උගුරැස්ස

සිංහල විශ්වකෝෂය වෙතින්
10:04, 1 අගෝස්තු 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ප්ලකෝටියා ඉනර්මිස්-Flacourtia inermis Roxb). ලංකාවේත් දකුණු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ප්ලකෝටියා ඉනර්මිස්-Flacourtia inermis Roxb). ලංකාවේත් දකුණු ඉන්දියාවේත් වැවෙන කුඩා ගසකි. මේ ගසේ නොමේරූ ශාඛාවල කටු සහිත රිකිලි තිබේ. විශාල කටු ප්‍රධාන කඳේ ද ඇත. පොත්ත තරමක් සිනිඳුය. කොළ අඟල් 2ක් පමණ දිගය. මල් කුඩාය; ඒක ලිංගිකය; කහපාටට හුරු සුදුපාටය. කක්ෂීය ඒකාක්ෂවල ස්වල්ප වශයෙන් මල් හටගනී. ඵලය ගෝලාකාර බදරියකි. අඟල් 3/4ක් පමණ විෂ්කම්භයකින් යුත් මේ ඉතා මෘදු බදරියේ වැටුණු කලංකවල කැලල් දක්නට ලැබේ. බදරිය ඉදුණු විට තද දම් පාටය. එහි කුඩා ඇට 5ක් පමණ තිබේ.

උගුරැස්ස ගෙඩි කෑමට සුදුසු හෙයින් මේ ගස බොහෝ විට වවනු ලැබේ. මලයාවෙන් අලුතෙන් ගෙනෙන ලද උගුරැස්ස විශේෂයක් ද සමහර ගෙවතුවල වවනු ලැබේ. මෙය රට උගුරැස්ස නමින් හඳුන්වනු ලැබේ. ප්ලකෝටියාසේ (Flacourtiaceae) කුලයට අයත් ශාකයකි.

ආයුර්වේද මතය

බොරළුදමුනු, කටුලොවි ආදි නම්වලින් ද මෙය හැඳින්වේ. උගුරැස්ස පොතු හා මුල් වාතය හා මූත්‍රදෝෂ නසාලීමෙහි සමර්ථ වේ. සෙම් රෝග දිනයි; හෘදයට හිතකරය; පිපාසය නසා රුචිය ඇති කරයි. උගුරැස්ස පොතු බිඳුණු ඇට සන්ධිගැන්වීම පිණිස යොදනු ලබන ඖෂධයකි. නොඉදුණු ඵල ගුරුය; වාතය නසයි; පිත් වඩයි. ඉදුණු ඵල මධුරය; වාපිත් නසයි. රෝහිණී නම් වූ ගලරෝගයට ද වාපිත් ආදි රෝගයන්ට ද ප්‍රතිකාර වශයෙන් උගුරැස්ස වෙනත් ඖෂධවර්ග සමග යොදනු ලැබේ.

බොරළුදමුනු ඵල මිරිකා පෙරාගත් පැන භික්ෂූන්ට විකාලයෙහි ද වැළඳිය හැකි අෂ්ටවිධ පානයන්ගෙන් එකකි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උගුරැස්ස&oldid=8545" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි