ඉරහඳ
සිංහල කලාවන්හි විද්‍යමාන සැරසිලි සංලක්ෂණයක් වූ ඉරහඳ සිංහල ජන සංස්කෘතියේ වැදගත් තැනක් ගන්නා සංකේතයකි. මේ ලාඤ්ඡනය රාජත්වය හා අත්‍යන්තයෙන් සම්බන්ධ වූවකි. මහනුවර රජතුමාගේ සිංහාසනයෙහි ද මහනුවර රජමාළිගයේ දොරටුවෙහි ද ඉරහඳ ලකුණු යොදා ඇත්තේය. සිංහාසනයෙහි ඉරහඳ ලකුණු යෙදීම චිරාගත සම්ප්රදායක් බව ලෝවාමහාපාය ඉදිකිරීමෙන් පසු ඊ මැද තැබූ අසුනක රන්මුවා හිරුමඬලක් ද රිදීමුවා සඳමඬලක් ද කරවන ලද්දේය යනාදින් මහාවංසයෙහි එන සඳහනින් ගම්‍යය. පැරණි සිංහල රජවරුන් සහභාගි වූ උත්සව අවස්ථාවන්හි දී ගෙනයන ලද රන්ආයුධවලට ද ඉරහඳ රූ සහිත සේසත් අයත් වූ බව පෙනේ. මහනුවර අසල දෙගල්දොරුව විහාරයෙහි ‘ඇලි ඇතා දන්දුන් වගයි’ නම් සිතුවමෙහි මෙබඳු සේසතක් දැක්වේ. ඉරහඳ රාජත්වය හා සම්බන්ධ කිරීමෙහි අදහස වූයේ රජවරුන් සූර්යවංශයෙන් හා චන්ද්රවංශයෙන් පැවත ආ බව දැක්වීමය යනු සාමාන්‍ය පිළිගැනීමයි. එය ලංකාවේ රජවරුන්ගේ රාජලාඤ්ඡනය ද විය. ලංකාවේ ඇතැම් පැරණි කාසිවල ඉරහඳ ලකුණු ඔබ්බා ඇත්තේ ද එය රාජලාඤ්ඡනය වශයෙන් සැලකූ නිසා විය හැකිය.
ලංකාවේ දාගැබ්වල සතරැස් කොටුවෙහි හෙවත් හර්මිකාවෙහි ද ඉරහඳ ලකුණ යොදා තිබේ. මෙ ද ඈත අතීතයෙහි සිට පැවත එන සිරිතකි. මරණ මඤ්චකයෙහි හොත් දුටුගැමුණු රජතුමාට මහාථූපය නිමවා දක්වාලූ තිස්ස කුමරු එහි “මුදුන්පිළිකඩකර පත්මුවා සඳහිර ද කරවීය" යනුවෙන් මහාවංසයෙහි සඳහන් වෙයි. දාගැබ්වල ඉරහඳ ලකුණු යොදන ලද්දේ කිනම් අර්ථයක් ඇතිව දැයි යන්න ගැන විවිධ මත පළ වී තිබේ. බුදුන්වහන්සේ ආධ්‍යාත්මික වශයෙන් සක්විති පදවිය ලැබූ බව දැක්වීම සඳහා මේ ලකුණු එහි යෙදිණැයි යන්න එක් මතයකි. මේවා බුදුන්වහන්සේගේ ධර්මාලෝකය පිළිබිඹු කරන සංකේතය යනු තවත් මතයකි.
ඇතැම් කොඩිවල ද (ඉරහඳ කොඩිය බ.) සෙල්ලිපි සන්නස් ආදියේ ද සමහර විටක උළුවහුවල ද (කෑගලු දිස්ත්‍රික්කයේ අලුත්නුවර විහාරයේ ගල් උළුවස්ස නිදසුනකි) ඉරහඳ ලකුණු යොදා ඇත්තේය. සෙල්ලිපිවල හා සන්නස්වල ඉරහඳ ලකුණු යොදන ලද්දේ ඉරහඳ පවත්නා තාක් ඒ ලිපිවලින් පනවන ලද නියෝග පැවැතිය යුත්තේය යන අදහස දීමටය. විශේෂයෙන් ම මේ ලකුණු දෙක යොදා ඇත්තේ විහාර දේවාල ආදියට හෝ යම් පුද්ගලයකුට ගම්බිම් ආදියක් පිදීම නිමිති කොටගත් සෙල්ලිපිවල හා සන්නස්වලය (ඉරහඳගල බ.). සුළු කලාශිල්ප ගැන සලකන කල්හි, පැදුරුවල යොදන ලද රටාවලට ද ඉරහඳ ලකුණු අයත් වූ බව ඇතැම් පන්නම් කව්වලින් පැහැදිලි වේ.
"ඉරසඳ ඉසානේ පාමුල ඉඳ කෙළි නා
නැන්දට බලන්නට පැදුරක් මම විය නා"
ඇතැම් පළාත්වල මඟුල් පෝරුවල ද තවත් සමහර පළාත්වල ගොයම් පෑගීමට පෙර කමත සූදානම් කිරීමේ දී එහි අඳිනු ලබන රූපසටහනෙහි (අලුහම් වැඩීම) ද ඉරහඳ යෙදීම සිරිතක් වූ බව පෙනේ.
නිරූපණය
මහනුවර රජතුමාගේ සිංහාසනයෙහි හා රාජමාළිගා ද්වාරයෙහි ද රන්ආවුධවලට අයත් ඉරහඳ සේසතෙහි ද දාගැබ්වල ද උළුවහුවල ද ඉර දක්වා ඇත්තේ මිනිස් මුහුණක ලක්ෂණ සහිත වලයයක් වටා රැස් විහිදීම නිරූපණය කෙරෙන ගිනිදැල් වළල්ලක් යෙදීමෙනි. විශේෂයෙන් ම සිතුවම්වල හිරු දැක්වෙන්නේ මෙසේය. ඇතැම් සෙල්ලිපිවල හිස්වූ වලයයක් මගින් හිරු දක්වා ඇති අතර තවත් සමහරක මේ වලයයෙහි අටකොන් අල්ලා ඉරි ගැසීමෙන් ඊට රථ චක්රයක ස්වරූපය දී ඇත. පෙරදිග මූර්තිලක්ෂණ විද්‍යාවේ චක්‍රය මුලින් ම යොදන ලද්දේ හිරු දැක්වීමට බව ද මෙහි දී සැලකිය යුතුය. ඇතැම් සෙල්ලිපිවල ඉර දැක්වීමේ දී මුල් වලය මැද සමකේන්ද්රික කුඩා වලයයක් කොටා එම වලය දෙක ඉරිවලින් සම්බන්ධ කොට ඇත. මෙකී සමකේන්ද්රික වලය දෙක අතර ත්‍රිකෝණාකාර රූප යෙදීමෙන් හිරු රැස් නිරූපණය කිරීම ඉර දක්වා ඇති තවත් විදියකි. මේ සියලු ම රූපයන්ගෙන් විශේෂ වූවක් නම් වලය මැද විෂ්කම්භ රේඛාවක් කොටා එය සමපාදය වන සේ ඊට උඩුපැත්තේත් යටිපැත්තේත් පරිධියට සම්බන්ධ නොවන සේ ත්‍රිකෝණ දෙකක හැඩය සටහන් කළ හිරු ලකුණයි. මේ රූප සටහන මහපා උදාහුගේ දොරබාවිල ටැම්ලිපියෙහි දක්නා ලැබේ. ඇතැම් සන්නසක සමකේන්ද්රීය වලයද්වය ළං කොට යොදා පිටත ඇති වලය වටා කෙටි ඉරි ඇඳ රැස් විහිදෙන අයුරු දක්වා ඇත.
සෙල්ලිපිවල හා සන්නස්වල හඳ දැක්වීම සඳහා සාමාන්‍යයෙන් අඩසඳෙහි රූපය යොදා ඇති නමුත් ඇතැම් ලිපිවල සම්පූර්ණ වලයයක් කොටා අඩසඳ එහි කොටසක් වන සේ දක්වා තිබේ. මිනිස් මුහුණක රූපය හඳ දැක්වීම සඳහා ද යොදාගන්නා ලද තැන් දක්නා ලැබේ. ථූපාරාම දැගැබ ගැන විස්තරයක් කරන ජේ.ජී. ස්මිදර් මහතා එහි හතරැස් කොටුවෙහි හඳ නිරූපණය කොට තිබුණේ අඩසඳක මැදි වූ මිනිස් මුහුණකිනැයි සඳහන් කරයි. වෙනත් තැන්වල හඳ දක්වා ඇත්තේ සාවකුගේ රුවක් මැදි කරන ලද වලයකිනි. මේ අදහසට මුල් වී ඇත්තේ බෞද්ධයන් අතර ප්‍රකට සසජාතක කථාවයි.
ඉරහඳ දෙක බුදුන්වහන්සේගේ සිරිපත්ලෙහි පිහිටි එකසිය අටක් මඟුල් ලකුණු අතරෙහි ලා ගැනෙන බව ද සැලකිය යුත්තේය.
(සංස්කරණය: 1970)