ඇනැක්සගෝරස්

සිංහල විශ්වකෝෂය වෙතින්
08:47, 8 ජූලි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Anaxagoras) ක්‍රි‍.පූ. 500?-428?. අයෝනියානු (ග්‍රීක) දාර්ශනි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Anaxagoras) ක්‍රි‍.පූ. 500?-428?. අයෝනියානු (ග්‍රීක) දාර්ශනිකයෙකි. සුළු ආසියාවේ ක්ලසොමනී නම් ප්‍රදේශයෙහි උපත ලැබූ ඇනැක්සගෝරස් සිය ජීවිත කාලයෙන් තිස් වසක් පමණ ම ඇතන්ස්හි ගත කළ බව පෙනේ. ඇතන්ස් පුරය දාර්ශනික මධ්‍යස්ථානයක් බවට හැරවූයේ මොහු යයි සලකනු ලැබේ. හෙතෙම පෙරික්ලීස් (බ.) දේශපාලනඥයාගේ ද යුරිපිඩීස් (බ.) කවියාගේ ද හිත මිත්‍රයෙක් විය.

ආගමට හා ආචාර ධර්මයට ගරු සැලකිලි නොදැක්වූ ඇනැක්සගෝරස් සූර්යයා ගිනියම් වූ ගලකැයි ද චන්ද්‍රයා පඨවියෙන් නිර්මිත යයි ද දෙසීම නිසා අදේවවාදියෙකැයි චෝදනා කොට පිටිවාසල් කරනු ලැබීය.

ඇනැක්සගෝරස්ගේ ඉගැන්වීම්වලින් ඉතා සුළු කොටසක් පමණක් ග්‍රන්ථ ඛණ්ඩ ස්වරූපයෙන් ශේෂව පවතී.

සියලු දෙයක් ම අනන්තව බෙදිය හැකි බව ද ඉතා ක්ෂුද්‍ර වූ ද්‍රව්‍ය අණුවක පවා හැම ධාතුවක ම කිසියම් ප්‍රමාණයක් ඇතුළත් යයි ද යම් ද්‍රව්‍යයක කිසියම් ධාතුවක් අධිකතර නම් ඒ ද්‍රව්‍යය ඊට අයත් යයි ද ඔහු කීවේය. එම්පෙඩොක්ලීස් මෙන් ශූන්‍යයට (හිස් බවට) විරුද්ධව කරුණු කී ඔහු කිසිවක් නැති සේ පෙනෙතුදු සුළං පිරවූ හම් පයියක වාතය තිබෙන බව නිදසුන් වශයෙන් දැක්විය.

මනස (අභිචිත්තය=ග්‍රී. නෞස්) ගැන පවසන හෙතෙම සජීව දෑ නිර්මාණයෙහිලා එ ද එක්වෙතැයි ද සියලු ම සජීව වස්තූන් විෂයෙහි මනස අධිපති යයි ද කියයි. “මනස අනන්තය; ස්වයං පාලිතය; කිසිවක් හා මිශ්‍ර නැත.” කෙතරම් ක්ෂුද්‍ර වූ දැයක වුව ද සුදු කළු, උෂ්ණ ශීත වැනි සකල ප්‍රතියෝගයන්ගේ ම කොටස් අන්තර්ගත යයි කියන හෙතෙම හිම (තරමක් දුරට) කළු යයි පවසයි. එහෙත් මනසෙහි පමණක් ප්‍රතියෝගයන් නොමැති බව ඔහු කියා සිටියි.

විද්‍යාව අතින් ඇනැක්සගෝරස්ට හිමි වනුයේ උසස් තැනකි. චන්ද්‍රයා පරාවර්ත ආලෝකයෙන් බබළන වස්තුවක් බව මුලින් ම පැවසූයේ ඇනැක්සගෝරස්ය. ආදියෙන් ම දැක්වීමේ ගෞරවය ද ඔහුට අයත්ය. සූර්යයා චන්ද්‍රයාට වඩා ඈත ඉහළ සිටින බව ද හෙතෙම දැන සිටියේය. “සූර්යයා හා තාරකාවෝ අග්නිමය පාෂාණයෝය; එහෙත් තාරකාවන්ගේ තාපය අපට නොදැනෙනුයේ ඒවා අතිදූරස්ථ බැවිනැ"යි ඔහු පැවසීය.

ඇනැක්සගෝරස් ප්‍රථම ගණයේ ග්‍රීක දාර්ශනිකයකු සේ නොගැනෙතත් බටහිර දර්ශන ඉතිහාසයෙහි ඔහුට වැදගත් තැනක් හිමි වේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇනැක්සගෝරස්&oldid=8475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි