ඉන්සෙක්ටා

සිංහල විශ්වකෝෂය වෙතින්
08:42, 29 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

(කෘමීහු) (Insecta). ආත්‍රොපොඩා වංශයට අයත් සත්ව වර්ගයකි. කෘමීන් නමින් ද දන්නා මොවුනට පාද සයක් ඇති නිසා මේ වර්ගය හෙක්සපොඩා නමින් ද හැඳින්වෙයි. කැරපොත්තා, මකුණා, මදුරුවා වැනි අපට හානිකර කෘමීහු ද අප නෙත් සිත් පිනවන ලස්සණ සමනළයෝ ද අපට ප්‍රයෝජනවත් මීමැස්සන් හා පටපණුවෝ ද නිතර දක්නට ලැබෙන කෘමීහු වෙති.

මිනිසා මෙලොව වාසය කිරීමට අවුරුදු 300,000,000කට පෙර සිට ම කෘමීන් සාර්ථක ලෙස දියුණු වූ බවට සාක්ෂි ඇත. ලොවෙහි වෙසෙන සතුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් (70%) කෘමීහු වෙති. කෘමිවිද්‍යාඥයන්ගේ මතය අනුව දැනට සොයාගෙන ඇති නම් කරන ලද කෘමි විශේෂ 700,000ක් පමණ වෙයි. දැනට ජීවත් වන කෘමි විශේෂ 2,000,000ත් 4,000,000ත් අතර පමණ වූ සංඛ්‍යාවක් වෙතැයි දළ වශයෙන් ගණන් බලා ඇත.

කෘමීහු නිරක්ෂයේ සිට උත්තරධ්‍රැවය දක්වාත් මුහුදු මට්ටමේ සිට හිමෙන් වැසී ඇති උස ම කඳු මුදුන දක්වාත් පොළොව මතුපිට විසිර සිටිති. තවද පොළොවෙන් අඩි දහස් ගණනකට ඉහළ දී ගුවන් යානාවක සිට දැල්වලට එක්කාසු කරගත් කෘමීන්ගේ සංඛ්‍යාව අතිවිශාලය. කෘමීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් මිරිදියෙහි ජීවත් වෙති. කෘමීන් මුල් අවධියෙහි වැඩෙනුයේ මිරිදියෙහිය. කරදියෙහි ජීවත් වන කෘමීන්ගේ සංඛ්‍යාව ඉතා ස්වල්පය.

ඉන්සෙක්ටා වර්ගයට අයත් සතුන්ගේ ලක්ෂණ පහත දැක්වේ:

(1) හිස, උරස සහ උදරය යනුවෙන් කෘමියකුගේ සිරුර පැහැදිලි කොටස් තුනකින් සමන්විතය. ස්පර්ශක යුගලයක් (ප්‍රොටූරාවල හැර) ද විකා කෑමට, උරා බීමට හා ලෙවකා බීමට අවශ්‍ය අධෝහනු (mandibles), හනුක උපාංග (maxillæ) හා අධරයක් (labium) ද උගේ හිසෙහි ඇත. පුරුක් සහිත පාද යුගල 3ක් ද සාමාන්‍යයෙන් පියාපත් යුගල 2ක් ද උරසෙහි ඇත. ඇතැම් විට ඇත්තේ පියාපත් යුගලයක් පමණි. පියාපත් නැති කෘමීහු ද වෙති. දෛහපිණ්ඩ (somites) 11කින් හෝ ඊට අඩු ගණකින් උදරය සමන්විතය. උදරයේ අග්‍රස්ථ කොටස් ලිංගේන්ද්‍රිය වශයෙන් විකරණය වී ඇත.


(2) ඛේට ග්‍රන්ථි සහිත මුඛයකින් ද පෙර බඩවැල, මැදි බඩවැල හා පසු බඩවැල යන කොටස්වලින් ද ජීරණ පථය සමන්විතය.

(3) හෘදය සිහින්ය. පාර්ශ්වික පුට (ostia) හා පූර්ව මහා ධමනියක් ද ඇත. ශිරා හා කේශ නාලිකා (capillaries) නැත. ශරීර අවකාශ රුධිර හෙබකි (haemocoel). සීලෝම ඌන වී ඇත.

(4) කෘමීන්ගේ ශ්වසනය ඇති වන්නේ අතු බෙදී ගිය ශ්වාස නාලවලිනි (tracheae). මේවා උරසේ හා උදරයේ දෙපැත්තෙහි වූ සඟළ ශ්වාස රන්ධ්‍රවලින් (spiracles) කෙළින් ම පටකවලට ඔක්සිජන් ගෙන යයි (ප්‍රොටූරාවල හා කොලෙම්බෝලාවල හැරයි). ජලයේ වෙසෙන කෘමි කීටයෝ ශ්වාස කරමල්වලින් ශ්වසනය කරති.

(5) පසු බඩවැලේ පූර්ව කෙළවරට සවි වී ඇති සියුම් මැල්පිගීය නාලිකාවන් (Malpighian tubules) දෙකකින් හෝ ඊට වැඩි ගණනකින් බහිස්ස්‍රාවය කෙරේ.

(6) යුග්ම උදරීය ස්නායු රජ්ජුවට (nerve cord) සම්බන්ධ වී ඇති අධි-අන්නස්‍රෝතීය (supraoesophageal) හා අධෝන්නස්‍රෝතීය (sub-esophageal) ගැංග්ලියම්වලින් ස්නායු පද්ධතිය සමන්විතය. එක් එක් දෛහපිණ්ඩයට ගැංග්ලියම් යුගලයක් හෝ එක් ගැංග්ලියමක් හෝ තිබේ. සරල හා සංකීර්ණ ඇස් ද ආඝ්‍රාණය සඳහා ස්පර්ශක මත පිහිටි රසායන ප්‍රතිග්‍රාහකයෝ ද රස දැනීම සඳහා මුඛය සමීපයෙහි පිහිටි ප්‍රතිග්‍රාහකයෝ ද නොයෙක් ස්පර්ශක රෝම ද කෘමීන්ගේ සාමාන්‍ය සංවේදක ඉන්ද්‍රියයෝ වෙත්. ශබ්දය නැඟීමට ද ඇසීමට ද යොදනු ලබන උපක්‍රම ඇතැම් කෘමීන්ට ඇත.

(7) කෘමීහු ඒකලිංගිකය. බොහෝ නාලිකාවන් සහිත ප්‍රජනනේන්ද්‍රිය උන්ට ඇත. සංසේචනය ඇති වන්නේ ආභ්‍යන්තරිකවය. හැව ගැහුම් කිහිපයක් ඇතිව කෙළින් ම හෝ ශිශු අවස්ථා කිහිපයක් ඇතිව ක්‍රමයෙන් රූපාන්තරණය සිදු වී හෝ කීට අවස්ථා කිහිපයක් ද පිළවා ද වශයෙන් සම්පූර්ණ රූපාන්තරණය සිදු වී හෝ කෘමියකු පරිණත අවස්ථාව දක්වා විකසනය විය හැකිය. ඇතැම් විට කෞමාරෝද්භවය (parthenogenesis) ද සිදුවිය හැකිය.

නොයෙක් ප්‍රමාණයේ කෘමීහු වෙත්. ඇතැම් කෘමීහු ලොකු ප්‍රෝටොසෝවාවන්ටත් වඩා කුඩාය. සමහර කුරුමිණියෝ (ට්‍රිකොප්ටෙරිගිඩෙ) මිමී. 0.25ක් පමණ දිගය. බිත්තර පරපෝෂිතයෝ (මිමරිඩෙ) ස්වල්ප දෙනෙක් මීටත් වඩා කුඩාය. බොහෝ කෘමීහු මිමී. 2 සිට 40 දක්වා දිගය. ඉතා දිග කෘමීහු කිහිප දෙනෙක් ද වෙති.

ඩිනාස්ටේස් හෙර්කුලේස් (Dynastes hercules) නමැති කුරුමිණියා මිමී. 155ක් පමණ දිගය. නිවර්තන ප්‍රදේශවල දක්නට ලැබෙන එරෙබුස් අග්රිපිනා (Erebus agrippina) නමැති සලබයා දිගින් මිමී. 280ක් පමණ වේ. අඟල් 28ක් පමණ දික් වූ ඇතැම් පොසිල කෘමීන් (නි. මෙගනෙයුරා) ගැන ද වාර්තා ඇත.

ලංකාවේ ජීවත් වන ප්‍රමාණයෙන් විශාලතම කෘමීන් ගැන හැඳින්වීමක් පහත දැක්වේ.

පස්මිඩේ කුලයට අයත් පිබලොසෝමා හයිපර්පක්ස් (Phibalosoma hypherpax) (දරමිටියා) නමැති කෘමියාගේ දිග මිමී. 300ක් තරම් (2 වැනි චිත්‍රය). ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයේ විශාල ම කෘමියාගේ ප්‍රමාණය දැනගැනීමට ද ඌ පියාපත් දිගහැරිය විට මැනිය යුතුයි. තටු දිග හරින ලද අටකුස් අට්ලස් (Attacus atlas) නම් සලබයාගේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා මීමී. 250ක් පමණ වේ (3 වැනි චිත්‍රය). අකන්තොෆෝරුස් සෙරටිකෝනිස් (Acanthophorus serraticornis) නම් කුරුමිණියා දිගින් මිමී. 130ක් පමණ වේ.

හෙමිප්ටෙරා ගෝත්‍රයට අයත් බෙලොස්ටෝමා ඉන්ඩිකා (Belostoma indica) නමැති කෘමියා දිගින් මිමී. 105ක් පමණ වේ. කෘමීන්ගෙන් කුඩා ම කෘමියා කොලෙයොප්ටෙරා ගෝත්‍රයට අයත් වන අතර ඌ ප්‍රමාණයෙන් මිමී. 0.25කට වඩා වැඩි නොවේ. වෙනත් කෘමි බිත්තර කා ජීවත් වන මිමරිඩේ කුලයට අයත් කෘමීහු ප්‍රමාණයෙන් කලින් සඳහන් කළ කෘමීන්ටත් වඩා කුඩාය. කුඩා ම කෘමියා ලොකු ම ඒකසෛලිකයාට (ප්‍රෝටොසෝවාට) වඩා කුඩාය. එමෙන් ම ලොකු ම කෘමියා කුඩා ම ක්ෂීරපායි සත්වයාට වඩා ලොකුය.

කෘමීන්ගේ ප්‍රභේද

කෘමි විශේෂයන්ගේ ප්‍රභේදනය සෙසු සත්ව වර්ගයන්ගේ ප්‍රභේදනය සමග සැසඳීමට නොහැකි තරමි. එක ම කෘමි විශේෂයක් තුළ අවස්ථා දෙකක් හෝ තුනක් මෙන් ම ගෝත්‍ර කීපයක් ද වේ. මෙවැනි කෘමි විශේෂ ගණනාවකි. සමනළයා ඇති වන්නේ පිළවාගෙනි. පිළවා ඇති වන්නේ කීටයාගෙනි. මෙය සමනළයාගේ අවස්ථා තුන වන්නේය (4 වැනි චිත්‍රය). එමෙන් ම මැස්සා ඇති වනුයේ පොළොව යට ඇති දුඹුරු පාට කොපුවක් වැනි පිළවකුගෙනි. මේ පිළවා කලින් කසළ ගොඩක ජීවත් වූ කීටයෙකි.

ලිංග භේදය අතින් සලකන කල ඇතැම් කෘමි විශේෂයක ගැහැනු සතා පිරිමි සතාට වඩා හැඩහුරුකමින් ඉඳුරා ම වෙනස් වන්නේය. ගැහැනු සතා බිත්තර පුරවන ලද මල්ලක් වැනිය. පිරිමි සතාට පමණක් සම්පූර්ණයෙන් වැඩුණු පියාපත් ඇත. සමහර කෘමීහු කීට අවධියේ දී පමණක් ආහාර ගනිත් (නි. එපෙමෙරොප්ටෙරා). සමහර කෘමීහු අවුරුදු දහසයක් වන තෙක් ම ජීවත් වන්නෝය. මැයි මැස්සා (මේ ෆ්ලයි) නමැති කෘමියා සම්පූර්ණයෙන් වැඩුණු පසු ජීවත් වන්නේ මිනිත්තු විස්සකි. ‍ ඇතැම් කෘමීහු තමන්ගේ ගැහැනු හෝ පිරිමි සතුන්ගේ සිත් ඇදගැනීම සඳහා එළියක් පිට කරති. එමෙන් ම සමහර කෘමීන්ගේ කීට තමන්ට කිසි ම ප්‍රයෝජනයක් නොමැති වුවත් එළියක් පිට කරයි. උවදුරුවලින් වැළකීමත් අනික් කුඩා සතුන් ගොදුරු කරගැනීමත් අරභයා ඇතැම් කෘමීහු වෙනත් සතුන්ගේ බාහිර හැඩහුරුකම හා පාට ගනිති.

ගතිපැවතුම් අතින් ද කෘමීහු වෙනස් වෙති. වෙනත් සතුන්ගේ ලේ නහරවල ජීවත් වෙමින් ලේ ඇදගැනීමෙන් වැඩෙන කෘමි කීටයන්ගේ පටන් අහසේ පියාසර කරමින් ගොදුරු අල්ලාගෙන කමින් ජීවත් වන කූරාත් දියෙහි පීනා අන් සතුන් ගොදුරු කරගන්නා දිය කුරුමිණියාත් දක්වා ම කෘමීන්ගේ ගතිපැවතුම් වෙනස් වන්නේය.

කෘමීන්ගේ ජීවන පිළිවෙළ පැටවුන් රැකබලා ගැනීම, ආහාරපානාදිය සැපයීම, පවුල් ජීවිත ගත කිරීම ආදි වශයෙන් සමාජයක පැවැත්මකට පරිවර්තනය වී ඇත. කෘමීන් මෙවැනි දියුණු තත්වයකට පත් වූයේ පරිණාමයෙනි. ඝර්මකලාපික රටවල මෙවැනි කෘමි සමාජවලට අයත් වේයන්ගෙන් සහ කුහුඹුවන්ගෙන් සැදුම් ලත් නගර පවා දක්නට ලැබේ. මෙවැනි නගරයක වෙසෙන කුහුඹුවන්ගේ හෝ වේයන්ගේ සමාජ කොපමණ දියුණු වී ඇත් ද යත් ඔවුන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධය හා සහයෝගය මිනිස් සමාජවල පවා දක්නට නොලැබෙන තරම්ය. නොයෙක් කුහුඹුවන් විසින් තමන්ගේ පැවැත්ම සඳහා හතු වැවීම හෝ තම ප්‍රයෝජනය සඳහා වෙනත් කෘමි විශේෂයන් හදාවඩාගැනීම හෝ කරනු ලැබේ. එසේ නැත්නම් තමන්ගේ වැඩ පහසුව පිණිස වෙනත් කුහුඹු විශේෂයන් අල්ලාගනිමින් වහලුන් ඔවුන්ගෙන් වැඩ ගනු ලැබේ.

කෘමීහු නොයෙක් අයුරින් සංචරණය කරති. ඇතැම් කෘමි කීටයන් සංචරණය කරන්නේ තම ශරීරය කූඩැල්ලකු මෙන් වක් ගැසීමෙන් කරනු ලබන අංග චලනයකිනි. සමහර කෘමීහු ඇවිද යති. දියුණු වූ කෘමීන්ට පියාසර කිරීමට පියාපත් ඇත. සංචරණය කළ හැකි සත්වයන් අනතුරුවලට බෙහෙවින් මුහුණ පාන නිසා ඒවා මඟහරවාගැනීමටත් අවට පරිසරය ගැන දැනීමක් ලබාගැනීමටත් ආධාර වන අයුරින් ස්නායු පද්ධතිය මගින් පාලනය කරනු ලබන සංවේදක ඉන්ද්‍රියයෝ උන්ට ඇත්තාහ. මෙම ස්නායු පද්ධතිය හැඩ ගැසී ඇත්තේ සත්වයන්ගේ පරිණාම අවධියේ පටන්ය. කෘමීහු ද ස්නායු පද්ධතිය මගින් පාලනය වන සංවේදක ඉන්ද්‍රියයන්ගේ ආධාරයෙන් සංචරණය කරති.

කෘමීන්ගේ ශරීරය කුඩා නිසා ඔවුන්ගේ මොලය ද ප්‍රමාණයෙන් කුඩාය. එහෙයින් ලොකු මොලයක් ඇති සතුන්ට මෙන් මොලයෙහි පිහිටා ඇති මතක තබාගැනීමට ආධාර වන සෛල උන්ට නොමැත. මොලය කුඩා වුවත් කුහුඹුවා, මීමැස්සා, කුඹලා වැනි දියුණු කෘමීන්ට සහජයෙන් ම පැවත එන ගතිපැවතුම් මනා ලෙස පාලනය කිරීමේ ශක්තියක් ඇත. එහි ප්‍රමාණයේ හැටියට කෘමියාගේ මොලය තරම් සියුම් ලෙස සංවිධානය වී ඇති තවත් ද්‍රව්‍ය පිංචක් මුළු ලොව ම නැත්තා සේයි. එහෙයින් ලොකු මොලයක් ඇති පක්ෂීන් හා ක්ෂීරපායී සතුන් මෙන් ම කෘමීහු ද සහජයෙන් ම පැවත එන ක්‍රියාවන් හා පළපුරුද්දෙන් උගත් ක්‍රියාවන් සහජ බුද්ධියේ උපකාරයෙන් ප්‍රයෝජනයට ගනිත්.

කෘමීන්ගේ ශරීරය ඝන පිටසැකිල්ලකින් වැසී ඇත. මේ පිටසැකිල්ල ශරීරයෙන් ස්‍රාවය කෙරෙන කයිටින් නමැති ද්‍රවයකින් සෑදී ඇත.

කෘමීන්ගේ අංග ප්‍රභේදනය නොයෙකුත් පරිසරයන්ට අනුව නොයෙක් ආකාරයෙන් හැඩ ගැසෙයි. මෙවැනි අනුවර්තනයකින් යුත් කෘමීහු ලොව පුරා සාර්ථක අයුරින් ජීවත් වෙති. පැළෑටි, මාංස, සත්ව රුධිරය, පරාග රොන්, කුණු කසළ යනාදි නා නා ප්‍රකාර ආහාර ගැනීමට සුදුසු ජීරණ පද්ධතියක් උන්ට ඇත (5 වැනි චිත්‍රය).

කෘමීන්ගේ හිසෙහි ස්පර්ශක යුවළක් ඇත. උන් සමහරකට සංයුක්ත අක්ෂි යුවළක් ද සරල අක්ෂි හා නොදියුණු අධෝහනු උපාංග යුවළ තුනක් ද ඇත (6 වැනි චිත්‍රය). කෘමීන් බුදින ආහාර වර්ග අනුව උන්ගේ මුඛෝපාංග, සැපීම සඳහා අධෝහනු මෙන් ද (7 වැනි චිත්‍රය) ආහාර උරාගැනීමට සොඬක් හැටියට ද (8 වැනි චිත්‍රය) විදීමට හා උරාගැනීමට ඒ අනුව ද (9 වැනි චිත්‍රය) ලෙවකෑමට ඊට අවශ්‍ය පරිදි ද (10 වැනි චිත්‍රය) ආදි වශයෙන් නොයෙක් අයුරින් හැඩ ගැසී ඇත.

කෘමීන්ගේ උරස පූර්ව, මධ්‍ය හා පශ්චාත් වශයෙන් ඛණ්ඩ තුනකින් යුක්ත වේ. මෙම ඛණ්ඩ තුනට අයත් පා යුවළ තුනක් ද පිහිටා ඇත. බොහෝ කෘමීන්ට මධ්‍ය උරසෙහි හා පශ්චාද් උරසෙහි පියාපත් යුවළ බැගින් ද ඇත (11 වැනි චිත්‍රය). පියාපත්වල ප්‍රමාණය, නිර්මාණය, හැඩය හා ඒවායේ වැටී ඇති රේඛාවල සංකීර්ණතාව විවිධ වෙයි. ගෝත්‍ර දෙකක කෘමීන්ට අපර පියාපත් වෙනුවට ඇත්තේ අවශිෂ්ට ඉන්ද්‍රියයන් වූ තෝලකයන්ය. කෘමියකුගේ සෑම පාදයක් ම පුරුක් පහකින් යුක්තය. කැරපොත්තාගේ පාද ඇවිදීමට හා දිවීමටත් (11 වැනි චිත්‍රය 1) පලාපෙත්තාගේ පසුපාද පැනීමටත් (11 වැනි චිත්‍රය 2) වෙසෙසින් පිළියෙල වී ඇති බවක් දක්වයි.

ගෙමැස්සාගේ පාදයන්හි අන්තිම පුරුක්වල ඇති පාද තලවල උපකාරයෙන් ඌට ජනේල වීදුරුවක වුවත් ඇවිදීමට පුළුවන [8 චිත්‍රය (අ) 1]. මී මැස්සියගේ අන්තිම පාද යුවළ පරාග එකතු කර මී වදය කරාගෙන යෑමට උපකාරී වෙයි (11 වැනි චිත්‍රය 4). තවද පළමුවැනි පාද යුවළ ස්පර්ශකයන් හා සිරුර පිරිසිදුව තබාගැනීමට උපකාරී වෙයි.

පරිපූර්ණ කෘමියා ශ්වසනය කරනුයේ ශ්වාසනාල ශාඛාවලිනි. මෙම ශ්වාසනාල පිටතට සම්බන්ධ වනුයේ ශ්වාස රන්ධ්‍ර යුවළ මගිනි. ජලයේ වෙසෙන කෘමි කීටයෝ ශ්වාස කරමල්වලින් ශ්වසනය කරති.

රූපාන්තරණය

සත්වයකුගේ වැඩීමේ කාලය තුළ දී හදිසි රූප විපර්යාසයක් සිදු වීම රූපාන්තරණයයි. කෘමියාගේ රූපාන්තරණය සිදු වන්නේ හැව සැලීමත් සමඟ කය ශීඝ්‍රව වැඩෙන වකවානුවේ දීය. මෙටබෝලා කොට්ඨාසයට අයත් තිසනුරා, ඩිප්ලූරා, ප්‍රොටූරා සහ කොලෙම්බෝලා යනාදි ගෝත්‍රවල කෘමීන්ගේ පැටවුන් පරිපූර්ණ සතාට වඩා වෙනස් වනුයේ ප්‍රමාණයෙන් පමණය. රූපාන්තරණය තුන් ආකාරයකට බෙදා ඇත.

(1) ආදිම රූපාන්තරණය: ප්‍රෝමෙටබෝලා කොට්ඨාසයට අයත් එපෙමෙරොප්ටොර ගෝත්‍රයෙහි කෘමීන්ගේ ජීවිත ප්‍රවෘත්තියෙහි බිජුවට, ශිශු, අර්ධපූර්ණ සහ පරිපූර්ණ යන අවස්ථා හතරක් දක්නට ලැබේ. ශිශු අවස්ථාවෙන් අර්ධපූර්ණ අවස්ථාවට එළඹෙන කෘමියා පියාපත් සහිත වුවත් ලිංගික වර්ධනයෙන් අසම්පූර්ණය (12 වැනි චිත්‍රය (අ) (ආ)).

(2) අසම්පූර්ණ රූපාන්තරණය: හෙමිමෙටබෝලා කොට්ඨාසයට අයත් කෘමීන්ගේ පැටවුන් වැඩුණු කෘමියාට වඩා වෙනස් වනුයේ ස්වල්ප වශයෙනි.

(3) සම්පූර්ණ රූපාන්තරණය: කොලොමෙටබෝලා කොට්ඨාසයට අයත් කෘමීන්ට කීට, කෝෂ හා පරිපූර්ණ යනුවෙන් ක්‍රියාශීලී අවස්ථා තුනක් ඇත්තේය.

වර්ගීකරණය

කරෝලුස් ලිනීයස් විසින් (1758) ආරම්භ කරන ලද වර්ගීකරණය ජාත්‍යන්තර සත්ත්ව සම්මේලනයේ සතුන් නම් කිරීමේ කාරක සභාව මගින් අනුමත කර ඇත. එම අවදියේ සිට මේ වන තෙක් කෘමි වර්ගීකරණය ගැන ලබා ඇති දැනුම පිහිට කොට ගෙන කෘමි ගෝත්‍ර රාශියක් සොයාගෙන ඇත. මුල් අවස්ථාවල දී ම බ්‍රෞවර් (1885) විසින් පිළියෙල කර ඇති වර්ගීකරණය හාන්ට්ලිර්ෂ් (1908), විල්සන් හා ඩොනර් (1937) යන නූතන විද්‍යාඥයන් භාවිතා කර ඇත. මේ අනුව ඉන්සෙක්ට වර්ගය ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇත.

1. ඒටෙරිගොටා (Apterygota - මූලික පියාපත් රහිත කෘමි),

2. ටෙරිගෝටා (Pterygota – පියාපත් සහිත කෘමි) යනුවෙනි.

පාඩම් පොත්වල හා සාමාන්‍ය පොත්වල, භාවිතා පහසුව තකා, කෘමි වර්ගීකරණය පහත සඳහන් පරිදි දක්වා ඇත.

උපවර්ගය i. ඒටෙරිගෝටා

මෙම කෘමීන්ට පියාපත් නොමැති හෙයින් ඔවුන්ගේ නොදියුණු තත්වය ප්‍රකටව පෙනෙයි. රූපාන්තරණය සුළු වශයෙන් හෝ නැත. වැඩුණු කෘමීන්ට ප්‍රතිප්‍රජනක යුවළ එකක් හෝ වැඩි ගණනක් උදර උපාංග මෙන් ඇත. තවද අධෝහනු හිසත් සමග එක් වන්නේ එක ම ස්ථානයක දීය.

ගෝත්‍රය 1. තිසනූරා (Thysanura)

ගෝත්‍රය 2. ඩිප්ලූරා (Diplura)

ගෝත්‍රය 3. ප්‍රොටූරා (Protura)

ගෝත්‍රය 4. කොලෙම්බෝලා (Collembola)

උපවර්ගය ii. ටෙරිගෝටා

පියාපත් සහිතය. රූපාන්තරණය විවිධාකාරය. රූපාන්තරණය කිසිසේත් නොමැතිව හෝ සුළු වශයෙන් හෝ පවතින්නේ කලාතුරකිනි. වැඩුණු කෘමියාට ප්‍රතිප්‍රජනක උදර උපාංග නැත. මුඛ උපාංග විකරණය නොවී පවතී නම් හිසත් සමග එක් වන්නේ දෙපළක දීය.

කොට්ඨාසය i. එක්සොප්ටෙරිගෝටා (Exopterygota) (හෙමිමෙටබෝලා): රූපාන්තරණය පැටලුම් රහිතය. සුළු වශයෙන් හෝ කෝෂ අවස්ථාවක් ඇති වන්නේ කලාතුරකිනි. පියාපත් බාහිරව වැඩේ. ශිශු අවස්ථාවේ දී බාහිර පෙනුමෙන් හා ගතිපැවතුම්වලින් වැඩුණු කෘමියාට සමානය.

ගෝත්‍රය 5. එපෙමෙරොප්ටෙරා (Ephemeroptera)

ගෝත්‍රය 6. ඔඩොනාටා (Odonata) නි. කූරා

ගෝත්‍රය 7. ප්ලෙකොප්ටෙරා (Plecoptera)

ගෝත්‍රය 8. ග්‍රිලොබ්ලටොඩෙයා (Grylloblattodea)

ගෝත්‍රය 9. ඕතොප්ටෙරා (Orthoptera ) නි. පලාපෙත්තා, බිංඌරා

ගෝත්‍රය 10. පැස්මිඩා (Phasmida) නි. පේරකොළයා, දරමිටියා

ගෝත්‍රය 11. ඩෙර්මප්ටෙරා (Dermaptera) නි. කතුරා

ගෝත්‍රය 12. එම්බියොප්ටෙරා (Embioptera)

ගෝත්‍රය 13. ඩික්ටියොප්ටෙරා (Dictyoptera) නි. කැරපොත්තා, දැලියා, වන්දා

ගෝත්‍රය 14. ඉසොප්ටෙරා (Isoptera) නි. වේයා

ගෝත්‍රය 15. සොරප්ටෙරා (Zoraptera)

ගෝත්‍රය 16. සොකොප්ටෙරා (Psocoptera)

ගෝත්‍රය 17. මලොපගා (Mallophaga) නි. කුකුල් උකුණා

ගෝත්‍රය 18. සිපුන්කුලාටා (Siphunculata) නි. උකුණා

ගෝත්‍රය 19. හෙමිප්ටෙරා (Hemiptera) නි. ඇඳ මකුණා, රැහැයියා

ගෝත්‍රය 20. තිසොනොප්ටෙරා (Thysonoptera)

කොට්ඨාසය ii. එන්ඩොප්ටෙරිගෝටා (Endopterygota) (ගොලොමෙටබෝලා): රූපාන්තරණය පැටලිලි සහිතය. පිළව් අවස්ථාවක් ඇත. පියාපත් වැඩීම ආභ්‍යන්තරිකය. මුල් අවස්ථාවල දී කීටයා හැඩහුරුකමිනුත් ගතිපැවතුමෙනුත් වැඩුණු කෘමියාට වෙනස්ය.

ගෝත්‍රය 21. නෙයුරොප්ටෙරා (Neuroptera) නි. බිම්කුණ්ඩා

ගෝත්‍රය 22. මෙකොප්ටෙරා (Mecoptera)

ගෝත්‍රය 23. ලෙපිඩොප්ටෙරා (Lepidoptera) නි. සමනළයා, සලබයා

ගෝත්‍රය 24. ට්‍රිකොප්ටෙරා (Trichoptera)

ගෝත්‍රය 25. ඩිප්ටෙරා (Diptera) නි. මැස්සා, මදුරුවා, නිලමැස්සා

ගෝත්‍රය 26. සිපොනප්ටෙරා (Siphonaptera) නි. මැක්කා

ගෝත්‍රය 27. හිමෙනොප්ටෙරා (Hymenoptera) නි. කූඹියා, මීමැස්සා, කුඹලා, දෙබරා

ගෝත්‍රය 28. කොලෙයොප්ටෙරා (Coleoptera) නි. කුරුමිණියා

ගෝත්‍රය 29. ස්ට්‍රෙප්සිප්ටෙරා (Strepsiptera)

(මේ ගෝත්‍ර අතුරින් ඉතා වැදගත් ලෙස සැලකෙන ගෝත්‍ර පිළිබඳව ද මීමැස්සා, පටපණුවා, වේයා, මදුරුවා, සමනළයා, කුරුමිණියා, ඇඳ මකුණා, උකුණා යනාදි වශයෙන් ප්‍රධාන කෘමීන් පිළිබඳව ද වෙන වෙන ම ලිපි පළ වේ. ඒවා ද බලන්න.)

(කර්තෘ: තෙල්මා පූ. ගුණවර්ධන)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉන්සෙක්ටා&oldid=8112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි