ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:31, 17 ජූලි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

හත් වැනි සියවසේ දී අරාබියෙන් පටන් ගෙන සිරියාව, ඉරාකය සහ පර්සියාව යන රටවල් ඔස්සේ උතුරු දෙසින් තුර්කිස්ථානය ද, නැගෙනහිරින් ඉන්දියාව ද, බටහිර දෙසින් උතුරු අප්‍රිකාව ද ඇතුළු කොට ගෙන ස්පාඤ්ඤය දක්වා විහිදුණු මුසල්මාන අධිරාජ්‍යයෙහි ඉස්ලාම් භක්තියේ ආභාසයෙන් වැඩුණු ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදාය ඉස්ලාම් නමින් වෙසෙසා හඳුන්වනු ලැබේ. මෙම සම්ප්‍රදායට අයත් විවිධ ශෛලීහු සරසනික යන අපරනාමයෙන් ද පොදුවේ හඳුන්වනු ලැබූහ.

අරාබියේ මුල් ම ඉස්ලාම් භක්තිකයෝ වැඩි කොට ම සංචාරක ජීවිතයක් ගත කරමින් කූඩාරම්වල වාසය කළාහු ගෘහ නිර්මාණ ශිල්පය දැන නොසිටියහ. මුසල්මාන අධිරාජ්‍යයේ ආරම්භයේ දී ඔවුහු තමන් යටත් කොට ගත් රටවල පැවැති නගර, ගොඩනැඟිලි ආදිය තමන්ගේ ප්‍රයෝජනයට ගත්හ. මේ නිසා ඒ රටවල වූ අන්‍යාගමික දේවස්ථාන ඉස්ලාම් භක්තිකයන්ගේ මස්ජිද (පල්ලි) බවට පෙරැළිණ. පසුව, අමුතුවෙන් ගොඩනැඟිලි ඉදිකිරීමේ දී ඔවුහු තමන් යටත් කොට ගත් රටවල වූ බයිසන්තීන සහ යාවනික ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදායයන් ගුරු කොට ගත්හ. තමන්ට අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා ඔවුන් විසින් බොහෝ විට යොදවන ලද්දේ ද මේ යටත් රටවල ශිල්පීන් මය. එපමණක් නොව, ඒ රටවල ඇතැම් දේවස්ථාන කඩා බිඳ දැමූ ඔවුහු ඒවායේ යම් යම් අංගෝපාංග තම ගොඩනැඟිලි ඉදිකිරීමේ දී යොදා ගත්හ. අට වැනි සියවසෙහි දී මුසල්මාන බලයේ කේන්ද්‍රස්ථානය සිරියාවේ දමස්කස් නුවරින් ඉරාකයේ බග්දාද් නුවරට මාරු කරනු ලැබීමෙන් පසු ඉස්ලාමික ගෘහනිර්මාණශිල්පය කෙරෙහි වූ පර්සියානු ආභාසය දැඩි විය. මේ විදියේ අතු ඉති එක්වීමෙන් සැදුණු ඉස්ලාමික ගෘහනිර්මාණ ශිල්පය ක්‍රමයෙන් ඊට ආවේණික යයි කිව හැකි මුහුණුවරක් ගන්නට වූයේය. එය මේ නව මඟට බටුයේ උමෙයියද් යුගයේ දී මය.

ඉස්ලාමික ගොඩනැගිලි ආගමික සහ ලෞකික යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. මස්ජිද හා සොහොන් ගෙවල් පළමු ගණයටත් නගර, රජමැදුරු හා මද්රසා දෙවැනි ගණයටත් අයත් වෙයි.

ආගමික ගොඩනැඟිලි

සාමාන්‍ය ව්‍යවහාරයෙහි මුස්ලිම් පල්ලිය යනුවෙන් හැඳින්වෙනුයේ මස්ජිදයයි. 'වැඳ වැටෙන තැන' යනු එහි අරුතයි. මස්ජිදය විශාල සෘජුකෝණාස්‍රාකාර මැදමිදුලක් වටා තැනුණු පිල්වලින් සැදුණකි. රිවාක් නමින් හැඳින්වෙන මේ පිල්වල සමතල පියසි රැඳුණේ කුලුනු පාද කොට ගත් ආරුක්කු වැටක් මතය. මස්ජිදයෙහි කිබ්ලා නම් වූ දිශාවකි. ඒ මක්කම පිහිටි දිශාවයි. එම දිශාව පූජ්‍ය වේ. කිබ්ලා දිශාව පැත්තේ පිහිටි පිල පුළුලින් වැඩිය. මෙහි ඇතුළු බිත්තියෙහි කුලංගියකි. මිහ්රාබ් නමින් හැඳින්වෙන එය ද මක්කම දිශාව දක්වයි. මස්ජිදයේ යාච්ඤාව සඳහා වෙන්වුණු මේ මිහ්රාබය සහිත කොටස වැසෙනුයේ අර්ධගෝලාකාර පියස්සකිනි. මස්ජිදයේ මැදමිදුල මධ්‍යයෙහි මිදා නමින් හැඳින්වෙන පොකුණ වේ. මස්ජිදය අසල හෝ ඊට බද්ධව මනාර නමින් හැඳින්වෙන එක් අටුල්ලක් හෝ අටුලු කිහිපයක් වෙයි. මේ අටුලු වනුයේ මු’අධ්ධීන් නම් සේවකයාට යාච්ඤා කිරීමේ වේලාව දන්වමින් කාල ඝෝෂාව කිරීම සඳහාය. උමයියද් යුගයේ බිහි වූ මස්ජිදයේ මෙම ලක්ෂණ එහි සැලැස්ම වශයෙන් රූඪිගත වූයේය. එසේ ද වුවත්, මේ සැලැස්ම ඒ ආකාරයෙන් ම අනුගමනය නොකළ අවස්ථා ද ඇත. නිදසුනක් වශයෙන් දක්වතොත් ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පයේ මුල් කාලයට අයත් කොර්දෝබා, ඛයිර්වාන් සහ ටියුනිස් යන තැන්වල පිහිටි මස්ජිදයන්හි මැද මිදුලෙහි සිවු දිසාවෙහි ම රිවාක් පිල් නොමැත.

සොහොන් ගෙවල් හැඳින්වෙනුයේ තුර්බ නොහොත් කබ්රිස්ථාන් යන නම්වලිනි. මේවා සාමාන්‍යයෙන් තනි සොහොන් ගැබකින් යුක්තය. මෙය වැසෙනුයේ අර්ධගෝලාකාර පියස්සකිනි. සොහොන් ගැබෙහි බටහිර දිග බිත්තියෙහි සාමාන්‍යයෙන් මිහ්රාබයක් වෙයි. ඇතැම් වැදගත් සොහොන් ගෙවල්වලට යාව වෙන ම මස්ජිදයක් ද තනන ලද්දේය. අබ්බාසිද් යුගයට අයත් අල්මුත්තසිර්ගේ කුබ්බත් අස්-සුලෙයිබිය නම් වූ සොහොන් ගෙය ද සමානිද් ඉස්මායිල්ගේ සොහොන් ගෙය ද ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පයේ මුල් යුගයට අයත් වැදගත් නිර්මාණ ද්වයයක් වෙයි. මින් පළමු වැන්න අෂ්ටාස්‍රාකාරය. පාරසික ලක්ෂණයන්ගෙන් යුත්, දෙවනුව කී සොහොන්ගෙය බොහෝ කල් යන තෙක් ම මේ ගෘහවිශේෂයට ආදර්ශ විය. ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පයේ මෑත භාගයට අයත් විශිෂ්ට සොහොන් ගෙවල් දෙකක් නම් ඉන්දියාවේ සිකන්දර්හි පිහිටි අක්බාර් අධිරාජයාගේ සොහොන් ගෙය සහ ශා ජහාන් විසින් කරවන ලද තාජ්මහල් (බ.) මන්දිරයයි.

ලෞකික ගෘහනිර්මාණ

තමන් අල්ලාගත් රටවල අංග සම්පූර්ණ නගර පැවැති හෙයින් අමුතුවෙන් නගර නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් එතරම් දුරට ඉස්ලාම් භක්තිකයනට ඇති නොවීය. ඒ අවශ්‍යතාව ඇති වූයේ ඔවුන් අමුතු ම තැනක සිය අගනුවරවල් පිහිටුවීමට අදහස් කළ අවස්ථාවල දී පමණකි. බග්දාදය මේ අවශ්‍යතාවෙන් බිහි වූ නගරයකි. අට වැනි සියවසේ මැද භාගයේ දී මේ නගරය තනවන ලද්දේ අල් මන්සූර් කාලිෆ් විසිනි. සැතපුම් හතරක විෂ්කම්භය ඇති වළයාකාර සැලැස්මකින් යුතු වූ මේ නගරය අල් ඛතීබ් නමැත්තාගේ විස්තරයකට අනුව අටුලු සහිත පවුරු වළලු දෙකකින් ද දිය අගලකින් ද වට වූයේය. මැද ම පිහිටි පවුරු වළල්ලෙන් වට වූ විශාල භූමිභාගයෙහි අධිරාජයාගේ මාළිගය පිහිටියේය. පාලන තන්ත්‍රයට අයත් ගොඩනැඟිලි වූයේ ඊ වටාය. සිව් අතට විහිදි මහා මාර්ග දෙකකින් නගරය සම කොටස් හතරකට බෙදිණ. නගරයට පිවිසීම සඳහා පුර දොර සතරක් විය. ඉරාකයේ සමර්රා නුවර ද, කෝර්දෝබා අසල මෙදීනා අස්-සර්හා නුවර ද ඉස්ලාමික පුරවරයනට නිදසුන් කොට දැක්විය හැකිය.

නගරවල වාසයට වඩා කාන්තාරයෙහි වාසය ප්‍රිය කළ උමයියද් වංශිකයන්ගේ මාළිග කිහිපයක නටබුන් ශේෂව පවතී. ඊශ්‍රායෙලයේ ටයිබීරියස් වැව අසබඩ මින්ය නම් ස්ථානයේ පිහිටි මාළිගය ද සිරියාවේ ඛසර් අල්-හයිර් මාළිගය ද ජෝර්දානයේ අම්මාන් නුවර අසල මෂක්කා සහ ඛසර් අත්-තූබ යන තන්හි මාළිගා ද මීට නිදසුන් වේ. රෝම බලකොටුවලට නෑකම් කියන මේ ගොඩනැඟිලි විශාල මැදමිදුලක් වටා තැනුණු නිවාසයන්ගෙන් ද අටුලු සහිත පවුරකින් ද යුක්තය. මැදමිදුලට පිවිසීම සඳහා මේ පවුරෙහි තනි දොරටුවක් වේ. උමයියද් වංශිකයන්ගේ මාළිගාවල සැලැස්ම අසංකීර්ණ වූ නමුදු ඔවුන් ජයගත් අබ්බාසිද් කාලිෆ්වරුන්ගේ මාළිග විසිතුරු අංගෝපාංගවලින් යුක්ත විය.

මීට හේතු වූයේ බග්දාදය අගනුවර කරගත් අබ්බාසිද් කාලිෆ්වරුන්ට පර්සියාවේ පැවැති රාජත්වය පිළිබඳ අදහස්වල ආභාසය ලැබීමයි. මේ අනුව ඔවුහු ශ්‍රී විභූතියෙන් ආඪ්‍යවීම ප්‍රිය කළහ. මීට සරිලන පරිද්දෙන් තනවන ලද ඔවුන්ගේ මාළිග නන්විසිතුරු ආස්ථාන මණ්ඩප ආදියෙන් සැදුම් ලද්දේය. මාළිගයන්හි පරිමාණය ද විශාල වූයේය. එසේ ද වුවත්, උමයියද් වංශිකයන් සිරියාවේ කර වූ මාළිගයන්හි දක්නා ලැබෙන මනෝඥතාව මේවායේ නොමැති බව විචාරකයන්ගේ මතයයි. ඉරාකයේ උඛයිදීර්හි පිහිටි මාළිගය ද සමර්රාහි මාළිගය ද අබ්බාසිද්වරුන්ගේ මාළිගයන්ට නිදසුන් වේ. ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදායයට අයත් රජමාළිගා සඳහා සම්භාවිත වූ සැලැස්ම මෂ්වර්, දිවාන් සහ හරීම් යන කොටස් තුනකින් සමන්විත වූයේය. පළමු සඳහන් කොටසට මුර ගෙවල් සහ ගබඩා ආදිය ද දෙවැනි කොටසට සේවකයන්ගේ කාර්යාල සහ කාලිෆ්වරුන්ගේ ආස්ථාන මණ්ඩප ආදිය ද තුන් වැනි කොටසට ඔවුන්ගේ නිවාසාගාර ද අයත් වූයේය. මේ එක් එක් කොටසෙහි මැදමිදුල බැගින් විය. ඒ ඒ රටවල පැවති පැරණි මාළිග තමන්ගේ වුවමනාවලට අනුව සකස් කර ගැනීමේ දී ඒ පැරණි ගොඩනැඟිලිවල වාස්තුවිද්‍යාත්මක අංග ගැන සැලකිල්ලක් නොදක්වා ඇතැම් කොටස් සම්පූර්ණයෙන් කඩා දැමීමත් පැරණි සැලැස්මට නොගැළපෙන සේ අලුතින් කොටස් තැනවීමත් ඉස්ලාම් භක්තිකයන්ගේ සිරිත වූ බව පෙනේ. එහෙත් ඉන්දියාවේ මෝගල් යුගයට අයත් මාළිග නගරය හොඳින් පෙනෙන උස් භූමිභාගයන්හි ක්‍රමවත් සැලැස්මවලට අනුව කරවන ලද බව ග්වාලියෝර්, දිල්ලිය, ලාහෝරය, අම්බර් සහ අග්‍රා යන ස්ථානයන්හි ඇති මාළිගයන්ගෙන් පෙනේ.

මද්‍රසා වූකලි, මුල දී, ධර්මාධ්‍යයනය සඳහා තැනුණු ආයතන විය. එකොළොස් වැනි සියවසේ දී සෙල්ජුක් සුල්තානවරුන් යටතේ පාලන තන්ත්‍රයට අවශ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ කාර්යය මද්‍රසාවලට පැවරිණ. මද්‍රසාව කුඩා සෘජුකෝණාස්‍ර මැදමිදුලක් වටා තැනුණු උස් පවුරු හතරකින් ද ශාලා හතරකින් ද සැදිණ. ශාලාවල සිට මැද මිදුලට බැසීම සඳහා උත්තුංග ආරුක්කුවක් තැනිණ. කුරුසියක හැඩයට මැදමිදුලේ පැති හතරෙහි තැනුණු ශාලා හතරේ එකිනෙක අතර වූ බිමෙහි මද්‍රසාහි නිලධාරීන්ගේ හා සේවකයන්ගේ නිවාස තනන ලද්දේය. දහහතර වන සියවසේ අවසානය දක්වා මේ ශාලාවල පියසි නිමවන ලද්දේ බෝක්කු හැඩයටය. ඉරාක හා බයිසන්තීන ආරට අයත් මේ පියසි තනන ලද්දේ ගඩොලිනි. දහහත් වන සියවසෙන් පසු ව තනවන ලද මද්‍රසාවන්හි පියසි සමතල වූ අතර ඒ සඳහා භාවිත කරන ලද්දේ දැවය.

විශේෂ අංග

ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පසම්ප්‍රදායයට අයත් ගොඩනැඟිලිවල කැපී පෙනෙන අංග කිහිපයක් වෙයි. මෙයින් එක් අංගයක් නම් ආරුක්කුවයි. නොයෙක් හැඩයෙන් යුතු ආරුක්කු බහුල වශයෙන් ගොඩනැඟිලිවල යෙදීමට ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පීන් ප්‍රිය කළ බව පෙනේ. අර්ධ කවාකාර ආරුක්කුවලට අමතරව මුදුනින් උල් වූ ආරුක්කු ද, කුඩා අර්ධකව කිහිපයක් සම්බන්ධ වීමෙන් සැදුණු බහුපත්‍රාකෘතික (multifoil) ආරුක්කු ද, අශ්ව ලාඩමක හැඩය ඇති ආරුක්කු සහ ‘ඕජී' ආරුක්කු ද ඉස්ලාමික ගොඩනැඟිලිවල බොහෝ සේ යොදා ඇත්තේය.

අර්ධගෝලාකාර පියස්ස මේ සම්ප්‍රදායයේ ගොඩනැඟිලිවල දක්නා ලැබෙන තවත් අවශ්‍ය අංගයකි.

ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පයට ම ආවේණික වූ ලක්ෂණ දැකිය හැක්කේ ගොඩනැඟිලි අලංකරණ විෂයෙහිය. මේ සඳහා ඇරබෙස්ක් (බ.) නම් වූ මෝස්තර රටා ද, පිඟන් ගඩොල් ද ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පීන් විසින් උපයෝගී කරගන්නා ලදි. නොයෙක් විදියේ ජ්‍යාමිතික රටාවල ද, එකිනෙක වෙළී පැටළී ඇති අයුරින් නිරූපිත රේඛා, ලියවැල් සහ වෙනත් අපූර්ව ආකෘතීන්හි ද සංකලනයෙන් සැදි මේ ඇරබෙස්ක් මෝස්තර ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ ශූරත්වයෙහි ප්‍රතිඵල වෙයි. මිනිසුන්ගේ හෝ සතුන්ගේ රූප පිළිම මගින් හෝ සිතුවම් මගින් නිරූපණය කොට දැක්වීමට ස්වසමයෙන් අවසර නොලත් ඉස්ලාමික ශිල්පීන්ගේ ප්‍රතිභා ශක්තිය මේ භූෂණාංග නිර්මාණය මගින් පල ගත් සැටියෙකි.

කිරිගරුඬ පුවරු සහ අතිශයින් විචිත්‍ර රටාවලින් හෙබි පිඟන් ගඩොල් ඇල්ලීමෙන් ගොඩනැඟිලි බිත්ති අලංකරණය කිරීම ද ඉස්ලාමික ශිල්පීන්ගේ සිරිත වූයේය. එසේ ම, අලංකරණය සඳහා දීප්තිමත් වර්ණ භාවිතය මොවුනට කෙතරම් ප්‍රිය වූයේ ද යත් ඉස්ලාමික ගෘහනිර්මාණ ශිල්පයේ එක් අවස්ථාවක ගොඩනැඟිලිවල ආකෘතියට වඩා වර්ණාලංකරණයට විශේෂ තැනක් හිමි වූ බැව් පෙනේ. ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පීන්ට බෙහෙවින් ම රුචි වී ඇත්තේ ප්‍රභාවත් කොළ සහ නිල් යන වර්ණ වේ. මෙකී අංග හේතුකොටගෙන ඉස්ලාම් ගොඩනැඟිලිවල චලනාත්මක වෛචිත්‍රයක් දිස් වේ.

ගොඩනැඟිලිවල දොරටු නිර්මාණය ද ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පයෙහි විශිෂ්ටාංගයක් සේ ගිණිය හැකිය. ගොඩනැඟිල්ලකට පිවිසෙන දොර මිනිසකුට යා හැකි තරම් උසින් හා පළලින් යුතුවීම ප්‍රමාණවත් වුව ද, සුවිසල් මන්දිරයක දොරටුව එහි පරිමාණයට අනුකූල නොවුවහොත් එය එම මැදුරෙහි අලංකාරයට සරස් වෙයි. මේ ශිල්පීය ගැටලුව ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පීන් විසින් විසඳන ලද්දේ ගොඩනැඟිල්ලේ පරිමාණයට ගැළපෙන අර්ධගෝලයකින් පලුවක පාදමෙහි සාමාන්‍ය ප්‍රමාණයේ දොරවල් එකක් හෝ ඊට වැඩි ගණනක් තැනීමෙනි. මේ ක්‍රමය නිසා ගොඩනැඟිල්ල දෙස බලන්නාගේ අවධානය දොර දෙස නොව, දොරට අලංකරණයක් වූ ද්වාර මණ්ඩපය දෙස යොමුවෙයි. මේ ක්‍රමයේ දොරටු ඉස්ලාමික ගොඩනැඟිලි බොහොමයක දක්නා ලැබේ.

මුසල්මාන අධිරාජ්‍යයේ කේන්ද්‍රීය ප්‍රදේශයට අයත් සිරියාව, පර්සියාව, මිසරය හා තුර්කිය යන රටවල ද බටහිරදිග සීමාව වූ ස්පාඤ්ඤයෙහි ද නැගෙනහිර සීමාව වූ ඉන්දියාවෙහි ද ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පය දේශීය ලක්ෂණයන්ගේ සම්මිශ්‍රණයෙන් විකාශයට පත් විය.

පුරාණතම අවශිෂ්ටය

ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදායයට අයත් දැනට ශේෂව පවත්නා පැරණි ම ගොඩනැඟිල්ල පිහිටියේ එවක සිරියාවට අයත් වූ ජෙරුසලමෙහිය. ඒ වූකලි ක්‍රිස්තුවර්ෂ හත්වැනි සියවසේ දී අබ්ද් අල් මලික් විසින් ඉදිකරවන ලද ‘ගිරිකුල කපෝතය’ (Dome of the Rock) නම් ලත් මස්ජිදයයි. අෂ්ටාස්‍රාකාර සැලැස්මකට අනුව නිමවුණු මෙය බයිසන්තීන ආරට අයත් මහඟු නිර්මාණයක් වශයෙන් ප්‍රකටය.

සිරියාව මුසල්මාන අධිරාජ්‍යයේ මුල් අවස්ථාවේ දී ඊට යටත් වූ දේශයක් වූයෙන් එහි මුල් ම මස්ජිද බවට පත් වූයේ ක්‍රිස්තියානි දේවස්ථානයන්ය. දමස්කසයේ මහා මස්ජිදය මීට නිදසුන් වේ. ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පයේ විශේෂ තැනක් ගත් මනාර අටුලු ද සිරියාවෙහි උපත ලදහයි පිළිගැනීමට සාධක ඇත. පළමුවරට මනාර අටුලු වශයෙන් සකස් කර ගන්නා ලදුයේ යටකී මහා මස්ජිදය බවට පත් වූ ක්‍රිස්තියානි දේවස්ථානයෙහි වූ අටුලු වේ. බොහෝ කාලයක් තිස්සේ ඉස්ලාමික මනාර අටුලුවලට ආදර්ශ වූයේ ද දමස්කසයේ මහාමස්ජිදයේ සිවුරැස් අටුලුය. ශතවර්ෂාධික කාලයක් මුළුල්ලේ යාවනික ආභාසය සෙවණේ වැඩුණු සිරියාවේ ගෘහනිර්මාණ ශිල්පය මේ අන්දමට ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පයේ බිහිවීමට තුඩු දුන්නේය.

පර්සියාවේ පැරණිතම මස්ජිදය පිහිටියේ තබ්රීස්හිය. දහතුන් වන සියවසට අයත් එහි සැලැස්ම බයිසන්තීන දේවස්ථානයක සැලැස්මට සමානය. කුරුසියේ හැඩය ඇති සැලැස්මට අනුව ගොඩනැඟිලි තැනීමට පුරෝගාමී වූවෝ පර්සියානු ශිල්පීහුය. දොළොස්වන සියවසට අයත් ඉස්ෆහාන්හි ජමා මස්ජිදය මේ සැලැස්මට අනුව තැනුණකි. ගොඩනැඟිලි විසිතුරු කිරීම සඳහා බිත්තිවල පිඟන් ගඩොල් ඇල්ලීම ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදායට පර්සියාවෙන් ඇතුළු වූ අංගයක් සේ සැලකිය හැකිය. අර්ධගෝලාකාර පියසි සහිත සොහොන් ගෙවල් තැනීම ද පර්සියානු ශිල්පීන් අතින් බිහි වුණු සම්ප්‍රදායයකි. දහහත් වැනි සියවසේ මුල්භාගයේ දී ඉස්ෆහාන් නගරය පර්සියාවේ අනගි පුරවරයක් බවට පත් වීමෙන් පසු එහි ඉදි වූ මස්ජිද, මාළිගා ආදියෙන් පෙනෙන්නේ මනෝඥ ලෙස, සංයතව අලංකරණ යෙදීමේ හුරුව ඒවා නිමකළ ශිල්පීන් කෙරෙහි වූ බවයි.

මිසරයේ දක්නා ලැබෙන පැරණිතම මස්ජිදය කයිරෝවෙහි අම්ර් මස්ජිදයයි. නව වැනි සියවසෙහි ඉබ්න් තුලුන් විසින් කයිරෝවෙහි කරවන ලද මස්ජිදය ද උසස් නිර්මාණයකි. දහවැනි සියවසේ දී ෆාතිමිද් වංශිකයන් විසින් කයිරෝව අගනුවර කරගත් තැන් සිට පහළොස් වැනි සියවස දක්වා වූ කාලය තුළ මිසරයේ ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පය ශීඝ්‍රයෙන් වැඩිණ. දීර්ඝ ගෘහනිර්මාණ ශිල්පීය ඉතිහාසයක් ඇති මිසරයෙහි ශිල්පීන් අතින් ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදායයට අයත් විශිෂ්ට නිර්මාණ කිහිපයක් බිහි විය. මේ ශිල්පීන් කයිරෝවෙහි ඉදි කළ මස්ජිදයන්ගෙන් පෙනෙන්නේ ඔවුන් ගොඩනැඟිලිවල අලංකරණයෙහි උත්කර්ෂවත්බව ම මහත් කොට නොසැලකූ බවයි. බර්කුක් සුල්තාන් විසින් දහහතර වන සියවසේ දී කයිරෝ නුවර කරවන ලද මස්ජිදය මිසර ශිල්පීන්ගේ උසස් නිමැවුමකි.

තුර්කියෙහි දී ද ඉස්ලාම් භක්තිකයෝ පැරණි ගොඩනැඟිලි තම වුවමනාවන් සඳහා සකස් කොට ගත්හ. මස්ජිදයක් බවට පෙරළා ගන්නා ලද විශේෂ දේවස්ථානයක් නම් හේගියා සොෆායා දෙව් මැදුරයි. තුර්කියෙහි ඉස්ලාමික ගොඩනැඟිලිවල බයිසන්තීන ආභාසය බොහෝ සේ දක්නා ලැබේ. කොන්ස්තන්තිනෝපලය අල්ලාගෙන ඊට ඉස්තාන්බුල් යයි නම් කළ මුසල්මානුවන් විසින් බයිසන්තීන ආරට අනුව ඒ නගරයෙහි කරවන ලද මස්ජිද දෙකක් නම් දහසය වන සියවසට අයත් සුලෙයිමාන් මස්ජිදය හා දහහත් වන සියවසට අයත් අහමද් මස්ජිදයයි. සුලෙයිමාන් මස්ජිදයේ මැද පිහිටි අර්ධගෝල පියස්ස අඩි 86ක විෂ්කම්භයකින් ද අඩි 156ක උසින් ද යුක්ත වේ.

මුසල්මාන අධිරාජ්‍යයේ බටහිර දිග පාර්ශ්වයෙහි කේන්ද්‍රස්ථානය වූ ස්පාඤ්ඤයේ කොර්දෝවාහි ඉදි කෙරුණු මහා මස්ජිදය ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පයෙහි උමයියද් ශෛලියේ අග්‍රඵලය වශයෙන් සැලකේ. මෙද පැරණි ක්‍රිස්තියානි දේවස්ථානයක් සකස් කර ගැනීමෙන් නිමවන ලද මස්ජිදයකි. මෙහි බිම් සැලැස්ම දිගින් අඩි 570ක් ද පුළුලින් අඩි 425ක් ද වූ විශාල සෘජුකෝණාස්‍රයකි. වෙනත් ගොඩනැඟිලිවලින් රැස්කරගත් අංගෝපාංග හුදෙක් උත්කර්ෂය ම අපේක්ෂාවෙන් යොදා ගත් බවට මේ මස්ජිදය නිදසුන් වෙයි. මෙහි ආරුක්කු යොදා ඇත්තේ නිර්මාණෝපක්‍රමයක් වශයෙන් ම නොව අලංකරණය ද අපේක්ෂාවෙනි. එකොළොස් වැනි සියවසෙහි දී අසංකීර්ණ උමයියද් ශෛලිය යටපත් වී වඩා සාඩම්බර වූ මොරොක්කෝ ශෛලිය ඇති වූයේය. සෙවිල්හි මස්ජිදය මේ අභිනව ශෛලියේ අංග ලක්ෂණ විදහා දක්වයි. ස්පාඤ්ඤයේ ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්පයෙහි අනික් විශිෂ්ට නිර්මාණය අල්හම්බ්‍රා මාළිගය (බ.) යි.

ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදාය මල් පල දැරුයේ ඉන්දියාවෙහි දී ය. මීට හේතු වූ කරුණු දෙකකි. එක් අතකින්, මේ සම්ප්‍රදාය ඉන්දියාවට සංක්‍රමණය වූයේ ශතවර්ෂ පහක කාලයක් තුළ වෙනත් රටවල දියුණු සම්ප්‍රදායයන්ගෙන් පෝෂිතව පරිණතභාවයට පැමිණීමෙන් පසුවය. අනික් අතින් එය ඉන්දියාවෙහි දී හැඩගැසුණේ ශ්‍රේෂ්ඨ ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදායයකට හිමිකම් කී ශිල්පීන් අතිනි. ඉන්දියාවෙහි වැඩුණු ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදායයෙහි ශෛලි තුනක් දැක්ක හැකිය. දිල්ලි අධිරාජ්‍ය අවධියට අයත් ශෛලිය, ප්‍රාදේශික ශෛලිය හා මෝගල් අවධියට අයත් ශෛලිය යනුවෙනි. දොළොස්වන සියවසේ අවසානයේ සිට දහසය වන සියවසේ මැදභාගය දක්වා දිල්ලි අධිරාජ්‍යය පැවැති ශතවර්ෂ හතරක කාලපරිච්ජේදය තුළ වැඩුණු පළමු ශෛලියට අයත් උසස් නිමැවුම් වශයෙන් කුතුබ්-උල්-ඉස්ලාම් මස්ජිදය ද ජෞන්පූර්හි ජමි මස්ජිදය ද අහමදාබාද්හි ජමි මස්ජිදය ද හැඳින්විය හැකිය. ඉස්ලාමික අලංකරණ මෝස්තර හින්දු ආභාසයෙන් සකස් වූ අයුරු මේ නිර්මාණයන්ගෙන් පැහැදිලි වේ. දිල්ලි අධිරාජ්‍යයේ බලය හීනව පැවැති යම් යම් ප්‍රදේශයන්හි ඒ ඒ ප්‍රදේශයට ආවේණික ලක්ෂණයන්හි සම්මිශ්‍රණයෙන් වැඩුණු ශෛලියය ප්‍රාදේශික ශෛලිය වශයෙන් ගැනෙන්නේ. පහළොස්වැනි සියවසේ දී දිල්ලි අධිරාජ්‍යයේ බලය පිරිහීමට පටන්ගැනීම මේ ශෛලියේ ස්වාධීන වර්ධනයට රුකුලක් විය. දහසය වැනි සියවසේ මැදභාගයේ සිට දහඅට වන සියවස දක්වා පැවැති මෝගල් අධිරාජ්‍ය සමයේ දී ඉන්දියාවේ ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදාය පරිපාකයට පත්වූයේය. ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදායයෙහි විද්‍යමාන වූ පාරසික හා බයිසන්තීන ලක්ෂණ හින්දු ශිල්පීන් අතින් මේ යුගයේ දී සැලකිය යුතු ප්‍රමාණයකට මැකී ගියේය. අක්බාර් සහ ෂා ජහාන් යන මෝගල් අධිරාජයන් යටතෙහි ඉස්ලාමික හා හින්දු ශෛලීන්හි සංකලනයෙන් ඇති වූ නවතර ආරට අයත් ශ්‍රේෂ්ඨ නිර්මාණ කිහිපයක් ම බිහි වූයේය. අක්බාර් විසින් ෆතේපූර් සික්රිහි තනවන ලද නව නගරය ද සිකන්දර්හි අක්බාර්ගේ සොහොන්ගෙය ද ශා ජහාන් විසින් කරවන ලද තාජ්මහල් මන්දිරය ද මේ නිර්මාණයන් අතර මුල්තැන් ගනී.

ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදාය ඉන්දියාවට පැමිණීමෙන් පසු ඉන්දියාවෙහි නව ස්වරූපයක් ඇති ගොඩනැඟිලි වෙසෙසක් බිහිවූයේය. එතෙක් ඉන්දියාවෙහි පැවැති ගොඩනැඟිලිවල උපරිභාග තිරස් අතට සමතල හැඩයෙන් යුක්ත විය. එසේ ම ඒවායේ පියසි ද මේ හැඩයට ම නැඹුරු විය. පියසි මුදුන් උල් හැඩයක් ගත්තේ නම් ඒ මඳ වශයෙනි. එහෙත් අභිනවයෙන් ඉදි කැරුණු ඉස්ලාමික ගොඩනැඟිලිවල ආරුක්කු හැඩයත් අර්ධගෝලාකාර පියසි විශේෂයත් ඉන්දීය ගෘහනිර්මාණ ශිල්ප විෂයයෙහි නව ස්වරූපයක් ඇති කළේය.

විශේෂයෙන් ම ස්පාඤ්ඤයත් සිරියාව හා මිසරයත් ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදායයේ ආභාසය බටහිර දිග රටවල විහිදැවූ මධ්‍යස්ථාන වූයේය. මේ මාර්ගයෙන් ඉස්ලාම් ගෘහනිර්මාණ ශිල්ප සම්ප්‍රදාය යුරෝපීය ගෘහනිර්මාණ ශිල්පය කෙරෙහි දු බලපෑවේය. මේ බලපෑමේ ව්‍යාප්තිය අත්හිටියේ යුරෝපයෙහි ඇති වූ පුනරුදයෙනි.

පොත්පත්

Creswell, K. A. C.— A Short Account of Early Muslim Architecture

Hill, Derek and Grabar, Oleg—Islamic Architecture and its Decoration A.D. 800–1500.

(සංස්කරණය: 1970)