙන් ළා දුඹුරුපාට වේ. එහි ද්‍රවාංකය සෙ. 211°-212° දක්වා විය හැකිය. සෙ. 20° දී ඇඩ්රිනලීන් එක් කොටසක් ජල කොටස් 3,000ක පමණ ද්‍රවණය වේ. සෙ. 25° දී එහි එක් කොටසක් එතිල් ඇල්කොහොල් කොටස් 2,000ක පමණ ද්‍රවණය වේ. ඊතරවල හෝ ක්ලොරොෆෝම්වල ඇඩ්රිනලින් අද්‍රාව්‍යය. 1897 දී ආබෙල් (Abel) විසින් මේ ද්‍රව්‍යයට එපිනෙප්‍රීන් යන නම දෙන ලදි. 1900 දී මේ ස්ඵටිකරූපී හස්මය වෙන් කළ ටකමින් (Takamine) විසින් ඊට ඇඩ්රිනලීන් යන නම දෙන ලදි. අධිවෘක්ක නිස්සාරණයන්ගෙන් ද සංශ්ලේෂක ක්‍රම මගින් ද ඇඩ්රිනලීන් නිෂ්පාදනය කරනු ලැබේ. ඇඩ්රිනලීන්වල ව්‍යුත්පන්න කිහිපයක් සංශ්ලේෂණය කොට ඇත. මේවායින් කිහිපයක් වෛද්‍ය කර්මයෙහි දී උපයෝගී කොටගනු ලැබේ.
ඇඩ්රිනලීන් උභයගුණී (amphoteric)ය, හාස්මික ඇමයිනො කාණ්ඩයක් මේ සංයෝගයෙහි ඇති බැවින් තනුක අම්ල මගින් එය පහසුවෙන් නිස්සාරණය කළ හැකිය. එහෙත් එහි ඇති අම්ල කාණ්ඩ නිසා ප්‍රබල ක්ෂාර වැඩිමනත් ප්‍රමාණයක් එකතු කිරීමෙන් වත් එය අවක්ෂේපණය කළ නොහැකිය. තද වර්ණවලින් යුත් ද්‍රාවණ සාදමින් ඇඩ්රිනලීන් පහසුවෙන් ඔසීභවනය වේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හෝ පොටෑසියම් ප'මැංගනේට් මගින් ඇඩ්රිනලීන් ඔක්සිකරණය කළ විට ඔක්සලික් අම්ලය සෑදේ. ප්‍රකාශ ලෙස (optically) සක්‍රිය වූ රූපීන් දෙකක් වශයෙන් ඇඩ්රිනලීන් පැවතිය හැකිය. අධිවෘක්ක තරලයේ තිබෙන කායික ලෙස වඩා සක්‍රිය වූ ඇඩ්රිනලීන් වාමභ්‍රමකය.
ඉතා ප්‍රබල කායික ක්‍රියාකාරිත්වයක් ඇඩ්රිනලීන්වලට ඇත්තේය. අනුවේගී ස්නායු පද්ධතියෙන් ස්නායු බලය සපයන සෛල, ඇඩ්රිනලීන්වලින් උත්තේජනය කෙරේ. ඇඩ්රිනලීන් කුඩා ප්‍රමාණයක් අන්තශ්ශෛරික ලෙස ශරීරගත කළ විට රුධිර පීඩනය වැඩි වේ. හෘදයේ මෘදු පේශිය කෙරෙහි කෙළින් ම ක්‍රියා කොට කන්තුක (cardiac) ක්‍රියා ප්‍රමාණය වැඩි කිරීමෙන් ද ධමනිකාවන් සංකෝචනය කිරීමෙන් ද මේ ප්‍රතිඵලය ඇති කරනු ලැබේ. ඔක්සිජන් දැවී යෑම වැඩි කරන නිසාත් කාබොහයිඩ්රේට් දහනයට අනුබල දෙන නිසාත් ඇඩ්රිනලීන්, පරිවෘත්තීය (metabolic) උත්තේජකයක් ලෙස සැලකිය හැකිය. එය අක්මාවෙන් සීනිගෙන රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය වැඩි කරයි. ඇඩ්රිනලීන් ක්‍රියා කිරීමෙන් ක්ලෝම (bronchial) පේශී ශිථිල කරනු ලැබේ. එබැවින් මේ ද්‍රව්‍යය ඇදුමට යෝග්‍ය පිළියමකි. සමේ රක්තපාතය පාලනය කිරීම සඳහා වාහිනී සංකෝචකයක් වශයෙන් ද ස්ථානීය නිර්වින්දකයන් (anaesthetics) ක්‍රියා කරන කාලය දික් කිරීම සඳහා ද ඇඩ්රිනලීන් යොදනු ලැබේ. ශ්ලේෂ්මල පටල ආලේප කිරීම සඳහා ඇඩ්රිනලීන් ආලේප යොදනු ලැබේ. ප්‍රහාරය (shock), ධමනිදෘඨතාව (arteriosclerosis) හා උරස්සම්බාධය (angina pectoris) වැනි රෝගවලට ඇඩ්රිනලීන් අහිතකරය. අධික මාත්‍රා වශයෙන් ඇඩ්රිනලීන් ශරීරගත කළ හොත් ව්‍යග්‍රතාව, ඉසරදය, ගැස්ම, කරකැවිල්ල හා ස්පන්දනය ආදිය ඇති වන්නට පුළුවන.
(සංස්කරණය: 1967)