ඉන්දු-ලංකා ප්‍රශ්නය

සිංහල විශ්වකෝෂය වෙතින්
11:15, 19 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මේ වූ කලි ලංකාවේ පදිංචි ඉන්දියානුන්ගෙන් මෑතක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මේ වූ කලි ලංකාවේ පදිංචි ඉන්දියානුන්ගෙන් මෑතක සිට පැවත එන්නන්ගේ පුරවැසි තත්ත්වය පිළිබඳව පැනනැඟී ඇති ප්‍රශ්නයයි. මෙම ඉන්දියානු ජනගහනය වතුකම්කරුවන් හා නාගරික රක්ෂාවල යෙදී සිටින්නන් යනුවෙන් කොටස් දෙකකින් සමන්විත වේ. නිදහස ලැබීමෙන් පසු ඉන්දු-ලංකා සම්බන්ධතාවල දී බලවත් ම ප්‍රශ්නය වී ඇත්තේ ඉන්දියානු වතුකම්කරුවන් පිළිබඳ ප්‍රශ්නයයි.

ප්‍රශ්නයට අදාළ වූ ඉන්දියානුන් ලංකාවට සංක්‍රමණය වීමට පටන් ගත්තේ මෙරට ඉංග්‍රීසි පාලනය යටතේ ඇති වූ ආර්ථික ව්‍යාපාර සමඟයි. ඈත අතීතයේ දී ඉන්දියාවෙන් මිනිසුන් මෙරටට කලින් කල සංක්‍රමණය වුව ද ඔවුන් මෙරට ජනතාව හා සම්මිශ්‍රණය වීම නිසා කිසිදු ප්‍රශ්නයක් උද්ගත නොවීය. 19 වන සියවසේ සිට මෙරටට සංක්‍රමණය වූ ඉන්දියානු ජාතිකයන් හා මෙරටවාසීන් අතර මෙවැනි සම්මිශ්‍රණයක් ඇති නොවීය. මෙරට ඉන්දියානුන් පිළිබඳ ප්‍රශ්නයක් පැනනැගී ඇත්තේ එසේ සම්මිශ්‍රණය නොවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

ලංකාව මුළුමනින් ම ඉංග්‍රීසින් යටතට පත් වූ පසු ඔව්හු රටේ දියුණුවට හේතු වූ නොයෙකුත් කටයුතු ආරම්භ කළහ. ගමනාගමනය දියුණු කිරීම, දුම්රිය මාර්ග තැනීම හා උඩරට පෙදෙස්වල වැවිලි කර්මාන්තය ආරම්භ කිරීම මේ අතර ප්‍රධාන වේ. මෙම කටයුතු සඳහා ඉංග්‍රීසි පාලකයන්ට තමන්ට අවනත කම්කරු පිරිසකගේ අවශ්‍යතාව පෙනී ගියේය. කුලීවැඩ කිරීම කෙරෙහි මෙරටවාසීන් වැඩි ප්‍රසාදයක් නොදැක්වීමේ හේතුවෙන් මෙම කටයුතු සඳහා අවශ්‍ය කම්කරුවන් මෙරටින් ලබාගැනීම අසීරු විය. අවශ්‍ය අන්දමේ කම්කරුවන් පහසුවෙන් ලබාගත හැකි වූ ප්‍රදේශයක් වූයේ දකුණු ඉන්දියාවයි. දකුණු ඉන්දියාවෙන් මේ අවදියේ දී මිනිසුන් සංක්‍රමණය වූයේ ලංකාවට පමණක් නොවේ. බටහිර ඉන්දියානු දූපත්, මුරුසිය, බුරුමය හා මලයාව යන යටත්විජිතවලට ද කම්කරුවන් සංක්‍රමණය වූයේ ඉන්දියාවෙනි. අනෙක් රටවල් සඳහා කම්කරුවන් බඳවා ගැනීමේ දී ඒ ඒ යටත්විජිත රජයන් මූලික වූ අතර ලංකාවට අවශ්‍ය කම්කරුවන් බඳවාගැනීම මුළුමනින් ම පාහේ වතුපාලකයන්ට භාර වී තිබිණි. ඉන්දියාවත් ලංකාවත් ළං ළංව පිහිටා තිබීමේ හේතුවෙන් මෙලෙස කම්කරුවන් බඳවාගැනීමේ දී ලංකා ආණ්ඩුවට සම්බන්ධ වීමට අවශ්‍යතාවක් ඇති නොවීය.

19 වන සියවසේ සිට ඉන්දියානුන් මෙරටට පැමුණුණේ ප්‍රධාන වශයෙන් ම වතුවල වැඩ කිරීම සඳහාය. රජයේ හෝ වෙළෙඳ සමාගම්වල සේවය, මෙහෙකරු සේවය හා කසළ ශෝධනය වැනි කටයුතු සඳහා ද සුළු පිරිසක් මෙරටට පැමිණියහ. 1943 දී පසුව කී කොටසට අයත් ඉන්දියානුන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව 160,000ක් පමණ විය. නිදහස ලැබීමෙන් පසුව මේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වී ගොස් ඇත. නිදහස ලැබීමෙන් පසුව ලංකාව අනුගමනය කළ ආර්ථික හා පුරවැසි ප්‍රතිපත්තිවලින් අතිශයින් හානි සිදු වූයේ යට කී ඉන්දියානු ජනගහනයටයි.

වතුවල වැඩ කිරීම සඳහා මෙරටට ඉන්දියානු කම්කරුවන් සංක්‍රමණය වන්නට පටන්ගත්තේ 1830 ගණන්වල දී ඇති වූ කෝපි වගාවත් සමඟය. මුල දී ඉන්දියානුන් ස්ථීර ලෙස සංක්‍රමණය වූහයි කිව නොහැකිය. මෙරට පදිංචිවීමට කිසිම කැමැත්තක් ඔවුහු නොදැක්වූහ. මෙරට සුළු කාලයක් නතර වී රක්ෂාවක් කර ආපසු යාමට ඔව්හු බලාපොරොත්තු වූහ. එහෙයින් මුල දී වැඩි වශයෙන් ම ඉන්දියානුන් පැමිණියේ ඔවුන්ගේ පවුල් ඉන්දියාවේ නතරකොටය. මේ බව මුල් කාලයේ ආගමන සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වේ. කෝපි වගාව සඳහා කම්කරුවන් අවශ්‍ය වූයේ එක්තරා කාලයක දී පමණි. වැඩ නැති කාලවල දී ඉන්දියාවට ආපසු යාමට සියලු අනුබල ඔවුනට වතුපාලකයන්ගෙන් ලැබිණි. ස්ථිර වශයෙන් වතුකම්කරුවන් මෙරටට සංක්‍රමණය වූයේ 19 වන සියවසේ අවසාන කොටසේ දීය. කෝපි වගාවේ පරිහානියෙන් පසුව ඇති වූ තේ වගාවට ස්ථිර කම්කරු පිරිසකගේ සහාය අවශ්‍ය විය. ස්ථිර වශයෙන් මෙරටට සංක්‍රමණය වීමට පටන් ගත් පසු ද ඉන්දියානු ජාතිකයෝ මව්රට හා සම්බන්ධකම් අත් නොහළහ. ඔවුන් වැඩි දෙනාගේ පරමාර්ථය වූයේ මෙරට රක්ෂාවෙන් මුදල් ඉතිරි කොටගෙන ආපසු යාමය. එමෙන් ම තම නෑදෑයන් දැකබලාගැනීම සඳහාත් සුළු නිවාඩුවක් ගත කිරීම සඳහාත් කලින් කල ඉන්දියාවට යෑමට ඔව්හු පුරුදු වී සිටියහ. ඉන්දියාව සමඟ සම්බන්ධකම් අත්නොහළ හෙයිනුත් වතුවල හුදකලා ජීවිතයක් ගත කළ හෙයිනුත් ඔවුන් මෙරටවාසීන් සමග සම්මිශ්‍රණය වූයේ කලාතුරකිනි. ඉන්දියානු කම්කරුවන්ගේ ආගමනය හා විගමනය බොහෝ දුරට රැඳී පැවතුණේ මෙරට හා ඉන්දියාවේ පැවැති ආර්ථික තත්වය පිටය. ලංකාවේ වැවිලි කර්මාන්ත අතිශයින් දියුණු වූ කාලවල දීත් එමෙන් ම ඉන්දියාවේ සාගත හා වසංගත පැවැති කාලවල දීත් ඉන්දියාවෙන් මෙරටට ජනයා ඇදී එන්නට වූහ. මෙරට වතු වගාවන්ගේ අර්බුද සමයන්හි දී මෙන් ම ඉන්දියාවේ හොඳ අස්වැන්න පැවැති කාලවල දී මෙරටින් ඔව්හු ඉවත් වී ගියහ.

ලංකාවට අවශ්‍ය ඉන්දියානු වතුකම්කරුවන් තෝරාගැනීමේ දී යටත්විජිත ආණ්ඩුව සහභාගි නොවුව ද ඉන්දියානු කම්කරුවන්ගේ ශුභසිද්ධිය සඳහා කලින් කල ඔව්හු නීති පැනවූහ. අධ්‍යාපන ආඥාපනත 1920, කම්කරු ආඥාපනත 1921 හා අවම වැටුප් ආඥා පනත 1927 මේ අතර වැදගත් තැනක් ගනී. දෙවන ලෝක සංග්‍රාමයට පෙර කාලයේ දී මෙවැනි අනපනත්වලින් සහනය ලැබුණේ ඉන්දියානු වතුකම්කරුවන්ට පමණි. 1923 වර්ෂයේ සිට ඉන්දියානු කම්කරුවන් මෙරටට පැමුණුණේ 1922 දී ඉන්දියානු ආණ්ඩුව විසින් පනවන ලද පනතකට අනුකූලවය. මේ අනුව ඉන්දියානු ආගමන කම්කරු පාලක තනතුරක් ද ආගමන අරමුදලක් ද පිහිටුවීමට සිදු විය. එමෙන් ම ඉන්දියානු කම්කරුවන් තේරීමේ කාර්යය භාරව ලංකා විගමන කොමසාරිස්වරයෙක් ද පත් කරන ලදි. අනෙක් අතට මෙරට සිටින කම්කරුවන්ගේ ශුභසිද්ධිය ගැන සොයාබැලීමට ඉන්දියාවෙන් ‘ඉන්දියානු ඒජන්ත’ යනුවෙන් නිලධාරියෙක් ද පත් කොට එවන ලදි. 1924 හි දී ඉන්දියානු ආණ්ඩුවේ ඉල්ලීමක් පරිදි, රෝගී වූ හෝ වැඩ නොකළ හැකි ඉන්දියානුන් ආපසු යැවීමට කටයුතු සලස්වා දීමට ලංකාව කැමැත්ත පළ කළාය. මේ අනුව එවැනි අයට දුම්රියෙන් නොමිලයේ ගමන් කිරීමට අවසර ලැබිණි. අනෙකුත් වියදම් සියල්ල ආගමන අරමුදලෙන් ගෙවීමට ද තීරණය විය. 1937න් පසුව අලුතෙන් කම්කරුවන් බඳවාගෙන නැතත් ඉන්දියානු ජනගහනය අතිශයින් වැඩි වී ඇත.

ඉන්දියානු වතුකම්කරු ජනගහනය වැඩි වී ඇති ආකාරය

1827-10,000

1877-146,000

1911-457,765

1931-692,540

1946-665,853

1961-949,684

දේශපාලන ප්‍රශ්නයක් වශයෙන් ඉන්දු-ලංකා ප්‍රශ්නය උද්ගත වූයේ 1920 ගණන්වලින් පසුවය. 1931 දී ලංකාවට අලුත් ආණ්ඩු ක්‍රමයක් ලැබීමත් 1929 – 30 දී ඇති වූ ආර්ථික පරිහානියත් මේ ප්‍රශ්නය උද්ගත වීමට හේතුභූත වි. 1931 දී ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ ලංකාවට අර්ධ වගකීම් සහිත ආණ්ඩු ක්‍රමයක් ලැබිණි. එයින් ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු අතර එක් එක් ජාතීන් අනුව වූ නියෝජන ක්‍රමය ද අහෝසි විය. සර්වජන ඡන්ද බලය සීමාවක් නැතිව ක්‍රියාත්මක කළහොත් එයින් ඉන්දියානු ජාතිකයන් සියලු දෙනාට ම ඡන්ද බලය අයත් වීමට ඉඩ තිබිණි. සිංහල නායකයන්ගෙන් ඇති වන විරුද්ධතා ගැන කල්පනා කළ කොමසාරිස්වරු ඡන්ද බලය ලංකාව පිළිබඳව ස්ථිර ඇල්මක් ඇති, එමෙන් ම මෙරට ස්ථීරව ම පදිංචියට කැමති පුද්ගලයන්ට පමණක් සීමා කළ යුතු යයි නිර්දේශ කළහ. මේ සඳහා අවුරුදු පතා එක්තරා කාලසීමාවක් පදිංචිව සිටීම සෑහේ යයි කරන ලද යෝජනාව පිළිගැනීමට සිංහල නායකයෝ අකැමැති වූහ. මේ අනුව ආණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන පරිදි 21න් ඉහළ සෑම බ්‍රිතාන්‍ය පුරවැසියකුට ම පහත දැක්වෙන සුදුසුකම් ඇත් නම් ඡන්ද බලය හිමි වන සේ නීති සකස් කරන ලදි. සෑම ඡන්දදායකයකු ම ලංකාවේ උපන්නකු හෝ කැමැත්තෙන් පදිංචි වූවකු හෝ විය යුතුය. කැමැත්තෙන් පදිංචිව සිටීම යන්න පිළිගත හැක්කේ අවුරුදු පහක් දිගට ම පදිංචිව සිටියොත් පමණි. නැතහොත් අධ්‍යාපන, දේපළ හෝ ආදායම් සුදුසුකම් තිබිය යුතුය. එසේත් නැතහොත් ස්ථිර පදිංචිය පිළිබඳව සහතිකයක් අයත්ව තිබිය යුතුය. මේ සහතික ලබාගත යුත්තේ ඒ සඳහා පත් කරන ලද නිලධාරියකුගෙනි. සහතිකයක් දෙන ලද්දේ අවුරුදු පහක් අඛණ්ඩව මෙරට පදිංචිව සිටියකුට පමණි.

මෙම පනතින් බලාපොරොත්තු වූයේ සිංහල නායකයන්ට හා ඉන්දියානු නියෝජිතයන්ට පිළිගත හැකි ක්‍රමයක් ඉදිරිපත් කිරීමය. මෙම ඡන්ද නීතිය ක්‍රියාවේ යෙදවීමේ ආකාරය පිළිබඳව සිංහල නායකයන් අප්‍රසාදයට පත් වූ අතර ජාතීන් අනුව වෙනස්කම් කිරීමේ ප්‍රශ්නය උඩ ඉන්දියානුවෝ ද අප්‍රසාදයට පත් වූහ. 1937 දී පළාත් පාලන ඇමතිවරයා විසින් ඉදිරිපත් කිරීමට උත්සාහ ගත් ගම්සභා පනතේ සංශෝධන ද මෙලෙසින් ම මතභේදයට හේතු වූ තවත් කරුණකි. 1930 ගණන්වල දී සිට දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව පැහැදිලි විග්‍රහයක් අවශ්‍ය වූයේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණ සමඟ ස්වරාජ්‍ය තත්වය කරා ලංකාව ඉදිරි පියවර තැබූ හෙයිනි. ආණ්ඩුක්‍රම විකාසයේ සෑම ප්‍රතිසංස්කරණයක් සමඟ ම ඉන්දියානුන්ගේ ඡන්ද බලය පිළිබඳ ප්‍රශ්නය ඉස්මතු විය. මේ වන විට සිංහල නායකයෝ ලාංකික ජාතියක් පිළිබඳව අදහසක් ඇති කරගෙන සිටියහ. මෙම අදහස අනුව ඉන්දියානු ජාතිකයන් සැලකුණේ අන්‍යදේශිකයන් ලෙසිනි.

1929-30 කාලයේ දී ඇති වූ ආර්ථික පරිහානිය නිසා ලංකාව පුරා ම රැකීරක්ෂා ප්‍රශ්නය පැතිර ගියේය. රැකීරක්ෂා ප්‍රශ්නය උග්‍ර වීමට ඉන්දියානුන්ගේ ආගමනය හේතු වීය යන අදහසක් සමහර කොටස් අතරේ පැතිර ගියේය. මේ කාලයෙන් පසුව රැකීරක්ෂා ප්‍රශ්නය උග්‍ර වූ සෑම විට ම පාහේ ඉන්දියානු ප්‍රශ්නය කෙරෙහි ද ජනතාවගේ සිත් යොමු විය.

වතුකම්කරුවන් නොවන, වෙනත් රක්ෂාවල යෙදී සිටි ඉන්දියානුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වූයේ නොයෙකුත් වෘත්තීන් ලාංකිකයන් අතට පත් කිරීමට ලංකා ආණ්ඩුව කලින් කල ගත් පියවර නිසයි. 1928 දී වෘත්තීය සමිතියක ඉල්ලීම පරිදි, ඉන්දියානුන්ට සම්පුර්ණයෙන් ම පාහේ වෙන්ව පැවැති වරායේ බඩු ගොඩබෑම, පැටවීම වැනි කාර්‍ය්‍ය සඳහා 25%ක් පමණ ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය විය. 1929 දී එවැනි ම ඉල්ලීමක් පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්දියානු ජාතිකයන් බඳවාගත යුත්තේ සුදුසු ලාංකිකයන් නොමැති නම් පමණක් යයි තීරණය කරගන්නා ලදි. 1933 දී ප්‍රධාන ලේකම්තුමාගේ නියෝගයක් පරිදි ලාංකිකයන් සිටිද්දී ඉන්දියානු ජාතිකයන් රජයේ දෙපාර්තමේන්තුවලට බඳවාගැනීම තහනම් විය. 1936 දී රජයේ දෙපාර්තමේන්තුවල සිටි කම්කරු පිරිසගෙන් 26%ක් ඉන්දියානුවෝ වූහ. 1941 වන විට මෙම කොටස 12% දක්වා අඩු විය. වෙළෙඳ සමාගම්වල හා වතුවල සේවය ලාංකික කිරීම පිළිබඳව උනන්දුවක් ඇති වුණේ නිදහස ලැබීමෙන් පසුවය. නිදහස ලැබීමෙන් පසුව ලංකාණ්ඩුව මගින් පනවන ලද පුරවැසි පනත්වලින් ද වැඩි වශයෙන් ම පහර වැදුණේ මෙම ඉන්දියානු කොටසටය.

ඉන්දු-ලංකා අර්බුදයට මූලික වී ඇත්තේ ඉන්දියානු ජාතිකයන්ගේ ස්ථිර පදිංචිය පිළිබඳ ප්‍රශ්නයයි. ඉන්දියාවේ රජයේ හා මහජනයාගේ මතය නම් ලංකාවේ සිටින ඉන්දියානුන්ගෙන් වැඩි දෙනා මෙරට ස්ථිර වශයෙන් පදිංචිව සිටින බවයි. මොවුන් තුන්වැනි පරම්පරාවට අයත් ජනගහනයක්ය යනු ඔවුන්ගේ පිළිගැනීමයි. ලංකාවේ මතය අනුව මෙම ජනගහනය තව ම සංක්‍රමණශීලී ගතිගුණ අත්හැර නැත. එමෙන් ම ලංකාව පිළිබඳ ස්ථිර ඇල්මක් ද ඔවුනට නැත. මෙවැනි මතභේදයක් පිළිබඳව පැහැදිලි තීරණයකට එළඹීමට අපහසු වී ඇත්තේ මෙරට සිටින ඉන්දියානුන්ගේ ස්ථිර පදිංචිය පිළිබඳව විද්‍යාත්මක ගවේෂණයක් පවත්වා නැති හෙයිනි. ඩොනමෝර්, සෝල්බරි වැනි වාර්තාවල ස්ථිර පදිංචිය පිළිබඳව සංඛ්‍යා සඳහන් කර තිබුණත් ඒවා නියම සාධකයන් මත පිහිටා කරන ලද නිගමන නොවේ. ආගමන හා විගමන සංඛ්‍යා ලේඛන ක්‍රමානුකූලව රැස් කර නොතිබීම මෙයට එක් හේතුවකි. රැස් කර තිබෙන ලේඛනවලින් පැහැදිලි වන්නේ කම්කරුවන් නිතර ම පාහේ එහා මෙහා ගිය බවය. එමෙන් ම කරුණු පිරික්සීමේ දී මෙරට ඉන්දියානුන් ඉන්දියාව සමඟ සම්බන්ධකම් පවත්වන බව ද පැහැදිලි වේ. මෑතක් වන තුරු ම ඔව්හු ඉන්දියාවට මුදල් යැවූහ. මෙම කරුණු හේතුවෙන් ඔවුන් වැඩිදෙන මෙරට ස්ථිරව ම පදිංචිවූවන් සේ සිතිය නොහැකිය.

මෙරට ඉන්දියානුන්ගේ තත්වය හා අයිතිවාසිකම් පිළිබඳව දෙරට අතර ප්‍රථම වරට සාකච්ඡා ඇති වූයේ 1940 නොවැම්බර් මාසයේ දීය. අනාගතයේ දී මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට පහසු ක්‍රමයක් පිළිබඳව එකඟත්වයකට පැමිණීම මෙම සම්මේලනයේ පරමාර්ථය විය. මෙම සම්මේලනයේ දී මෙරට ඉන්දියානු ජනගහනයේ දේශපාලන හා ආර්ථික අයිතිවාසිකම් පිළිබඳව යම් යම් මූලික ප්‍රතිපත්ති කිහිපයක් කෙරෙහි එකඟත්වයකට පැමිණීමට දෙපක්ෂය ම කැමැත්ත දැක්වූහ. ඒ අවදියෙහි ලංකාවට මුහුණපෑමට සිදු වී තිබුණු ආර්ථික අපහසුකම් පෙන්වා දුන් ලංකා නියෝජිතයෝ එම කරුණු හේතුවෙන් ඉන්දියානු ජනගහනයට අයත් සියල්ලන්ට ම දේශපාලන හා ආර්ථික අයිතිවාසිකම් දීම අපහසු බව පැහැදිලි කළහ. ඔවුන්ගේ යෝජනා අනුව මෙරට වෙසෙන ඉන්දියානු ජනගහනය කොටස් තුනකට බෙදිය හැකි:

(1) උත්පත්තියෙන් මෙරට පදිංචිය ලබා සිටින කොටස ලාංකිකයන් ලෙස පිළිගැනීමට පුළුවන. එමෙන් ම ලාංකිකයන් සතු සියලු ම අයිතිවාසිකම් ඔවුන්ට අයත් වේ.

(2) අවුරුදු පහක් ලංකාවෙහි ජීවත්වීමෙන් පසුව කැමැත්තෙන් පදිංචිය ලබා සිටින කොටසට රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය පිළිබඳව පමණක් අයිතියක් ඇත.

(3) මෙරට පදිංචිය නොලද අයට ජීවනෝපාය පිළිබඳව පමණක් අයිතිවාසිකම් ඇත.

මෙම යෝජනාවන්ට විරුද්ධ වූ ඉන්දියානු නියෝජිතයෝ මෙරට අවුරුදු පහක් ජීවත් වූ, එමෙන් ම මෙරට කෙරෙහි ස්ථීර ඇල්මක් ඇති සියල්ලන්ට ම සම්පූර්ණ පුරවැසි අයිතිවාසිකම් ලබාදිය යුතු යයි කියා සිටියහ. මෙම මතභේද හේතුවෙන් සාකච්ඡා තව දුරටත් පවත්වා ගෙන යාම අපහසු විය.

1940 සම්මේලනයෙන් පසුව ලංකා රජය ආගමන කටයුතු සීමා කිරීමේ පරමාර්ථයෙන් ආගමන පනතක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. මෙම පනතේ පිටපතක් ඉන්දියාවට යවන ලදි. පනතේ ‘ලාංකික නොවන’ යන කොටස පිළිබඳව කරන ලද විග්‍රහය උඩ මතභේදයක් ඇති වූ හෙයින් මේ පිළිබඳව තීරණයකට එළඹීමට 1941 අගෝස්තු මස දෙරට අතර සාකච්ඡා පවත්වන ලදි. මෙම සාකච්ඡාවලින් ප්‍රශ්න කිහිපයක් පිළිබඳව තීරණවලට එළඹීමට හැකි විය. මේ අනුව ඔව්හු සැප්තැම්බර් 21 වැනි දින ඒකාබද්ධ වාර්තාවක් නිකුත් කළහ. එම වාර්තාවේ මූලික අදහස වූයේ මෙරට වාසය කරන ඉන්දියානුන් කොටස් කර ඔවුන්ගේ අයිතිවාසිකම් වෙන් කර දැක්වීමය. උත්පත්තියෙන් පදිංචිය ලත් අය ස්ථීර ජනගහනය හා සමානව සැලකීමටත් කැමැත්තෙන් පදිංචිය ලබාගත් අයට ඡන්ද බලය පමණක් දීමටත් අනෙක් අයට ඔවුන් පළමුව යෙදී සිටි රැකීරක්ෂාවන්හි යෙදීමට නැවතත් මෙරටට ඒමේ අයිතියක් ඇතැයි පිළිගැනීමටත් තීරණය විය. මෙය ඉන්දු-ලංකා ප්‍රශ්නය පිළිබඳව ලංකාවේ අදහස ස්ථිර කිරීමක් සේ පිළිගත හැකිය. එහෙත් මෙරට ඉන්දියානු නායකයන්ගේ අදහසත් ඉන්දියානු රජයේ අදහසත් මෙයට පටහැණි විය. මේ හෙයින් 1943 ජනවාරි මාසයේ දී ඉන්දියානු රජය මෙකී ඒකාබද්ධ වාර්තාව ප්‍රතික්ෂේප කරන ලදි.

යුද්ධ සමයේ දී ද දෙරට අතර මෙම ප්‍රශ්නය පිළිබඳ ලිපි හුවමාරු වුව ද කිසි ම එකඟත්වයකට එළඹීමට නුපුළුවන් විය. ලංකාණ්ඩුව විසින් නීතිගත කිරීමට උත්සාහ ගත් ආගමන හා ලියාපදිංචි කිරීමේ පනත් ද යුද්ධය නිසා අවළංගු විය. 1947 දී පැවැත්වුණු සම්මේලනය ද තීරණයක් හෝ බේරුමක් නොමැතිව ම අවසන් විය.

1946 දී සෝල්බරි යෝජනා යටතේ අභ්‍යන්තර කටයුතුවල දී පූර්ණ වගකීම් සහිත ආණ්ඩු ක්‍රමයක් ලංකාවට ලැබීමත්, එමෙන් ම සම්පූර්ණ නිදහස ලැබීමේ සලකුණු උදා වීමත් සමඟ ම ඉන්දියානු ජාතිකයන්ගේ ප්‍රශ්නය විසඳීමේ අවශ්‍යතාව තියුණු අන්දමින් දැනෙන්නට විය. මේ ගැන සාකච්ඡා පැවැත්වීම සඳහා ලංකාවේ අගමැති ඩී.ඇස්. සේනානායක මහතා සහ ඉන්දියාවේ අගමැති නේරු මහතා නව දිල්ලියේ දී මුණ ගැසුණහ. මෙම සාකච්ඡාවේ දී වැදගත් වූයේ 800,000ක් පමණ ඉන්දියානු ජනගහනය අතුරින් ලාංකික පුරවැසිකම දිය යුත්තේ කවුරුන්ට ද ඒ දිය යුත්තේ කෙසේ ද යන ප්‍රශ්නයන්ය. සාකච්ඡාවලින් සාමාන්‍ය මූලධර්ම කිහිපයක් පිළිබඳව එකඟත්වයකට ඒමට හැකි විය. මේ අනුව ලාංකික පුරවැසිකමට ඉල්ලුම් කරන ඉන්දියානු ජාතිකයන් එක්තරා කාලසීමාවක් මෙරට දිගට ම වාසය කළ යුතු විය. අයාලේ යන්නන්ට හා අනාථයන්ට පුරවැසිකම සඳහා ඉල්ලුම් කළ නොහැකිය. ඉල්ලුම්කරු විවාහකයෙක් වී නම් ඔහුගේ භාර්යාව සහ බාලවයස් දරුවන් සාමාන්‍යයෙන් ඔහු සමඟ මෙරට වාසය කළ යුතු විය. පුරවැසිකම ලැබීමෙන් පසුව මෙරට නීතිවලට අනුකූලතාව දැක්විය යුතු වූ අතර ඉන්දියානු පුරවැසිකම අත්හළ යුතු විය. ඉන්දියාවේ යෝජනාවක් අනුව ඉල්ලුම් පත්‍ර සලකා බැලීම උසාවියක් මගින් නොව පාලන කාර්යයක් මෙන් කොමසාරිස්වරයකු ලවා කරවීමට ලංකා අගමැති කැමති විය.

එහෙත් මෙම සම්මුතිය විග්‍රහ කිරීමේ දීත් නීති ගත කිරීම පිළිබඳවත් දෙරට අතර මතභේද පැන නැඟුණි. ලාංකික පුරවැසිකම ලබාගැනීමට ඉල්ලුම් කරන්නන් මෙරට වාසය කළ යුතු කාලය පිළිබඳවත්, එමෙන් ම අනෙකුත් මූලධර්ම පිළිබඳවත් පරස්පරවිරෝධී මත බිහි විය. ඉන්දියානු අගමැති මෙම මූලධර්ම ලිහිල් ලෙස සැලකීමට උත්සාහ ගත් අතර ලංකා අගමැති එම මූලධර්මවල අකුරටම ක්‍රියා කළ යුතු බව කියා සිටියේ ය. මේ පිළිබඳව අගමැතිවරුන් අතර වූ ලිපි හුවමාරුවෙන් කිසි ම එකඟත්වයකට ඒමට නොහැකි විය.

යටකී මූලධර්මවලට සමාන කරුණු අන්තර්ගත කරමින් සකස් කළ පුරවැසි නීතිය පිළිබඳ කෙටුම්පතක් ඉන්දියානු අගමැතිට ඉදිරිපත් කළ විට ද දෙරට අතර මතභේද කිහිපයක් පැනනැඟිණි. මේ පිළිබඳව වූ අදහස් හුවමාරුව ද අවසන් වූයේ බේරුමක් නොමැතිවය. එසේ වුව ද සේනානායක මහතා පුරවැසි නීති කෙටුම්පත අන්තර්ගත කරමින් පාර්ලිමේන්තු පනත් දෙකක් ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේවා ලංකා පුරවැසි පනත 1948 හා ඉන්දියානු-පකිස්ථානු පුරවැසි පනත 1949 යනුවෙන් හැඳින්වේ. ලංකා පුරවැසි පනත අනුව ලාංකිකයන් කොටස් දෙකකට බෙදන ලදි. උත්පත්තියෙන් ලංකා පුරවැසියන් වීමට සුදුසු අය සඳහා වූ කොන්දේසි අනුව පුරවැසිකම ලබාගත හැකි ඉන්දියානුන්ගේ සංඛ්‍යාව ඉතා සුළු විය. ලියාපදිංචි කිරීමෙන් පුරවැසිකම ලබා ගත හැකි වූයේත් ඉන්දියානුන් සුළු කොටසකටය. ඇත්ත වශයෙන් ම මෙම පනතේ පරමාර්ථය වූයේ ඉන්දියානුන්ට පුරවැසිකම් ලබාදීම නොවේ. 1949 දී ඉදිරිපත් කරන ලද පනතින් මෙම කාර්යය ඉටු කිරීම බලාපොරොත්තුව විය. පළමු පනතට වඩා ලිහිල් කොන්දේසි ඒ මගින් ඉදිරිපත් විය. මෙම පනත අනුව ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම්කරු තමන් මෙරට වාසය කරන ඉන්දියානු හෝ පකිස්ථාන් ජාතිකයකු බව ඔප්පු කළ යුතු විය. එමෙන් ම පදිංචිව සිටි කාලය පිළිබඳව සාධක දැක්විය යුතු විය. විවාහක නම් ඔහු 1.1.1946 දිනට ප්‍රථම සත් වසකුත් නොඑසේ නම් දස වසකුත් මෙරට වාසය කළ යුතු විය. ජීවත් වීමට අවශ්‍ය ආදායමකුත් එමෙන් ම භාර්යාව හා තමන්ගෙන් යැපෙන දරුවන් තමන් සමඟ ජීවත්ව සිටීමත් අවශ්‍ය විය. ද්විත්ව පුරවැසිකම මෙම පනතට අනුව නීත්‍යනුකූල නොවේ. ඉල්ලුම් පත්‍ර ඒ සඳහා පත් කරනු ලැබූ කොමසාරිස්වරයාට දිවුරුම් පෙත්සමක් සමඟ ඉදිරිපත් කළ යුතු විය.

බොහෝ ඉන්දියානුන් විසින් ලංකා පුරවැසිකම ලබාගැනීමට ඉල්ලුම් කරන ලද්දේ 1949 දී ඉදිරිපත් කරන ලද පනත අනුවයි. මෙම පනත 1949 අගෝස්තු මස 5 වැනි දින ක්‍රියාවේ යෙදවුණු අතර ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීම සඳහා වර්ෂ දෙකක කාලසීමාවක් දෙන ලදි. ඉල්ලුම් පත්‍ර පිළිබඳව සොයා බැලීමත් එමෙන් ම විනිශ්චයකට පැමිණීමත් බලාපොරොත්තු වූවාට වඩා ගැටළු සහිත කාර්යයක් විය. මෙම කරුණු නිසා 1953 අවසානය වන විට ඉල්ලුම් පත්‍ර 237,034ක් අතුරින් සලකා බලන ලද්දේ 65,714ක් පමණි. මෙම පනතේ විශේෂ ගැටලුවක් වූයේ පනතේ කොන්දේසි අනුව ඉල්ලුම්කරුවන් ඉන්දියානු විගාමිකයන් ලෙස සැලකිය හැකි ද එමෙන් ම ඔවුන් මෙරට ස්ථීරව ම පදිංචිව ඇත් ද මෙරට කෙරෙහි ඔවුන් තුළ ස්ථීර ඇල්මක් ඇත් ද යන කරුණු විමසා බැලීමයි. මෙරට ස්ථීර පදිංචිය ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කරුණක් වශයෙන් සැලකීම පනතේ මූලික පරමාර්ථයට විරුද්ධ වේ. පනතේ මූලික පරමාර්ථය වූයේ ඉල්ලුම්කරුවන් මෙරට ස්ථිරව පදිංචිව ඇත් ද යන්න සොයා බැලීමයි. එහෙත් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීම සඳහා ස්ථීර පදිංචිය මුල් කොන්දේසියක් වශයෙන් සලකන ලදි. පනත ක්‍රියාවේ යෙදවීමේ දී පැනනැඟුණු මෙම පරස්පර නොසීහුම්කම් 1950 දී ඉදිරිපත් කරන ලද අංක 37 දරන සංශෝධන පනතින් ඉවත් කරන ලදි. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමේ පිළිවෙළ පිළිබඳව ද පාලන වෙනස්කම් කිහිපයක් ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ සමයේ දී කරන ලදි. 1952 දී ඉදිරිපත් කරන ලද අංක 45 දරන සංශෝධන පනතින් ද අලුත් වෙනස්කම් කිහිපයක් ඇති කරන ලදි. විවාහකයකු නම් ඔහුගේ භාර්යාව හා බාලවයස් දරුවන් සාමාන්‍ය වශයෙන් ඔහු සමඟ දිගට ම ජීවත්ව සිටිය යුතුය යන්න මෙයින් සුළු වශයෙන් වෙනස් කරන ලදි. මේ අනුව අවුරුද්දකට අඩු කලක් වෙන්ව සිටීම ඉල්ලුම්කරුගේ නුසුදුසුකමක් වශයෙන් නොසලකන ලදි. යුද්ධ සමයේ දී මෙරට දිගට ම පදිංචිව සිටීම විශේෂ අවශ්‍යතාවක් නොවේ යයි ද සලකන ලදි. 1948 ලංකා පුරවැසි පනතේ අඩුපාඩුකම් හා ඌනතා ඉවත් කිරීමට ද සංශෝධන දෙකක් අවශ්‍ය විය. මේවා 1950 අංක 40 දරන සංශෝධන පනත හා 1955 අංක 13 දරන සංශෝධන පනත යනුවෙන් හැඳින්වේ.

1949 පුරවැසි පනත ස්ථීර විසඳුමක් නොවූයේ එයින් ලංකා පුරවැසිකම ලබාදීමට හැකි වූයේ ඉතා ම සුළු සංඛ්‍යාවකට හෙයිනි. මෙම පනත ක්‍රියාවේ යෙදූ මුල් කාලයේ සිට ම ප්‍රතික්ෂේප කරන ලද ඉල්ලුම්කරුවන්ගේ තත්වය වැදගත් ප්‍රශ්නයක් බවට පත් විය. මෙම කොටස ඉන්දියාවේ රජය විසින් එහි වැසියන් ලෙස පිළිගනිතැයි ලංකාව බලාපොරොත්තු වුව ද ඉන්දියාව එයට අකමැති විය. මේ පිළිබඳව ලංකාවේ තත්කාලීන ඉන්දියානු මහ කොමසාරිස් සී.සී. දේසායි මහතා හා මෙරට අගමැති ඩඩ්ලි සේනානායක මහතා අතර 1953 අප්‍රේල් මස ආරම්භ වූ සාකච්ඡා ජූනි මාසයේ දී ලන්ඩනයේ දී නේරු-සේනානායක අගමැති දෙපොළ අතර තවදුරටත් පවත්වා ගෙන යාමට හැකි විය. මෙහි දී සාකච්ඡා වූයේ ඩඩ්ලි සේනානායක මහතා ඉදිරිපත් කරන ලද යෝජනා කිහිපයකි. පුරවැසි පනත අනුව 400,000කුත් ස්ථිර පදිංචි ප්‍රමාණය අනුව 250,000කුත් යනුවෙන් ඉන්දියානු ජාතිකයන් 650,000 දෙනකු පිළිබඳව වගකීම් භාරගැනීමට ලංකා අගමැති කැමැති විය. 300,000ක් පමණ වූ ඉතිරි කොටස ඉන්දියානු පුරවැසියන් වශයෙන් සලකා එක්තරා කාල සීමාවක් තුළ දී ඔවුන් ඉන්දියාවේ පදිංචි කළ යුතු බව ද යෝජනාවන්ට ඇතුළත් විය. මෙම සාකච්ඡා බිඳ වැටුණේ පසුව සඳහන් කළ සංඛ්‍යාව පිළිබඳ මතභේදයක් උඩය. නේරුගේ මතය අනුව ඉන්දියානු පුරවැසියන් ලෙස ගණන් ගත හැකි වූයේ එයින් අඩක් පමණි.

1953 ඔක්තෝබර් මාසයේ දී ලංකාවේ නව අගමැති සර් ජෝන් කොතලාවල මහතා නේරු මහතා සමග මේ ප්‍රශ්නය පිළිබඳව නැවතත් සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් 1954 ජනවාරි මාසයේ දී ඉන්දු-ලංකා සම්මුතියක් නව දිල්ලියේ දී ඇති කර ගන්නා ලදි. නීතිවිරෝධි ආගමන ප්‍රශ්නය පිළිබඳව ප්‍රථම වරට දෙරට අතර සාකච්ඡා කරන ලද්දේ මෙම සම්මේලනයේ දීය. නීතිවිරෝධී ලෙස ලංකාවට එන්නන් මැඩලීමට කටයුතු කිරීමට අගමැතිවරු දෙදෙන ම පොරොන්දු වූහ. මෙම සම්මුතියට අනුව ප්‍රථමයෙන් අවුරුදු දහයක කාලසීමාවක් සඳහා ලංකා පුරවැසියන් වශයෙන් ලියාපදිංචිවූවන් විශේෂ මැතිවරණ ලැයිස්තුවක ඇතුළත් කළ යුතුය. විශේෂයෙන් ම ඔවුන් පදිංචි ප්‍රදේශයේ භාෂාව මේ පුරවැසියන්ගෙන් ඉතා වැඩි කොටස කථා නොකරන හෙයිනි. මෙම කොටසට තමන් සඳහා පාර්ලිමේන්තු නියෝජිතයන් සංඛ්‍යාවක් තෝරායැවීමට අයිතියක් ඇත. මෙම මන්ත්‍රීන් සංඛ්‍යාව පිළිබඳව තීරණය කරනු ලබන්නේ ඉන්දියානු අගමැතිවරයාගෙන් විමසීමෙන් පසුවය. ඉන්දියානු පුරවැසියන් ලෙස ලියාපදිංචි නොවූවන්ට ඔවුන් කැමැති නම් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි වගන්තිය යටතේ එසේ ලියාපදිංචිවීමට අවස්ථාව මෙයින් ලැබුණි. මෙසේ ලියාපදිංචිවීමේ දී ඉන්දියානු ජාතිකයන් උනන්දු කරවීමටත් එමෙන් ම පහසුකම් සලසා දීමටත් ලංකාණ්ඩුව පොරොන්දු විය.

1954 ජනවාරි සම්මුතිය ඉන්දු-ලංකා ප්‍රශ්නය විසඳීමට ගත් අවංක උත්සාහයකි. රටවල් දෙක ම එය මෙම ප්‍රශ්නය විසඳීමේ ප්‍රථම පියවර ලෙස සැලකූහ. මෙම සම්මුතිය සාර්ථක විය හැක්කේ එහි කොන්දේසි විග්‍රහ කිරීමේ දී දෙරට අතර එකඟත්වයක් ඇති වුවහොත් පමණක් බවත් ඒවා ක්‍රියාවේ යොදන ආකාරය අනුව බවත් වැඩි කලක් යන්නට මත්තෙන් පෙනී ගියේය. මෙම කොන්දේසි විග්‍රහ කිරීම උඩ සම්මුතිය ස්ථිර කිරීමටත් පෙර ම දෙරට අතර මතභේද පැනනැඟිණ. ලංකාණ්ඩුව විග්‍රහ කළ පරිදි මෙරට ඉන්දියානු ජනගහනය මෙම සම්මුතිය අනුව කොටස් දෙකකට බෙදේ. ලංකා පුරවැසියන්ට හා ඉන්දියානු පුරවැසියන්ට අමතරව ‘රාෂ්ට්‍රහීනයන්’ (the stateless) යනුවෙන් තවත් කොටසක් ද සිටින බව ඉන්දියාවේ මතය විය. මෙම මත භේදය 1954 ජනවාරි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රධාන බාධකය බවට පත් විය. මේ හැර සම්මුතියේ වෙනත් කොටස් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එකිනෙකාට විරුද්ධව චෝදනා ඉදිරිපත් විය.

සම්මුතිය විග්‍රහ කිරීමේ දී පැනනැඟුණ මතභේද විසඳීමට තවත් සම්මේලනයක් එම වර්ෂයේ ඔක්තෝබර් මාසයේ පවත්වන ලදි. මෙහි දී රාෂ්ට්‍රහීනයන් පිළිබඳව මතභේද ඇති බව පිළිගත් අතර ලියාපදිංචි කරවීමේ කාර්යය ඉක්මනින් ක්‍රියාවේ යෙදවීමට එකඟත්වයකට පැමිණියහ. රාෂ්ට්‍රහීනයන් පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීම කල්දමන ලදි. සම්මේලනයෙන් පසුව දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති වුව ද සම්මුතිය ක්‍රියාවේ යෙදවීමේ දී එකිනෙකාට සහයෝගය දීමේ ක්‍රියා පිළිවෙළක් ඔක්තෝබර් මාසයෙන් පසුව ද ඇති නොවීය. එයින් පසුව අන්‍යෝන්‍ය වශයෙන් චෝදනා එල්ල කිරීම දිගට ම සිදු විය. පුරවැසි ඉල්ලුම් පත්‍ර පමා කිරීම පිළිබඳවත් ඉන්දියානු ජනගහනය වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජිතයන් පත් නොකිරීම පිළිබඳවත් ඉන්දියාව ලංකාවට චෝදනා එල්ල කෙළේය. ලංකාවේ චෝදනාව වූයේ සම්මුතියෙන් පොරොන්දු වූ පරිදි ඉන්දියාව තම කොටස නියම පරිද්දෙන් ඉටු නොකරන්නේය යනුයි. 1954 දී ලංකාණ්ඩුව විසින් සම්මත කරන ලද ආගමන හා විගමන සංශෝධන පනත පිළිබඳව තියුණු මතභේද දෙරට අතර ඇති විය. මේ හේතූන් නිසා 1954 සම්මුතිය ඉන්දු-ලංකා ප්‍රශ්නය විසඳීමට ගත් අසාර්ථක උත්සාහයක් බවට පත් විය.

1956 දී ලංකාවේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වීමත් සමඟ ම ඉන්දු-ලංකා ප්‍රශ්නය පිළිබඳව ලංකාවේ ප්‍රතිපත්තියෙහි සුළු වෙනස්කම් කිහිපයක් ඇති විය. බණ්ඩාරනායක අගමැතිතුමාගේ මතය වූයේ ලියාපදිංචි කිරීමේ කටයුතු අවසාන වීමෙන් පසුව ඉතිරි අය පිළිබඳව සාකච්ඡා පැවැත්විය යුතු බවය. ලියාපදිංචි කිරීමේ කටයුතු ලංකාව විසින් අවසන් කරන ලද්දේ 1962 දීය. ඒ අනුව පුරවැසිකම සඳහා සුදුස්සන්ගේ සංඛ්‍යාව 134,887ක් විය. ඉන්දු-ලංකා ප්‍රශ්නය පිළිබඳව නැවත සාකච්ඡා පැවැත්වීම භාර වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවටය.

සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේද මතය වූයේ මෙරට සිටින ඉන්දියානු ජනගහනය කොටස් දෙකකට අයත් බවයි. ලංකාවේ පුරවැසිකම නොලත් අය ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වැනි වගන්තිය යටතේ ඉන්දියානු ජාතිකයන් ලෙස පිළිගත හැකිය. මෙය පිළිගැනීමට ඉන්දියාව මැළි විය. 1964 ඔක්තෝබර් ඉන්දු-ලංකා සම්මේලනය පැවැත්වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණිය ප්‍රමුඛ ලංකා නියෝජිත පිරිසක් හා ලාල් බහදූර් ශාස්ත්‍රී ප්‍රමුඛ ඉන්දියානු පිරිසක් අතරය. මෙහි දී පිළිගත් සම්මුතිය අනුව මෙරට සිටින ඉන්දියානුන් සංඛ්‍යාව 950,000කැයි සලකන ලදි.

1. මෙම සංඛ්‍යාවෙන් 525,000 දෙනකුට පුරවැසිකම ප්‍රදානය කිරීමට ඉන්දියාව කැමති විය. මේ අය ආපසු යැවීමේ කාර්යය අවුරුදු 15ක් ඇතුළත සිදු විය යුතුය. බෝවීම හේතු කොටගෙන මේ සංඛ්‍යාවට එකතු වන අය ද මේ කොටසට අයත් වේ.

2. මේ අවුරුදු 15 ඇතුළත දී 300,000 දෙනකුටත් බෝවීම කරණකොටගෙන එම කොටසට එකතු වන සංඛ්‍යාවටත් ලංකාවේ පුරවැසිකම හිමි වනු ඇත.

3. මේ සඳහා ලියාපදිංචි කිරීමේ ලැයිස්තු දෙකක් පිළියෙල කිරීමට දෙරට ම පොරොන්දු වූහ.

ඉන්දියාවට ආපසු යවනු ලබන අයට ඔවුන්ගේ අවස්ථාව පැමිණෙන තෙක් හෝ අවුරුදු 55 වන තෙක් ඔවුන් යෙදී සිටි රක්ෂාවල නිරතව සිටීමට හා ආපසු යවනු ලබන පවුලකට රු. 4,000කට නොවැඩි ගණනක් ගෙනයාමටත් අවසර දීමට ලංකාව කැමති විය.

1964 සම්මුතිය දිගුකලක් තිස්සේ පැවති ප්‍රශ්නයක් නිරාකරණය කිරීම සඳහා ගන්නා ලද වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. දෙරටට ම පිළිගත හැකි මෙවැනි සම්මුතියකට පැමිණීම මෙයට පෙර පැවති ඉන්දු-ලංකා සම්මේලන එකකින්වත් සිදු නොවීය. රාෂ්ට්‍රහීනයන් පිළිබඳව පැවති මතභේදය මෙයින් අවසන් විය. මෙම සම්මුතියේ ද සාර්ථකත්වය රඳා පවත්නේ මෙය ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළ මතය. මෙම ඉන්දු-ලංකා සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ පනත 1967 ජූනි 20 වැනි දින ඩඩ්ලි සේනානායක මහතා අගමැති පදවිය දරද්දී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලදි.

සම්මත වූ පනතෙහි ඉන්දියානු පුරවැසිකම් ලැබීමට සුදුසු අය මෙරටින් යැවීම පිළිබඳ කාලසීමාවක් දක්වා නැත. තවද ඒ අනුව ලංකාවේ පුරවැසිකම දීම හෝ නොදීම පිළිබඳ අවසාන තීරණය අග්‍රාමාත්‍යවරයා සතුය. ඒ පිළිබඳව කිසි ම උසාවියකට අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකිය.

(සංස්කරණය: 1967)