උඩත්තා
සිංහල විශ්වකෝෂය වෙතින්
12:36, 2 ජූලි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(මොලුගෝ පෙන්ටපිලා - Mollugo pentaphylla L.). බොහෝ විට අඩියක් ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(මොලුගෝ පෙන්ටපිලා - Mollugo pentaphylla L.). බොහෝ විට අඩියක් පමණ උසට වැඩෙන වාර්ෂික පැළෑටියකි. මෙහි බිම දුවන බොහෝ ශාඛා ඇත. එක් වලයක කොළ 2 සිට 6 දක්වා තිබේ. කොළය අඟල් 1/2 සිට 1 දක්වා දිගය; ලංසාකාරය. පුෂ්ප මංජරිය බහු අක්ෂය. පුෂ්ප කුඩාය; නිල් පාටට හුරුය. අග්‍රස්ථ පුෂ්ප සුදු පාටය. ඵලය ගෝලාකාර කුඩා ස්ඵෝටිකාවකි. ඇට විශාල සංඛ්‍යාවකි.
පාළු ඉඩම්වල තරමක් බහුල ලෙස වැවෙන මේ ශාකය ඉන්දියාව, ලංකාව, මැලේසියාව, චීනය හා ජපානය ආදි රටවල දක්නට ලැබේ.
උඩත්තා අයිසොආසේ (Aizoaceae) කුලයට අයත්ය.
ආයුර්වේද මතය
උඩත්තා උෂ්ණය , තික්තය, සැහැල්ලුය. වා සෙම් නසයි; මල බිඳීම කරයි; විෂ නාශකයි; මහ ලේරෝගයට හා ඡවිගත රෝගයන්ට හිතකරයි; අග්නිදීපනය කෙරෙයි; මූත්‍ර කෘච්ඡ්‍ර, විසර්ප, කුෂ්ඨ, ගලගණ්ඩ, පිත් නසයි.
(සංස්කරණය: 1970)