ඊශ්වරකෘෂ්ණ

සිංහල විශ්වකෝෂය වෙතින්
14:03, 23 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('‘සාංඛ්‍යකාරිකා’ නමැති ග්‍රන්ථය කිරීමෙන් අභා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

‘සාංඛ්‍යකාරිකා’ නමැති ග්‍රන්ථය කිරීමෙන් අභාවයට යමින් පැවති සාංඛ්‍ය දර්ශනයට නව පණක් දුන් භාරතීය දර්ශනාචාර්‍ය්‍යවරයෙකි. මෙම ග්‍රන්ථය කරන ලද්දේ කිතුවසින් පස්වන සියවසේ මැද භාගයේ දීය යනු හයින්රිඃ ට්සිමර් වැනි පඬුවන්ගේ පිළිගැනීම වන අතර රාධාකෘෂ්ණන් පඬිවරයාගේ මතය අනුව එය තුන්වන සියවසට අයත් කෘතියකි.

සාංඛ්‍ය දර්ශනය මුලින් ලොවට හෙළිකළැයි යෙන කපිල ඍෂිහුගේ සූත්‍රයන් අළලා කරන ලද්දකැයි සැලකෙන සාංඛ්‍යකාරිකාව සාංඛ්‍යදර්ශනය සම්බන්ධයෙන් දැනට ශේෂව පවත්නා පැරණිම සංග්‍රහයයි. කාරිකා සැත්තෑවකින් යුක්ත වූ බැවින් ඊට ‘සාංඛ්‍ය සප්තති’ යන නම ද ව්‍යවහාර වේ. පසුව ඊට තවත් කාරිකා දෙකක් එකතු කිරීම නිසා මුළු ග්‍රන්ථය කාරිකා හැත්තෑ දෙකකින් අවසන් වේ. මුල් කාරිකා හැට අටෙන් සාංඛ්‍ය දර්ශනයෙහි ඇතුළත් විෂයයන් හැට සැකෙවින් ප්‍රකාශිතය. අවසානයට යොදා ඇති කාරිකා සතරෙන් සාංඛ්‍ය දර්ශනයෙහි ප්‍රභවය, ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරා වශයෙන් පැතිරයාම හා ඊශ්වරකෘෂ්ණ අතට පත්වීම ආදි තොරතුරු සඳහන් වේ.

ආර්‍ය්‍යාවෘත්තයෙන් රචිත සංඛ්‍යකාරිකාවෙහි රචනා විලාසය අතිශයින් ශෝභනය. එහි භාෂාව අපශබ්දයන්ගෙන් තොරය. වචන ස්වල්පයකින් අර්ථ රාශියක් හැඟවීමෙහි කුශලතාවක් ඊශ්වරකෘෂ්ණට තිබුණු බව ග්‍රන්ථයෙන් ප්‍රකට වෙයි.

ටිබැට් ග්‍රන්ථවල සඳහන් වන හැටියට ඊශ්වරකෘෂ්ණ ජීවත් වූයේ දිංනාගාචාර්‍ය්‍යයන් විසූ සමයෙහි (ක්‍රි.ව. 6 වන සියවස) මය. දිංනාගාචාර්‍ය්‍යවරයන් විසින් ප්‍රමාණ සමුච්චය ලියන ලද්දේ ආන්ධ්‍ර දේශයේ වෙංගි නමින් හැඳින්වෙන ප්‍රදේශයට නුදුරු පර්වතයක වසන අතරය. ඔහු පළමුවෙන් ලියා තිබුණු විවිධ කරුණු එක්තැන් කර ප්‍රමාණ සමුච්චය පද්‍යමය බසින් ලියන්ට ආරම්භ කරත් ම පෘථිවිය කම්පා වී යයි කියත්. මහත් ආලෝකයක් ද පැතිරිණි. ඒ සමඟ ම මහත් ශබ්දයක් ද නිකුත් විය. මේ ආශ්චර්‍ය්‍යය දුටු ඊශ්වරකෘෂ්ණ නමැති බ්‍රාහ්මණයෙක් දිංනාගාචාර්‍ය්‍යවරයා සොයා ගියේය. බමුණා එහි ළඟා වූයේ දිංනාගාචාර්‍ය්‍යවරයා පිඬු සිඟීමට ඉන් නික්ම ගිය අවස්ථාවකය. එහි කිසිවකු නොසිටි බැවින් ආචාර්‍ය්‍යවරයා ලියා තිබූ කොටස මකා දමා බමුණා යන්නට ගියේය. ආපසු පැමිණි දිංනාග මකාදමා තිබුණු කොටස නැවතත් ලියා තැබූ නමුත් එය ද ඊශ්වරකෘෂ්ණ විසින් මකා දමන ලදි. තෙවන වරට ද එය ම නැවතත් ලියූ දිංනාග එහි අවසානයෙහි, "මෙය ක්‍රීඩාවක් වශයෙන් හෝ විනෝදයක් වශයෙන් හෝ කිසිවෙක් නොමකාවා! ගරිෂ්ඨ යයි සම්මත කිසිවක් කිසිවකු විසින් නොමැකිය යුතු හෙයිනි. ඉදින් ලේඛනයෙන් ප්‍රකට කැරෙන කරුණු වැරදිය යන හැඟීමෙන් ඒ සම්බන්ධයෙන් යමෙක් වාද කිරීමට කැමැත්තේ ද ඔහු මා ඉදිරිපිට දර්ශනය වේවා!" යයි ලියා තැබීය. ඉන්පසු දිංනාග බැහැර ගිය අවස්ථාවක එහි පැමිණි ඊශ්වරකෘෂ්ණ එහි අවසානයෙහි ලියා තිබුණු කොටස කියවීය. ඒ ඇසිල්ලෙහි ම එහි පැමිණි දිංනාග ඒ බ්‍රාහ්මණයා සමග වාද කර බොහෝ වාර ගණනක් ඔහු පරදවා බුද්ධ ධර්මය පිළිගැනීමට ඔහුට නියම කෙළේය. ඊට අවනත නොවූ බ්‍රාහ්මණයා අළු ස්වල්පයක් අතින් ගෙන මන්ත්‍ර පුරවා එහි විසුරුවාලීමෙන් දිංනාගාචාර්‍ය්‍යයන් සතුව තිබුණු සියලු දේ ගින්නෙන් දවා එතැනින් පලා ගියේල.

ටිබැට් ග්‍රන්ථයක දැක්වෙන මේ කථාවෙහි සදහන් ඊශ්වරකෘෂ්ණ සාංඛ්‍යකාරිකා කතුවරයා ලෙස සැලකේ. දිංනාගගේ න්‍යාය ප්‍රවේශයෙහි සාධ්‍ය, හේතු යන අවයව සම්බන්ධයෙන් කැරෙන විස්තරයකට අනුව ඔහු ඊශ්වරකෘෂ්ණගේ සාංඛ්‍යකාරිකාව ගැන දැනගෙන තිබුණ බව හෙළි වේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඊශ්වරකෘෂ්ණ&oldid=8206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි