ඉසුරුමුණිය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:12, 17 ජූලි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉසුරුමුණි විහාරය යනුවෙන් වර්තමානයෙහි හඳුන්ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉසුරුමුණි විහාරය යනුවෙන් වර්තමානයෙහි හඳුන්වනු ලබන්නේ අනුරාධපුරයේ තිසාවැව බැම්ම සමීපයෙහි රන්මසු උයනට දකුණෙන් පිහිටි පැරණි විහාරයකි. පන්සියයක් ඉසුරන් මිහිඳු මහතෙරුන් වෙත පැවිදිව විසූ තන්හි ක්‍රි.පූ. 3 වන සියවසේ දී දේවානම්පියතිස්ස රජු විසින් ඉසුරුමුණි විහාරය කරවන ලද බව මහාවංසයෙහි සඳහන් වේ. මහාබෝධියේ දක්ෂිණ ශාඛාවෙන් හටගත් අෂ්ටඵලරුහ බෝධියක් ද මෙහි පිහිටුවන ලදි. වර්තමාන ඉසුරුමුණියට සැතැපුම් කාලක් පමණ දකුණෙන් පිහිටි වෙස්සගිරිය නම් ස්ථානයෙහි පර්වතයේ කොටා ඇති, පළමුවන හෝ දෙවන සියවසට අයත්, සෙල්ලිපිවල ඉසුරුමුණියේ පැරණි සිංහල නාමය ‘ඉසිරමණ’ යනුවෙන් සඳහන් වී තිබේ. එහෙයින් වර්තමාන වෙස්සගිරිය පාලි මහාවංසයෙහි ‘ඉස්සරසමණ(ක)’ යනුවෙන් ද සමන්තපාසාදිකාවෙහි ‘ඉස්සරනිම්මාණ’ යනුවෙන් ද හැඳින්වුණු ඉසුරුමුණි විහාරය විය යුතු යයි මහාචාර්‍ය්‍ය පරණවිතාන මහතා නිගමනය කරයි. පැරණි ඉසුරුමුණියට වර්තමාන ඉසුරුමුණිය ද ඇතුළත් වන්නට ඇතැයි ආචාර්‍ය්‍ය ඩී.ඇම්. ද ඉසැඩ්. වික්‍රමසිංහ මහතා පළ කළ අදහස පිළිගැනීම දුෂ්කරය. මේ විහාරද්වයෙහි සීමා අද පවා වෙන් වෙන්ව ම හඳුනාගැනීමට පුළුවන් හෙයිනි. වර්තමාන ඉසුරුමුණිය වූකලි මහාබෝධිවංශ ගැටපදයෙහි සඳහන් මෙන්ගිරි (මෙයිගිරි) විහාරය හෙවත් මහා මේඝවනයෙහි වී යයි දළදා සිරිතේ කියැවෙන මේඝගිරි විහාරය විය හැකි යයි පරණවිතාන මහතා පෙන්වා දී ඇත. දන්ත ධාතූන්වහන්සේ තැන්පත් කර තිබුණු ප්‍රථම ස්ථානය එය හැටියට සැලකේ.

ඉළනාග රජුගේ පුත් චන්දමුඛසිව රජු (ක්‍රි.ව. 44-52) මණිකාර ගමෙහි වැවක් ඉදි කොට ඉස්සරසමණ විහාරයට පිදූ අතර ඒ රජුගේ දෙමළ දේවී යයි ප්‍රසිද්ධ බිසව ඒ ගමෙන් තමන්ට උපදනා ලාභය වෙහෙරට පිදුවාය. වසභ රජ (65-100) ඉසුරුමුණියෙහි උපෝසථාගාරයක් ද වෝහාරතිස්ස රජ (214-236) විහාරය වටා පවුරක් ද කරවූහ. වසභ රජු පිළිබඳ මෙකී මහාවංස ප්‍රවෘත්තියේ සඳහන් වන ‘ඉස්සරසමණක’ යනු පූර්ව ව්‍යවහාරයෙහි ‘ඉස්සරසමණ’ යනුවෙන් පැවැති ‘කච්ඡපගිරි’ විහාරය යයි මහාවංස ටීකාව සඳහන් කරයි. වෙස්සගිරියෙන් සොයාගනු ලැබූ 6 වන සියවසට පමණ අයත් සෙල්ලිපි දෙකක "බොය ඔපුලවන කසපිගරි" හා "කසබගිරි" යන නම්වලින් මේ විහාරය හඳුන්වා තිබේ (ලං.ශි.සං. IV). වෙස්සගිරියෙන් හමු වී යයි සැලකෙන 4 වන මිහිඳු රජුගේ ලිපියක මේ විහාරය හඳුන්වා ඇත්තේ “ඉසුරමෙණු බො උපුල්වන් කසුබ්ගිරි රද් මහ වෙහෙර” යනුවෙනි (ල.ශි.සං. I). 5 වන සියවසේ දී පළමුවන කාශ්‍යප රජු මේ විහාරය මැනවින් ප්‍රතිසංස්කරණය කොට බෝධි, උප්පලවණ්ණා යන ස්වකීය දුහිතෲන් දෙදෙනාගේ හා තමාගේ නමින් එය නම් කළ බව මහාවංසය සඳහන් කරයි. මින් අනතුරුව ඉසුරුමුණිය 'බෝධි උප්පලවණ්ණා කස්සපගිරි’ යනුවෙන් හෝ කෙටියෙන් ‘කස්සපගිරි’ යනුවෙන් හෝ හැඳින්වෙන්නට වූ බව යථෝක්ත ලිඛිත සාධකයන්ගෙන් පෙනේ. හතරවන මිහිඳු රජු ඉසුරුමුණියෙහි මහාප්‍රාසාදයක් ගොඩනැගූ බව ඔහුගේ ජේතවනාරාම 1 වන පුවරු ලිපිය සඳහන් කරයි. එහි මෙම විහාරය හඳුන්වා ඇත්තේ "ඉසුරමෙණු බො උපුල්වන් කසුබ්ගිරි රද් මහ වෙහෙර" යනුවෙනි. වෙස්සගිරියෙන් හමු වී යයි කියැවෙන හතරවන මිහිඳුගේ ලිපිය මෙම විහාරයට අයත් කුඹුරුවලට තිසාවැවෙන් ජලය සපයා දීමක් ගැන සඳහන් කරයි. තුන්වන ජෙට්ඨතිස්ස රජ (632) අම්බිලාපික නම් ගම ද දෙවන දාඨෝපතිස්ස රජ (659-667) සේනාගම ද කසුබ්ගිරියට ගොදුරුගම් කොට දුන්හ. දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු දිනක් සිල් සමාදන් වී මිහිඳු නම් වූ ගුහාවෙහි වුසූ බවත් රජතුමා විහාරය විශාල කරවූ බවත් රසවාහිනියෙහි සඳහන්ය.

කෙසේ වුව ද දහවන සියවසේ දී හෝ ඉන් පෙර ලියැවුණු කෘතියක් වූ සහස්සවත්ථුප්පකරණ නම් පාලි ග්‍රන්ථයෙහි එන ගෝඨයිම්බර උණ පඳුරක් උදුරා දැමීමේ කථාවෙහි කියවෙන්නේ "තිස්සවාපි මරියාදෙ ඉස්සරසමණවිහාරං" (තිසාවැව ඉවුරෙහි වූ ඉසුරුමුණිය) යනුවෙන් බැවින් තිසාවැව ඉවුරෙහි ම වාගේ ඇති දැනට ඉසුරුමුණිය නමින් හැඳින්වෙන විහාරය ඒ අතීතයේ දීත් එනමින් ම හැඳින්වුණු බව නිසැකව ම ඔප්පු වේ. මෙකල වෙස්සගිරිය නමින් දන්නා විහාරය තිසාවැවට සැතපුම් කාලක් පමණ ඈතින් පිහිටි බැවින් එය තිසාවැව මියරෙහි පිහිටි හැටියට සලකා ලියැවිණැයි සිතිය නොහැකි හෙයිනි. මෙකී පුස්තකය ඇසුරෙන් කථාව සියවස් කීපයකට පසුව රසවාහිනියෙහි ද අනතුරුව සද්ධර්මාලංකාරයෙහි ද පැවසේ. එම ග්‍රන්ථ කර්තෘෘන් ද ඉසුරුමුණියේ පිහිටීම වෙනස් නොකොට එපරිද්දෙන් ම යොදා තිබීමෙන් පෙනෙනුයේ එම කාලයන්හි දී ද ප්‍රස්තුත විහාරය ඉසුරුමුණිය යන නමින් ම හැඳින්වුණු බවයි. සහස්සවත්ථුව පැරණි කථා එක්තැන් කිරීමක් බැවින් ගෝඨයිම්බර කථාව එය ඇතුළත්ව තිබෙන සහස්සවත්ථුවට වඩා පැරණි විය යුතුය. එහෙයින් වඩාත් පූර්වයේ සිට වත්මන් ඉසුරුමුණිය එනමින් ම දන්නා ලද බව සිතා ගත හැකිය.

වර්තමාන වෙස්සගිරිය ක්‍රි.පූ. අවධියේ බ්‍රාහ්මී ශිලාලේඛන රාශියකින් යුත් ගල් ගුහා විශාල ගණනක් හා පශ්චාත්කාලීන ගෘහනිර්මාණ නටබුන් රැසක් අන්තර්ගත ස්ථානයකි. එහි කැපී පෙනෙන පර්වත වැටි තුනක් වේ. ඉන් එකක් මත ගරා වැටුණු පැරණි දාගැබක නටබුන් ඇත. අනෙක් දෙක ආශ්‍රිත ගල් ගුහාවන්හි කටාර හා පිවිසීමට ගල්පඩිපේළි කොටා තිබේ. ඇතැම් තැනක බිත්ති ආදිය ද තිබුණු බවට ලකුණු පෙනේ. මේ ගුහා පූර්වකාලයේ දී භික්ෂූන්ට වාසස්ථාන විය. විහාර වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ලදැයි සිතිය හැකි ගුහා දෙකක් මේ අතර වේ.

වර්තමාන ඉසුරුමුණි විහාරය පර්වතයක් ආශ්‍රිතව ගොඩනඟා ඇති දර්ශනීය සිද්ධස්ථානයකි. එය අද අනුරාධපුර අටමස්ථානයන්ගෙන් එකක් හැටියට දියුණුව පවතී. වල්බිහිව පැවති මෙම විහාරයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද්දේ 1872 දී මානෙලෙඹුවේ එගොඩපිටියේ සංඝරක්ඛිත නම් තෙර කෙනකුන් විසිනි. උන්වහන්සේ එහි පුරාණ විහාරය පිළිසකර කරවීමෙන් පසු ගල්කණු සිටුවා ඊට ප්‍රකෝෂ්ඨයක් ගොඩනංවා ඒ ඒ තැන විසිර තුබූ ගල්පඩි එකතු කර සෝපාන පංක්ති ද බැඳවූහ. ගරාවැටී තිබුණු පැරණි දාගැබ බඳවා එයත් බෝධියත් වටා ආරක්ෂක ප්‍රාකාර ද ගොඩ නැංවූහ. තවද විහාරය අසල වූ පොකුණ ප්‍රතිසංස්කරණය කරවීම හා විහාරයට අයත් වූ ගල් ලෙනෙහි ප්‍රතිමාගෘහයක් ඉදි කරවීම මුන්වහන්සේ අතින් සිදු විය.

ඉසුරුමුණියේ පැරණි විහාරය නැගෙනහිර දෙසින් පර්වතය හාරා නිමවන ලද කුඩා විහාරයකි. මෙහි දොරටුව හා ඒ ආශ්‍රිත මකර තොරණ ද ගලෙන් ම නෙළා තිබේ. මකර තොරණේ සැරසිලි ඇත්තේ 10 වන සියවසට හෝ ඊට ආසන්න කාලයකට අයත් ශෛලියකිනි. විහාරය ඇතුළත වැඩ හිඳිනා පිළිමයක් ඇත. එය දැනට හුනුබදාම ගා සායම් කොට තිබේ. මෙම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කැරුණු අවස්ථාවේ එම පිළිමය පැවති තත්වය පිළිබඳ විස්තරයක් නොමැති හෙයින් එය ගලෙන් ම නෙළන ලද්දක් ද ගඩොල් හා බදාමෙන් සාදන ලද්දක් දැයි කීම අපහසුය. ඉසුරුමුණියට යන සැදැහැවතුන්ගේ විශේෂ සැලකිල්ල යොමුවන්නේ මේ පිළිමය වෙතයි.

ඉසුරුමුණි කැටයම්

ඉසුරුමුණි විහාරයේ සංරක්ෂණ කටයුතු කැරුණු අවස්ථාවෙහි තැන තැන විසිර තිබී විහාරයේ ගල් බැම්ම බැඳීමට යොදාගන්නා ලද කැටයම් පුවරු කිහිපයක් වෙයි. ඒ අතුරෙන් ස්ත්‍රී-පුරුෂ යුවළක් දක්වන කැටයම් පුවරුව ද ප්‍රභූ පුරුෂයකු හා තවත් හතර දෙනකු දක්වන අර්ධ කවාකාර කැටයම ද වැදගත් නිර්මාණ දෙකකි. මේ හැරෙන්නට විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වී ඇති තවත් කැටයම් දෙකක් පර්වතයේ මුහුණත නෙළා ඇත. එකකින් හිඳගත් පුරුෂයකු හා අස් හිසක් ද අනෙක් කැටයමෙන් පියුම් තඩාගයක සිටින ඇතුන් කිහිප දෙනෙක් ද නිරූපණය වෙති. ඉසුරුමුණියෙහි ගණ රූප ආදි තවත් කැටයම් දක්නා ලැබෙන නමුත් ‘ඉසුරුමුණි’ කැටයම් වශයෙන් වැදගත් වන්නේ යට සඳහන් කළ ඒවායි.

ඉසුරුමුණි විහාරයේ අලුත් ආරක්ෂක බැම්මට බැඳ ඇති ගල් පුවරුවක දැක්වෙන අර්ධකවාකාර කැටයම ද සැලකිය යුතු කලා කෘතියකි. මෙයින් ප්‍රභූ පුද්ගලයකු හා ඔහු පිරිවරා සිටින තවත් සතර දෙනෙක් දැක්වෙත්. කැටයමේ කැපී පෙනෙන පුද්ගලයා සෙසු අයට වඩා තරමක් උස වේදිකාවක, කලා සම්ප්‍රදායට අනුකූල නොවන විලාසයකින්, හිඳගෙන සිටී. ඔහු තම වම් පසින් හිඳගත් කාන්තාවකගේ උකුළේ වමත තබා ඇත. කිසියම් දෙයක් පැහැදිලි කරන ව්‍යාඛ්‍යාන මුද්‍රාවෙන් ඔහු දකුණත ඔසවා සිටී. උස් ඔටුන්නක් හා දිගු කර්ණාභරණ ද වළලු හා මාලයක් ද පැලඳ සිටින මොහුගේ ඉණෙහි බඳ පටි කිහිපයක් දිස් වෙයි. රූපයේ ඉණෙන් ඉහළ කොටස නග්නය; පහළ පෙදෙස දුහුල් ඇඳුමකින් වැසී ඇත. උරහිසේ සිට පහළට පූනනූලක් එල්ලෙයි. මුහුණේ ශාන්ත උදාර පෙනුමක් ඇත. මොහු රාජකීය පුරුෂයකු විය යුතුය. මොහුගේ දකුණු පසින් චාමරයක් ගත් ස්ත්‍රියක සිටීම මේ අදහස තහවුරු කරන්නකි. ප්‍රධාන පුරුෂ රූපයට වම් පසින් ඔටුන්නක් හිස දරා අත, ගෙල හා හිණ අබරණ පැලඳ සිටින ස්ත්‍රියකි. ඈ ප්‍රධාන පුද්ගලයාගේ වමත දෑතින් ම අල්ලාගෙන සිටින්නීය. ඇගේ මුහුණේ කැළඹුණු බවක් පිළිබිඹු වේ. ඈ රජ බිසවක් විය හැකිය. මෙම ස්ත්‍රී රූපයට පිටි පසින් උක්කුටුකයෙන් හිඳගෙන සිටින තරුණියකගේ රූපයක් දැක්වේ. කැටයමේ දකුණු කෙළවර එක් පයක් දිගු කොට දෑත පපුව මත බැඳ යටහත් පහත් වුව ද සතුටට පත් ලීලාවකින් හිඳගෙන සිටින තරුණයකුගේ රූපයකි. ඔටුන්නක් හා මාල වළලු ආදිය පැලඳ සිටින ඔහු උසස් පෙළේ තරුණයකු බව හැඟේ.

කලාත්මක නිර්මාණයක් වශයෙන් මේ කැටයමට ඉතා උසස් තැනක් හිමි විය යුතුය. එක් එක් පුද්ගල රූපයේ නෙළීම අතින් මෙන් ම කැටයම ඒකකයක් වශයෙන් ගෙන නිමවීම විෂයෙහි ද මූර්ති ශිල්පියා මහත් දක්ෂතාවක් පළ කොට ඇති බැව් පෙනේ. කැටයමේ ශෛලිය අනුව එය 5 වන 8 වන සියවස් අතර කාලයට අයත් විය යුතුය.

මෙම කැටයම් කෙරෙහි විචාරකයන්ගේ සැලකිල්ල යොමු වී ඇත්තේ ස්වල්ප වශයෙනි. මෙයින් සිංහල ඉතිහාසයේ සුප්‍රකට ප්‍රේම ප්‍රවෘත්තිය වන සාලිය-අශෝකමාලා කථාවේ එක් අවස්ථාවක් - එනම් දුටුගැමුණු රජතුමා සාලිය කුමරු හා අශෝකමාලා හමුවීමට ගිය අවස්ථාව - නිරූපණය වේ යයි මහාචාර්‍ය්‍ය පරණවිතාන මහතා අදහස් කරයි. මේ ප්‍රවෘත්තිය මහාවංසය, රසවාහිනිය හා සද්ධර්මාලංකාරය යන කෘතීන්හි විස්තර වෙයි. දුටුගැමුණු රජුගේ බිසව මෙම සිද්ධියට සම්බන්ධ බවක් මෙම කෘතීන්හි නොකියවෙතත් සාලිය කුමරුගේ අදහස් වෙනස් කරවීමට ඔහු වෙත වල්ලභ ස්ත්‍රියක යවන ලද බව රසවාහිනිය කියයි. කැටයමේ පෙනෙන ප්‍රධාන ස්ත්‍රී රූපය බිසව නොවේ නම් එම වල්ලභ ස්ත්‍රිය විය හැකිය. රජතුමා සාලිය-අශෝකමාලා විවාහයට එකඟ වූ අවස්ථාව මෙයින් දැක්වේය යනු පරණවිතාන මහතාගේ අදහසයි. ප්‍රධාන ස්ත්‍රිය රජුගේ තීරණයට අසතුට හඟවන බවක් හෝ රජුගේ කෝපය දුරු කිරීමට උත්සාහ කරන බවක් හෝ පළ කරයි.

ඉසුරුමුණියේ ගල් බැම්මට බැඳ ඇති 3′1" X 2′3 ½ ′′ ප්‍රමාණයේ තවත් ගල් පුවරුවක නෙළා ඇති ස්ත්‍රී-පුරුෂ යුවළක් දක්වන කැටයම විශිෂ්ට නිර්මාණයකි. මෙම කැටයම පොදුවේ හැඳින්වෙන්නේ ‘ඉසුරුමුණි පෙම් යුවළ’ යනුවෙනි. අයෙක් මෙම කැටයමෙන් ශිව හා පාර්වතී මූර්තිමත් වෙතැයි ද තවත් අයෙක් එයින් සිදුහත් කුමරු හා යසෝදරා දේවිය නිරූපණය වෙතැයි ද කියති. මෙයින් දැක්වෙන්නේ සාලිය කුමරු හා අශෝකමාලා යන දෙදෙනා විය හැකි යයි මහාචාර්‍ය්‍ය පරණවිතාන මහතා අදහස් කරයි. කැටයමෙන් කවුරුන් නිරූපිත වුව ද එය විශිෂ්ට කලා කෘතියක් බැව් කවුරුත් පිළිගනිති. පූර්ණ අඟපසඟින් හා මහඟු රූප සම්පත්තියෙන් හොබවා මිනිස් රූ නෙළීමේ ගුප්ත සම්ප්‍රදාය මෙම මිථුන රූපයෙන් පිළිබිඹු වේ. මෙය ගුප්ත සම්ප්‍රදායේ දියුණු අවස්ථාවකට අයත් නිර්මාණයකැයි ද බෙංගාලයේ පහර්පුර්හි දක්නට ලැබෙන කෘෂ්ණ වෘත්තාන්තයේ අවස්ථා දැක්වෙන 6 වන සියවසේ කැටයම් සිහි කරවන්නකැයි ද එක් විචාරකයකු පෙන්වා දී ඇත. මෙම කැටයමට අයත් ස්ත්‍රීරූපය ඉතා ශෝභන ලෙස නිමවා ඇතැයි මහාචාර්‍ය්‍ය ෆෝගල් සඳහන් කරයි. අඟපසඟවල සුඛනම්‍යතාව, මාංස පේශීන්ගේ මෘදුතාව, මුහුණේ ලජ්ජාශීලී පෙනුම යන ලක්ෂණවලින් එය හොබනේය. කඩුවක හා පලිසක ලකුණු පෙනෙන හෙයින් සෙබළ රූපයක් හැටියට නිරූපිත යයි සැලකිය හැකි පුරුෂ රූපය අනුරාගයෙන් පිරි දැඩි මුහුණක් පෙන්නුම් කරන්නකි.

බිම් මට්ටමේ සිට අඩි 15ක් පමණ උඩින් ගල්පරයේ අල්පොන්නතව නෙළා ඇති මිනිස් රුව හා අස් හිස කැටයම විචාරකයන් සෑහෙන ගණනකගේ සැලකිල්ලට භාජන වූවකි. ඈත වෙල් යාය දෙස බලා සිටින අයුරින් නෙළා ඇති මිනිස් රූපය ප්‍රමාණයෙන් කුඩාය. රූපයේ ඉණේ සිට හිස්වැස්ම දක්වා උස අඩි 2 අඟල් 7 ½කි. මිනිසා වාඩි වී සිටින අයුරු දැක්වෙතත් ආසනයක ලකුණු නොපෙනේ. ඔහු වම් පය බිම වැතිරී පවතින අයුරින් තබා සිටින අතර දකුණු පා තලය බිම තබා දණ හිස දෙසින් එම පය ඔසවා සිටී. වමත බිමට බර කොට තබා සිටින ඔහු දිගු කළ දකුණත දකුණු පයේ දණහිස මත රඳවා සිටී. රූපයේ ඉඟෙන් ඉහළ කොටස නග්නය; පහළ කොටස සියුම් දුහුලකින් වැසී ඇත. උර තලය මත සියුම් මාලයකි. ඔහු හිස් වැස්මක් ද බර කර්ණාභරණ ද පැලඳ සිටී. අස් හිස මිනිසාගේ දිගු කළ දකුණතට ගෑවෙන තරම් ළඟින් නෙළා තිබේ. අශ්වයා මිනිසා පිටිපස සිටින අයුරක් ඉන් දැක් වේ.

මිනිස් රුව හා අස් හිස කැටයමට දකුණු දෙසින් පොකුණේ ජල මට්ටමට මඳක් ඉහළින් ගල් පරයේ පිහිටි ස්වාභාවික විවරයක දෙපස සම්පූර්ණ උස හස්ති රූප හතරක් නෙළා තිබේ. සොඬ ඉහළට දිගු කරන ඇතකුගේ රූපයක් දකුණු පසින් ද තවත් රූප තුනක් වම් පසින් ද දැක්ක හැකිය. ඇතුන් තඩාගයක ස්නානය කරන බව හැඟවීමට නෙළුම් පත් ද නෙළා තිබේ. තනි හස්තියා නෙළා ඇති ගල්පරයේ මඳක් ඉහළින් 2'7" X2'7" ප්‍රමාණයේ කුහරයක් හාරා තිබේ.

ඉසුරුමුණි ගල්පරයේ නෙළා ඇති මිනිස් රූපය මෙන් ම ඇත් රූප ද උසස් ගණයේ නිර්මාණයෝයි. මිනිස් රුව ඉතා තේජාන්විත පෙනුමක් ගෙන දෙන ලෙස ද ඇත් රූ අතිශය ජීවමානාකාරයෙන් ද නෙළා තිබේ. මෙම මිනිස් රුව වරක් දුටුවකුට අමතක නොකළ හැකි අසහාය නිර්මාණයකැයි ලෝරන්ස් බින්යන් නම් ශ්‍රේෂ්ඨ විචාරකයා පවසයි.

ඉසුරුමුණියේ මිනිස් රුව හා අස් හිස කැටයම 12 වන සියවසට පමණ අයත් නිර්මාණයකැයි ආචාර්‍ය්‍ය විලියම් කූන් අදහස් කරයි. එහෙත් මේ කැටයම දකුණු ඉන්දියානු පල්ලව සම්ප්‍රදායේ නිර්මාණ හා සදෘශතා දක්වන බැව් මහාචාර්‍ය්‍ය ෆෝගල් පෙන්වාදෙයි. ෆෝගල් පඬිවරයාගේ මතය ද ආනන්ද කුමාරස්වාමි, බෙන්ජමින් රෝලන්ඩ් යනාදි උගතුන්ගේ අදහස් ද අනුව මෙම කැටයම හත් වන සියවසට පමණ අයත් නිර්මාණයකැයි ගිණිය යුතුය. මාමල්ලපුරම් ආදි ස්ථානයන්හි දැකිය හැකි පල්ලව මූර්තීන්හි පිළිබිඹු වන්නාවූ ශරීරාවයවයන්ට දික් බව ගැන්වීම, අබරණ විරලව යෙදීම, ඇඳුම් සිරුරට ඇලෙන සේ නිමවීම යනාදි ලක්ෂණ මෙකී ඉසුරුමුණි මිනිස්රූපයේ විද්‍යමාන වන බැව් මහාචාර්‍ය්‍ය පරණවිතාන ආදි උගතුන් පෙන්වාදී ඇත. පොකුණ ආශ්‍රිත ඇත් රූ එල්ලෝරාවේ විශිෂ්ට චිත්‍ර සිහියට නංවන බව වින්සන්ට් ස්මිත් පවසයි.

ඉසුරුමුණියේ මිනිස් රුව හා අස් හිස කැටයමත් ඇත් රූ කැටයමත් පිළිබඳව විචාරකයන් විවිධ අදහස් පළ කොට ඇත. ඇතැමෙක් මේ කැටයම් දෙකෙහි එකිනෙකට සම්බන්ධ අරුතක් දකිති. මේ සියවස ආරම්භයේ පැරණි ලංකාව ගැන ප්‍රශස්ත ග්‍රන්ථයක් ලියූ පාකර් මහතා යථෝක්ත මිනිස් රූපය සෙබළ රූපයකැයි අදහස් කරයි. මිනිසා ළඟ අශ්වයකු සිටීම ගැන සලකා ආචාය්‍යර්‍ ආනන්ද කුමාරස්වාමි මෙම කැටයමෙන් මහාභාරතයේ කපිල වෘත්තාන්තයේ ගංගානදී අවරෝහණය පිළිබඳ ප්‍රථම වෘත්තාන්තයේ සඳහන් කපිල ඍෂිවරයා හා අශ්වයා නිරූපණය වේ යයි පවසයි. වින්සන්ට් ස්මිත් ද මේ අදහස දරයි. මෙම මිනිස් රූපයෙන් ශෛව සාධුවරයකු නිරූපණය වෙතැයි කල්පනා කළ ඒ.එච්. ලෝංහර්ස්ට් මහතා කුමාරස්වාමි හා වින්සන්ට් ස්මිත් යන අයගේ මතය ද සාධාරණ යයි පිළිගනී. මෙම රූපය කපිල රූපය වශයෙන් හඳුනා ගැනීමට ඒ අසල අශ්ව රූපයක් නෙළා තිබීම ප්‍රමාණවත් සාධකයක් නොවේ යයි මහාචාර්‍ය්‍ය ෆෝගල් පළ කළ අතර එහි දැක්වෙන තැනැත්තා හිඳගෙන සිටින්නේ මහාරාජ ලීලාවෙන් යයි ද භාවනානුයෝගීව හුන් කපිල මුනිවරයා හැඳින්වීමට එම නිසිදන විලාසය අයෝග්‍ය යයි ද ආචාර්‍ය්‍ය විලියම් කූන් ප්‍රකාශ කරයි. රූපය තවුසකුට අනුචිත නිසිදන විලාසයකින් නිරූපණය කොට තිබීම හැරෙන්නට තවුසකු හඳුන්වන කෙට්ටු සිරුර හා බඹරු කෙස් එහි දක්නට නොලැබෙන නිසා ද කුමාරස්වාමිගේ මතය බැහැර කරන මහාචාර්‍ය්‍ය පරණවිතාන මිනිස් රුවෙහි හා අස් හිස කැටයමේ සංකේතාත්මක අර්ථයක් ගැබ් වී ඇතැයි නව මතයක් ඉදිරිපත් කරයි. මිනිස් රූපයෙන් වර්ෂාවට අධිපති පර්ජන්‍ය ද අස් රුවෙන් අග්නි ද නිරූපණය වෙතැයි යනු ඔහුගේ මතය වේ. මහාභාරතයේ එක් කථාවක අශ්වයකු හා අශ්වාරෝහකයකු පිළිවෙළින් අග්නි හා පර්ජන්‍ය වශයෙන් හඳුන්වා තිබේ. කෘෂිකර්මයේ සශ්‍රිකත්වය අරමුණු කොට ගෙන පැරණි ලක් දිව ද මේඝය හා ගින්න දේවත්වයට නංවා පුදන ලද බවට ශිලා ලේඛනමය හා සාහිත්‍යමය සාධක ගෙන හැර දක්වන මහාචාර්‍ය්‍ය පරණවිතාන ඉසුරුමුණි (පැරණි මේඝගිරි) විහාරයෙහි පර්ජන්‍ය හා අග්නි වෙනුවෙන් පූජා පවත්වන ලද බව ද පෙන්වා දෙයි. හස්තියා මේඝයේ සංකේතයක් හැටියට ඉන්දියානු ආගමික සාහිත්‍යයේ සඳහන්ය. ඉසුරුමුණියේ දක්නට ලැබෙන හස්ති රූප ද එම ස්ථානය වර්ෂාව ලබාදීම සඳහා පූජා පවත්වන ලද ස්ථානයක් බව හඟවන සාධකයකැයි ද ඇත් රූ හා පියුම්පත් මගින් පර්ජන්‍ය, අග්නි යන දෙවිවරුන් පහළ වීමේ ප්‍රතිඵල ප්‍රකාශ කැරෙන බව ද මහාචාර්‍ය්‍ය පරණවිතාන වැඩි දුරටත් සඳහන් කරයි. රාජ හෝ දේවරාජ යනුවෙන් පර්ජන්‍ය සිංහල ලේඛනයන්හි සඳහන් වේ. එබැවින් යථෝක්ත මිනිස් රූපය මහාරාජ ලීලාවෙන් නිමවා තිබීම ද එය පර්ජන්‍ය වශයෙන් ගැනීමට බාධකයක් නොවේ. සොඬ දිගු කරන ඇතාගේ රූපයට ඉහළින් ඇති කුහරය, වදුලු ශාස්ත්‍රයට අනුව නම් නිදන් වස්තු තැන්පත් කොට තිබුණු තැනක් ලෙස ගිණිය හැකි යයි ඇතැම්හු සලකත්. එහෙත් බොහෝ විට කවිසමයෙහි වලා ගල ගුහා සහිත හැටියට විස්තර කැරෙන හෙයින් එම කුහරය සැබෑ ලෙනක් දැක්වීම අදහස් කොට කරන ලද්දක් විය හැකි යයි පරණවිතාන මහතා කල්පනා කරයි.

ඉසුරුමුණියේ මිනිස් රුව හා අස් හිස කැටයමත් ඇත් රූ කැටයමත් මාමල්ලපුරම්හි ගංගානදි අවරෝහණය (ඉන්දියානු මූර්ති කලාව බ.) දක්වන විශාල කැටයමේ අසම්පූර්ණ අනුකෘතියක් හැටියට කලක් ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ ඒ.එච්. ලෝංහර්ස්ට් හඳුන්වයි. ඉසුරුමුණි කැටයම් නෙළා ඇති ගල්පරය යථෝක්ත ඉන්දියානු කැටයම නෙළා ඇති ස්ථානයට සමානව සලකා ඇති බැව් කුමාරස්වාමි ද සඳහන් කරයි. මාමල්ලපුරම්හි මෙන් ගංගා නදිය ලෙස ගිණිය හැක්කා වූ පර්වතයේ සිරස් විවරයක දෙපස ඉසුරුමුණි ඇත් රූප නෙළා තිබේ. විවරයේ ඉහළ කොටසේ මාමල්ලපුරම්හි මෙන් ම ජලාශයක් වැනි නිර්මාණයක නටබුන් දක්නට ලැබේ. ස්ථානද්වයේ ම විවරයට පහතින් ද ජලාශයක් ඇත. මෙබඳු සමානකම් පෙන්වාදෙන ලෝංහර්ස්ට් ඉසුරුමුණි කැටයම් නිම කළ ශිල්පීන් ගංගානදී අවරෝහණ කැටයම පිළිබඳ මනා අවබෝධයක් ඇතිව සිටි බව නිසැක යයි ප්‍රකාශ කරයි. ඉසුරුමුණි ගල්පරයේ මිනිස් රූපය මාමල්ලපුරම් කැටයමේ ශිව රූපය නිරූපිත තැන නෙළා ඇතැයි ද එයින් කපිල මුනිවරයා නිරූපණය වේ නම් ගංගානදී අවරෝහණය දැක්වෙන කැටයමක එම රූපය දැක්වීම ඉතා උචිත බැව් ද ලෝංහර්ස්ට් පෙන්වාදෙයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉසුරුමුණිය&oldid=8500" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි