ඉප්ස්විච්

සිංහල විශ්වකෝෂය වෙතින්
08:27, 12 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('එංගලන්තයෙහි ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

එංගලන්තයෙහි ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ද ඕස්ට්‍රේලියාවෙහි ද මෙනමින් නගර තුනක් ඇත.

1. නැගෙනහිර එංගලන්තයේ සෆක් කෝරළයෙහි, ලන්ඩන් නුවරට සැතැපුම් 69ක් ඊසාන දිගින්, ඕවල් ගඟබඩ පිහිටි, නගර සභාවක් ද සහිත පාර්ලිමේන්තු කොට්ඨාසයකි. එය පිහිටි කෝරළය හා කෝරළ නගරය ද මෙනමින් ම හැඳින්වේ.

කලෙක මෙය රෝම සහ සැක්සන් ජනාවාසයක් ව පැවති බවට සාක්ෂ්‍ය එහි අදත් දක්නට ඇත. 1200 දී ජෝන් රජුගෙන් නගර අයිතිවාසිකම් ලබා පසු කාලයේ දී වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු වූ මේ නගරයෙහි මධ්‍යකාලීන ඓතිහාසික ගොඩනැඟිලි කීපයක් තව ම තිබේ. මෙකල කලාභවනක් සහ කෞතුකාගාරයක් බවට පත්ව ඇති ක්‍රයිස්ට් ච'ච් මන්දිරය ඉන් එකකි. වුල්සි කාඩිනල්තුමා (1452-1530) උපන්නේ ඉප්ස්විච්හි දීය. මහාද්වීපයේ පිහිටි රටවල් හා ගනුදෙනු කරන නැව්තොටක් සහ දුම්රිය සන්ධිස්ථානයක් ද වූ එහි ප්‍රසිද්ධ ධාන්‍ය සහ ගව වෙළෙඳපොළක් ද ඇත.

වර්තමාන ඉප්ස්විච් නගරයෙහි රෙදි විවීම ද කඩදාසි, ලීබඩු, පෝර, (බීට්) සීනි, සිමෙන්ති, විදුලි උපකරණ සහ ගොවි උපකරණ ආදිය නිපදවීම ද කරනු ලැබේ. ජනගහනය (1965) 120,750කි.

2. එක්සත් ජනපදයට අයත් ඉප්ස්විච් නගරය මැසචූසෙට්ස්හි ඊසානේ එසෙක්ස්හි පිහිටියේය. 1764 දී මෙහි ඉදිකරනු ලැබූ 'චෝට්’ පාලම ඇමෙරිකාවේ ගල් ආරුක්කු සහිතව ඉදිකරන ලද ප්‍රථම පාලමයි. නැව් තටාකයක් ද ඇති මෙහි ජනගහනය 7,000ක් පමණි.

3. ක්වීන්ස්ලන්තයේ ගිනිකොනෙහි, බ්‍රිස්බේන් පුරයෙන් සැතැපුම් 23 ½ක් බටහිරින් පිහිටියේය. ගල් අඟුරු හෑරීම, ලොම් රෙදි විවීම සහ ලී ඉරීම මෙහි ප්‍රධාන කර්මාන්ත වේ. 1829 දී පළමු ජනාවාස ඇති වූ මෙහි ජනගහනය (1964) 52,000කි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉප්ස්විච්&oldid=8204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි